|
උඳුවප් සීතලේ - උඳුවප් මියැසිය නැරැඹුවෙමි
අරුණි - හේමාල් ගේ අපූරු ඔරු සවාරිය
ඇඟ ගැහෙන තරමට හීතල සුළඟ. නත්තල් කාර්තුවේ මුහුද දිහාවෙන් එන හුළඟ මෙච්චරනං හීතලයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ. ඒ මදිවට කලපු දියවර මත දිගා වෙලා මනමාල කරන හඳ එළිය. ඇත්තටම ඈත අහසේ දීප්තිමත් තනි තරුවක් පායලා. ඒ තරුවට වඩා දීප්තියෙන් බබලන තාරකා කලපු තීරුවේ එහා මායිමේ.
අදනං හරිම නිස්කලංක සුවදායක දවසක්. ඉඳල හිටල ඈත පඳුරු කැලෙන් එළිබහින පුංචි ලිහිණි ටිකටත් අද අලුත් දවසක් වගෙයි. එහා මෙහා ඇවිදිමින් උන් ආයෙමත් තුරු වියලට වෙලා නිසොල්මනේ. බලන් ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා. මීගමු කලපුව වටේට රැස් වුණු දහස් සංඛ්‍යාත සෙනඟටත් අද අමතක නොවෙන දවසක්. ‘මෙතන මොකක්ද වෙන්න හදන්නේ . . .’ ටවුම පැත්තේ ඉඳන් ආපු ගැමියන් ඇහුවේ බයිසිකලේ කොට්ටං ගහට හේත්තු කරන ගමන්. ‘අද මේ ප්‍රෝග්‍රෑම් එකක් රෙකෝඩ් කරනවා හිරු ටී. වී. එකේ’ ‘දැන් යනවද ටී වී එකේ’ ‘නෑ දෙසැම්බර් 24 වැනිදා රෑ 10.00 ට තමයි විකාශය වෙන්නේ’ ආගන්තුක හිතවතාට උත්තර බැන්ඳේ හිරු නාලිකාවේ අරුණ ජයවර්ධන. ආගන්තුකයාට තවත් ප්‍රශ්නයක්. ‘කවුද එන ගායකයෝ’ ‘ලතා වල්පොල, අනිල් භාරතී, නිරෝෂා විරාජිනී, උමාරියා, කීර්ති පැස්කුවල්, අමල් පෙරේරා, සංගීත් විජේසූරිය, ශේන්, සුරේන්ද්‍ර පෙරේරා, ශෙහාන් මිහිරංග, තව ගොඩක් කට්ටිය ඉන්නවා අයියේ . . .’ කතාවට සම්බන්ධ වුණේ චාමර ජයවීර. ‘අයියා කොහේද ඉන්නේ. . . නම මොකක්ද’ මම ඇහුවේ ආගන්තුකයෙක් වෙන්න බැරි නිසා. මං ඩෙන්සිල් . . . මෙතන අයිනේ ගමේ ඉන්නේ. ඔහු කිව්වේ ගැමිකම හිතට අරගෙනමයි. හීතලේ ගැහෙමින් හැමෝම හරි හරියට වැඩ. එක පාරටම ලන්තෑරුමක් අරන් කලපුව මැද ඉදි කරපු වේදිකාවට ගිය කාර්මික ශිල්පියෙක් නොපෙනී ගියේ හැමෝම තිගැස්මට පත් කරමින්. ‘මිනිහ උඩ ඉන්නවා. ලන්තෑරුම වැටිල තියෙන්නේ’ එහෙම කියමින් කතාවට එක්වුණේ විරාජ් වැලිවත්ත. වෙනදා දැක්කට වඩා අද හැමෝම වෙනස්. කොට කලිසං වලින් සැරසිලා. එකට නඩේකට වැටිලා හැමෝම තමන්ගේ වැඩවල. ‘මේව හැදුවේ කවද්ද මහත්තයෝ’ අපේ අලුත් මිත්‍රයා වන ඩෙන්සිල්ට ආයෙත් ප්‍රශ්නයක්. ‘දවස් තුනක් තිස්සේ වැඩ ඩෙන්සිල්. මේ ඔරු ටික හදල අපේ කට්ටියට පණ ගියා. ඇයි වතුර පාරට එක තැනක තියං වැඩ කරන්න බැහැනේ. කලා අධ්‍යක්ෂණය කළ මංජුල නිහඬ බව වින්ඳේ තමාගේ මාතෘකාවට ආව නිසා. හැමෝම ප්‍රීතිමත් කතාන්දර එක්ක ඉන්න කොට අපිට මඳක් එහායින් උන්නු හේමාල් රණසිංහ වගේම අරුණි රාජපක්ෂ උන්නේ අමිහිරි කතාවක. ‘මේක පෙරලෙයිද හේමාල්’ අරුණිගේ හිත ගැහෙන සද්දේ අපිටත් ඇහෙන තරමට වේගවත්. ‘මේක එහෙට මෙහෙට වැනෙනවා වගේ නේද?’ හේමාල් කියන්නේ ඇඟට පතට නොදැනී අපේ දිහා බලාගෙන. මේ දෙන්නා තමයි උඳුවප් මියැසියේ පූරකයන්. කතාන්දරයක් ලෙස ගලා යන සංගීත වැඩ සටහනක් වන උඳුවප් මියැසියේ ආකෘතිය ඉතාමත් වෙනස් වූ එකක්. ඒ නිසාම පූරකයන් දෙදෙනා කලපුවේ ඔරුවක හිඳ තමයි කතාන්දරය ඉදිරිපත් කරන්නේ. ඒ කුඩා ඔරුවේ යන්න අරුණි ඉන්නේ බයෙන්. නොකීවට හේමාල්ටත් බය දැනිලා කියලා අපට තේරුණේ කතා බහෙන්. අපිත් එක්ක හිටිය චන්දන සහෝදරයෝ අපට සවන්දීලා කැමරා වෙත ගියේ කටයුත්ත අරඹන්න. එක් කෙනෙක් චන්දන අරන්දර. අනෙක් කෙනා චන්දන අමරසිංහ. මේ දෙන්න තමයි උඳුවප් මියැසියේ කැමරා මෙහෙයවන්නන්. චන්දනලා යනකල් ඉදන් චාමර කළේ හැමෝටම නිදිමත නික්මෙන කටයුත්තක්. චන්දනල දෙන්නා ඈතට යනකල් බලන් හිටිය චාමර ‘චන්දන’ කියල කතා කළේ කරමත් උස් හඬින්. දෙදෙනාම එකවරම බැලුවේ අපි උන්න කොට්ටං ගහ දිහා. දෙන්නගෙම නම චන්දන නිසා එක පාරටම දෙන්නම බැලුව අයුරු හරිම සුන්දරයි. විනෝදජනකයි. දැන් ඩෙන්සිල්ට ආයෙ ප්‍රශ්නයක්. ‘සංගීතය සපයන්නේ කවුද මේකේ’ ‘මහේෂ් දෙණිපිටිය ඇතුළු කණ්ඩායම’ ඒ පාර උත්තර දුන්නේ ජීවන්ත. ජීවන්ත තමයි උඳුවප් මියැසියේ සංස්කරණ ශිල්පියා. දැන් කටයුත්ත පටන් ගන්න සියල්ල සූදානම්. රාත්‍රී අහසේ තාරුකා නොපෙනෙන තරමට මීගමු කලපුව නේකවිධ විදුලි එළියෙන් වැහිලා. හරිම අලංකාර රාත්‍රියක් අදනං. ගායක ගායිකාවෝ හැමෝම ආදරණීය සොඳුරු පිළිසඳරක. හැමෝම කතා කළේ සංගීත්ගේ අලංකාර ඇඳුම ගැන. අමල්, සංගීත් ඇතුළු පිරිසගේ කතාන්දර අහද්දි නිදිමත නැතිවෙන තරම් ජවයක් දැනෙනවා ඇඟට. රවුමක් දාලා ආයේ අපි ගියේ කොට්ටං ගහ යට බංකුවට. ඩෙන්සිල් තාම එතන. පෙළින් පෙළට ගැයෙන සුලලිත ගීත අසමින් ඩෙන්සිල් ජීවිතේ විඳින්නේ හරිම අපූරුවට. ‘අපි බලනව තරම් වැඩේ ලේසි නෑනේ’ එකම ගීතය දෙතුන් වතාවක් රූගත කරද්දී ඩෙන්සිල් ඇහුවේ බැරෑරුම් ස්වරයෙන්. ‘අප්පෝ සින්දු ටික රෙකෝඩ් කරන කොට උදේ වේවි’ මං කිව්වේ වෙලාව බලන ගමන්. ‘නැටුම් ටිකත් නියමයි නේ . . .’ ‘ඔය අර චිත්‍රපටවල නැටුම් හදන ගයාන් ශ්‍රීමාල්ගේ නැටුම්’. ආයෙමත් අරුණ කතාවට එකතු වුණේ මගේ තනිකම මකමින්. ‘උදේ වෙයි නේද ඉවර වෙන්න.’ බැරිම තැන ඩෙන්සිල් ඇහුවේ අරුණගෙන්. ‘6, 7 වෙයි’ ‘හරි එහෙනං මං යන්නං. ටී වී එකේ බලමු’ ’24 රෑ 10.00 ට හිරු එකේ’ ‘අරුණ මතක් කළේ අපේ මිත්‍රයාට සමු දෙමිනි. දැන් එළිය වැටෙන්න ඔන්න මෙන්න. ‘අපිත් යන්නං’ මමත් ඉන්දිකයි ආගන්තුක මිත්‍ර ඩෙන්සිල්ගේ මඟට වැටුණේ උදෑසනත් අතේ තියාගෙන.
|