වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සුජාත දියණියගේ ප්‍රධාන පාලිකාවත් මමයි

සුජාත දියණියගේ ප්‍රධාන පාලිකාවත් මමයි

නෙතලි නානායක්කාර
ජීවිතය ගැන කියන සුන්දර කතාව

බඹරුන්ගේ ගුම් නාදය සිතට ගෙන එන්නේ අමුතුම මිහිරියාවකි. හිමිදිරියේ පිණි වෑස්සෙන පියුමන් ඒ බඹරුන්ගේ ආගමනය අපේක්ෂාවෙන් පසු වෙයි. පාට පාට සමනළුන් රෑන් පිටින් ඉඟිල යන්නේ ද මල් රොන් සොයාගෙනයි. පළවැලෙන් බර වූ නේකවිධ ගහ කොළ කියා පාන්නේ සුන්දර ගැමි සිරියාවේ චමත්කාරයයි. අරුණළු උදාවත් සමඟ කඩිසර බිනරමලී හනි හනිකට ඇඹුල පිසින්නේ සුදු බංඩාගේ දේහදාරී රූපය සිතෙහි මවාගෙනයි.

මේ චිත්ත රූප මැවෙන්නේ 1960 දශකයේ මුල් භාගයේ මුදලිනායක සෝමරත්නයන් අතින් ලියැවුනු ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාටකයෙනි. එහි ‘බිනරමලී’ට හඩින් ජීවය දුන් ඇය අද මිත්තනියකව සිටින්නීය.

නෙතලි නානායක්කාර.

බොරලැස්ගමුව, වේරහැර, ගංගාරාම මාවතේ මනරම් නිවෙසක සැඳෑ සුවය ගෙවන නෙතලිට අද ද රංගනයේ යෙදීම විනෝදාශ්වාදයකි.

අමිත් එස්. සේනාරත්නත්, මමත් එහි යන විට ඕ තම සුරතල් මුණුපුරා වූ නවීන්ගේ සුරතල් මැද පසු වූවා.

‘ආනේ මම එනකම් මඟ බලාගෙන හිටියේ. මේ නවීන් පුතා ඔයාලා එනකම්ම ගේට් එක ළඟ මුර කරනවා. එයා තමයි ගෙදරදි ආච්චි අම්මගේ උපදේශක. මිත්තනියකට ඔබින සිනාවක් උපදවා ගත් ඕ පැවසුවේ පුංචි නවීන්ගේ හිස අතගාමින්.

මගේ මුල් ගම කැලණිය දළුගම. පාසල් ගියේ කැලණිය ගුරුකුල විද්‍යාලයට. සාලයේ ඇති පුටුවක හරිබරි ගැහෙමින් ඇය කතාවට මුල පිරුවාය.

පාසල් යන කාලෙම ගුවන් විදුලිියේ ළමා පිටියට සම්බන්ධ වුණා. එතනින් තමයි මගේ කලා දිවිය ආරම්භ වුණේ. එතකොට මට වයස අවුරුදු දහතුනක් විතර ඇති.

එසේ පවසන විට රෝස පැහැයෙන් දිදුලන ඇගේ දෙකම්මුල් අතරින් ඇඳුන සිනහව අතීත සැමරුම්වල සුන්දරත්වය විදහාපායි.

‘1962 වසරේදී මුදලිනායක සෝමරත්න මහත්තයා ලියූ ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යයේ බිනරමලීගේ චරිතයට හඬ කවන්න කතා කළා. එතකොට විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණවෙල ලා එහෙම හිටියා. අනික ඒ දවස්වල අද වගේ නෙමේ, නාට්‍යයේ හඬ කවන කොට හැම චරිතයක්ම ඉන්න ඕනෑ. දැන් නම් තාක්ෂණය දියුණු නිසා එහෙම නැහැනේ.

ගුවන් විදුලියට ඒ දවස්වල නිතර ආගිය නිසා මාව දැන හඳුන ගත්ත කෙනෙක් හිටියා. ඔහු තමයි සිනමා ශිල්පී වොලී නානායක්කාර. ඔහු සරසවියටත් විශේෂයි. ඒ 1964 දී ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ සරසවිය සතියේ පූරක වුණෙත් ඔහුයි. අන්තිමට ගුවන් විදුලියට පින් සිද්ධ වෙන්න ඔහු මගේ ජීවන සහකරු වුණා. මාතර ආච්චි චිත්‍රපටයට ‘සඳකඩ පහණක’ ගීතය ලිව්වෙත් එයා.

ඒ වෙනාකොට මම පෞද්ගලික ඔඩිට් ෆර්ම් එකක රැකියාව කළා. හැබැයි හවසට අනිවාර්යයෙන්ම ගුවන් විදුලි සංස්ථාවට යනවා. ඒ කාලේ විහිළු වැඩසටහනක් ආරම්භ කළා එස්. ඩී. විජේදාස මහත්මයා ඇතුළු පිරිස. ඒකේ හඬ කවන්නත් යනවා. ඔහොම කාලයක් යන කොට පී. වැලිකල මහත්මයා කළ වේදිකා නාට්‍යයකත් රඟපාන්න ලැබුණා. වොලීටයි මටයි දරුවෝ පස් දෙනෙක් ඉන්නවා.

පළමුවැනියා රේණුකා. දෙවැනියා ශ්‍යාමිකා. තුන්වැනියා රවී. එයා වෛද්‍යවරයෙක්. එයාගේ පුතා තමයි මගේ හුරතල් නවීන්. හතර වැනියා ඉන්දිකා. එයා ලන්ඩන් පදිංචියි. පස්වැනියා චන්දිකා. මේ දෙන්නා නිවුන්නු. මේ පස් දෙනාත් එක්ක වොලියි මමයි හරිම සැහැල්ලු සුන්දර ජීවිතයක් ගත කළා. අසූව දශකයේදී රූපවාහිනිය ආගමනයත් සමඟ ටෙලි නාට්‍යය රංගනයට එක් වුණා. වොලී චිත්‍රපට සමඟ කාර්යබහුල වෙන කොට මම ටෙලි නාට්‍යයත් එක්ක වැඩ කළා.

නෙතලි නානායක්කාර එසේ පවසන කොට ඇගේ අතිත ස්මරණයේ තියෙන සුන්දරත්වය සුන්දර සිනහවකින් පිට කළා.

මගේ පළමු ටෙලි නාට්‍ය ආනන්ද සිරිසේන කළ එකක්. එතැන් පටන් අද වෙනතුරු ටෙලි නාට්‍ය පන්සියයකට ආසන්න ප්‍රමාණයක රඟපාලා ඇති. 2000 වසර ආරම්භයේදී ‘අසනි වැසි’ ටෙලි නාට්‍ය වෙනුවෙන් මට සම්මානයක් ලැබුණා. ඒ ඕ. සී. අයි. සී උළෙලින්. වැඩිම හරියක් මට ලැබෙන්නේ අම්මගේ එහෙම නැත්නම් ආච්චිගේ චරිත. ඒ අතරින් බට්ටි ටෙලි නාට්‍යයේ දමිතාගේ අම්මගේ චරිතයට බොහෝ ප්‍රතිචාර තියෙනවා.

ඇය කතා කරන්නේ තෘප්තිමත් හැඟීමකින්. මේ දිනවල ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ ඉහිරුණු කිරි නාට්‍යයේ අම්මාගේ චරිතය. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.

හඬ කැවීම් ගැන කතා කරන කොට පසුගිය කාලයේ ජනප්‍රිය වූ අර චංගුමි හිටිය සුජාත දියණිය නාට්‍යයේ ප්‍රධාන පාලිකාවගේ චරිතයට හඬ කවන්නට ලැබීමත් විශේෂයි.

ඇය මෙතෙක් රඟපෑ ටෙලි නාට්‍ය පිළිබඳ ඇගේ මතකය ආවර්ජනය කිරීමට උදව් වන්නේ පුංචි නවීන්ය.

ඒ කාලේ නම් රඟපානවට ස්ථාවර ගාණක් ගෙව්වා. දැන් ගෙවන්නේ දවස් පඩි. මේ ක්‍රමයේ හොඳත් තියෙනවා. නරකත් තියෙනවා. සිනහවෙමින් ඇය පවසන්නේ උපේක්ෂා සහගතවයි.

නවක නළු නිළියන් ගැන මොකද හිතෙන්නේ කැමරාව ක්‍රියාත්මක කරමින් අමිත් විමසුවා.

අනේ දරුවෝ අලුත් පරම්පරාවේ දක්ෂ අය ඉන්නවා. ඒ වගේම ඉතින් තැනක ඉන්න දන්නේ නැති අයත් ඉන්නවා. ඒ ඉතින් එක එක්කෙනාගේ උගත්කමේ හැටිනේ. අපි ඕවට කලබල වෙන්න ඕනේ නැහැ.

පරිණත කලා ශිල්පිනියකගේ හැඟුම්බර බව විදහාපාමින් ඕ පැවසුවා

මේ දවස්වල ටෙලි නාට්‍ය හතරක් විතර විකාශය වෙනවා. මට දැන් වයස අවුරුදු හැත්තෑ හතක්. ඒත් වෙලාවට රූගත කරන තැනට යන්න මම අමතක කරන්නේ නැහැ. වයසට යන්න යන්න අපි ආදර්ශමත් වන්න ඕනෑ.

මේ සුන්දර රංගන ශිල්පිනිය ජීවිතයේ සැඳෑ සමයේ සිටියත් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන්නියකි. මුණුපුරු මිණිපිරියන්ට යහපත් අත්තම්මා කෙනෙකු වී ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වන්නට ද අමතක නොකරන්නීය.

හඬින් මෙන්ම රුවින් තම රසිකයන් වසඟ කල නෙතලි නානායක්කාර නම් වූ මේ රංගන ශිල්පිිනියට දීර්ඝායුෂ වේවායි සරසවිය අප ප්‍රාර්ථනා කරමු.