වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




රඟ පෑමේ වරදට පුළුස්සා මරන්නට නියම වූ යුවතිය

රඟ පෑමේ වරදට පුළුස්සා මරන්නට නියම වූ යුවතිය

මුල්ම කේරළ චිත්‍රපටය රූ ගැන්වූයේ ලංකාවේද ?

මේඝ ධක තාරා යනු බෙංගාල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයකි.1960 වසරේ සුප්‍රකට බෙංගාලි සිනමාකරු රිටිවික් ඝටක් අතින් නිර්මාණය වූ එම චිත්‍රපටයේ නම යළිත් වරක් අලුත් චිත්‍රපටයකට යොදා ගෙන තිබින.

ඒ මෙවර ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ ඉන්දියානු චිත්‍රපට අංශය වන ඉන්දියානු පැනෝරාමාවේ තිර ගත කළ චිත්‍රපට අතරින් තෝරා ගැනුණ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ චිත්‍රපටයටයි.

ඉන්දියානු සිනමා උළෙලේ තරගකාරි අංශය සඳහා වෙනමමත් ඉන්දියානු පැනෝරාමාව සඳහා වෙනමමත් සම්මාන පිරි නැමීම මෙවර සිදු විණ.ඒ සඳහා වෙනමම විනිශ්චය මණ්ඩල දෙකක් තිබිණ.

ඉන්දියානු සිනමා පැනොරාමා විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් සියල්ල ඉන්දියානුවන් වූහ.එහි සභාපතිත්වය දැරුවේ සුප්‍රකට සිනමාකරුවකු සහ සංස්කාරණ ශිල්පියකු වූ බී.ලෙනින් ය.මේඝ ධක තාරා නමින් අලුත් චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ කමලේශ්වර් මුකර්ජිය.මුකර්ජි සිය චිත්‍රපටය සදහා පාදක කර ගන්නේ ඝටක් ගේ ජීවිත අත්දැකීමය. ඝටක් යන සිනමාකරුවා ඇතුළත නාට්‍යය කරුවකු ලේඛකයකු විප්ලවවාදියකු ආදි විවිධ වරිත රැසක් සිටියේය.

ඒ හැම මෙන්ම නොම්මර එකේ බේබද්දදෙක් ද සිටියේය. මේ සියළු උවදුරු ඔහුගේ පවුල් ජීවිතය හරහා ගලා යයි.ඝටක් ගේ චරිතය අළලා තැනුණ මේ චිත්‍රපටය ගෝවේ පාන්ජිම් නගරයේ අයිනොක්ස් සිනමාහලේ තිර ගත වද්දී එයට අමුත්තෙකු පැමිණියේය. ඔහු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ සුභාශ් ඝායි ය.

ඝායි ප්‍රෙක්ෂක පිරිස අමතමින් කියා සිටියේ මේ සඳහා ඔහු මුම්බායි නගරයේ සිට පැමිණියේ සිය සිනමාවේ ගුරු දේවයානන් වන රිට්වික් ඝටක්ට ගෞරවයක් හැටියට බවය.ඝායි සිනමාවට පිවිසෙනුයේ ද ඝටක් නිර්මාණය කළ මෙඝ ධක තාරා චිත්‍රපටයෙනි.

ඉන්දියානු සිනමාවේ සියවස නිසාදෝ සිනමාකරුවන් කිහිප දෙනෙකුම සිය සිනමාවේ අතීතය අළලා වෘතාන්ත චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීම මෙවර විශේෂ සිදුවීමක් විය.ජාත්‍යන්තර තරගකාරි අංශය නියෝජනය කරමින් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් ඕපු පංචාලි ද එයට උදාහරණයකි.එලෙස නිර්මාණය කළ චිත්‍රපට අතර නිර්මාණයක් ලෙස ඉහල අගයක් නොගත්ත ද සිනමා ලෝලින් වශයෙන් අපට වැදගත් චිත්‍රපටයක් වූයේ කේරළය නියෝජනය කරමින් මළයාලම් බසින් තැනුණ සෙලියොලොයිඩ් නම් චිත්‍රපටයයි.මලයාලම් සිනමාවේ පළපුරුදු සිනමාකරුවකු වන කමල් එහි අධ්‍යක්ෂවරයා විය.එය කමල් ගේ 43 වන චිත්‍රපටයයි.සෙලියොලොයිඩ් චිත්‍රපටයට පාදක වනුයේ මුල්ම මළයාලම් චිත්‍රපටය සහ එහි සිනමාකරුවා ද නිළිය ද පිළිබඳ වෘතාන්තයකි.

අද කේරළ සිනමාව වෙනුවෙන් පිදෙන යාවජීව සම්මනාය නම් කොට ඇත්තේ ද එහි පියා ලෙස ගෞරවාදරයට පත් වන ජේ.(ජෝශප් ) සී.(චෙල්ලයියා) ඩැනියෙල් නාඩාර් නමිනි.එහෙත් එහි මුල්ම චිත්‍රපටය නිපදවීමේ වරදට ඔහු අප්‍රමාන නින්දාවට පත් වූවා පමනක් නොව ඔහු මිය යනුයේ ද කිසිවකුගේ හෝ උපකාරයකින් තොරව අසරණයෙකු හැටියටය. පුවත්පත් කලාවේදියෙකු විසින් අහම්බෙන් සොයා නොගන්නට ඩැනියෙල් මිය ගිය වගද කිසිවකු හෝ නොදන්නා කරුණක් වෙයි.කේරළයේ මුල්ම චිත්‍රපටය වන විගත කුමාරන් (නැති වූ දරුවා) චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂක තිර නාටක රචකයා ප්‍රධාන නළුවා සහ සංස්කරණ ශිල්පියා ද ඔහුය.

එමෙන්ම ඔහු ඒ සදහා මුල්ම කේරළ චිත්‍රාගාරය ද ගොඩ නගන්නේ ද ට්‍රැවන්කෝර් නැෂනල් පික්චර්ස් නමිනි.සිනමාව පිළිබඳ සිය ඇල්ම නිසාම ඉන්දියානු සිනමාවේ පියා වන පාල්කේ යටතේ පුහුණුව ලබන ඔහු අනතුරුව තම මාපියන්ගෙන් උරුම දේපළ විකුණා චිත්‍රාගාරය ගොඩ නංවයි. මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සඳහා ඔහු බොම්බායෙන් නිළියක ගෙන්වුව ද ඇයගේ ඉවසිය නොහැකි ගණන් දැමීම නිසා තම පෙදෙසින් ම නිළියක සොයා ගනී.

ඒ කුඩා නාට්‍ය කණ්ඩායමක චරිත මැවූ රෝසම්මාය.ඇය සිනමාවට හඳුන්වා දෙනු ලබනුයේ රෝසී යන නමිනි.ඉන්දියානු කුල හීන කාන්තාවක් වන ඇය සිනමා දර්ශණ තලයේ දී පවා ආහාර ගන්නේ කුස්සියේ සිටය.1928 වසරේ නොවැම්බර් 27 වැනි දින ත්‍රිවැන්කෝට් නගරයේ එනම් වර්තමාන ත්‍රිවේන්ද්‍රම් නගරයේ කැපිටෝල් සිනමාහලේ විගත කුමාරන් චිත්‍රපටය මුල්ම දර්ශණය තිර ගත වද්දී එහි ප්‍රධාන නිළිය රෝසීට සිනමාහලට ඇතුළු වන්නට අවසර නොලැබෙයි.

ඒ ප්‍රභූ වරුන් ඇය සිනමාහලට ඇතුළුවනවාට විරුද්ධ වන බැවිනි. ඇය සිනමාහලෙන් එපිට එහි කතාව විකාශය වනු අසා සිටින්නේ ඊළඟ දර්ශණයේ හෝ එය නරඹන්නට ලැබෙතැයි බලාපොරොත්තුවෙනි.එහෙත් චිත්‍රපටය මදක් තිර ගත වද්දි වංශවතුන් කෝපයට පත් වනුයේ කුලහීන ස්ත්‍රියක් විසින් කුලවත් චරිතයක් නිරූපනය කරන ලද හෙයිනි.

චිත්‍රපටය අතරමග නතර කර දමන අතර වංශවතුන් ගේ ඊළඟ තීරණය රෝසි පණ පිටින් ගිනි තබා මරා දැමීමය.රෝසී එයින් ගැලවුන ද ඇගේ මහළු පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වෙයි.මරණයෙන් ගැලවෙන නමුදු රෝසී වංශවතුන්ගේ අතවරයට ද නින්දාවට ද භාජනය වන අතර පසු කලක ආරංචි වනුයේ ඇය රියැදුරෙකුගේ බිරිඳක් වූ විත්තියයි.සියල්ලෙන් කළකිරුණු ඩැනියෙල් කේරළය අත හැර තමිල්නාඩුවට යන අතර පසුව දන්ත වෛද්‍යවරයෙක් ලෙස ජීවිතය ගොඩ නගා ගනී.එහෙත් පරණ පාඩමෙන් මට්ටු නොවු හෙතෙම තමිල්නාඩු සිනමා නළුවකුගේ බස් අසමින් චිත්‍රපටයක් තනන්නට ගොස් යළි සියල්ල අහිමි කර ගනී.

එහි ප්‍රතිඵලය වනුයේ ඔහුගේ දිරිමත් භාර්යාව ජෙන්ට් හැර දරුවන් ගේ සෙනහසද අහිමි වීමයි.අසරණව කල් ගෙවන ඔහු පුවත්පත් කලාවේදියකු විසින් සොයා ගන්නේ 1967 වසෙර්ය.ඒ වන විට ඔහු ආර්ථික මෙන්ම කායික වශයෙන් ද පිරිහී අවසානය.පුවත්පත් කලාවේදියා විගත කුමාරන් චිත්‍රපටයේ පිටපතක් ද සොයා ගන්නේ ය.චිත්‍රපටය මුල්ම කේරළ චිත්‍රපටය ලෙස පිළිගන්නට ඉන්දියානු සිනමා බළධාරින් අකමැති වනුයේ පසුකලක තැනුණ බාලන් නම් චිත්‍රපටය ඒ වන විට එම ගෞරවය ලබා ඇති හෙයිනි.(අද පූනා සිනමා සංක්ෂණාගාරයේ ඉතිරිව ඇත්තේ එලෙස සොයා ගත් විගත කුමාරන් චිත්‍රපට?යේ පිටපතෙහි කැබැලිය)

ඒ වන විට තමිල්නාඩුවේ පදිංචිව සිටින මලයාලම් සිනමාවේ පුරෝගාමියා වෙනුවෙන් පිහිට වන්නට එහි බලධාරින් අකමැති වෙයි.කෙසේ වෙතත් කමල් සිය චිත්‍රපටය නිම කරනුයේ ඩැනියෙල් මිය ගොස් තවත් වසර ගණනාවකට පසු ඔහු කේරළ සිනමාවේ පියා ලෙස සලකමින් මුද්දරයක් ද නිකුත් කරන උත්සවයෙනි.

ඒ සඳහා ඩැනියෙල් ගේ බාල පුත් හැරිස් ද සහභාගි වෙයි.ඔහු තමන් විසින් ද නොසලකා හරින ලද සිය පියා පිළිබඳ පශ්චත්තාප වෙමින් අතීතාවර්ජනයක් හෙළි කරයි. පියා විසින් සුරක්ෂිත කර තබා ගත් මුල්ම කේරළ චිත්‍රපටයේ පිටපත ළමා වියේ දී තමා අතින් දැවී අලු ව ගිය වගය.චිත්‍රපටය ආරම්භ වනුයේ ද ළමයෙකු විසින් චිත්‍රපටයක පිටපතක් ඇද දමා එයට ගිනි තැබීමෙනි.

ඔහු විසින් විනාස කර දමන ලද්දේ මුල්ම කේරළ චිත්‍රපටය බව ඔහු වටහා ගන්නේ පසු කලකය.විගත කුමාරන් චිත්‍රපටය පිළිබඳ හෙළි කරන කරුණු ඇතුළත අපේ සිනමාවේ ද වැදගත් කරුණක් ඇතුළත් වෙයි.එනම් එහි දර්ශණ කේරළ චිත්‍රාගාරයෙන් පසු රූප ගත කරන ලදදේ කොළඹ නගරයේ බවය.එය අපේ සිනමාවේ ඉතිහාසඥයන්ගේ අවධානය යොමු විය යුතු කරුණකි.

ඉන්දියානු සිනමාව අද බැලූ බැල්මට සුරබි දෙනක බව හැඟුන ද එහි පුරෝගාමීන් එය ගොඩ නැගුවේ ඉන්දියාවේ සම්ප්‍රදායන් හා ගැටෙමින් බව බොහෝ දෙනා නොදනිති.සෙලියුලොයිඩ් මේ ඉතිහාසය කදිමට විවරණ කරයි.මෙම චිත්‍රපටයේ ඩැනියෙල් ලෙස චරිත නිරූපනය කරනුයේ වර්තමානයේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන ප්‍රිත්වි රාජ් විසිනි.

ඉන්දියානු සිනමා උළෙලේ මෙවර ඉන්දියානු පැනෝරාමාවට තරගකාරි අංශයෙන් චිත්‍රපට 26 ක් ඇතුළත් වූ අතර එම අංශයේ වෙනුවෙන් වයඹ දිග ඉන්දියානු සිනමා අංශයට චිත්‍රපට 18 ක් ද සියවසක ඉන්දියානු සංගීත අංශයට චිත්‍රපට 30 ක් ද පාල්කේ සම්මාන දිනූ චිත්‍රපට කරුවන් ගේ චිත්‍රපට1 2ක් ද වශයෙන් චිත්‍රපට 200 කට ආසන්න සංඛ්‍යාවක් තිර ගත කෙරිණ.