වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




නෑදෑයෝ හිතුවේ මං පරම්පරාවටම අවනම්බුවක් කළා කියලා

නෑදෑයෝ හිතුවේ මං පරම්පරාවටම අවනම්බුවක් කළා කියලා

නිරෝෂන් විජේසිංහ

අපූරුම දවස් කිහිපයක් මගේ ජීවිතේට ලබන ජනවාරියෙදි ලබන්න නියමිතයි. අලුත්ම අධ්‍යක්‍ෂවරයකුගෙ වෙනස්ම ටෙලියක විරලම චරිතය මවන්නයි මං මඟබලා ඉන්නේ. අපිට නිතර හමුවන නමුත් අඩුවෙන් කතාවෙන භූමිකා ගණනාවක් වටා දිවෙන ඒ ටෙලියට දැන් දර්ශනතල හැදෙනවා. ගිරිගුළ ටෙලි නාට්‍යය වගේම පුංචි තිරයෙන් පිපී එන තවත් කැකුළක් වගේ තමයි මට මේ නිර්මාණයත් දැනෙන්නේ.

කොහොමත් මගේ ජීවිතේ සොබාදහමට බද්ධයි. ඒ නිසා වෙන්නැති හැම දෙයකදීම වගේ පරිසරයෙන්ම උපමාවක් දෙකක් මගෙන් කියවෙන්නේ. මගෙ බාල කාලෙ ගෙවුණෙත් දිවුලපිටිය, තොටිල්ලගහවත්ත ගමේ. ගම පහළින් ගඟක් ගලනවා. මගේ බාල කාලයයි මේ ගඟයි දෙක එකිනෙකින් වෙන්කරන්නත් අමාරුයි. එච්චරටම ගඟ මගේ ජීවිතයට ළඟයි.

බාලෙදි මං ඉස්කෝලෙන් එන්නෙම මේ ගඟට පනින්න බලාගෙන. ගඟම මට ජීවිතේ හුඟක් දේවල් ඉගැන්නුවා. වැස්ස වහින්නෙත් රටාවකට. මං වැහිදාක සියඹලා ගහක ඉඳන් ගඟ දිහා බලන් ඉඳලයි ඒ බව තේරුම් ගත්තේ.

ගම තවමත් කොළඹට වඩා මගේ ජීවිතේට ළඟයි. ගමෙන් ලැබිච්ච හික්මීම රංගන කලාව ඇතුළතදි මට දැණුනෙ මහමෙරක් වගේ. බාලෙදි මමත් දඩබ්බරකම් නොකළාම නෙමෙයි. ඒත් කාටවත් රිද්දවලා, අඬවලා සතුටුවෙන්න කවදාවත් හුරු වුණේ නැහැ.

ගමේ කොලුකමට රැලේ වැටිලා කැලේ පනින ගැටව් රෑනෙ මාත් හිටියා. පුංචි පාලමය කියලා කියපු ඉසව්වට දවසක් අපි කට්ටිය ගෑටුවා. ලතාවකට හෙමින් හෙමින් ගඟ ගලනවා. ගඟ දෙපසින්ම වන බූටෑව. අපිත් ගඟ ගලන වේගයෙන්ම දුවනවා. අතට අහුවෙන දං, පළු, කිරිල්ල අහුරු එහෙම්ම කඩාගෙන කටේ දාගන්නවා. සමහර තැන්වල නොගැඹුරු වතුරෙ බැහැල යනවා. ගොඩින් දියෙන් ගමනමයි. කොහෙ යනවද නවතින්නේ කොතැනින්ද කියලා නිනව්වක් තිබුණෙ අපට නොවේ.

විනෝදෙන්, විනෝදෙන් ඉර බහින තුරුත් දිව්වා. ආපිට එන්න එපැයි. එහෙම හිතුණම නම් ඔක්කොගෙම හිනා වෙච්ච ඇස් ගෙඩි රතු වුණා. මේ අතරෙදි අපි ගඟේ ගියා කියලා මුළු ගමම බයවෙලා. වටින් ගොඩින් ගම කිට්ටුවෙද්දි අපිටත් වඩා ගම්මු බයවෙලා හිටියේ. අපි අන්තිම ගමන ගියා කියලමයි හිතලා තිබුණේ.

තාත්තත් මාව හොයාගෙන ඇවිදින්. ඒත් තරවටුවක් නෙවෙයි. දුවන් ඇවිත් තාත්තා මාව බදා ගත්තා. පව්, තාත්තගෙ හිත රිද්දුවට මට හොඳටම දුක හිතුණා. දඬුවම් කළාටත් වඩා වේදනාවක් දැණුනා.

ඉලන්දාරි වයස කිට්ටු කරද්දි මට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වුණා. තාත්තා මාව වේයන්ගොඩට එක්කරගෙන එනවා. එතැන ඉඳන් පොල්ගහවෙලට මං කෝච්චියෙන් යන්නේ තනියෙන්. කොට කලිසම ඇඳලා පන්කොළ තොප්පිය දාගෙන වටපිට බලා බලා මං කෝච්චියෙන් යන්නෙම ඉස්කෝලෙ ඇඳුමින්.

ඉස්කෝලෙදි තලතා ටීචර් නිතර මාව හොයනවා. ඇයි කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ කතාව මං රඟපාලා පෙන්වනවනේ. ටීචර් මාව එක්කරගෙන ගිහින් අනිත් පන්තිවල ළමයින්ටත් මගේ රංගනේ පෙන්වනවා. ඒත් මං සමස්ත ලංකාවෙන්ම පළමු තැන දිනුවෙ නම් ගීත ගායනාවලට.

මට ඒකට ලැබිච්ච තෑගියි සහතිකෙයි ඉස්කෝලෙන් ගත්තා. එයාලා උදෑසන රැස්වීමෙදිම මේව මට දෙන්නයි හිටියේ. මේ රැස්වීම පවත්වන දවසට කලින්දා මං දඩබ්බර කමකට පි‍්‍රන්සිපල්ට කොටු වුණා. මං විතරක් නෙවෙයි කීප දෙනෙක්ම අහුවුණේ ඉස්කෝල වත්තෙන් හොරෙන් ගස්ලබු කඩන් කෑවට. පස්සෙන් දුම් විසිවෙන්න තරම් මේ වැරැද්දට පි‍්‍රන්සිපල්ගෙන් වේවැල් පාර ලැබුණා. ඒත් පහුවදා උදේ රැස්වීමෙදි පි‍්‍රන්සිපල් සර් ‘රත්තරං පුතාට බුදුසරණයි’ කියලා වැඳ වැටුණු මගෙ ඔළුව අතගෑවෙ එයාගේ ඇස් කඳුළෙන් තෙත් වෙද්දියි.

මං ඉස්කෝලෙ ගමනට ආයුබෝං කියනවා. මගෙ යාළුවො හුඟ දෙනෙක් ලොකු පඩි ලැබෙන රස්සාවල් නැත්නම් ව්‍යාපාර කරනවා. ඒත් මං එහෙම නෙවෙයි. මං එකතු වුණේ ඇන්ටන් මිහිඳුකුලගේ වීදි නාට්‍ය කණ්ඩායමට. ඉතින් තුන්තිස් දවසෙම මං මහ පාරෙ. සමහර වෙලාවට නෑදෑයො එහෙමත් මං වැරහැලි ඇඳගෙන වීදියෙ රඟපානවා දකිනවා. එතකොට එයාලා හිතුවෙම මං පරම්පරාවටම අවනම්බුවක්ය කියලයි. ඉතින් මාව එතැනින් නවත්තගන්න කළ කී දේවල් එමටයි. ඇත්තටම මගේ මුල එතැන. අද රංගනයෙන් තැනක ඉන්නවා නම් එතැනට මාව ඔසවලා තිබ්බෙම වීදි නාට්‍ය. අද මං දුවනවා නම් දුවන්නේ එදා එහෙම ගහගත්ත පෙට්‍රල් ටිකෙන් තමයි.

අපි රටපුරා වීදිවල ඇවිද්දා. අම්මගෙන් රුපියල් විස්සක් ඉල්ලගෙන මං වීදි නාට්‍යවලට යනවා. එතැනිනුත් විස්සක් නැතිනම් පනහක් මට ලැබුණා. මේ ලැබෙන සල්ලි මට රටක් රාජ්ජයක් වගේ ලොකුයි. හරියට අද රංගනයෙන් මං උපයන දෙයක් වගේම තමයි.

මගේ වීදි නාට්‍ය ජීවිතේ බර අම්මට තාත්තට උහුලන්න අමාරුයි. මට ඒ බව වැටහුණා. ඉතින් මං රස්සාවක් කරනවා. එකක් නෙවෙයි රස්සා ගණනාවක්ම. මුලින්ම හෝටල්වල වැඩ කළා. වෝෆ් ක්ලාක් කෙනෙක් විදියට හිටියා. රස්සාව ඉපයීමකට විතරයි. මගේ මුළු ජීවිතේම තිබුණෙ පාරේ වීදි නාට්‍ය කණ්ඩායම ළඟ.

දවසක් ආයතනේ ජී. එම්. මාව ගෙන්නුවා. එයාගෙ අතේ ලියමනක් තිබුණා. මං හිටි හැටියේ නාට්‍යවලට යන්න නිවාඩු ගන්නා විත්තිය ජී. එම්. දන්නවා. එතකොටත් මං ස්ථිර නෑ.

‘මේ තමුන්ගේ පත්වීමේ ලිපිය. මේක බාර අරගෙන හරියට වැඩට ඇවිදින් වැඩ කරනවද? නැත්නම් දිගටම නාට්‍යම කරනවද?’ එදා මං මගේ ජීවිතේ ලොකුම ඒකාධිපති තීරණය ගත්තා.

‘මං දිගටම නාට්‍ය කරනවා’

එදායින් ඉතින් රස්සාවත් හබක්.

දවල් රස්සාවල් එක්ක බෑ. රෑ වැඩක් හොයාගන්නවා. මට එහෙම හිතුණා. එහෙම රස්සාවක් හම්බවුණා. ඊළඟට මං ඩෝර්මන් කෙනෙක්. එතැන නීට් එකට ඇඳලා කරලා ඉන්න ඕනා. හොඳට නිදිත් මැරුවා. ඒත් පහුවදා කතාකරගත්ත වෙලාවට එන්නැයි කියපු තැනට මං යනවා. වීදි නාට්‍යයෙත් රඟපානවා. අවුරුදු තුනකට වඩා දෙයියනේ කියලා කරගත්ත එතැන රස්සාවටත් හෙනහුරා ලැබුවා.

‘ඔයා එක්කො හෙට ඔය කොණ්ඩෙ කෲ කට් එකට කපාගෙන එන්න. නැත්නම් ඔහොම්මම නතර වෙන්ඩ.’

මාසෙ පඩිය අතට දෙන ගමන් එතැන මැනේජර් මට එහෙම කිව්වා. රස්සාවට වඩා මට ලොකු වුණේ මගේ දිග කොණ්ඩෙ. ඒක රඟපාද්දි මට ඕන වුණා. රස්සාවට පයින් ගහලා කොණ්ඩෙ තියාගත්තා.

මං පහුවදා ගියේ තිස්ස සර්ගේ (තිස්ස අබේසේකර) ගෙදරට. කුකුළත් අතේ අරගෙනම ගිය මගේ ඇඟට කඩන් පැන්නේ කළු බලුතඩියෙක්. මං පණ එපෝ කියලා දිව්වා. දුවලා ගිහින් ඈතට වෙලා බලා හිටියා. කලබලේ එකලාසයක් වුණාම ආයෙමත් ගිහින් ගේට්ටුව උඩින් නිකට තිබ්බා.

‘පුතා හුනුපිටියෙ මුද්‍රා ඔෆිස් එකේ සර් ඉන්නවා ගිහින් හම්බවෙන්න.’ මැඩම් මට එහෙම කිව්වා. මං එහෙ ගියා. එදා එතැන තිස්ස සර් ළඟ අද සම්මානලාභී චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු හුඟ දෙනෙක් හිටියා.

මං ගිහින් රඟපාන්න කොටසක් ඉල්ලුවා. තිස්ස සර් එතැන හිටිය, අද ප්‍රසිද්ධ ටෙලි ඩ්‍රාමා ඩිරෙක්ටර් කෙනෙකුට කතා කළා

‘මේ ළමයට බලලා ඔය පොඩි කැරක්ටර් එකක් දෙන්නකෝ’. මගේ ඉහේ මලක් පිපුණ වගේ. ඒ ඇසිස්ටන් ඩිරෙක්ටර් මගෙ නම, ගම, වගතුග ලියා ගත්තා. මට දන්වනවයි කිව්වා. එදා ඉඳන් මං මාව හොයාගෙන එන්න කලින් පියුන්ව හොයාගෙන යනවා. ඔහොම ටික දවසක් ගතවෙද්දි මට ටෙලිග්‍රෑම් එකක් ලැබුණා. හවස 3 ට එන්න ඕන කරන තැන ඒකෙ තිබුණා.

ඉස්ඉස්සෙල්ලම රඟපාන්න හිතාගෙන මං හවස දෙකටත් කලින්ම එතැනට ගියා. ඒත් තුන පහුවෙලා රෑ අටවිතර වෙනකනුත් මං එතැන. ඒත් ඒක පාදුක්ක පැත්තෙ ෂූට් කරනවා කියලා මගේ කනට වැටිලා තිබුණා.

පාදුක්කට ගිහින් මං ලොකේෂන් එක හොයා ගනිද්දි රෑ එකොළහටත් කිට්ටුයි. ප්‍රඩක්ෂන් ටීම් එකම මාව දැකලා පුදුම වුණා. එයාලට එදා මේ නිරෝෂන් විජේසිංහ කියන වීදි නාට්‍ය නළුවාව ගන්න අමතක වෙලා තිබුණා. තිස්ස සර්ගෙ ‘පිටගම්කාරයෝ’ ටෙලියෙ බොරැල්ලෙ හන්දියෙ දර්ශනයකට ඉන්න තරුණයො තුන්දෙනාගෙන් කෙනෙක් වුණේ, ඔහොම අතනෑර මං ගිය ගමනෙ මගේ ජීවිතේ මුල්ම රංගනේ.

ආනන්ද එස්. විජයසිරි මට වේදිකාවට එන්න අතදීපු අතීතයත් හැමදාටම මට සුන්දරයි.

සිහින වසන්තය ටෙලිය ළඟත් මට නොනැවතීම බැහැ. පොඩි චණ්ඩිපහේ සීන් එකකට මං හිටියේ ගඟ මැද. සපත්තු පිටින්ම මං පීනගෙන එනවා. ඇවිදින් ගොඩ ඉඳන් වතුරට පැනලා පීනලා යනවා. සීන් එක ෂූට් කරන්න හිටියේ ඔහොමයි.

සංජය නිර්මාල් මුලින්ම ගොඩ හිටිය කට්ටියට කිව්වේ පීනන්න බැරි කට්ටිය මං ගොඩ එන්න කිට්ටුව දුවන්න. අනිත් අය ගුටිකාලා වතුරට වැටෙන්න කියලයි. ඒත් පීනන්න බැරි අලුත් මල්ලි කෙනෙක් මාත්එක්ක ෂූට් කරන ඒ දර්ශනයට ඉන්න ආසාවට එතැන ඉඳලා. එයත් මගෙන් ගුටිකාලා වතුරටත් වැටිලා. ඒත් මං දැක්කෙ නෑ. පස්සෙ මං වතුරට පැනලා බලද්දි කාගෙදෝ කොණ්ඩයක් යන්තමට යටයනවා එනවා පෙණුනා. මං සැකේට කිට්ටු කළාම අනිත් කීපදෙනෙකුත් ඇවිදින් බැලුවා. අපි එයාව ඉක්මනට ගොඩ ගත්තා.

සමහරු ඒ මල්ලිට දොස් කිව්වා. මැරෙන්න හදනවද? අපිවත් ආමාරුවෙ දාන්න හදනවද ඇහුවා. ඒත් මං එහෙම අහන්නේ කොහොමද? එයත් එහෙම කරන්න ඇත්තේ මං වගේම රංගනයට එන්න තියෙන ආදරේට.

‘ඔහුට මුවාවී පාසැල් යන්නේ මා දැයි නිකමට මට සිතුණා’ මට ඒ සින්දුව මතක් වුණා.”