|
තිස්ස සර් චමිල පුතා ගැන කතා කරයි
මෙවන් ගරු ගුරුවරු - රටට සැපතකි නිරතුරු
පරිසරයෙහි තිබුණු නිසල බව ටිකෙන් ටික බිදුණා. ඒ මොරටුව වේල්ස් කුමාර විදුහලේ ගේට්ටුවෙන් ඇතුල්වන කොලු ගැටව් නිසා. තිස්ස සර් ඇඳ ඇඳ ඉන්න සිතුවමෙන් නෙත ඉවතට ගත්තේ ඉබේම වගේ. ‘සුදු කිරි කොක් රෑනක් වගේ’ පෙළට දුවන කොලු පැටව් දෙස බලාගෙනම ඔහු සිතුවා. ‘සර් අද නාට්‍ය පුරුදු වෙන්නෙ කීයටද?’ ළඟටම දුවගෙන ආව කොලු පැටියෙක් ඇහුවෙ නිශ්ශබ්දව ඈත බලාගෙන සිටිය ගුරුතුමාගෙන්. ගුරුතුමා ඈතින් රැඳුණු නෙත ඔහු අසල රැඳෙව්වා. ඒ ඇසිල්ලේ දුවගෙන ආවේ සමනල පැටව් වන් කොලු පැටව් කණ්ඩායමක්. ‘සර්, සර් චමිලට හොඳට සින්දු කියන්න පුළුවන්’ එහෙම කිව්වේ කටකාර පොඩ්ඩෙක්. තිස්ස සර්ට හොඳටම හිනා. ‘අපි බලමු එහෙනම් ඒ ළමයා කවුරුන්ද කියලා’ තිස්ස ගුරුතුමා ගේ උනන්දුවෙන් දිරිමත් වුණු පොඩ්ඩෝ ටික දිව්වා . ඒ අර සින්දු කියන පොඩ්ඩා සොයාගෙන. වැඩි වෙලාවක් නෙමෙයි ගියේ. බොහොම සුන්දර මලක් වගේ පොඩ්ඩෙක් තිස්ස ගුරුතුමා ළඟ හිටියෙ හිනාවෙවී. ‘මම ජගත් චමිල සර්’ ගුරුතුමා ගේ හිත හඳුනා ගත්තා වගේ අලුත් පොඩ්ඩා උත්තර බැන්ඳා. ‘එහෙනම් කියමු බලන්න සිංදුවක්’ කිව්ව පමාවෙන් චමිලගෙ කටින් පිටවුණේ ගුරුතුමාගේ කලින් නාට්‍යයක ගීතයක්. බොහොම අපූරුවට ඔහු ඒ ගීතය ගැයුවා. ඒ විතරක් නෙමෙයි තිස්ස ගුරුතුමාගේ සිත අර ගන්නත් මේ පොඩ්ඩට හැකිවුණා. ඒ මීට වසර කිහිපයකට උඩදියි. එතකොට චමිල හිටියේ හයේ පංතියේ. හයේ පංතියේ හිටිය ඒ චමිල පසුගියදාක ලංකාවට අපූරු සම්මානයක් අරගෙන ආවා. ඒ ඇමෙරිකා නිව්යෝක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී. හොඳම නළුවාට හිමි සම්මානයත් තුරුලු කරගෙන ආව ඔහු කියන කතා අතර ඔහුත් හිටියා. ‘තිස්ස ගුණවර්ධන’ ඒ ජගත් චමිල නම් දක්‍ෂ, තරුණ රංගන ශිල්පියා ගේ ගුරුතුමා. ‘සැමී ගේ කතාව‘ට ලැබුණු සම්මානයත් තුරුලු කරගෙන හිටිය චමිල ගුරුතුමා ගේ පා සිප ගත්තා. දෙදෙනාගේම ඇස්වල තිබුණු සතුටු කඳුළු දෝරේ ගැලුවා. මේ දෝරේ ගැලුව සතුටු කඳුළක අසිරිය බලන්න අපි මොරටුව වේල්ස් කුමාර විදුහලට ගියා ජගත් චමිල ගේ ගුරුතුමා සොයාගෙන. එදා වගේම අදත් විදුහලේ සුදෝ සුදු කොක් රෑනක් වගේ කොලු ගැටව්ත් එහා මෙහා ගියා. ‘තිස්ස සර්ගේ කාමරය කොතනද’ අපි ඇහුවේ දඟකාර කොලු පැටියෙකු ගෙන්. ‘අර තියෙන්නේ’ කාමරයක් දෙසට අත දික් කළ ඔහු කිව්වේ අපි ළඟ රෑඳෙන්න අකමැත්තෙන් වගේ. ‘ඒක තරමක විශාල කාමරයක්’. මට හිතුණේ ඉබේටමයි. මුළු කාමරය පුරාම තිබුණ බොහෝ දේ අතර මගේ නෙතත් නතර වුණා. විශාල ප්‍රමාණයේ සිත්තම් රැසක්. තවත් තැනක තිබුණේ මූර්තියක්. නාට්‍ය කිහිපයකම නැඟුව සිතුවම් කිහිපයක් බිත්ති දිගේ බලාගෙන හිටියා. ඒ අතර බිම ඉඳලා එසැවුණු එක් සිතුවමක හිටියේ ජගත් චමිල. එතනම ළඟ තිබුණේ උස කැබිනෙට්ටුවක්. ඒක උඩ සම්මාන රාශියක් පිරිලා. ඊළඟට මගේ නෙත නතර වුණේ මේ අපූරු සෞන්දර්ය වාදියා අසල. කිසිම හැල හොල්මනක් නැතිව ඔහු බලාගෙන හිටියා. සිය ඇඟිලි තුඩුවලට හසුකර ගත් පින්සලත් අත ඇතිව. ඔළුව උස්සලා බැලුව ඔහු ගේ මුවඟ සිනාවෙන් හැඩ වුණා. ‘එන්න එන්න’ සිනහව අතරින් ම ඔහු කිව්වා. තරමක විශාල මේසයක් ළඟ වාඩිවෙලා හිටිය මේ අපූරු මිනිසා අසලටම අපි කිට්ටු වුණා. ‘ඒ දරුවට මෙතෙක් හරි අගැයීමක් ලැබුණේ නැහැ. අපිට හිටිය දක්‍ෂ දරුවෙක් තමයි ජගත් චමිල කියන්නේ’ සිය ගෝලයාගේ දස්කම් පිළිබඳව ඔහු පැවසුවේ තෘප්තිමත් හඬකින්. ‘චමිලව මම දන්නේ පුංචි කාලේ ඉඳලා. එයා බොහොම අපූරු ළමයෙක්. පාසලේ බොහොමයක් ළමයි මමත් එක්ක බොහොම යාළුයි. ඒ යාළුකම නිසාමත් නාට්‍යයට, සංගීතයට, චිත්‍ර කලාවට, මූර්තියට තිබුණු ඔවුන්ගේ ළැදියාවත් මා අසල රැඳෙන්න හේතු වුණා. විශේෂයෙන්ම නාට්‍යවලට ළමයින්ගේ සිත බොහෝ සේ ඇදිලා ගියා.’ තිස්ස ගුණවර්ධන ගුරුතුමාගේ ගම ඉඳුරුව. ඔහු පාසල් ගියේ ඇල්පිටිය ආනන්ද විදුහලට. ඒ කාලයේ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශය තිබුණේ පරණ නිවෙසකයි. පොල් අතු හෙවිළි කළ මඩුවක් හැදුවේ ඒ ගොඩනැගිල්ලේ ඉඩ මදි වුණ නිසා. අවුරුද්දක් දෙකක් ඇල්පිටිය පාසලට ගිය තිස්සට කළුතර විද්‍යාලයට යන්න වෙන්නේ හදිසියේ. ඒ ඔහුගේ තාත්තට ලැබෙන මාරුවත් සමඟයි. කළුතර විද්‍යාලයට අකුරු කරන්නට ගිය තිස්ස විෂය කරුණු වගේම නාට්‍ය, සංගීතය, චිත්‍රත් ඉගෙන ගත්තා. කාලය ගෙවිලා ගියා තිස්ස බොහොම දක්‍ෂයා. ගුරුවරු කිව්වේ එහෙමයි. ඒ කතාව හැබෑ කරමින් තිස්ස ලිව්ව එස්. එස්. සී. විභාගේ මහ ඉහළින් පාස් වුණා. ‘මගේ පළමු පත්වීම ලැබුණේ මොරටුව විදුහලටමයි. මම මේ පාසලට මුලින්ම එන්නේ චිත්‍ර ගුරුවරයෙක් විදිහටයි’ අද වගේ නෙමෙයි එදා. පරිසරය වුණත් එහෙමයි. මේ හරියේ ඒ දවස්වල පොල්ගස් ගොඩක් තිබුණා. විවිධ අකටයුතුකම්වලට වගේම වැරදි ඇබ්බැහිවීම්වලට ළමයි ඇබ්බැහි වෙලා හිටියා. මට ඕන වුණේ පාසල් එන මේ ළමයින් ටික මේ වගේ නරක ඇබ්බැහිවීම්වලින් මුදා ගන්නයි. ඒ නිසයි මම ළමයින්ගේ සිත පාසලේ ඉගෙන ගන්න කටයුතුවලට වගේම බාහිර කටයුතුවලටත් ඈඳා ගත්තේ. සංගීතය, නාට්‍ය, චිත්‍ර කියන්නේ ඒ මගට අපූරු ඔසුවක්. ඒ ඔසුව මඟින් මම මේ මල් වගේ ළමයි වගේම තරුණ ළමයින් ගේ සිතත් සුවපත් කළා.’ පාසල් කාලය අවසාන වීමේ බෙල් එක වැදුණා. ළමයින්ගෙන් බොහෝ දෙනෙක් තිස්ස ගුරුතුමාගේ කාමරයට ගියා. ඒ බොහොම කැමැත්තෙන්. තිස්ස ගුරුතුමා කියන්නේ දැනුම් සාගරයක්. ඒ දැනුම් සාගරයෙන් ටිකෙන් ටික තමන්ගෙ ළඟ ඉන්න ළමයින්ට ඔහු කියා දුන්නා. ‘මුලින්ම මම ඔවුන්ට කියා දුන්නේ තමන්ගේ සිත පාලනය කරන විදිහයි. ඒ සඳහා මම ඔවුන්ට භාවනාව ප්‍රගුණ කෙරෙව්වා. ඕනෙම කෙනෙක් ආධ්‍යාත්මිකව යහපත් පුද්ගලයෙක් වෙන්න ඕන. සිතෙහි එකඟ බව තමන් කරන වැඩවලට බොහොම අවශ්‍ය දෙයක්. බුදුන් වැඳලා පටන් ගන්න භාවනාව අවසානයේ දීයි පාඩම ආරම්භ කරන්නේ. ඒ කාලයේ ලෝකයේ තිබුණ විවිධ නාට්‍ය පිළිබඳව මම ඔවුන්ට කියා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ චිත්‍රපට, නාට්‍ය ගෙන්වාගෙන නරඹන්න අවස්ථාව ඔවුන්ට හදලා දුන්නා. අවසානයේදී ඒ රංග උපක්‍රම, රංගනය පිළිබඳව අපි කතා කළා. සංවාද ගොඩ නැ¼ගුවා’. මේ විදිහට හවස ඉස්කෝලෙ දිගටම කරගෙන ගියා. මේ අතර හිටිය ජගත් චමිලත් තිස්ස ගුරුතුමාගේ හොඳ ගෝලයෙක් වුණා. ඒ කාලයේ ඔහු වේදිකාවට ගෙනා මොනරවිල, වාඩිය, සමනල කන්ද වගේ නාට්‍ය ප්‍රේක්‍ෂකයන් අතර බොහොම ජනපි‍්‍රය වුණේ බලාගෙන ඉදිද්දී. ‘මගේ බොහෝ නාට්‍යවල ජගත් චමිල රඟපෑවා. රඟපෑමට වගේම ගීත ගැයීමටත් චමිල හරි හපනෙක්. බොහොම සංයමයෙන් යුතු තරුණයෙක්. කවදා හරි දක්‍ෂ රංගන ශිල්පියකු වීමේ හැකියාව ඔහු ළඟ තිබුණා. ඔවුන්ව ඒ ඒ අංශයන්ට යොමු කරන්නට පෙර මම විවිධ ක්‍රියාකාරකම් දී අත්හදා බලනවා. එක් දිනෙක ඔහුට මම කැටයමක් කපන්නට දුන්නා. ඔහු කොයිතරම් සංයමයෙන් ඒක කරනවද කියලා බලන්නයි මට වුවමනා වුණේ. ඔහු ඒ රූපය හරි අපූරුවට මතුකර ගත්තා. ඔහු හොඳ චිත්‍ර ශිල්පියෙක්. මූර්ති ශිල්පියෙක්. මා එදා ඇති කළ ඒ සංයමය, ආධ්‍යාත්මික බැඳීම තවමත් ඔහු ළඟ තිබෙන බව මා දන්නවා. අවසානයට රඟපෑවේ ඔහු මගේ දුටුගැමුණු වේදිකා නාට්‍යයේ. ඔහු දුටු ගැමුණු රජු වෙනුවෙන් කළ ඒ කැප කිරීම අද වගේම මට මතකයි. නිතරම ඔහු මා මුණ ගැහෙන්න එනවා. ගුරුවරුන් පුදන්නත්, ගෞරව දක්වන්නත් ඔහු බොහොම කැමැති තරුණයෙක්. බොහෝ දෙනෙකුට මුල අමතක වෙන අද වගේ කාලයක මගේ දරුවො අපූරු දරුවො ටිකක්. ශ්‍රීනාත් මද්දුමගේ, කංචන කොඩිතුවක්කු, අශේන් මංජුල, වයලීන් වාදකයෙක් වුණු රුවන් වීරසේකර ඇතුළු අද ක්‍ෂේත්‍රයේ සිටිනා බොහොමයක් දරුවන් මගෙන් ඉගෙනගත් අයයි’. සිය දරුවන්ගේ හැකියාවන් දැක තිස්ස ගුරුතුමාට ඇත්තේ සැබෑ සතුටක්. වසර පනස් තුනක ගුරු ජීවිතයේම ලැබූ මේ සතුට තරම් වෙනත් සතුටක් ඔහුට තවත් නෑ වගෙයි. කාලයක පටන් කටුබැද්ද තම පදිංචිය කරගත් තිස්ස ගුරුතුමා තවමත් පාසල් එනවා. ඒ එදා වගේම අදටත් ළමයින්ට ඇති ආදරය නිසා. එදා බිහි කළ ජගත් චමිල වගේ පොඩ්ඩෙක් අද බිහි කරන්නට හිතාගෙන. ‘ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත ළමයෙක් දිනක ජීවිතය දිනාවි. ඒ සතුට ඇති ජීවිතයේ මියෙන තුරාවටම’ සමුගන්නට මත්තෙන් ඔහු කිව්වේ හදවතින්මයි. පරණ පුරුදු කාමරයට වෙලා ඉන්න ඔහු අසල වෙනදා වගේම පොඩ්ඩෝ පිරිලා ඉතිරිලා. ඒ මේ අපූරු ගුරුතුමාගේ ඇසුරේ ගෙවන ජීවිතයට ඔවුන් බෙහෙවින්ම ආදරය කරන නිසා. ‘ගුරුතුමනි, ඔබට ආයු බෝ වේවා’. සමුගන්න මොහොතේ අපි කිව්වේ, මෙවන් ගුරුවරු අදට වගේම හෙටටත් අපට ජීවිතේටත් වඩා වටින නිසයි.
|