වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිස්සු බලන්නේ නැත්නම් මොන සම්මානෙ ලැබුණත් වැඩක් නෑ

මිනිස්සු බලන්නේ නැත්නම් මොන සම්මානෙ ලැබුණත් වැඩක් නෑ

අමුතු මිනිස්සු හැදූ අමුතු මිනිසා රො ෂා න් කු රු ප් පු

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වන ‘අමුතු මිනිස්සු’ අමුතුම මාදිලියේ ටෙලි නාට්‍යයකි. ඉතා අවධානයෙන් නැරැඹිය යුතු මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය රොෂාන් කුරුප්පු නම් අධ්‍යක්ෂවරයාගේයි. 2003 වර්ෂයේදී ‘ආදරණීය අම්මා’ ටෙලි නිර්මාණය ඔස්සේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පණ පොවන ඔහු මේ වන විට ‘මිහිදුම් සෙවනැලි’, ‘වැටෙන් එහා’, ‘බාලොලි’ ආදී නිර්මාණ කිහිපයක්ම පුංචි තිරයට රැගෙන පැමිණි අයෙකි. මේ පැමිණි ගමනේ දී හේ ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේදී හොඳම සහාය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබීමට තරම් වාසනාවන්ත වෙයි. මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය පිළිබඳ ‘සරසවිය’ රොෂාන් කුරුප්පු සමඟ කළ කතාබහකි.

* ‘අමුතු මිනිස්සු’ ටෙලි නාට්‍යය බිහිවීමේ පසුබිම ඔබේ සිතෙහි පිළිසිඳ ගන්නේ කොහොමද?

‘මුලින්ම ‘පිටස්තරයා’ කියන කෘතිය කියැවීමත් සමඟ ඇතිවුණු හැඟීම බොහොම ප්‍රබලයි. මේ කෘතිය ආශ්‍රය කර ගනිමින් නිර්මාණයක් කළ යුතු යැයි කියන හැඟීම ඇරැඹෙන්නේ එතැනදි. ඒ වගේම මෙහි තිබෙන දර්ශනය පිළිබඳවත් යම් හැඟීමක් මට දැනුණා. සන්දෘෂ්ටිකවාදය කියන දර්ශනය හැදෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සිදුවුණු මිනීමැරීම්, මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩවීම් ආදී මානුෂීය කාරණා ඔස්සේයි. මේ දර්ශනය අපේ රටටත් වඩා උචිත බව මට වැටහුණා. පසුගිය කාලයේ දී අපේ රටේ තිබුණේත් යුද්ධයක්. යුද්ධය කියන්නේ දේශපාලන වශයෙන් වගේම බොහෝදෙනා අතර කතාබහට ලක්වුණු තත්ත්වයක්.

ඒ යුද්ධයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු අතර බිඳ වැටුණු මානුෂීය සබඳතා හා හුදකලා වූ මිනිස්සු අතර නැවත මානුෂීය සබඳතා ඇති කිරීමට යම් උදව්වක් වන නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා මා සිත සිතයි හිටියේ. ඒ අතරෙදියි මේ නිර්මාණය මගේ සිතට පැමිණියේ. කාලයක් තිර පිටපත ලියමින් සිටිය අමුතු මිනිස්සු ගැන මගේ මතකයට නැගුණේ.

මුලින්ම ගාල්ල ප්‍රදේශයේ පසුතල නිර්මාණය සඳහා තෝරාගෙන තිබුණත් ඇතිවුණු විවිධ ගැටලු නිසා ඒ අවස්ථාව මඟ හැරී ගියා. නැවතත් ඒ අදහස කරළිියට එන්නේ රන්මිහිතැන්න දුටුවට පස්සේ. ඒ ප්‍රදේශය මේ නිර්මාණයේ පසුබිමට හරියටම හරි ගියා. සෑම කාරණයක්ම සම්පූර්ණ වීමේදී නිර්මාණයට කැමැත්ත පළ කළ නිෂ්පාදකවරයා පිළිබඳත් සිහිපත් කළ යුතුමයි. ඔහු සියලු බර පැන දැරුවේ, නිර්මාණය මට අවශ්‍ය විදියට කරගෙන යෑමේ ඉඩහසර පාදමින්. කාලය අරගෙන නිර්මාණය වඩාත් හොඳින් කිරීමේ වගකීම මට භාර වුණා. එවැනි කෙනෙක් හමුවීමයි මේ නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වන්නේ. අමුතු මිනිසා බිහිවන්නේ ඔය වගේ පසුබිමකයි.’

* ‘අමුතු මිනිසා’ තිරපිටපත ලිවීමේදී ඔබ ඊට පාදක කර ගන්නේ ඇල්බෙයා කැමූගේ Outsider (පිටස්තරයා) යන කෘතියද?

‘ ලංකාවට ඔබින විදියට ඒ පිටපත සැකසුණා. ඒ පොතත් අනුසාරයෙන් වගේම මගේ සිතේ නිර්මාණය වුණු චරිතත් මේ නිර්මාණයේ තිබෙනවා. සාජන් අංකල්ගේ චරිතය ඒ වගේ චරිතයක්. ඒ පොත බොහොම පුංචියි. කැමූ කියන්නේ ඒකට කෙටි නවකතා කියලා. මට උවමනා වුණේ ඒ දර්ශනයේ තිබෙන දර්ශනය ගැන කතා කරන්නයි. ඊට අවශ්‍ය ආකාරයට මම චරිත වෙනස් කළා. මේ දර්ශනය පිළිබඳව කියැවෙන වෙනත් පොත්වලින් පවාගත් බොහෝ දේ මා මේ නිර්මාණයට එකතු කළා. ‘අමුතු මිනිස්සු’ කියන්නේ ‘පිටස්තරයා’ම නෙවෙයි.’

* මෙතෙක් ප්‍රේක්ෂකයන් නරඹන මුළුතැන් ගෙයි සිට සවන්දීමේ ටෙලි නාට්‍ය කලාව වෙනුවට රූපවාහිනිය ඉදිරිපස ඉදගෙන ටෙලි නාට්‍යය නැරැඹිය යුතු යැයි කියන කියමන ‘අමුතු මිනිස්සු’ මඟින් ඔබ පුංචි තිරයට ගෙනෙනවා. ඒක කළේ කොහොමද?

‘ටෙලි නාට්‍යයක් කිරීමේදී මට මූලිකව එල්ල වූ අභියෝගය තමයි ඒ. කොහොමද කුස්සියේ ඉඳගෙන ටෙලි නාට්‍ය නරඹන කලාව වෙනස් කරන්නේ කියන එක. ටෙලිවිෂනය කියන දේ මම හඳුන ගන්නේ ධනෙෂ්වර ක්‍රමයේ මාධ්‍යයක් විදියටයි.

එය වෙළෙඳ මාධ්‍යයක්. එහෙමත් නැත්නම් එය ප්‍රවෘත්ති මාධ්‍යයක් කියලා තමයි හැමෝම කියන්නේ. තවත් සමහරු ඉන්නේ ටෙලිවිෂනයෙන් කලාව කරන්න බැහැ කියන මතයේ. නමුත් මම ඒ අදහස පිළිගන්නේ නැහැ. දැනට රූපවාහිනිය කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු වැඩිපුරම නරඹන මාධ්‍යයක්. එතකොට එවැනි මාධ්‍යයක් කොහොමද කලා මාධ්‍යයක් ලෙස හරවා ගන්නේ කියන අභියෝගය මා ඉදිරියේ තිබුණා. මට සිතුණ දෙයක් තමයි අපට මේ මාධ්‍යයේ තිබෙන වපසරිය පාවිච්චි කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න පුථවන් ය කියන මතය. ඒ හරහා එකවර මිනිස්සු ගොඩකට ආමන්ත්‍රණය කළ හැකිය යන මතයේයි මා සිටියේ.

ඒ නිසා රූපවාහානිය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්. අනිත් කාරණය වෙන්නේ මේ මාධ්‍ය ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයක් වීමයි. ඒ ඔස්සේත් මේ මාධ්‍ය වඩාත් ප්‍රබල වෙනවා. බොහෝ දෙනෙක් ටෙලි නාට්‍ය කරන්න එන්නේ ගුවන් විදුලි නාට්‍යවලින් කියලයි මට නම් හිතෙන්නේ. ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාට්‍ය කරමින් සිටිය බොහෝ දෙනෙක් ඒවා කරන අතරේ රූපවාහිනියට ආවා. මේ වගේ ටෙලි නාට්‍ය බිහිවීමේ හේතුව මා දකින්නේ එහෙමයි. ඒක ලංකාවේ වුණ ලොකුම වැරැද්දක්.

ඔවුන් අතරේ සිටිය මට උවමනා වුණේ රූපය හා ශබ්ද යොදාගෙන නියම ආකාරයෙන් ටෙලිවිෂනය පේ‍්‍රක්ෂකයන් අතරට රැගෙන යාමයි. පෙට්ටිය පුංචි වුණත් මේකෙ පේන්නේ රූප. රූප හරහා හොඳ තේමාවක් දුන්නොත් මොන මාධ්‍යයක් වුණත් අපට ඕන විදියට හසුරුවා ගන්න පුළුවන් නම් ඒක අපූරු කටයුත්තක්. ඒ මගින් කුස්සිියේ සිටින ඒ අයට රූපවාහිනිය ඉදිරියට ඇවිත් බත් කකා හෝ රූපය බලන්න පුරුදු කළොත් මේ රූප පෙළ සවිඥානිකව හෝ ඔවුන්ගේ ඔළුවට යනවා. මේ නිසා ඔවුන්ව එතනට ගෙනෙන්නයි අපි ටෙලි නාට්‍ය කළ යුත්තේ. මේ මතය සනාථ කරන්නයි මා අමුතු මිනිස්සු නිර්මාණය කළේ.’

* සන්දෘෂ්ටිකවාදය ඔස්සේ බිහිවන බොහෝ නිිර්මාණවල දකින්නට ඇත්තේ සිතුවිලි විවරණයි. ඒ සිතුවිලි රූපයට නැඟීමේදී හා ඒ රූප කතා කිරීමට සැලැස්වීමේදී ඔබට එල්ල වූයේ මොන වගේ අභියෝගයක්ද?

‘මිනිහෙක් හිතන එක තවත් මිනිහෙකුට රූපයෙන් දනවන්නේ කොහොමද කියන එක බොහොම අමාරු කාරණයක්. මට ඒක ලොකු අභියෝගයක් වුණා. ඒ සඳහා මම කාලයක් ගත්තා. කාලය ඇතුළේ මා මටම ආවේණික රටාවක්, කලාවක් නිර්මාණය කර ගත්තා. යම් මනුස්සයෙක් දිහා බලාගෙන ඉන්න කොට අපට හිතන්න පුළුවන් මේ මනුස්සය හිතන්නේ මොකක්ද කියලා. ඒක කොහොමද රූපයට නඟන්නේ කියන දේ තමයි මා මේ නිර්මාණයෙන් සිදු කළේ. මේක තාක්ෂණික උපක්‍රමයක්. අපි සමීප රූපයක් අරගෙන ඒකට ඊළඟ රූපය ඇමුණුවාට පස්සේ එන අර්ථය මොකක් ද,කියන එක හරියටම හිතෙන්න ඕන. ඒ ආකාරයෙන් තමයි ටෙලි නාට්‍යයෙහි රූප පෙළ නිර්මාණය වෙන්නේ. මේ විදියට ආහාර දාමයක් වගේ ටෙලි නාට්‍යය මගේ ඔළුවේ ජීවත් වුණා. ඒකට ෆාහිම් මවුජූඩ්ගෙන් වගේම කැමරා ශිල්පියාගෙන්, නළු නිළියන් ඇතුළු මුළු කණ්ඩායමෙන් ලැබුණ සහයෝගය අගය කළ යුතුයි.’

* ‘අමුතු මිනිස්සු’ නරඹන අයෙකුට ටෙලි නාට්‍යයෙහි සෑම කොටසක්ම බොහොම වැදගත්. ඒ සිද්ධි දාමය දම්වැලක පුරුක් වගේ. එක් කොටසක් මඟ හැරී ගියොත් කතාව තේරුම් ගත නොහැකි තරම්. ටෙලි නාට්‍යය සතියෙහි දවස් පහේම විකාශය කිරීම මගින් යම් අසාධාරණයක් නරඹන්නන්ට සිදු වනවා නේද?

‘ලංකාවේ ආයතනවල ඉන්න මිනිස්සු තෝර ගන්න දන්නේ නෑ. නිර්මාණවල ගුණාත්මකභාවය මොකක්ද? මේක ගැළපෙන්නේ කොතැනටද කියන කාරණය පිළිබඳ ඔවුන්ට කිසිම වටිනාකමක් නැහැ. ‘අමුතු මිනිස්සු’ කරලා මම අත්වින්ඳ දේ තමයි නැවත මට අමුතු මිනිස්සු වගේ නිර්මාණයක් කරන්න ලැබෙන එකක් නෑ කියන කාරණය . ඒ නිර්මාණයට මම වින්ද දුක, මම කරපු කැපකිරීමට නාලිකාවක් විදියට මට වටිනාකමක් දුන්නේ නෑ. එකක්, මුදල්මය වටිනාකමක් මට දුන්නේ නෑ. ඇත්තටම නිෂ්පාදකට ලක්ෂ පනස් හතක් පාඩුයි. ඒ පාඩුව තියෙද්දිත් අපි නාට්‍ය ඔවුන්ට දුන්නේ ගොඩක් කාලයක් තියාගෙන ඉන්න වෙන හින්දයි. නාට්‍යය ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට සුදුසුය කියන අවසරය ලැබිලා පෝලිමේ මම අවුරුදු දෙකක් හිටියා.

ඒත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන්, නාමල් රාජපක්ෂ මැතිතුමා වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහත්තයගේ මැදිහත්වීමෙන් තමයි ටෙලි නාට්‍ය පෙන්වීමේ අවස්ථාව මට ලැබෙන්නේ. ඒ මුළු රන්මිහිතැන්නම යොදාගෙන කළ පළමු නිර්මාණය නිසයි. එහෙම තියෙද්දිත් මට දෙන්නේ දිනපතා බෙල්ටෙකක්. මේක මම දිනපතා යන රිදම් එකකට කළ නිර්මාණයක් නෙවෙයි. කලින් කිව්වා වගේ කලා මාධ්‍යයක් විදියට ටෙලිවිෂනය තියා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ අර එතැන ඉන්න රාජ්‍ය නිලධාරීන්ට දැනුමක් ඇත්තේ නෑ.

ඒ මිනිස්සුන්ට මේ නාට්‍ය තවත් එක් ටෙලි නාට්‍යයක් විතරයි. ඒ නිර්මාණයට, අඩු ගාණක් ගෙවලා, ඉතාම අඩු ගණනට අරගෙන දිනපතා විකාශය කරලා කරන හානිය ඔවුන් දන්නේ නෑ. මිනිස්සු ටෙලිවිෂනය නරඹන්නේ ඒ පිළිබඳ යම් විශ්වාසයක් තියලා. මේ වගේ කටයුතුවලින් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ විශ්වාසය පළුදු වීමයි. නාට්‍යය දිගටම නරඹන්න අවශ්‍ය කෙනෙකුට ඒක බලන්න බැරිව ගියොත් සිද්ධ වෙන්නේ අපරාධයක්. ඕනෑම කෙනෙකුට අද තිබෙනා කාර්යබහුලත්වයත් එක්ක එහෙම හැමදාම එක දිගටම නාට්‍ය නරඹන්න වෙන්නේ නෑ. දිගටම නාට්‍ය පෙන්වීමෙන් ඔවුන් කරන්නේ වැරැදි වැඩක්. මේ වගේ ටෙලි නාට්‍යයක් දිනපතාම යැවිය යුතු නාට්‍යයක් නෙවෙයි.

එහෙම නොවෙන්නයි කමිටුවක් තියෙන්නේ. කමිටුව නිර්මාණයට උපරිම ලකුණු ප්‍රමාණයක් දීලා අනුමත කළාට පස්සේ නිර්මාණය විකාශය කරන්න වෙලාව නියම කරන අය බලන්න ඕන මේක මොනවගේ වැඩක් ද කියලා. මේක පෙන්විය යුත්තේ කොතැනටද කියලා. සමහර විට මම දන්නේ නෑ ඔවුන් මට වඩා දැනුමක් තිබෙන අය නිසා මේක මේ විදියට විකාශය කරන්න තීරණය කළා ද කියලා. ඒකෙන් වෙන්නේ මගේ නිර්මාණය මිනිස්සු බලන්නේ නැතුව යාමයි. මිනිස්සු බලන්නේ නැත්නම් මට මොන සම්මානයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ නිසා අන්තර් ජාලය ඔස්සේවත් ටෙලි නාට්‍ය නරඹන්න කියලා මා නරඹන්නන්ට ආරාධනා කරනවා. මේ ටෙලි නාට්‍ය සංගත තැටියක් මඟින් එළිදැක්වීමේ අදහසක් ද අප සතුයි. ඒක ඉදිරියේදී සාර්ථක වේවි යැයි සිතෙනවා.