|
කොල්ලගේ වේලපත් කඩේ බැලුවොත් හොඳයි 07
ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය
13 වැනි සියවසේ දඹදෙණිය රාජධානිය කර විසූ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිත ජන ප්‍රවාද පාදක කොටගෙන ආචාර්ය සෝමරත්න දිසානායක විසින් ලියන ලද තිර නාටකය ඇසුරෙන් සරසවියට විශේෂයෙන් ලියන නවකතාවයි මේ. නායක හිමිපාණන් උන්නේ ගම්වැසියන් කිහිපදෙනෙකු සමඟ කතා බස් කරමිනි. ළඟ එන කටින පින්කම හොඳීන් කරන්නට උන්නාන්සේ සිතා ගෙන සිටියේය. හරියටම මේ වේලාවට රාජ පුරුෂයා නැතහොත් පතිරාජ සෙනෙවි සැපත් විය. ඔහු ගැමියන් මැදට නොපැමිණියේය. හිමි නමට පෙනෙන්නට පන්සල් වත්තේ සැරි සැරුවේය. නා හිමිපාණන් ගැමියන් සමඟ කතාබහ මදකට නවතා පතිරාජ සමීපයට වැඩියේය. පතිරාජට එන්නට යැයි පණිවිඩයක් යැවුවේ ද නාහිමිපාණන් ය. මම එන්න කිව්වේ වැදගත් පණිවිඩයකට" නා හිමිපාණන් කෙලින්ම කාරණාවට බැස්සේය. "අර ගමරාළගේ කොලුවා" ඒ ඇසෙත්ම පතිරාජ කලබල වූයේය. '' අපේ හාමුදුරුවනේ ප්‍රශ්නයක්ද? '' ඔහු ඇසුවේ එබැවිනි. '' නැහැ. රාජ පුරුෂයා ඇයි කලබල වෙලා. ඌ අකුරු සාත්තරේට හරි දස්සයි. මගේ ගාව තියෙන පොත්පත් ඔක්කොම ඒකා කියවලා ඉවරයි. මූට වැඩිපුර ඉගෙන ගන්න අපි උදව් කරන්න ඕනෑ. රාජ පුරුෂයා " හිමිපාණන් කියා සිටියේය. විජයබා රජතුමා රටේ උගතුන් වැඩි විය යුතු යැයි නිතර කියන්නකි. එබැවින් සෑම පන්සලකම දරුවන්ට අකුරු කියා දිය යුතු යැයි කියා සිටියේය. ඒ සඳහා උදව් උපකාර ද නොපැකිළව කරන්නට රජු මැළි වූයේ නැත. '' අපේ සංඝරාජ හාමුදුරුවෝ ළඟට කොල්ලව ගෙනි යන්න ඕනෑ." පතිරාජ ද එයට එකඟතාවය පළ කළේය. දරුවාට උගන් වනවාට වඩා සෙසු දරුවන් මෙන් කුඹුරකට හේනකට යැවීමෙන් වඩා ප්‍රයෝජනයක් ගත හැකි යැයි ගමරාළ සිතුවේ නම් එය දරුවාට නරකකි. මහණ කරන්නට ඉල්ලුවද එයට ගමරාළගේ එතරම් කැමැත්තක් නොතිබුණි. රෙදි නැන්දාගේ දරුවා වුවත් ගමරාළ තමන්ගේ දරුවෙකුට මෙන් අප්පුවාට සළකන බව රට තොට පතළය. උන් වහන්සේ ද ඒ බැව් දනියි. එහෙත් ගමරාළටම කඹුරා අප්පුවාට සුගතියක් නොවනු ඇතැයි නාහිමියන්ට බයක් ඇති ව තිබිණ. '' රාජ පුරුෂයා කවදා ද දඹදෙණියට යන්නේ " නාහිමියන් ඇසුවේය. '' හෙට අපේ හාමුදුරුවනේ " පතිරාජ කියා සිටියේය. '' හොඳයි මාත් එන්නම්. රාජ පුරුෂයා කොලුවත් අරන් එන්ඩ ඕනෑ.'' නාහිමියන්ට වැඳ පතිරාජ ගියේ ගමරාළගේ නිවසට ය. ඒ පසුවදා දඹදෙණියට යන්නට අප්පුවාට අණ කරන්නට යැයි සිතත්ම පතිරාජට සිනහ ගියේය. මොනවා වුණත් මේ ඔටුන්න හිමි කුමාරයා ය. විජයසුන්දරාරාමය පිහිටියේ නගරයෙන් තරමක් ඈතට වන්නටය. පතිරාජ පසුදින පාන්දරින් ගමන පිළියෙල කළේ කාරණා කිහිපයක් සිතෙහි තබා ගෙන ය. එකක් නම් කුමාරයාගේ ආරක්ෂාව ය. දෙවැන්න දහවල් දානයට පෙර කළුන්දෑවේ නායක හාමුදුරුවන් විජයසුන්දරාරාමයට වැඩම නොකළ හොත් උන් වහන්සේගේ දහවල් දානය මග හැරෙතැයි ඇති වූ බියයි. තමා හෝ අප්පුවා ගේ සක්මන් වේගයට වඩා උන් වහන්සේ ගමන් කරනුයේ හෙමිනි. සංඝරාජ හිමියන් වැඩ සිටින විජයසුන්දරාරාමයට පිවිසීමෙන් අනතුරුව පතිරාජ දැහැත් වට්ටියක් උන්වහන්සේට පූජා කළේය. අප්පුවා වැඳ නමස්කාර කළේ අනතුරුවය. සංඝරාජ හාමුදුරුවන් කඩවසම් තරුණයා දෙස හොඳීන් නිරීක්ෂණයක යෙදුණේය. '' නායක හාමුදුරුවනේ. මේ අපේ කළුන්දෑවේ ගමරාළ ගේ කොල්ලා '' කළුන්දැවේ නාහිමි අප්පුවා හඳුන්වා දුන්නේය. සංඝරාජ හාමුදුරුවන් අප්පුවාගේ හිසේ සිට පාදය දක්වාම මොහොතක් බලා උන්නේය. '' ගමරාළගේ කොල්ලා '' උන් වහන්සේ නාහිමිපාණන් වෙතින් යළි විමසා සිටියේය.කොලුවාගේ දේහ ලක්ෂණ ඔහු කුලීනයෙක් බැව් පසක් කළේය. අප්පුවා සංඝරාජ හිමිපාණන් දෙස ඇසි පිය නොගසා බලා උන්නේය. '' මොකක්ද තොගෙ නම ?'' සංඝරාජ හිමිපාණන් ඇසුවේය. "අප්පුවා. අපේ හාමුදුරුවනේ" අප්පුවා පැවසුවේය. සංඝරාජ හිමිපාණන්ගේ කතාව උදාරම් ලීලාවක් ගෙන දුන්නේය. ඒ ලීලයට අප්පුවාගේ සිත බැඳීණ. '' මුගෙ පෙනුම නම් අමුතුයි.මෙහාට වරෙන් කොල්ලෝ " උන් වහන්සේ ගේ වචනයෙහි කාරුණික බවක් ද විනැයි එක්වරම අප්පුවා ට සිතිණ. ඔහු වහා කළුන්දෑවේ නායක හිමිපාණන්ගේ ද පතිරාජ ගේ මුහුණ දෙස ද බැලුවේය. දෙදෙනාම එකවර හිසින් සන්කොට අවසර දුන්නේය. '' මෙහාට දීපන් උඹේ අත බලන්න.'' උන්වහන්සේ අණ කළේය. අප්පුවා සිය සුරත දිගු කළේය. සංඝරාජ හිමිපාණන් අප්පුවාගේ සුරත දෙස බලා සිටියේය. අනතුරුව කොලුවාගේ මුහුණ දෙස බැලුවේය. යළිත් කොලුවාගේ සුරත දෙස විමසිලිමත් වූ උන් වහන්සේ අනිත් අත ද අල්ලා නිරීක්ෂණය කළේය. '' මට මේ කොල්ලාගේ වේලාපත් කඩෙත් බැලුවොත් හොඳයි " උන්වහන්සේ පැවසුවේ කළුන්දෑවේ නායක හාමුදුරුවන්ටය. '' මම ළමයාගේ මහ එවුන්ගෙන් .." නාහිමිපාණන් ට කතාව නිම කරන්නට ඉඩ ලැබුණේ නැත. පතිරාජ කතා කරන්නට පටන් ගත්තේය. '' මේ ළමයාගේ වේලාපත් කඩයක් නැහැ. අපේ හාමුදුරුවනේ " පතිරාජ ගේ කලබලය සංඝරාජ හිමිපාණන්ට තෝරා බේරා ගත නොහැකි විය. "රාජ පුරුෂයා කොහොමද ඒක දන්නේ? " උන් වහන්සේ විතාළේය. "අවසර, මහ රජ්ජුරුවන් වහන්සේ මට බාර කරල තියෙන්නේ කළුන්දෑවේ බලා ගන්න. ඒ හින්දා මම ඒ පළාතේ හැම එකෙක් ගැනම දන්නවා." පතිරාජ සිය ජාම බේරා ගත්තේය. සංඝරාජ හිමිපාණන් සහ කළුන්දෑවේ හිමිපාණන් බොහෝ වේලවක් කතාබස් කරමින් උන්හ. අප්පුවා ඒ සියල්ල අසා සිටියේ ආසාවෙනි. අනතුරුව ආපසු එන ගමනේ දී සංඝරාජ හිමිපාණන් කළුන්දෑවේ හිමියන්ට හෙමින් සීරුවේ අවවාදයක් දුන්නේය. '' මේ කොල්ලා ගැන ඇහැ ගහං හිටියොත් හොඳයි." එදා හැන්දෑවේ අනෝරාවට වැස්සේය. ටික කලක් ඇකිලී ගලා ගිය ඔය එක්වරම පිම්බී ගියේය. '' හැමදා නියං එකදා වැහි වලාවේ" යැයි අප්පුවාට කියැවිණ. මේ වැස්සෙන් පසු ඊළඟ කන්නයේ සී සෑම අරඹන්නට හැකි වනු ඇත. අප්පුවා පසුවදා සවස ගං ඉවුරට ගියේ කළු එතනා ත් සිරිමල් එතනා ත් සමඟ ය. රෙදි නැන්දා තවත් ගැහැනුන් දෙතුන් දෙදෙනෙක් සමඟ රෙදි සෝදමින් උන්නාය. වෙල්ලහැලිය තැම්බෙමින් තිබුණේ ඒ අසලම ය. අපුල්ලමින් සිටි රෙදි නැන්දා එකවරම හිස ඔසවා බැලුවාය. එකවරම ඇය ගල් ගැසිණ.කලකට ඉහත තමා විසින් රැගෙන ආ දරු පැටියා දැන් කඩවසම් තරුණයෙක් ව සිටියි. මොකක්දෝ කියන්නට සිතට ආවත් ඇයට දැන් කතාකර ගත නොහැක. වසර ගණනාවකට පෙර ඇය හිටි අඩියේ ගොළු ගැහැනියක් වූ විගස ඇගේ නෑසියන් මුලින් සිතුවේ ඇයට ඔල්මාදයක් වැළඳ ඇති වග ය. ඒ වෙනුවෙන් තොවිල්පවිල් කළ ද හරි ගියේ නැත. ඇගේ ඔල්මාදයෙන් කිසිවකුට වැරැද්දක් වූයේ ද නැත. එබැවින් ඇයට කිසියම් පූර්ව කර්මයක් නිසා මෙසේ වන්නට ඇතැයි සිත සදා ගන්නට ඇගේ නෑයෝ කල්පනා කළහ. ''මොකද බං උඹට වෙලා තියෙන්නේ. තවත් දිෂ්ටියක් වත් වැහී ගෙන එනවා වත්ද? '' ඇය සමඟ රෙදි සෝදමින් සිටින ගැහැනිය විතාළාය. තමා දෙස බලා සිටින මේ ගැහැනිය අතීතයේ දවසක තමා සම්බන්ධ කුමක් හෝ සිදුවීමකට දායක ව සිටියේ යැයි අප්පුවාට මතකය. එහෙත් ඒ කුමක් සඳහා දැයි ඔහුට සිහියට නඟාගත නොහැකි වූයේය. එබැවින් ඔහු ඇය සමීපයට ගියේය. කතා කර ගත නොහැකි ගැහැනිය ඇගේ උගුරෙන් අමුතු හඬක් පිට කළාය. අනතුරුව ඇය අප්පුවාගේ හිස අත ගාන්නට තැත් කළාය. හිස පාත් කළ අප්පුවා රෙදි නැන්දාට ඔළුව අත ගාන්නට ඉඩ හැරියේය. '' මොකද බං උඹ අඬන්නේ. '' රෙදි නැන්දා සිය යෙහෙළියගේ වදන් කනකට නොගත්තාසේය. '' අපි යනව පීනන්න '' අප්පුවා කීවේය. රෙදි නැන්දා යමක් කියන්නට තැත් කළාය. අප්පුවාට එයට නොවැටහිණ. ඔහු ඇගෙන් සමු ගත්තේය. ඇය තමාගේ වදන් ඔහුට වටහා දෙන්නට තැත් කළාය. බැරි තැන සිය යෙහළියගේ පිහිට පැතුවාය. '' ඔය වළේ කිඹුලා ඉන්නවා' ඇය කියන්නට ගිය දෙය අනෙක් ගැහැනිය වචනයට පෙරලුවාය. '' අපි කිඹුලා ඉන්න වළට යන්නේ නෑ. අපි පිනන්නේ ඉහළ වළේ " අප්පුවා පැවසුවේය. පෙරදා වැස්ස නිසා ගං ඉවුරේ අලුත් වතුර වළක් සෑදී ඇත්තේය. එයට ඉහළ ගල්තලාව මතින් දිය ඇල්ලක් මෙන් වතුර ගලා ආයේය. කොලුවා ගල මත සිට වළට පැන්නේය. ඒ දිය පහර එතැනින් ගලා යන්නේ තවත් වළකටය. ඉහැත්තාවේ තිබෙන මුල් වළේ සිට බලන්නෙකුට පහළ වළ බෙහෙවින් ගැඹුරු එකක් සේ පෙනෙයි. අප්පුවා වතුරේ පිනනු දුටු අක්කා නගෝ දෙදෙනා ටද ඉහිලුම් නැති විය. ඔවුන් දෙදෙනා ද වතුරට පැන්නහ. ළමාවිය ඉක්මවා යොවුන් වියට පිවිස සිටින යුවතියන්ගේ සිරුරු දියෙන් තෙමෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. '' මේ පැත්තට එන්න එපා. පහළට ගහගෙන යන්න පුළුවන් " අප්පුවා යුවතියන්ට අනතුරු හැඟෙව්වේ දියෙහි ගලා ගිය කදුරු ගෙඩියකින් කළු එතනා ට දමා ගසමිනි. ඇය එය පෙරළා ඔහුටම යැව්වේය. අප්පුවා එය යළි යුවතියන් දෙසටම විසි කළේය. එවර එය විසිවුණේ සිරිමල් එතනාගේ හිසට ඉහළිනි. ඇය එය අල්ලා ගන්නට තැත් කළාය. කදුරු ගෙඩිය පහළට පාවෙනු දුටු සිරිමල් එතනා වහා එදෙසට පැන්නාය. එහෙත් එක්වරම ඇය ලිස්සා ගියාය. ඒ සමඟ වාරු නැතිව ගියෙන් ඇය පහළට ගලන වතුර දිගේ රූටන්නට විය. " ඔය පැත්තේ වතුර පාර සැරයි " අප්පුවා කෑ ගසා කීවේය. "අනිත් පැත්තට පීනන්න" ඔහු කෑගෑව ද එය ඇයට ඇසුණේ නැත. සිය නැගණියට අත්වන ඉරණම හේතුවෙන් කළු එතනා කෑ ගසනු ඇසී රෙදි සොදමින් සිටි ගැහැනු ද දුව ආහ.ගොඩ එන්නට සිරිමල් එතනා ට මගක් නොවිණ. ඇය පහළ වළට ඇද වැටුණද එහි නොගිලී සිටින්නට සමත් වූවාය. '' අර ළමයා ගොඩට ගන්න. කිඹුලා එනවා " ගැහැනියක විලාප දුන්නාය. මේ කිඹුලා පසුගිය දිනයක වසු පැටියෙක් ගොදුරට ගත් වගට ආරංචියක් ද විය. අප්පුවාට දෙවරක් සිතන්නට කල් නොතිබිණ. එකවරම කිසිවකු ඉහළ ගලක සිට පහළට පැන්න වග කාටත් පෙනිණ. ඒ අප්පුවා යැයි සමහරු හඳුනා ගත්තේ පසුවය. මේ දිරිය කොහින් ආවා දැයි දන්නේ ඔහුම පමණි. වට පිට සිටි ගැහැනුන් ඇස් වසා ගන්නට තැත් කළේ කිඹුලා සිරිමල් එතනා දෙසට ඇදී එනු හොඳීන් පෙනුණ හෙයිනි. අප්පුවා වහා සිරිමල් එතනා අල්ලා ගත්තාය. අනතුරුව ඉක්මනින් ඇය අසල ගලකට නංවන්නට ඔහු සමත් විය. වට කර සිටි පිරිස කිඹුලාට ගල් ගසන ලද නමුත් තම ගොදුර ඉවත ලන්නට කිඹුලා කැමැති වූයේ නැත. ඌ වහා අප්පුවාට පැන්නේය. වහා අනිත් පැත්තට පැන ගන්නට අප්පුවා සමත් විය. දෙවන වර ද කිඹුලාගෙන් බේරෙන්නට අප්පුවා සමත් විය. එහෙත් මේ තිරිසනාගෙන් එලෙස බේරී යෑම පහසු නැත. දියඹ යනු කිඹුලාගේ අඩවිය විය. ඊළඟ වතාවේ කිඹුලා යළි සිය ඉලක්කය ගනිත්ම උගේ පිටට පැන බෙල්ලෙන් අල්ලා ගන්නට අප්පුවා සමත් විය. ඊළඟ දෙවතාවම කිඹුලා දියඹෙහි දෙවරක්ම පෙරලුණේ තමාගේ උරහිස මත නැඟගත් පෝරිසාදයා පෙරළා දමන්නටය. එහෙත් යම් හෙයකින් හෝ අත හැරිය හොත් තම ජීවිතය අවදානමේ බැව් ගැටවරයාට වැටහිණ. කොහින්දෝ පොලු කෑල්ලක් අප්පුවා අතට ආවේය. එය දියෙහි ගිය දණ්ඩක් වුව ද මේ වෙලාවට හෝ තමන්ගේ ජීවිතය බේරා ගැනීමට එය වඩා යෝග්‍ය බැව් ඔහුට දැනිණ. අනිත් වතාවේ අප්පුවා ඉවතට විසි විය. කිඹුලා සිය මුව අයා අප්පුවාට පැන්නේය. දෙවරක්ම එම වාරය නොලැබෙන වග අප්පුවා දැන උන්නේය. ඔහු වහා සතුරා ඉදිරියට පැන්නේය. අනතුරුව තම අතැති පොලු කැබැල්ල කිඹුලාගේ අයා ගෙන සිටින මුවෙහි සිට වූයේය. ඒ සැනින් ඔහු වහා ගොඩට පැන ගත්තේය. සුළු තුවාලයකින් පමණක් සෑහෙන්නට ඔහුට හැකි විය. සිරිමල් එතනා අප්පුවා ළඟට දිව ආවාය. ඇය බියෙන් වෙව්ළමින් සිටින වග ඔහුට වැටහිණ. එහෙත් අප්පුවා කිසිවක් අසන්නට ගියේ නැත.ඇගේ ඇස්වල උපන් කඳුළු ගුලියක් කඩා වැටිණ. එය දකින්නට හෝ පිසලන්නට සිතක් අප්පුවාට නොවිණ. එහෙයින් ඔහු කරබා ගත්තේය. පසුගිය දින ගණන මුළුල්ලේ එතෙක් තමා සමඟ කෙළි සෙල්ලමේ යෙදුණ කයින් මෙන්ම හැඟීමෙන් ද සිටි කෙල්ල වෙනස් වී සිටි අයුරු ඔහුට දැනිණ. එහෙත් ඒ මන්දැයි කියන්නට ඔහු අපොහොසත් විය. එහෙත් එය ආශ්වාදජනක එකකි. පෙර දිනක පන්සලේ දී අහම්බෙන් කියවන්නට ලැබුණු සසඳාවතෙහි එන ස්ත්‍රී වර්ණනාව ඔහුගේ සිහියට ආවේය. ඒ හැඟීම් සමඟ කවි රසය මුසු කරන්නට අප්පුවාට සිතිණ. කළු එතනා අප්පුවා ළඟට නො ආවාය. එහෙත් ඇය ඔහු සමඟ යන්නට සැරසිණ. අප්පුවා කෙරෙහි තමන් නොරුස්නා හැඟීමකින් පෙළෙතැයි ඇයට සිතිණ.
ලබන සතියේ මංගල යෝජනාවක්
මතු සම්බන්ධයි |