වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව වෙනුවෙන් අනුභව කරන්න නෙවේ ඉල්ලන් කන්න වුණත් මම ලෑස්තියි

සිනමාව වෙනුවෙන් අනුභව කරන්න නෙවේ ඉල්ලන් කන්න වුණත් මම ලෑස්තියි

නිළි රැජන මාලිනී ෆොන්සේකා

සරසවිය සමඟ විවාදාත්මක සංවාදයක

මාලිනී ෆොන්සේකා, හෙළ සිනමාවේ නිළි රැජන ලෙස කිරුළු පැලඳීයේ ඇගේ රංගන ප්‍රතිභාව හෝ හුදු ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා පමණක්ම නොවේ යැයි මම සිතමි. තවත් බොහෝ කරුණු කාරණා ඒ සඳහා ඉවහල් වූ බව නොකිව මනාය.

සිය රංගන දිවි මගේ පන් සාළිස් විය සපුරන මාලිනිය තවමත් ඒ සිහසුන අරා සිටින්නේ සිනමාව වෙනුවෙන් කළ අපමණ කැප කිරීම් මෙන්ම ඈ හෙළූ ඩහදිය, කඳුළුවල මහිමය නිසාවෙනි.

ඈ සිනමාව හොඳින් හඳුනයි. ඇගේ දෙවැනි මව සිනමාවයි. එනිසාවෙන්ම සිනමාව පිළිබඳ සැබෑ කැක්කුමකින්, සැබෑ හැඟීමකින් ඈ නිරන්තරයෙන්ම කටයුතු කරයි. අද දවසේ අපේ සිනමාවේ අනාගතය දෙස බොහෝ දෙනකු බලා සිටින්නේ දෙගිඩියාවෙනි. අද මාලිනිය සමඟ මෙබඳු උණුසුම් කතාබහකට ඉඩහසර වෙන් වන්නේ එබඳු වටපිටාවක් මැදය.

අද අපේ සිනමා ක්ෂේත්‍රයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දිගුකාලීන අත්දැකීම් සමඟ මම හිතන්නේ ඔබ මේ පිළිබඳ හොඳ දැනුම්වත්වීමක් ඇතිව කටයුතු කරන, සිතන, පතන කෙනෙක්?

වර්තමානයේ අපේ සිනමාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක්නේ ඔය පිටපත් 35 - 55 අර්බුදය. නමුත් ඊට අමතරව අපේ සිනමාවේ තවත් ගැටලු රැසක් තිබෙනවා. අවුරුදු හතළිස් පහක් මුළුල්ලේම ලැබූ ප්‍රායෝගික අත්දැකීම් එක්ක මට ඒ ගැන ප්‍රමාණවත් අවබෝධයක් තියෙනවා කියා සිතනවා. මේ ගැටලු පිළිබඳ ප්‍රවීණයන්ගේ අදහස් එතකොට ජනතාව කතා කරපු දේවල්, ඒ වගේම අපේ නිෂ්පාදක, අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන් පවා කතා කරපු, දේවල් මම දන්නවා. සමහරු කියනවනේ මට සිනමාව ගැන දැනුමක් නෑ කියලා. ඒත් මම හිතනවා මට ඒ ගැන දැනුමක් වගේම හැඟීමක් තියනවා කියලා. දැනුමටත් වඩා සිනමා කර්මාන්තය ගැන තියෙන හැඟීම, කැක්කුම වඩා වැඩියි කියලා මම විශ්වාස කරනවා.

ඒ කාලේ ඉඳන්ම ඔබ අපේ සිනමාවේ අභියෝග හමුවේ පෙනී සිටියේ ඔය ‘හැඟීම’ හා ‘කැක්කුම’ නිසාමයි?

ඇත්තටම එදා ඉඳලා මම අපේ සිනමාවේ ගැටලු ගැන කතා කරනවා. විසඳුම්, යෝජනා ඉදිරිපත් කරනවා. මේවා කරන්න ගිහින් මම බැණුම් අහපු අවස්ථා එමටයි. ‘මෝඩයා’ වෙලත් තියෙනවා. අද තත්ත්වයත් ඕකයි. ඒත් මම තවම අපේ සිනමාව වෙනුවෙන් පෙනී සිටිනවා.

ඔබ හඳුනාගත් විදිහට මොනවද අපේ සිනමාවේ තිබෙන ප්‍රධානතම ගැටලු?

එකක් නෙවෙයි අසංක, ඇත්තටම ගැටලු ගොඩක් තියෙනවා. අද ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒවා කට පාඩම්. අපේ සිනමාව ඉදිරියට යන්න නම් මුලින්ම අපි හිතන්න ඕනෑ නිෂ්පාදකයා ගැනයි. මොකද නිෂ්පාදකයා නැතිනම් කර්මාන්තයක් කියලා දෙයක් නෑනේ. ඒ නිසා නිෂ්පාදකවරුන් ආරක්ෂා කර ගැනීමයි අපේ මූලිකම අරමුණ වෙන්නේ. කර්මාන්තයක් විදිහට සිනමාව දියුණු කරනවා නම් අපි හොඳ ආර්ථික ස්ථාවරයක සිටිය යුතුයි. ඒ ස්ථාවරය රැකගන්න නම් අපේ ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එන්න ඕනෑ.

නිෂ්පාදකයා රැකුණොත් සෙසු බොහෝ දේ ආරක්ෂා වෙනවා?

ඔව්. පිටපත් රචකයාගේ ඉඳන් නළු, නිළියන්, අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන් මේ හැමෝම රැකෙන්නේ නිෂ්පාදකයා ආරක්ෂා වුණොත් විතරයි නේ. ඒ වගේම නිෂ්පාදකයා, ප්‍රදර්ශකයා හා සිනමා ශාලා හිමියා අතර අන්‍යොන්‍ය අවබෝධය ඉතා වැදගත්. මේ තුන් කට්ටුව තමයි සිනමාව රැකගන්න උරදෙන පිරිස. ඒ වගේම ප්‍රේක්ෂකයා ගැනත් අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි. උසස් තත්ත්වයේ සිනමා ශාලා අප ඔවුනට ලබා දිය යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ පොළක් තනා ගැනීමත් අපේ සිනමාවේ ප්‍රගතියට අත්‍යවශ්‍ය සාධකයක්.

අද උද්ගතව ඇති මේ පිටපත් 35 – 55 අර්බුදය නිසා බොහෝ නිෂ්පාදකවරු ගැටලුවකට මැදි වෙලා. සමහරු 35 හොඳයි කියනවා. තව සමහරු 55 හොඳයි කියනවා.

ඔව් අද ලොකුම ප්‍රශ්නෙ ඕකනේ. . .

ඔබ කොයි පැත්තෙද?

දැනට තිස් පහේ පැත්තේ. මොකද අපට තිබෙන සිනමා ශාලා ප්‍රමාණයේ අඩුකම නිසා. මෙතැනින් එහාට නිෂ්පාදකවරු කී දෙනෙක් පෝළිමේ ඉන්නවද වගේ කරුණු සලකලා බලපුවාම අදට ගැළපෙන ප්‍රමාණය තමයි පිටපත් තිස්පහ. මම විතරක් නෙවේ, අපේ සිනමා ශිල්පීන් සාකච්ඡා කරලා තමයි මේ තීරණයට ආවේ. මමත් දැනට එතන ඉන්නේ.

ඇයි ‘දැනට’ කියන වචනය පාවිච්චි කළේ?

මේ තියෙන ප්‍රමාණයට වඩා අපට ඉදිරියේදී සිනමාහල් වැඩි වෙනවා නම් පිටපත් පනස් පහක් නෙවේ සීයක් ගහ ගත්තත් ප්‍රශ්නයක් නෑ. නමුත් අද පිටපත් වැඩි ප්‍රමාණයක් දාන්න ඕනෑ කියන අය ප්‍රේක්ෂකයාට ලොකු අසාධාරණයක් කරන්නේ. චිත්‍රපට කීයද අපට බලන්න වෙන්නේ අවුරුද්දකට. පින්තූර තුනක් පෙන්වන්න පුළුවන් වෙයි වැඩිම වුණොත්. තියෙන සිනමාහල් ඔක්කොම මෙහෙම එක අහුරකට අරගත්තොත් නිෂ්පාදකවරයෙක් ඒක ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවේ, සිනමාව රැක ගන්න උරදී සිටින නිෂ්පාදකයන්ටත් කරන අසාධාරණයක්. ඔවුනුත් තමන්ගේ නිර්මාණයට මුදල් ආයෝජනය කර තිබෙනවා. එතකොට ඒවා සල්ලි නෙවෙයිද?

පිටපත් 55 වෙනුවෙන් පෙනී සිටින නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු කියන දෙයක් තමයි එකවර චිත්‍රපටය මුදා හැරීමෙන් ප්‍රචාරක වියදම් අවම වීම සහ ඈත ගම් දනව්වල වෙසෙන ප්‍රේක්ෂකයන් හට හොඳ අලුත් පිටපතක් බැලීමේ අවකාශය ලැබෙන බව. මේක ප්‍රබල තර්කයක්?

දැන් මේ චිත්‍රපටයේ නම පාවිච්චි කළොත් ඒකත් අනවශ්‍ය ප්‍රචාරයක් වෙනවා. ඒකත් පබ්ලිසිටි එකක් කියලා සමහරු හිතනවා ඇති. ඒත් එහෙම මෝඩ වෙලා නෙවෙයි මේ කතා කරන්නේ. ජනාධිපතිතුමන්ගේ ඉඳලා හැමෝම චිත්‍රපටයේ ප්‍රචාරය සඳහා යොදා ගත්තා. මේ අවස්ථාවේ මම මේ කතා කරන්නේ ඊට රුකුලක් දෙන්න නෙවෙයි. ඇත්ත තත්ත්වය කියාපාන්න. ඔය පිටපත් පනස් පහ අවශ්‍යයි කියන අයගේ මතයක් තියෙනවානේ තමන් කරන්නේ ‘බ්ලොක් බස්ටර්’ චිත්‍රපට කියලා. අපි අද චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ඒක ‘බ්ලොක් බස්ටර්’ එකක් කියලා අපි කොහොමද කියන්නේ. ප්‍රදර්ශනයට කලින් කොහොමද ඒක තීරණය කරන්නේ?

තමන්ගේ නිර්මාණය ගැන ආත්ම විශ්වාසයක් තිබෙන කෙනෙකුට එහෙම කියන්න බැරිද?

හරි, එහෙම චිත්‍රපට හදපු නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ එක සතියෙන් වැටිලා තියෙනවානේ. එතකොට මොකද? ලොස්ට් බස්ටර්, මේක මොන බස්ටර් එකක්ද කියලා තීරණය කරන්නේ හෙට මේක බලන පේ‍්‍රක්ෂකයෝ. ඒ තීරණය තමන් හිතාගෙන, තමන්ට අවශ්‍ය විදිහට තීන්දු, වෙනස් කරන එක වැරැදියි. එහෙම නීති වෙනස් කරන එක අසාධාරණයි.

එහෙම නීති වෙනස් කර තිබෙනවාද?

උසාවි තීන්දු පවා වෙනස් කරලා, එහෙම දේවල් කෙරිලා තියෙනවා. ඒක සාධාරණීකරනය කරන්න ඔවුන් එක එක දේවල් ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා කිව්වා, ලේකම්තුමා කිව්වා, ලිඛිතව අවසර දුන්නා කියලා. නමුත් අද වෙනතුරු කිසිම කෙනෙක් එහෙම දෙයක් ඇහැට දැකලා නෑ. තමන්ගේ තනි තීරණය දැන් මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ.

ජනාධිපතිතුමන්ගේ ලේකම්වරයකු විසින් එසේ ලිඛිත අවසරයක් තමන්ට ලබාදුන් බව සෝමරත්න දිසානායක පවසනවානේ?

ඔව්. එයා කියනවානේ. එහෙනම් කෝ පෙන්වන්න එපායැ.

ඔබ පිළිගන්නේ නෑ එය?

නෑ මම දැක්කේ නෑනේ. දැක්ක දවසට මම පිළිගන්නම්. අඩුම තරමෙන් එහි පිටපතක්වත් දීලා තියෙනවාද චිත්‍රපට සංස්ථාවට. මොකද පිටපත් තිස්පහේ තීන්දුව ප්‍රකාශ කළේ චිත්‍රපට සංස්ථාව මඟින්. මම දන්න තරමින් එවැන්නක් සිදු වී නෑ. එහෙම ලියවිල්ලක් තිබෙනවා නම් ප්‍රසිද්ධ මාධ්‍යයකින් පුළුවන් මේක රටටම පෙන්වන්න.

චිත්‍රපට සංස්ථාව පිටපත් තිස් පහේ තීන්දුවට එන්න කලින් ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළ බවයි සෝමරත්න දිසානායකයන් පවසන්නේ?

ඒ එයානේ කියන්නේ.

නෑ . . . මට ඒ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්තුමා පවා කිව්වා. මේ තීන්දුව බල පැවැත්වෙන්නේ 2013 ජනවාරි 01 වැනිදා සිටනේ. ඊට පෙර ආරම්භ කළ චිත්‍රපටවලට තිස් පහේ සීමාව වලංගු නැහැ?

පිටපත් තිස්පහකට මේක සීමා කළේ අර්බුදයක් තිබුණ නිසානේ. මේ තීන්දුවට එළඹුණේ සිනමා ශිල්පීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වලා. සෝමරත්න දිසානායකත් මේ සාකච්ඡාවල හිටියා. එතකොට ඔහු පවා තීරණය කර තිබුණා සංස්ථාවේ පනත අනුව අපට තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන අරගෙන සිනමා කර්මාන්තයේ දියුණුව කරා යා යුතුයි කියලා. හැබැයි හරියට දින වකවානු ගත්තොත් මම නම් හිතන්නේ නෑ ‘සිරි පැරකුම්’ පටන් ගත්තේ මේ නීතිය එන්න කලින් කියන එක.

ඒක හිතළුවක් පමණද?

නෑ පදනමක් ඇතුව එහෙම කිව්වේ. 2013 ජනවාරි 01 දා සිට ප්‍රදර්ශනය වන චිත්‍රපට පිටපත් තිස් පහකට සීමා විය යුතුයි කියන නීතිය ක්‍රියාත්මක වෙන්නට මාස හයකට කලින් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පුවත්පත් දැන්වීම් පවා පළ කළා. ඊට පසුව තමයි ‘සිරි පැරකුම්’ මුහුරත් උළෙල පැවැත්වූවේ. එය ඔප්පු කළ හැකි සාක්ෂි අප සතුව තිබෙනවා.

චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා සමඟත් ඔබේ ගැටලුවක් තිබෙනවා?

අශෝක සේරසිංහ කියන පුද්ගලයා එක්ක මගේ ගැටලුවක් නෑ. අර්බුදය තිබෙන්නේ චිත්‍රපට සංස්ථා සභාපතිතුමාත් එක්ක. ඒ තනතුරත් එක්ක.

ඇයි ඒ?

මේ සභාපති ධූරයට පත් වෙන්න ඕනෑ සිනමාව පිළිබඳ ‘කැක්කුමක්’, ‘ආදරයක්’ තියෙන කෙනෙක් සහ කර්මාන්තය පිළිබඳ අවබෝධයක්, සංවේදී බවක් තිබෙන කෙනෙක්. නමුත් මම දකිනවා, මම කෙළින්ම කියනවා මේ සභාපතිතුමාගේ ඒක නෑ.

මොන පදනමක් මතද ඔබ එහෙම කියන්නේ?

මෙතෙක් දුරට මේ අර්බුද ඔඩුදුවලා තියෙන්නේ ඔහු කෙළින් ක්‍රියා කරපු නැති නිසා. ජනාධිපතිතුමා අපි ඔක්කොම ඉදිරියේ කිව්වා මේ චිත්‍රපට සංස්ථා පනත යටතේ මෙන්න මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා. එච්චරට ශක්තිමත් පනතක්. ඇයි මේවා ක්‍රියාත්මක නොකරන්නේ කියා එතුමන් ඇහුවා. එතකොට ඒ බලය තියාගෙන ඔහු මේවා ක්‍රියාත්මක කළේ නෑ. දෙපැත්තට වැනුණා. එහෙම වෙලා බෑ. තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න කෙනෙක් නෙවෙයි අපට අවශ්‍යය නේ? තමන්ගේ තනතුර, වාහනය, වැටුප මේ තිබෙන තත්ත්වය ආරක්ෂා කරගෙන කර්මාන්තය ගැන හිතන්නේ නැතිනම් එහෙම සභාපතිවරයෙක් අපට වැඩක් නෑනේ.

නමුත් ඔහු තමයි පිටපත් තිස් පහේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ. . .?

ඔව්. ඒක තමයි, එහෙම ප්‍රකාශ කරලා ඔහු කිව්වා අද මෙතැනින් පස්සේ මම වේවැල අතට ගන්නවයි කියලා. මම හොඳ පුරුෂ ශක්තියක් තියෙන කෙනෙක් කියලා කිව්වා. කෝ අද ඒවා?

වේවැල අතට ගත්තේ නෑ?

කෝ අද ඉතින් ඒවා. එතකොට අහන්න වෙනවනේ ඇයි එහෙම කෙළින් ක්‍රියා නොකළේ කියලා. අදටත් සංස්ථා මණ්ඩලයේම සිනමා ශාලාවකට ‘නිකිණි වැස්ස’ අයින් කරලා ‘සිරි පැරකුම්’ චිත්‍රපටය පනස් හතර වැනි කොපිය හැටියට දෙනවා. එතකොට කොහොමද සභාපතිතුමා කෙළින් කෙනෙක් වෙන්නේ. මේ පිටපත් ප්‍රමාණය නිසා සභාපතිතුමා අධිකරණයටත් ගියා. ගිහින් දිනලා ලොකුවට මල් මාලාත් දාගත්තා. ඊට පස්සේ ඔහුම අනෙක් පැත්තට වැඩ කරලා අර තීන්දුවට එරෙහිව යනවා. මම දන්නවා ඊළඟට තිරගත වෙන්න තිබෙන චිත්‍රපටයකටත් සංස්ථාවේ සිනමා ශාලා දෙන්නේ නෑ. ‘සිරි පැරකුම්’ එකට දෙන්න ඒවා තියාගෙන ඉන්නවා. එතකොට අර දුප්පත් නිෂ්පාදකයාට යන කල දවස මොකක්ද?

ඔබ කියන්නේ ඔහු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා කියාද?

ඔව්. අනිවාර්යයෙන්ම. එතකොට අපේ සිනමාව ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණයට යා යුතුව තිබෙනවා. ඒවාට තීන්දු, තීරණත් අරගෙන තියෙනවා. නීති අංශයට දීලා තියෙනවා. මේ පනත සංශෝධනය කරලා අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න කියලා.

ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණ කමිටුවකුත් පත් කළා. ඔබත් එහි සාමාජිකාවක්?

මමත් හිටියා. සභාපතිතුමාත් හිටියා. එතකොට තීරණය කළ ප්‍රමිතියට වඩා අඩු ප්‍රමිතියකට යා යුතුයි කියලා දැන් ඔහුම කියනවා. ඒ කියන්නේ 2ඬ වලට වඩා අඩු ප්‍රමිතියකට මේක දෙන්න ඕනෑ කියලා එයා කියනවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට ඒක එහෙනම් අර සාකච්ඡාවේදී කියන්න තිබුණා. ඒ තැන්වලදී කට වහගෙන ඉඳලා එළියට ඇවිත් අර පිරිස ඉදිරියේ සිංහයා වෙනවා. සංස්ථාවේ නඩුවට ලක්ෂ විසි අටක් වියදම් කළා කියලා මට ආරංචියි. එතකොට මොකටද එයා වියදම් කළේ. කොපි තිස් පහ අනිවාර්යය විය යුතුයි කියන එකට. දැන් නඩු තීන්දුවට එරෙහිව එයා කොහොමද අවසර දුන්නේ. කාගෙන් ද එයාට නියෝගය ආවේ.

ඉහළින් ආපු නියෝගයක් කියලා හිතමු?

ඉහළින් නම් එයා ඒක පෙන්නන්න ඕනෑ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යටතෙනේ චිත්‍රපට සංස්ථාව තිබෙන්නේ. සභාපතිතුමාට යම් බලපෑමක් වුණා වෙන්න බැරිද?

ඒ්ක මම දන්නේ නෑනේ. මගේ කර්මාන්තයට විරුද්ධව මොනවා හරි බලපෑමක් එනවා නම් මම නම් අවංක තීරණයක් ගන්නවා. සභාපතිතුමාගේ යුතුකම මේ ප්‍රශ්නයට මැදි වුණ පිරිස එකට කැඳවලා සාකච්ඡා මට්ටමින් නිසි තීන්දුවකට එන්න. මොකද සංස්ථා පනත ඒ තරම් ප්‍රබලයි. සංස්ථාව කාගෙවත් පෞද්ගලික බුදලයක් නෙවෙයි. එය තියෙන්නේ කර්මාන්තයේ සුබසිද්ධිය තකා වැඩ කරන්නනේ. ඉතින් හිතුමතේ ක්‍රියා කළාම සිනමාවේ ඉන්න අපි අපිම එකිනෙකාගේ හතුරෝ වෙනවා. නිකං අපරාදේ මේවට කතා කරන්න ගිහින් මම පෞද්ගලිකව අහ ගන්නවා කුහකයි, ඊර්ෂ්‍යා සහගතයි අරවද මේවද කියලා. සමහරු කියනවා මම අනුභව කරනවා කියලා. ඒත් සිනමාව වෙනුවෙන් අනුභව කරන්න නෙවේ ඉල්ලන් කන්න වුණත් මම ලෑස්තියි.

සභාපතිතුමා පනතේ බලතල හරි හැටි ක්‍රියාත්මක නොකළ බව ද ඔබ කියන්නේ?

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමා ඒ වෙලාවේ රටේ නොසිටිය නිසා අනුර ප්‍රියදර්ශන ඇමතිතුමා මේ තීන්දුව දුන්නා, මේ වගේ කතා තියනවනේ. ඔවුන්ගේ රාජකාරිය වෙන දෙයක්. කර්මාන්තය ඇතුළේ තියෙන ප්‍රශ්න සහ පනතේ තියෙන නීති ගැන ප්‍රමාණවත් අවබෝධයක් ඒ අයට නැති වෙන්න පුළුවන්. එතකොට සභාපතිතුමාගේ යුතුකම තමයි මේවා පෙන්නලා දෙන එක. එයා නීතිඥයෙක්. කියන විදිහට. එතකොට එයාගේ ළඟ ඉන්නෙත් තව නීතිඥවරියක්. ඒ අයගේ යුතුකම නිවැරැදි දේ පෙන්වීම, එහෙම නොකළ නිසා තමයි අද මේ අර්බුදය මේ තරම් දුර ගිහින් තියෙන්නේ.

ඔබේ කතාවෙන් මට වැටහෙන්නේ වත්මන් සභාපතිවරයා ඒ තනතුරට සුදුසු නෑයි කියන එක?

මම එහෙම කියනවා. මේ තනතුරට ඔහු සුදුසු නැහැ. එහෙම සුදුසු වෙනත් තනතුරක් තියෙන්න පුළුවන්. මොකද මේ ක්‍රියා කලාපය නිසා. එහෙම නැතිව ඒවා හරියට ක්‍රියාත්මක කළා නම් මට ප්‍රශ්නයක් නෑ කවුරු මෙතැන හිටියත්.

නළු, නිළි සුබසාධනයට වඩා සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය තකා තමන් කටයුතු කරන බව අශෝක සේරසිංහ මහතා වරෙක මා සමඟ ප්‍රකාශ කළා. මේ නිසා ඔබ ඔහු සමඟ උරන වී සිටිනවාද?

ආ . . . ඒ ගැනත් කියන්න ඕනෑ. සංස්ථාවෙන් නළු, නිළියන්ගේ සුබසාධන කටයුතුත් සිදු විය යුතුයි. මොකද ඒ පොදු සම්බන්ධතාවය කලාකරුවන් හැටියට අවශ්‍යයි. කලාකරුවන් කියන්නේ බොහොම සංවේදී අය. එතකොට ඒ අයගේ උපන් දිනයකදි හරි කතා කරලා මල් කළඹක් දීලා, කේක් ගෙඩියක් කපලා ඔවුන්ට සුබපැතුවම ඒකත් ඒ අයට විශාල සතුටක්. සංස්ථාව දිහා අපි හැමෝම බලාගෙන ඉන්නවා. එක කාලයක් කලාකරුවන් වෙනුවෙන් ඔය ගේට්ටුව වැහුණා. මම ඒක හොඳටම දන්නවා. සංස්ථාවෙන් කර්මාන්තයේ දියුණුවට අදාළ දේවල් සිදුවිය යුතුයි. ඒත් මේක සුබසාධානයට නෙවෙයි තියෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. එහෙම සුබසාධන කටයුතුª කෙරෙන්නේ නැතිනම් සිනමා ශිල්පින්ට මාසිකව දෙන රුපියල් 2000 ත් නතර කරලා දාන්න ඕනෑ. ඇයි ඒකත් සුබසාධන කටයුත්තක් නේ.

වත්මන් සිනමා ක්ෂේත්‍රයේ මෙවැනි සංවාදයක් ගොඩ නැගෙන්න ප්‍රධාන හේතු කාරකය වුණේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය. නමුත් අපි දැක්කා රූපවාහිනී වැඩ සටහනකදී ඔබ ඒ චිත්‍රපටය ගැන වර්ණනා මුඛයෙන් කතා කළා?

චිත්‍රපටය ඉතා හොඳයි. ඒක මගේ වචනයෙන්ම රූපවාහිනියේ විකාශය වෙනවා මම දැක්කා. ඒක ඇත්ත. මගේ අයියගේ දුවත් මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. මම හරියට සතුටු වුණා. අනාගතයේදීත් මේ වගේ චිත්‍රපට බිහි වෙන්න ඕනෑ. හරි. නමුත් එහෙමයි කියලා ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන එක හරිද? අපේ සිනමාටේ මෙතෙක් පැවැති ප්‍රතිපත්තිය, ක්‍රමවේදය ඒක නෙවෙයි.

චිත්‍රපට පෝලිමක් තිිබෙනවා කිව්වට ඔය කියන තරම් තදබදයක් නෑ කියලා සමහරු කියනවා. ඇතැම් චිත්‍රපටවල වැඩ කටයුතුත් තාම නිම කර නෑ. මේ තත්ත්වය මත ‘සිරි පැරකුම්’ පිටපත් පනස් පහක් ප්‍රදර්ශනය වීම වරදක් නොවන බව කෙනෙකුට කියන්න පුළුවන්?

චිත්‍රපට තිස් එකක් තියෙනවා පෝලිමේ. ඒවා වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සූදානම්. යම් යම් සහන ලැබෙනවා නම් ඒ නිෂ්පාදකයෝ හෙට වුණත් තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරාවි. ආර්ථික ගැටලු කොයි නිෂ්පාදකයාටත් තියෙනවනේ. සංස්ථාවට තියෙන්නේ ඒ අයට යම් පිළිසරණක් වෙලා මේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවස්ථාවක් ලබා දෙන්න. නැතුව ඒවා පයින් ගහලා පැත්තකට දාන එක නෙවෙයි. දැන් උදයකාන්තගේ ‘රන් කෙවිට – 02’ චිත්‍රපටයේ ඉඳන් චිත්‍රපට කීයකට එහෙම වුණාද?

අලුතින් සිනමාහල් ඉදි කිරීම මේ ප්‍රශ්නයට හොඳ පිළියමක්. ඒ වගේම එය කවුරුත් පිළිගන්නා විසඳුමක්?

ඕනෑ තරම් පිරිස් ඉන්නවා සිනමාහල් හදන්න. ඒ අයෝජකයන් දිරිමත් කිරිමටයි අපි උත්සාහ කළ යුත්තේ. මොකද ඉදිරියේදී අපේ සිනමාව ඩිජිටල් තාක්ෂණයට නැඹුරු වුණාම පිටපත් මුද්‍රණයට යන වියදම නැතිව යනවා. එතකොට විශාල පිටපත් සංඛ්‍යාවකට යන්න හැකියි. ණය පහසුකම් ලබා දීලා, ප්‍රොජෙක්ටස්වලට එතකොට ඒ අවශ්‍ය දේවල්වලට බදු සහන ලබා දීලා අපි ඒ ආයෝජකයන් දිරිමත් කළ යුතුයි. අවුරුදු තිහක අඳුරු කාලයක් පසු කරලා අපි අද ඇවිත් ඉන්නේ සංක්‍රාන්ති සමයකට. මේක මම කිව්වේ දැන් අවුරුද්දකට කලින්.

ඒ සංක්‍රාන්ති සමය තවමත් එහෙමමයි?

ඒක එහෙම වෙන්න බෑ. හැමදාම මෙතැන ඉන්න බෑනේ. අපේ සිනමාවේ අලුත් පිටුවක් පෙරළිය යුතුයි. කර්මාන්තය දියුණු වෙනවා, සිනමාහල් ඉදි වෙනවා නම් ඒ සඳහා අපි මේ වැඩේට කැමැති අය එකතු කරගෙන ඔවුන්ට යම් අනග්‍රහයක්, ධෛර්යයක් ලබා දිය යුතුයි. ඒ සඳහා වගේම අපේ සිනමා කර්මාන්තයේත් සිනමා ශිල්පීන්ගේ සුබසාධනය සඳහාත් මම අලුත් වැඩක් ආරම්භ කර තිබෙනවා.

ඒ ගැනත් කියමුද?

මීට පෙර මාධ්‍යයට මේ ගැන කියලා නෑ. ‘සිනෙ වාසනා’ කියා ලොතරැයියක් ඉදිරියේදී වෙළෙඳ පොළට අපි නිකුත් කරනවා. රුපියල් 20.00 ක මිලකින් යුතු මෙම ටිකට් පතට සුවිශේෂ දිනුම් අවස්ථා සහ වටිනා ත්‍යාග මුදල් අපි එකතු කර තිබෙනවා. දැන් ජනාධිපතිතුමාටත් එය බාර දීලා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන කල් තමයි ඉන්නේ. සිනමාහල් ඉදි කිරීමට ණය මුදලක් ලබා දීම සහ සිනමා ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම ඇතුළු සුබසාධන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවා ගැනීමට මේ මඟින් අපි බලපොරොත්තු වෙනවා.

ජාතික සිනමා ප්‍රතිපත්තියක් නොමැතිකම මේ සියලු අර්බුදවලට මුල කියා ඇතැමුන් කියනවා?

ඔව්, එහෙම ප්‍රතිපත්තියක් නැති නිසා අද යම් යම් ගැටලු පෞද්ගලික අර්බුද දක්වා දුර දිග ගිහින්. ඩී. බී. නිහාල්සිංහ, සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනි එතකොට පද්මසිරි කොඩිකාර, බෙනට් රත්නායක මේ හැමෝම සිනමාවේ දියුණුවට දර දිය ඇදපු මිනිස්සු. එතකොට ඒ අය කුහකයෝ, ඊර්ෂ්‍යාකාරයෝ කියල හංවඩු ගැහෙනවා, ඇත්ත කතා කරන්න ගියාම. එතකොට තරුණ පරපුර වුණත් හිතනවා ‘මේ මිනිස්සු මේ අලුත් චිත්‍රපටයක් ආවාම විරුද්ධයිනේ, ඉරිසියයි නේ’ කියලා. අන්න ඒකයි මෙතනදි කනගාටුව. දකින්නේ වෙන විදිහකටනේ. පත්තරේ යන හෙඩ් ලයින්ස්වලින් තමයි සමහරු තීන්දු තීරණ ගන්නේ. ඒත් සත්‍යය කවදා හරි ජය ගනීවී.