|
|||||||||||||
ඉන්දියානු චිත්‍රපට කතාව 24දිලිප් කුමාර්ගේ අණෙන් සත්‍යජිත් රායි එළියට
කල්කටාවේ නිව් තියටර්ස් ඉතිහාසය පිරික්සා බලද්දී එහි පැවැත්ම සහ ව්‍යාප්තිය වඩා ළංවනුයේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සිනමා සමාගමක් වන ආර්.කේ.ඕ.පික්චර්ස් ඉතිහාසයට බව මගේ හැඟිමයි. ආර්.කේ.ඕ ඉතිහාසයට හොලිවුඩ් හි වෙනත් සමාගම් මෙන් දිගුකල් පැවතීමක් නොතිබුණද එය නිර්මාණය කළ බොහෝ චිත්‍රපට ලෝක සිනමා ඉතිහාසයේම බෙහෙවින් අගය කළ චිත්‍රපට විය. ඒ අතර ලොව විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැළකෙන ‘සිටිසන් කේන්‘ ද ඒ අතර වෙයි. එහෙත් ඕනෑවටත් වඩා සම්භාවනීය චිත්‍රපට නිපදවීමේ පාපයට වන්දි ගෙවන්නට වැඩි කල් නොගොස්ම ආර්.කේ.ඕ ට සිදුවිය. නිව් තියටර්ස් ඉතිහාසය ද එබඳුම ය. එහි නිර්මාතෘවරයා වූයේ බිරෙන්ද්‍ර (බී.)නාත් (එන්) ශ්‍රීකාර්ය. ඔහු එවකට කල්කටාවේ නීතිපති ශ්‍රීමත් එන්.එන්.ශ්‍රීකාර්ගේ පුතණුවන් ය. 1900 වසරේ උපන් බිරෙන්ද්‍ර නාත් ලන්ඩනයේ සිටි ඇන්ඩ් ගිල්ඩ් වෙතින් සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සමත් ව ඉන්දියාවට යළි පැමිණියේ 1926 වසෙර්ය. ඉතා ඉක්මනින් කල්කටාවේ ගොඩනැඟිලි ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ඉහළම නමක් දිනා ගැනීමට හෙතෙම සමත් විය. ඔහු නිර්මාණය කළ ගොඩනැඟිලි අතර 1930 දෙසැම්බර් 30 වැනි දින ඉන්දිය නිදහස් සටනේ වීරයකු වන සුභාශ් චන්ද්‍ර බෝස් අතින් විවෘත වූ කල්කටාවේ චිත්‍රා සිනමාහල ද විය. මේ ගොඩනැඟිල්ලේ නිර්මාණකරුවා මෙන්ම හිමිකරුවා වූයේ ද බිරේන්ද්‍ර නාත්ය. සිනමාහල සාර්ථක වීමත් සමඟ බිරේන්ද්‍ර නාත්ට ලන්ඩන් ජීවිතයේ දී හිතවතුන් දෙදෙනෙක් ද හවුල් ව අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට හැකි විය. ඒ ප්‍රපංච පාශ් චිත්‍රපටයට සම්මාදම් වූ පී.එන්. රෝයි සහ අමර් මලික් සමඟිනි. බිරේන්ද්‍ර නාත් ගොඩනැඟූ මුල්ම සමාගම ‘ඉන්ටර්නැෂනල් ෆිල්ම් ක්‍රාෆ්ට්‘ නම් විය. එමගින් චිත්‍රපට ද්විත්වයක් නිෂ්පාදනය කිරීමට ඔහු සමත් විය. මේ චිත්‍රපට යුගලම කල්කටාවේ නිපද වූ නිහඬ චිත්‍රපට විය. ඒ චාරු රෝයි නිර්මාණය කළ ‘චොරේකාන්තා‘ සහ ප්‍රෆුල්ලා රෝයි අධ්‍යක්ෂණය කරන ලද ‘චසර් මේයි‘ යන චිත්‍රපට යුගල ය. මේ චිත්‍රපට යුගලම රූ ගත කරන ලද්දේ පසු කලෙක හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට අතරෙහි ලා සැලකෙන ‘දීදාර්‘ සහ ‘ගංගා ජමුනා‘ ආදී චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරන ලද නිතින් බෝශ් විසිනි. 1897 වසරේ අප්‍රේල් මස 26 වැනි දින කල්කටාවේ ඉපිද 1986 අප්‍රෙල් 14 වැනි දින එම නගරයේ ම මිය ගිය නිතින්, සුප්‍රකට බෙංගාලි ව්‍යාපාරිකයකු වූ හේමේන්ද්‍ර මොහාන් බෝස් සහ බෙංගාලි ලේඛක උපේන්ද්‍ර කිශොර් රායි චෞදරි ගේ සොහායුරිය වන මිර්ලා නාලනිගේ පුතණුවන් විය. උපේන්ද්‍රගේ පුතණුවන් වූ සුකුමාර් රායි කවියකු වූ අතර ඔහුගේ පුතණුවන් වූයේ මහා සිනමාවේදී සත්‍යජිත් රායි ය. මේ අනුව සත්‍යජිත් රායි නිතින් ගේ බෑනණුවන් කෙනෙකි. පසු කලෙක සිනමාවට ඇලුම් කළ සත්‍යජිත්, සිය මාමණ්ඩිය පසු කලෙක නිර්මාණය කළ ‘මෂාල්‘ චිත්‍රපටය රූ ගැන්වීම් බලන්නට ගියේ සිනමාව පිළිබඳ යමක් ඉගෙන ගැනීමේ ආසාවෙනි. එහෙත් එහි රඟ පෑ දිලිප් කුමාර් ගේ රංගනය දෙස අවඥාවෙන් බැලූ ආගන්තුක තරුණයා වහා දර්ශන තලයෙන් ඉවත් කරන්නට දිලිප් කුමාර් කටයුතු කළේය. තමා අතින් දර්ශන තලයෙන් නෙරපා හැරියේ සත්‍යජිත් රායි නම් තරුණයෙකුයි දිල්ප් දැන ගත්තේ පසු කලෙකය. කෙසේ හෝ නිතින් ගේ පියාණන් වන හේමේන්ද්‍ර ඉන්දියාවේ මුල්ම ගී තැටි නිෂ්පාදකයා වන අතර කල්කටාවේ මුල්ම ඡායාරූප නිෂ්පාදනාගාරය ගොඩනැඟුවේ ද ඔහු විසිනි. නිතින් ගේ මුල්ම චිත්‍රපටය බෙල්ජියම් රජුගේ කල්කටා සවාරිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් වන අතර පසුව ඔහු ‘පුනර්ජන්ම‘ (1926) චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා විය. මුල්ම ‘දේව්දාස්‘ චිත්‍රපටයේ ද කැමරාව මෙහෙය වූ නිතින්, රබීන්ද්‍ර නාත් තාගෝරයන් අතින් නිර්මාණය වූ එකම චිත්‍රපටය වන නතීර් පූජා හි කැමරාව මෙහෙය වීමට තරම් වාසනාවන්ත විය. නිව් තියටර්ස් හින්දි බසින් නිර්මාණය කරන ලද ‘චන්දිදාස්’ නිතින්ගේ මුල්ම අධ්‍යක්ෂණය විය. මුල්වරට පසුබිම් ගායනා සඳහා ගායකයකු යොදාගත් චිත්‍රපටය වූ ‘දූප් චඕන්‘ නිර්මාණය කළේ ද නිතින් ය. ඒ වනතෙක් ඉන්දියානු සිනමාවේ අදාළ නළු - නිළියෝම තමන්ගේ චරිත සඳහා ගායනා ඉදිරිපත් කළහ. ඒ මුල්ම ගායකයා වූයේ කේ.සී.දේ ය. සචින් දේව් බර්මන් ගේ මුල් ගුරුවරයා වන ක්‍රිෂ්ණා (කේ) චන්ද්‍ර (සී) දේ ගායක මන්නාඩේ ට නෑකමින් මාමණ්ඩියක විය. මුල්ම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා සංගීතය සැපයුවේ රායි චන්ද් බොර්ල්ය. වර්තමාන හින්දි සිනමා සංගීතයේ පියා ලෙස සළකන්නේ ද රායිචාන්ද් බොරාල් වන අතර ඔහු ද කල්කටාවේ උපන් බෙංගාලි ජාතිකයෙකි. ඔහුගේ සංගීත සගයා වූයේ පන්කජ් මලික් ය. මලික් ඒ වනවිටත් බිරේන්ද්‍ර නාත්ගේ ‘චිත්‍රා‘ සිනමාහලේ නිහඬ චිත්‍රපට සඳහා සංගීතය සැපයුවේය. රායි චාන්ද් මෙන්ම මලික් ද ඉන්දියානු සිනමා සංගීතයේ පුරෝගාමි මෙහෙවරක යෙදුණෙකි. කේ.එල්.සයිගාල්,එස්.ඩී.බර්මන්,ගීතා දත් සහ ආශා බොස්ලේගේ ජනප්‍රිය සිනමා ගීත පසුපස සිටි දැවැන්ත හස්තය වූයේ පන්කජ් මලික්ය. මලික් ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවන් 2005 වසරේ දී තැපැල් මුද්දරයක් ද ඉන්දියානු රජය මගින් නිකුත් කෙරිණ. නිතින් බෝස් පිළිබඳ අතුරු කතාවෙන් පසු අපි යළි නිව් තියටර්ස් වෙත හැරෙමු. සිය පැරණි නම අත හැර නිව් තියටර්ස් නමින් නවතම චිත්‍රාගාරය ගොඩ නංවන විට බිරේන්ද්‍ර නාත් එහි ශබ්ද පරිපාලක ලෙස අමෙරිකානු ජාතික විල්ෆර්ඩ් ඩෙමිංග් බඳවා ගත්තේය. කල්කටා සිනමාව සඳහා ටොලිවුඩ් නම මුල් වරට භාවිත කරනුයේ ඩෙමිංග් ය. ඒ හින්දි සිනමාව සඳහා බොලිවුඩ් නම භාවිත කරන්නට බොහෝ කලකට පෙර ය. බොලිවුඩ් යන්න භාවිත වනුයේ හැත්තෑ ගණන්වල අග වුවත් ඩෙමිංග් කල්කටා සිනමාව ටොලිවුඩ් ලෙස හඳුන්වන්නේ 1932 වසරේ ජූනි මාසයේ නිකුත් වූ අමෙරිකන් ‘සිනෙමටොග්‍රැෆර්‘ සඟරාව සමඟ කළ සංවාදයකදී ය. ඒ නිව් තියටර්ස් මෙන්ම මදාන් තියටර්ස් පිහිටියේ ද කල්කටාවේ ටොලිගංග් පෙදෙසේ වීම හේතුවෙනි. නිව් තියටර්ස් රටාව සමකාලීන හොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චිත්‍රාගාර සම්ප්‍රදායන්ට නෑකම් කිව්වේය. එහි බොහෝ ශිල්පීහු මාසික වැටුප ට සේවය කළහ. ටොලිගංග් සිනමාව ටොලිවුඩ් ලෙස නම් කිරීම හොලිවුඩය ඇසුරෙන් සිනමා නගර නම් කිරීමේ ලොව මුල්ම අවස්ථාවයි. නිව් තියටර්ස් සමාගමේ සංකේතය වූයේ හස්තියෙකි. සමාගම ආරම්භ කරන ලද්දේ 1931 වසරේ පෙබරවාරි 10 වැනි දිනයේය. නිව් තියටර්ස් හේතු පාඨය වූයේ ‘‘ජීවිතංග් ජ්යෝතිරේතු ඡායම්‘‘ යන්නය. එනම් ‘‘ආලෝකයේ ලාලිත්‍යය ජීවිතයේ සෙවනැල්ල මත‘‘ යන්නයි. එහි මුල්ම නිෂ්පාදනය වනුයේ දෙනා පඕනා ය. බෙංගාලි බසින් නිපදවන මෙහි අධ්‍යක්ෂවරයා වනුයේ ප්‍රේමාන්කූර් අතෝර්ති ය. වර්තමාන බංගලා දේශයට අයත් ෆර්ද්පූර් හි ජනම ලාභය ලද අතොර්ති සිනමාකරුවෙක් මෙන්ම නවකතාකරුවකු සහ නාට්‍ය රචකයකු ද වෙයි. ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ ඉන්දියානු සහය අධ්‍යක්ෂවරයා ද ඔහු ය. ඔහුගේ ‘දෙනා පඕනා‘ නිර්මාණය වනුයේ මුල්ම බෙංගාලි කතානාද සිනමා කෘතිය වන මදාන් තියටර්ස් සමාගමේ ‘ජමයි ශාස්ති‘ සමඟ තරගයට මෙනි. එමෙන්ම බෙංගාලි කතානාද සිනමාවෙන් අරඹා හින්දි සිනමාවට අවතීර්ණය වන මුල්ම සිනමාකරුවා වනුයේ ද ඔහුය. පසු කලෙක ඔහු බොම්බායේ ඉම්පීරියල් මෙන්ම කොලහපූර් සිනෙටෝන් වෙනුවෙන් ද චිත්‍රපට නිර්මාණය කළේය. අතෝර්ති ගේ සිනමාව මුළුමනින්ම බෙංගාලි සාහිත්‍ය කරුවන් සමඟ බැඳුනකි. සරත්චන්ද්‍ර චත්තෝපාධ්‍ය,රබීන්ද්‍ර නාත් තාගොර්,අගා හෂීර් කාශ්මීර්,බංකිම්චන්ද්‍ර චැටර්ජි ආදීන් රැසකගේ කෘති රැසක් අතෝර්ති අතින් පසුකාලයේ සිනමාවට නැඟිණ. ‘දෙන පඕනා‘ චිත්‍රපටයට පාදක වනුයේ සරත් චන්ද්‍ර චත්තෝපාධ්‍යායගේ ජනප්‍රිය නවකතාවකි. 19 වන සියවසේ අග භාගයේ ඉන්දියානු දෑවැදි ක්‍රමය නිසා පරිහානියට පත්වන ගැහැනුන් පිළිබඳ ලියැවුණු මේ කෘතිය රචනා කරන ලද්දේ 1923 වසෙර්ය. චත්තෝපාධ්‍යායගේ නවකතා පහළොවක් සිනමාවට නැඟුණ අතර ඒ අතරින් ජනප්‍රියම නවකතාව ලෙස සැළකෙනුයේ ‘දේව්දාස්‘ය. ‘පරීනීතා‘,‘මජීදිදී‘,‘අප්නේ පරායේ‘ යන සිනමාවට නැඟුණ නවකතා ද ඒ අතර කැපී පෙනෙයි. ‘දෙන පඕනා‘ චිත්‍රපටයේ භානු බැනර්ජි,දුර්ගාදාස් බැනර්ජ්,නිබානනි දේවි ආදීහු චරිත නිරූපණය කළහ. අතෝර්ති නිව් තියටර්ස් එකතුවෙන් උර්දු සහ හින්දි බසින් ද චිත්‍රපට සතරක් නිර්මාණය විය. ‘මොහබත් කී අන්සු(1931)‘, ‘සුබා කි සිතාරා(1932)‘, ‘යහුදී කී ලඩ්කි (1933)‘ මේ අතර කැපී පෙනෙයි. මේ චිත්‍රපට සඳහා තිර රචනා කරන ලද්දේ අගා හෂීර් කාශ්මිරි ය. එහි කේ.(කුන්දන්) ලාල්(එල්).සයිගාල්,ගුල් හමීඩ්,රත්තන් බායි ආදීහු චරිත නිරූපණය කළහ. මේ අතරින් සයිගාල් ගායකයකු මෙන්ම නළුවෙකුද වන අතර ඇතැම් සිනමා විචාරකයන්ගේ මතය අනුව හින්දි කතානාද සිනමාවේ මුල්ම තරුව සයිගාල්ය. ජම්මු කාශ්මිර් මහරාජාගේ ලේකම්වරයාගේ පුතුව උපත ලද සයිගාල් සංගීතයට යොමු වන්යේ සිය මවගේ ආභාසයෙනි. පසුව දුම්රිය සේවකයකු සහ ටයිප් රයිටර් අලෙවි කරුවකු ලෙස රැකියාවේ යෙදෙන ඔහුගේ හඬ හඳුනා ගන්නා සංගීතඥ හරිශ්චන්ද්‍ර බාලි විසින් සංගීතඥ රාම චන්ද්‍ර බොරල් වෙත හඳුන්වා දෙනු ලැබිණ. ඔහු නිව් තියටර්ස් වෙත එක්වනුයේ එමගිනි. ‘මොහබත් කී අනුසු‘ චිත්‍රපටය සඳහා ගායනයෙන් සහ රංගනයෙන් දායක වන සයිගාල් වඩා ජනප්‍රිය නළුවකු වනුයේ යහුදී කී ලඩ්කි සමඟය. චන්දිදාස් චිත්‍රපටයේ සයිගාල් පිළිබඳ පසු කලෙක ලතා මංගේස්කාර් පවසනුයේ එහි ඔහුගේ ගායනයට සහ රංගනයට ඇගේ සිත කෙතරම් ඇදී ගියාද යත් එවකට යොවුන් වියට පිවිසෙමින් සිටි ඇයට ඔහු හා විවාහ වන්නට ඇත්නම් යැයි සිතුණ වග ය. පී.සී බරුවා අධ්‍යක්ෂණය කළ ‘දේව්දාස්‘ ඔහුගේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි. පසුව නිව් තියටර්ස් සමාගමේ මාසික වැටුප් ලබමින් එහි රංගනයට දායක වන සයිගාල් ‘දිදි‘, ‘ප්‍රෙසිඩන්ට්‘, ‘සාති‘, ‘සින්ද ගී‘ ඇතුළු චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක විය. බොම්බායේ රංජිත් මුවිටෝන් සමාගමේ ටන්සෙන් සහ භක්ති සුරාද්ස් චිත්‍රපට යන්හි ද රඟපෑ ඔහු යළි නිව් තියටර්ස් සමාගමේ මේරි බහේන් චිත්‍රපටයට දායක වනුයේ 1944 දීය. එහෙත් ‘දේව්දාස්’ චරිතය මෙන්ම මේ වනවිට ඉතා තදින් මත් පැනට ඇබ්බැහි ව සිටි සයිගාල් 1947 වසරේ දි මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 42 කි. ඔහු චරිත නිරූපණය කරන ලද චිත්‍රපට 38 අතරින් 28 ක් හින්දි වූ අතර 7ක් බෙංගාලි විය. ඔහු විසින් ගයන ලද ගීත 185 ක් අතරින් 142 ක්ම චිත්‍රපට ගීත විය. මුකේශ්,මොහමඩ් රෆී, කිශොර් කුමාර් යන තිදෙනාටම වඩාත් බලපෑ ගායකයා වන සයිගාල් ගේ මරණයෙන් පසු බිරේන්ද්‍ර නාත් විසින් ‘අමර් සයිගාල්‘ නමින් අගනා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළේය. බිරිය ආශා රාණි, සහ දරු තිදෙනෙකු ගෙන් යුත් ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ සුපිරි නළුවාගේ මරණයෙන් අතර මං විය. රත්තන් බායි මරාති ජාතික කාන්තාවක වූවාය. කල්කටාවේ නිව් තියටර්ස් සමාගම මගින් තිරයට හඳුන්වා දෙන ඇය දක්ෂ ගායිකාවක ද වූවාය. ඇය සිනමාවට පිවිසෙනුයේ කතානාද සිනමාව සමඟ ඇති වූ නිළි ගායිකාවන්ගේ පුරප්පාඩුව පිරවීමටය. සිනමා වට පිවිසෙන විටත් ඇය ඉන්දියාවේ සුපතල බැංකු කරුවෙක් වූ පී.එස්.සිලෝත්‍රිගේ දයාබර බිරිය වූවාය. රත්තන් බාය්ගේ දියණිය සරෝජ් පසු කලෙක සිනමාවට පිවිසියේ සෝබනා සම්රත් නමිනි. රත්තන් බායිගේ සොහොයුරාගේ දියණිය වූයේ පසු කලෙක තවත් ජනප්‍රිය නිළියක වන නාලිනි ජයවන්ත්ය. ඉන්දියානු සිනමාවේ බිහි වූ දක්ෂතම සහ රූමත් නිළියක වන නූටාන් සෝබනාගේ වැඩිමහල් දියණිය වූවාය. නූටාන්ගේ නැඟණිය කනූජා හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක වූ අතර පසු කලෙක ‘පෙරළිකාරයෝ‘ චිත්‍රපටයේ ද විජය කුමාරතුංගයන් සමඟ රඟපෑවාය. නුටාන් ගේ පුත් මොහ්නිශ් බෙල් ද ජනප්‍රිය නළුවෙක් වෙයි. වර්තමාන සිනමාවේ දක්ෂතම නිළියක වන කාජල් තනුජාගේ දියණියයි. මේ ලිපි මාලාවේ දී ඉදිරියේ දී ලියැවෙන ෆිල්ම්ස්තාන් සමාගමේ සෝමු මුකර්ජි කාජල් ගේ පියාණන්ය. කාජල් සහ අජේ දේව්ගන් අතර විවාහයෙන් පසු රත්තන් බායි විසින් සිනමාවට හඳුන්වා දුන් පරම්පරාව තවත් ඉදිරියට ගමන් කරන බව පෙනෙන්නකි. කෙසේ වෙතත් බොම්බායේ හින්දි සිනමාව සමඟ තරග කිරීමට කල්කටාවේ හින්දි සිනමාවට පහසු නොවීය. එක් අතකින් නිව් තියටර්ස් ගෙන එන හින්දි සිනමාව බෙංගාලි සාහිත්‍යයෙන් මනාව පෝෂණය ලැබූ අතර එම සම්ප්‍රදාය බොම්බායේ සිනමා ශෛලියට වඩා වෙනස් විය.එහෙත් නිර්මාණ ශක්තියෙන් බොලිවුඩය පෝෂණය කරන්නට බෙංගාලි වංශිකයන් සමත් විය. මේ අතරවාරයේ බිරේන්ද්‍රනාත් මහා කවි රබීන්ද්‍ර නාත් තාගෝරයන්ට චිත්‍රපටයක් නිර්මාණය සඳහා ආරාධනා කළේය.
මතු සම්බන්ධයි
|
|||||||||||||