|
උත්තරීතර මිනිසකු ගැන ‘උත්තරීතර’ වැඩසටහන
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගැන අපූරු මතක රැගත් ‘උත්තරීතර’ විශේෂ වැඩසටහනක් 20 දා හිරු නාළිකාවේ
‘අනේ ඔහු අද ජීවතුන් අතර සිටියා නම්’ අතරමගදී මට සිතිණ. එහෙනම් ඒ උතුම් පුද්ගලයාව සියැසින් දැකගත් වාසනාවන්තයන් අතරට මටත් එකතු වීමට ඉඩ තිබිණ. මා එලෙස නොවීම ගැන ඇත්තේ කනගාටුවකි. යළිත් ඒ ගැන නොසිතා මම කඩිනමින් රත්මලානේ පිහිටි ඔහුගේ නිවෙසට ගොඩ වූයෙමි. මේ නිවෙසේ හිමිකරු කවුරුන්ද යන වග ඔබ දැනගැනීමට දැන් පුල පුලා බලා සිටින වග මම දනිමි. එහෙයින් නොපැකිළව එය පැවසීම ටතවත් පරක්කු නොවෙමි. ‘හෙළ සිනමා සක්විති’ එතුමාණන්ව හඳුන්වා දීමට එම අමරණීය නාමය සදාකාලිකය. මා මේ පැමිණියේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නම් අග්‍රගණ්‍ය රංගවේදියාණන්ගේ ජීවිතය ගලා ගිය ගෘහයටය. අද එතැන සුවිශේෂී වූ කර්තව්‍යයක් සිදුවෙමින් පවතියි. මේ චාරිකාවේ අරමුණ ඒ ගැන වැඩි තොරතුරු ඔබ වෙත ගෙන ඒමය. මම ගේට්ටුවෙන් ඇතුළු වී මිදුල පසුකොට නිවෙසෙහි කොරිඩෝවට ඇතුළු විය. දෙවනුව මා සොයා බැලුවේ ඔවුන් ඇවිත් සිටිනු ද යන්නයි.
අර ලයිට් එ කැමරාවේ ඈන්ගල් එක හදා ගත්තා නම් හොඳයි. මැඩම්ගේ මේකප් එක දාමු ද දැන්. මෙවන් වූ වදන් ආලින්දයෙන් මට ඇසෙයි. ඒ අනුව මා බලාපොරොත්තු වූ පිරිස ඇවිත් බැව් අනුමාන කළ හැකිය. රත්මලානේ වුව ද නිහඬ නිසංසල පරිසරයක පිහිටා ඇති නිවෙස සුදු පිරියම් කොට ඇත්තේය. ශාන්ත බව ඉස්මතු වන්නට ආසන පවා සකස් කොට ඇති මෙතැන ඔහුගේ සිත කොතරම් ධ්‍යානයට පත්කරන්නට ඇත්දැයි මට සිතිණ. ගාමිණී මහතා ජීවත්ව සිටි කාලයේදී නිවෙස ඉදිරියෙන් ගමන් කරන පුද්ගලයින් මොහොතක් නතර වී ඇඟිලි තුඩුවලින් එස වී තාප්පෙට ඉහළින් ඔහු සිටිනවා ද යන්න බැලූ වග මම අසා ඇත්තෙමි. ගොඩක් වෙලා ද ඇවිත්? මාත් සමඟ කෙනෙකු සුහදශීලී විය. ඔහු නමින් අකලංක මල්ලවයි. අකලංක හිරු නාලිකාවේ විකාශය වන ‘උත්තරීතර’ වැඩසටහනේ නිෂ්පාදකවරයාය. ලබන 22 වැනිදා ගාමිණී කලාවේදියාණන්ගේ හැත්තෑ හත්වන ජන්ම දිනයයි. එහෙයින් අප කලා නිම්නයට උදාර මෙහෙවරක් කළ උතුම් පුද්ගලයින්ට පිදෙන උපහාර වැඩසටහනක්වන ‘උත්තරීතර’ මෙවර වෙන්වනුයේ ඔහු වෙනුවෙනි. අද එය පටිගත වන දිනයයි. යමුකො ඇතුළට. මා හා මොහොතක් සංවාදයක යෙදී ඔහුගේ ඇරැයුම සමඟ මම නිවෙසට ඇතුළු වුණෙමි. බැලූ බැලූ තැන ඒ රංගන විරුවාගේ ගුණ සුවඳ රෝපණය වන මතක ඡයාරූපය. මේසයක් පුරා ඔහු ගැන ලියැවුණු පුවත්පත් ලිපිය. පිරිස පටිගත කිරීම ආරම්භ වනතුරු මම ඒවා කියවීමි. මේ අතර ඔහුගේ ප්‍රිය බිරිය සුමිත්‍රා ඇවිත් අසුනකට බර විය.
ඇය අපව තවත් සංවේදී කළාය. ඉන් පසු ඈ ගාමිණී මහතා රංගනයකට පෙර සූදානම් වූ අපූරු සිදුවීමක් ගැන මතකය ආවර්ජනය කළාය. ඔන්න දවසක් මං ගාමිණීව හොයනවා. සද්දයක් නැහැ. ඔහුගේ කාමරයේ දොර ඇරියා. මෙන්න එතකොට දඟල දඟල බිම වැටිලා ඉන්නවා. මං හොඳටම බය වුණා. ටිකක් වෙලා එහෙම ඉඳලා ඔහු පියවි තත්ත්වයට ආවා. මගෙන් ඇහුවා එයාව දැකලා මොකද හිතුණේ කියලා. ඔයාට මී මැස්මොරය හැදුණාද? මං ඇහැව්වා. අන්න හරි. ඔයාට එහෙම හිතුණා නම් මං සාර්ථකයි. ලෙස්ටර් මහත්තයාගේ නිධානය චිත්‍රපටයේ මට ඒ වගේ සීන් එකක් තියනවා. මං ඒකට පොඩ්ඩක් පුහුණු වුණා. අන්න බලන්න ඔහුගේ පෙර පුහුණුව කොහොමද කියලා. ඇය එහෙම පවසමින් සිටියදී ගාමිණී මහතාගේ එකම පුතු දමිත් ද මෙතැනට පැමිණියේය.
ෆොන්සේකා මහත්මිය එලෙස කීව ද ඇගේ දෙනෙතිනුත් කඳුළු වැටෙන වගක් අපට පෙනේ. හරි අපි රෙකෝඩිං එක පටන් ගනිමු. අකලංකගේ විධානයෙන් පිරිස ‘උත්තරීතර’ පටිගත කිරීම ඇරැඹීය. එතැන් සිට ගාමිණී ෆොන්සේකා නම් ඔහු පිළිබඳව ඔහුගේ බිරිය සහ පුතු අගනා වූ කතා බොහොමයක් පැවසීය. ඒ සියල්ල එළඹෙන 20 වැනි බදාදා රාත්‍රී 10.00 ට හිරු නාළිකාව ඔස්සේ ‘උත්තරීකර’ නැරැඹීමෙන් ඔබට දැනගත හැකිවනු ඇත.
|