වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මා අදහන්නේ සිනමාකරුවන් මිස දෙවියන් නොවේ

මා අදහන්නේ සිනමාකරුවන් මිස දෙවියන් නොවේ

සිනමාකරුවා තරම් මිනිස් ජීවිතයේ ඇතුලාන්තයට කිඳා බසිනා වෙනත් කලාකරුවකු ඇතැයි මම නොසිතමි. හේ සෙස්සන්ගේ ජීවිතවලට එබිකම් කරන්නේ කිසිදු අවසරයකින් තොරවය.

මේ ජීවන රඟ මඬලේ එසේ අනවසරයෙන් සැරිසැරුවද හේ කිසි විටෙකත් පිටස්තරයකු ලෙසින් අපට නොපෙණේ. ඒ සැබෑ සිනමාකරුවා මිනිස් අධ්‍යාත්මය සුවපත් කරන්නකුª බැවිනි.

ප්‍රසන්න විතානගේ නමැති විශිෂ්ට සිනමාකරුවා අයත් වන්නේ ද මේ කුලකයටය. සිය ප්‍රකාශ මාධ්‍යය වන සිනමාව හරහා ඔහු ආදරය, ලිංගිකත්වය වැනි අතිශය පෞද්ගලික කාරණා මෙන්ම සමාජ, දේශපාලන මතවාද විමසුමට ලක් කරන්නේ ශිෂ්ට සම්පන්න අයුරිනි. මේ ශික්ෂණය නිසා ඔහුගේ සිනමා රීතිය වඩාත් පිවිතුරුය.

‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය සමගින් නැවතත් ප්‍රේක්ෂකයන් අබිමුවට පැමිණෙන ප්‍රසන්න අප හා මෙසේ කතාබහකට එක්වන්නේ කලකට පසුවය.

* අද ඔබේ ජීවිතයේ වැදගත් දවසක්?

ඔව්. ඉතින් ඒක පෞද්ගලිකව මට විශේෂයි.

* මම හිතන්නේ වයස ප්‍රශ්නයක් වෙන්නේ අපේ නළු, නිළියන්ට. ඒ නිසා වයස කියන්න අකැමැති නෑනේ?

අපොයි නෑ. මම ඉපදුණේ 1962 දීනේ. එතකොට මේ 52 නේද ලැබුවේ.

* සුබ උපන් දිනයක් වේවා . . .

බොහොම ස්තුතියි අසංක.

* කලා දිවියට ඇවිත් එතකොට වසර කීයද?

මම පරිවර්තනය කළ මුල්ම නාට්‍යය ‘පුත්‍ර සමාගම’ වේදිකා ගත වුණේ 1985 වසරේ දෙසැම්බර් මාසයේ. මම හිතන්නේ වසර 28 ක් විතර නේද? මම අධ්‍යක්ෂණය කළ මුල්ම වේදිකා නාට්‍යය ‘අවි’ රඟ දැක්වුණේ 1986 අගොස්තුවේ. සිනමාව ගත්තොත් 1992 දී තමයි මගේ ප්‍රථම චිත්‍රපටය ‘සිසිල ගිනි ගනී’ තිරගත වුණේ.

* ඔබ ගැන වර්තමානයේදී අපේ අවධානය යොමු වෙන්නේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයත් සමඟ?

මේ මගේ හත්වැනි චිත්‍රපටය. විදෙස් චිත්‍රපට උළෙලවලදී මේ චිත්‍රටයට ලැබුණු සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා. කේරළයේදී වේවා, ගෝවේදී වේවා, ප්‍රංශයේ වෙසූල් නගරයේදී වේවා ඒ චිත්‍රපටයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. විදෙස් ප්‍රේක්ෂකයන් මෙන්ම ඒ නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනුත් මෙය නැරැඹුවා. චිත්‍රපටයේ ඇති සංවේදී බවට ප්‍රතිචාර ලැබුණා මේ දක්වාම. ‘ඔබ නැතුව ඔබ එක්ක’ තරගකාරී උළෙල දෙකකට ඉදරිපත් කළා. ඒ දෙකෙන්ම එය සම්මානයට පාත්‍ර වීම සතුටක්.

* ඒ පිළිබඳ වැඩිදුර යමක් කිව්වොත්?

‘වෙසුල්’ සම්ම්ාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ නෙට්පැක් සංවිධානයෙන් පිරිනැමෙන හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය වගේම 43 වැනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අංජලි පාටෙල්ට ලැබුණා.

* චිත්‍රපටය කවදාද ලංකාවේ තිරගත වන්නේ?

චිත්‍රපටය දැන් පෝලිමට එකතු කර තිබෙන්නේ. නමුත් ඊට ප්‍රථම චිත්‍රපට හතරක් පමණ ඛ් ඡ් ඹ් මණ්ඩලයේ තිරගතවීමට නියමිතයි. ඊට පස්සේ මට අවස්ථාව ලැබෙනවා.

* පෝලිම් කඩා බිඳගෙන යන යුගයක්නේ මේ. නමුත් ඔබ ඉවසිලිමත්ව තමන්ගේ වාරය එනතුරු බලාගෙන ඉන්නවා?

ඒ සියලුම දෙනා අපේ සහෝදර සිනමාකරුවන්. සෑම නිෂ්පාදකයකුම බලාපොරොත්තු වන්නේ තමන්ගේ චිත්‍රපටය වැඩ නිම වූ වහාම ප්‍රදර්ශනය කරවා ගන්න. බොහෝ දෙනා සිතන පරිදි ‘ඔබ නැතුව ඔබ එක්ක’ විදෙස් පේ‍්‍රක්ෂකයන්ට පමණක් හදපු චිත්‍රපටයක් නෙවෙයි. සිනමාකරුවෙක් හැටියට මම සතුටුයි අපේ රටේ ප්‍රේක්ෂකයන් සමඟ ඒක බෙදා ගන්න. නමුත් අපේ රටේ තිබෙන මණ්ඩල පහෙන් අද ක්‍රියාත්මක වෙන්නේ මණ්ඩල දෙකක් පමණයි. ගිය වසරේ ගත්තොත් ඹ්. ජ්. ච් මණ්ඩලයේ චිත්‍රපට දෙකයි. ර්. ර්‍ථ. ධ්. මණ්ඩලයේ එක චිත්‍රපටයයි ප්‍රදර්ශනය වුණේ. එම නිසා චිත්‍රපට පෝලිමක් පෙළ ගැසී තිබෙනවා.

* E. A. P.  සහ C. E. L. මණ්ඩල දෙක පමණයි නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ කියලද ඔබ කියන්නේ?

ඔව්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මගේ චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන ලැබුවා හෝ සුවිශේෂයි කියා හෝ කඩිනම් වාරයක් ඉල්ලීම මම හිතන්නේ සදාචාර විරෝධියි. නමුත් මම හිතනවා මේ වසරේ ජූලි, අගෝස්තු වන විට මේ චිත්‍රපටය ශ්‍රීී ලාංකික ප්‍රේක්ෂකයන් හමුවට ගෙනෙන්න හැකි වෙයි කියලා.

* ඔබ මා සමඟ ‘සරසවිය’ පුවත්පතටම කළ සංවාදයකදී ප්‍රකාශ කළා ‘ආකාස කුසුම්’ චිත්‍රපටයෙන් පසු නැවත සිංහල චිත්‍රපටයක් නිර්මාණය නොකරන බව. නමුත් දැන් ඔබ විසින්ම ඒ ආස්ථානය බිඳ හෙළා තිබෙනවා?

හරි, ඔව්. ඒක දෛවයේ සරදමක් මෙන්ම උත්ප්‍රාසයට කාරණාවක් වෙන්නේම සම්මුඛ සාකච්ඡාව පැවැත් වූ ඒ පුවත්පත් කලාවේදියා සමඟම මගේ අලුත් චිත්‍රපටය ගැන කතා කිරීමට සිදුවීමයි. මම ‘ආකාස කුසුම්’ මගේ අවසන් සිංහල චිත්‍රපටය යැයි කිව්වේ ඉතාමත් ස්ථිරසාරවයි. එවැනි චිත්‍රපටයක් සඳහා මට නිෂ්පාදකයකු ආරාධනා කරනවා නම් ඔහුට සහතිකයක් දිය යුතුයි චිත්‍රපටයට වැය කළ මුදලවත් සොයා ගන්නට පුළුවන් කියලා. ඒත් ලංකාවේ තිබෙන බෙදා හැරීමේ ක්‍රමයත් එක්ක එහෙම වියදම් පියවා ගැනීම පවා අපහසු කටයුත්තක් බවට දවසින්, දවස පත්වේගෙන එනවා. එසේ වන්නේ චිත්‍රපටයේ පෝස්ටරයේ පටන් සියලුම පිරිවැය නිෂ්පාදකයාට දරන්නට සිදුව තිබෙන නිසා. එවැනි තත්ත්වයක් මත මම කිසිම චිත්‍රපටයකට අත ගසන්නේ නෑ කියා ඔබට එදා පැවසූ දේ එසේමයි.

* එතකොට ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය?

ඉන්දීය නිෂ්පාදකයන් නිසයි මට මේ චිත්‍රපටය කරන්නට හැකි වුණේ. ශ්‍රීී ලංකාවේ නිෂ්පාදන පිරිවැය අඩුවීමත්, ඉන්දියාවේ රූගත කිරීම් සඳහා වැය වන මුදල් වෙනත් මාර්ගවලින් සොයා ගැනීමට හැකිවීම නිසාත් මම මේ චිත්‍රපටය කළා. නමුත් එදා ඔබට දුන් වචනය වෙනස් වුණේ නැහැ. ‘ඔබ නැතුව ඔබ එක්ක’ පූර්ණ සිංහල චිත්‍රපටයක් නෙවේ. එය සිංහල, දෙමළ ද්විභාෂිත චිත්‍රපටයක්.

* එතකොට ඔබ එදා මට එවැනි දෙයක් පැවසුවේ නිෂ්පාදකයන් ගැන සිතලා?

ඔව්. අනිවාර්යයෙන්ම . . . මම හිතන්නේ අපි නැවත ඒ සම්මුඛ සාකච්ඡාව බැලුවොත් එය වැටහේවි. ඉතින් ඒ ස්ථාවරයේ වෙනසක් නෑ. දැන් අද තියෙන ප්‍රවණතාව තමයි ලෝකේ බොහෝ රටවල් මේ තත්ත්වයන් ජය ගෙන තිබෙනවා ඩිජිටල් සිනමාවට නැඹුරුවීම නිසා පිටපත් මුද්‍රණයට යන වියදම අවම කර ගැනීමෙන්. එමඟින් සිනමා කර්මාන්තය යාවත්කාලීන කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තියෙනවා. අද චිත්‍රපටයක පිටපතක් සඳහා රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වැය වෙනවා. නමුත් එම චිත්‍රපටයේම ඩිජිටල් පිටපත රුපියල් විසි දහසක මුදලකට ලබා ගත හැකියි. දැන් අවාසනාවකට මේ තත්ත්වය ලංකාවේ තියෙන්නේ කෙටුම්පත්වල නැතිනම් කමිටු වාර්තාවල පමණයි. මෙන්න මේ හේතුව නිසා මම හිතනවා ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනය තව තවත් අපහසු තත්ත්වයකට පත්වේවි කියා.

* ඔබේ අලුත් චිත්‍රපටයට දායක වන පිරිස ගැන කතා කළොත්?

මේ චිත්‍රපටයේ සීමිත නළු, නිළි පිරිසක් රඟපාන්නේ. ඔවුන්ගේ රංගනයන් පිළිබඳ මම සෑහීමකට පත් වෙනවා. ශ්‍යාම් ප්‍රනාන්දු සිනමාවේ මට හසුරවන්න ලැබුණු දක්ෂතම නළුවෙක්. ඒ වගේම අංජලී පාටෙල්. ඇය ඉන්දියානු නිළියක්. මම හැකි තරම් උත්සාහ කළා ඒ දෙමළ තරුණියගේ චරිතය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් නිළියක් යොදා ගන්න. ශ්‍රී ලාංකික දෙමළ තරුණියක්. නමුත් අවාසනාවකට මට අවශ්‍ය රූපය එහෙම හමු වුණේ නෑ. ඉන්දියානු ජාතික රංග පාසලේ උපාධිධාරිනියක් වූ අංජලීගේ ඡායාරූප කිහිපයක් දැකලා, ඇගේ තිබෙන්නා වූ මුවැත්තියක් බඳු නෙත් සඟළ නිසයි ඇයට කැමැති වුණේ. ඒ වගේම වසන්ත මොරගොඩ, සුරේෂ් සෙනෙවිරත්න මේ සියලු දෙනාම චිත්‍රපටය වෙනුවෙන් හොඳ දායකත්වයක් ලබා දුන්නා.

* අවශේෂ අංගයන් පිළිබඳ කතා කළොත්?

මේ චිත්‍රපටයේ සංගීතය ලක්ෂ්මන් ජෝශප් ද සේරම්. මගෙත් එක්ක ඉර මැදියම, ආකාස කුසුම් වැනි චිත්‍රපටවලටත් දායක වුණේ ඔහු. කැමරාකරණයෙන් එම්. ඩී. මහින්දපාල, මගේ යාවජීව කැමරා ශිල්පියා. මෙහි තිර රචනය මගේමයි. ඊට පාදක වුණේ පියදෝර් ඩොස්ටොව්ස්කිගේ කෙටි කතාවක්. ඒ කෙටි කතාව ශ්‍රී ලාංකික මහ පොළොවට අනුවර්තනය කිරීමට ඇති හැකියාව මට කතා සාරාංශයකින් ඉදිරිපත් කළේ තරුණ නාට්‍යවේදියකු වන ආරියවංශ ධම්මගේ විසින්. පසුව එය තිර රචනයක් බවට පත් කළා. කල්පනා ආරියවංශ, වින්දන ආරිවංශ මට තිර රචනයේදී උදව් වුණා.

* ඔබ චිත්‍රපට හදන්නේ ඇත්තටම ජාත්‍යන්තර සම්මාන ඉලක්ක කරගෙනද?

මම චිත්‍රපට හදන්නේ ඇත්තටම මගේ ආත්ම තෘප්තියටයි. හැබැයි ඒ ආත්ම තෘප්තියේ ත්‍යාගය සම්මාන නෙවෙයි. ආත්ම තෘප්තිය ඇති වන්නේ නිර්මාණයේදීමයි. ඒ කියන්නේ වැඩ කරන කොට අපි හොයනවා යම් දෙයක්. චරිත කිහිපයක් එකිනෙකාට මුණගස්සලා ඒ හරහා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කිසියම් දෙයක් අපි හොයනවා. දැන් මේ සෙවිල්ලේ තමයි සතුට තියෙන්නේ. අනෙක් හැමෝමත් සිතෙන්, කයෙන් ඊට දායක වෙනවා. දැන් සම්මානයකින් වෙන්නේ අප කළ දේට අගැයීමක් ලැබීමයි. බොහෝ දෙනකු මගෙන් අහනවා ඔබ ඇසූ ප්‍රශ්නයම. ඒ මම හදපු චිත්‍රපට සම්මානයට පාත්‍ර වූ නිසා වෙන්නැති. නමුත් ඒ අයට මට කියන්න තියෙන්නේ අර මුලින් කියූ කාරණයයි.

* ජාත්‍යන්තර සිනමා උළෙලවලදී විටෙන් විට අපේ නිළියන් සම්මානයට පාත්‍ර වුණා. නමුත් විදේශ සම්මානයක් හිමි කරගත් අපේ එකම නළුවා ජෝ අබේවික්‍රමයන් පමණයි. ඒ ඔබේ ‘පුරහඳ කළුවර ’ වන්නිහාමිගේ චරිතයට. . .?

මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට හතෙන් පහකදීම ප්‍රධාන නළු, නිළියන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ආපසු ගියොත් ‘ඔබ නැතුව ඔබ එක්ක’, ‘ආකාස කුසුම්’, ‘ඉර මැදියම’, ‘පුර හඳ කළුවර’, ‘පවුරු වළලු’ ඔය චිත්‍රපට පහ. ඒ වගේම කිසියම් සම්මාන උළෙලක මම බලාපොරොත්තු වෙනවා ශ්‍යාම් ප්‍රනාන්දු හොඳම නළුවා වෙයි කියලා. චිත්‍රපටය මුලින්ම නරඹපු වෙලෙත් අංජලී පැවසුවේ චිත්‍රපටයේ ‘තරුව’ ශ්‍යාම් බවයි. නමුත් සම්මානය ඇයට හිමි වුණා. මම නළු නිළියන් අගය කරීමේදී සම්මාන පෙරදැරි කරගෙන ඔවුන් අගය කරන්නේ නෑ. මේක මටත් අදාළයි. කවුරුවත් මට ලැබූ සම්මාන පෙරදැරි කරගෙන මාව අගය කළ යුතු නැහැ. මම නැති කලක වුණත් මගේ චිත්‍රපට ගැන කතා කරනවා නම් එක තමයි සාර්ථකත්වය. ඒ කියන්නේ කාලයත් එක්ක පැවතීමේ හැකියාව.

* මම මතු කළේ නිළියන් තරම් අපේ නළුවන් ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර නොවුණේ ඇයි කියන කාරණය?

‘නිධානය’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ රංගනය, ඒ් වගේම ‘ගම්පෙරළිය’ ජිනදාසගේ චරිතය. ටෝනි රණසිංහ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ රඟපෑ නිශ්ශංකගේ චරිතය. එතකොට ‘වැලිකතර’ චිත්‍රපටයේ ගාමිණීගේ සහ ජෝ ගේ රඟපෑම්. මේ වගේ විශිෂ්්ට චරිත තියෙනවා. මේවා ඒ අවස්ථාවන්වලදී කෙසේ හෝ මඟහැරී තිබෙනවා. නමුත් ජාත්‍යන්තර සම්මානවලට ලක් නොවුණත් ගාමිණී අයියා රඟපෑ විලී අබේනායකගේ, ජිනදාසගේ චරිත, එතකොට ‘බඹරු ඇවිත්’ ජෝ අබේවික්‍රමගේ රංගනය. මේවා කිසියම් වූ ආකරයක මෙරට නළුවන්ගේ විශිෂ්ටත්වය සලකුණු කළ කැටපත් හැටියට තියෙනවා, තවමත් කල් ඉකුත් නොවී. එයයි නියම සම්මානය.

* අධ්‍යක්ෂවරයා හැරුණු විට සිනමා කෘතියක වඩා වැදගත් පුද්ගලයා ලෙස ඔබ දකින්නේ කවුද?

අධ්‍යක්ෂවරයා මත තමයි චිත්‍රපටයක සාර්ථක, අසාර්ථක බව රඳවා පවතින්නේ. ඊට දායක වන සියලු දෙනාගේම ජීවිතවලින් කොටසක් චිත්‍රපටයට දායාද කර ගැනීමයි අධ්‍යක්ෂවරයගේ වගකීම විය යුත්තේ. මම මෙතනදී කිසිසේත්ම අවතක්සේරුවට ලක්කරන්න කැමැති නෑ ඡායාරූප අධ්‍යක්ෂණය. මගේ චිත්‍රපටවලට දායක වූ මහින්දපාල, සුමින්ද වීරසිංහ, ඒ වගේම සංස්කරණයෙන් ලාල් පියසේන, ශ්‍රීකර් ප්‍රසාද් ප්‍රධාන වශයෙන්. ප්‍රසන්න විතානගේ කිව්වම එක නමක් විතරයි. නමුත් ඇත්තටම ඒ නම පිටුපස තවත් බොහෝ දෙනෙක් ඉන්නවා සිනමා කෘතියේදී. පෞද්ගලික ජීවිතයේ නෙවෙයි.

* හොඳ රංගන දායකත්වයක් නොලැබුණොත් මේ සේරම ඉවරයිනේ?

අධ්‍යක්ෂවරයාගේ සාර්ථකත්වයට විශාල බලපෑමක් එල්ල කරනවා තමන් රඟපාන චරිතවල ‘සමසිඳ මසට වැද, ඇට මිදුලු කරා විහිදී යාමට හැකියාව තියෙන නළු, නිළි කැලකගේ දායකත්වය. ඒ අය හරහා තමයි අපි කියන්නේ මනුෂ්‍ය ජීවිතය ගැන. දැන් මට රඟපාන්න බෑ. නමුත් මට සමහර විට ව්‍යක්තව කියාගන්න බැරි දේවල්, මම තිර රචනයක වාක්‍ය දහයකින් කියන්න හදන දේවල් ඔවුන් එක බැල්මකින් ප්‍රකාශ කරනවා. ඉතින් එවැනි නළු, නිළි කැලක් මගේ චිත්‍රපටවලට දායකවීම අර වගේම මා ලැබූ භාග්‍යයක්, ජයග්‍රහණයක්.

* සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය කියන තැන නෙවෙයිද එතකොට ඔබ ඉන්නේ?

නෑ, චිත්‍රපටයකින් අධ්‍යක්ෂවරයා මනුෂ්‍ය ජීවිතය දිහා බලන විදිහ, මේ සමාජය දිහා බලන විදිහ මේ හරහා පේනවා. දැන් ඒක ඇතුළේ අධ්‍යක්ෂවරයාගේ ජීවන වටිනාකම් මොනවද කියන එක හංගන්න බෑ. අධ්‍යක්ෂවරයාගේ මුද්‍රාව සෑම චිත්‍රපටයක් තුළම තිබිය යුතුයි. හැබැයි එය කිසියම් ආකාරයක ස්වයං වින්දනයක් නොවිය යුතුයි.

* 1997 වසරේදී දේශීය සිනමාවට පනස් වසරක් පිරීම නිමිති කරගෙන අපේ රටේ ප්‍රමුඛ පෙළේ විචාරකයන් පිිරිසක් අනු පිළිවෙළින් හොඳම චිත්‍රපට 25 ක් තේරුවා. මේ නිර්ණායකයන් අදටත් වලංගුද?

ඔය ලැයිස්තුගත කිරීම කරන විට අශෝක හඳගම සිනමාවට පිවිස සිටියේ නෑ. විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි, ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්ෂකවරුන් සිනමාවට පිවිස සිටියේත් නෑ. මගෙත් ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටය පමණයි ප්‍රදර්ශනය කර තිබුණේ. ඒ නිසා ඒ 1997 කාලයට මිස එය අදට වලංගුª නෑ. එය එසේ විය හැකියි. නොවිය හැකියි. අපි හිතමු අද සිටින විචාරකයන් පිිරිසකට එම කටයුත්ත පැවරුවොත් සමහර විට එම චිත්‍රපටම තෝරා ගන්න පුළුවන්. එහෙම විමසීමක් කළොත් පමණයි එය වලංගු ද නැද්ද කියන එක බලාගන්න පුළුවන් වෙන්නේ.

* වර්තමානයේ එබඳු විමසීමක් කළ යුතුයි කියා ඔබ සිතනවාද?

මම හිතන්නේ එය රටක සිනමා සංස්කෘතියේම කොටසක්. අවාසනාවට අද අපේ සිනමාව තුළ සිටින අය තමාගේ අනාගතයක් දකින්නේ නෑ. බොහෝ දෙනාගේ ඇස් පිහිටා ඇත්තේ හිසේ පිටුපස කොටසේ. ඔවුන් දකින්නේ සිනමාවේ අතීතය පමණයි. අපි අතීත කාමයක ජීවත්වෙන්න කැමැතියි. ඒ අතීතය තුළ ජීවත් වුණත් අපිට ඒ අතීත උරුමය රැක ගන්න පුළුවන් වෙලා නෑ. ඔය පළමු චිත්‍රපට දහය ගත්තොත් චිත්‍රපට කීයකද අද පිටපත් තියෙන්නේ. මෙය අකාමකා දැමිය හැකි උරුමයක් නොවේ. රැක ගත යුතු උරුමයක්. සිනමාකරුවාට අද ප්‍රශ්නය තියෙන්නේ තවත් සිනමාකරුවකු සමඟයි. මම මෙහෙමයි, අර චිත්‍රපටයට වඩා මගේ එක හොඳයි කියන අධි තක්සේරුවෙන් සමහරු අනෙක් අය හෙළා දකිනවා. ඔවුන් දන්නේ නෑ තමන් වතුර රත්වන තුරු දිය කෙළිනා කකුළුවන් වගෙයි කියලා.

* විචාරකයකු හැටියට ඔබට යළිත් ඉහත චිත්‍රපට අනුපිළිවෙළට තෝරන්නට කිව්වොත්?

ඔබ මට ඒ අවශ්‍යය විවේකය සපයා දෙනවා නම් නිවී හැනහිල්ලේ සොයා බලා එය පැවසිය හැකියි. මේ මොහොතේ ඊට සුදුසු වාතාවරණයක් නෑ.

* සමහර විට ඒ හොඳම චිත්‍රපටය ‘නිධානය’ නොවෙන්නත් පුළුවන්?

නෑ අනිවාර්යෙන්ම ‘නිධානය’ තියෙනවා. එතකෙට ගම්පෙරළිය. ඒවා අවිවාදාත්මකයි. මගේ මතයත් මෙතෙක් බිහි වූ හොඳම සිංහල චිත්‍රපටය ‘නිධානය’ බවයි.

* ඔබ ඇතුළු සිව්වන පරම්පරාවේ සිනමාකරුවන් සමහර දෙනෙක් වැඩි වශයෙන් විදෙස් සිනමාවේ ආභාසය ලද බව පේනවා. ලංකාවේ සිනමාව ගත්තොත් ඔබට එහෙම පෙර ගමන්කරුවෝ සිටියේ නැද්ද?

ලෝක සිනමාවේ බොහෝ සිනමාකරුවන්ගෙන් උත්තේජනය ලැබූ බව කියන්න මම පසුබට වෙන්නේ නෑ. ඒ වගේම මට කිසි හීනමානයක් නෑ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වැනි බොහෝ ලාංකික සිනමාකරුවන්ගෙන් උත්තේජනයක් ලද බව කියන්න. හැබැයි මම සතුටු වෙනවා මේ රටේ මම ජීවත් වූ යුගයට, ඒ යුගයේ ජනතාවගේ අධ්‍යාත්මය රූපයේ සටහන් කිරීමට ඔවුන් දෙකොට්ඨාශයෙන්ම මට රුකුලක් ලැබීම ගැන.

* ඒ විදෙස් සිනමාකරුවන් කවුදැයි නම් කළොත්?

ඔව්, සත්‍යජිත් රේ, ජපානයේ ටෲෆෝ, කුරසාවා, ඒ වගේම ඉන්දියාවේ ගුරුදත්. ඇමරිකානු සිනමාවේ ජෝන් ෆෝඩ්. මේ සියලු දෙනා මගේ දෙවිවරු. මම කිසිම දෙවි කෙනෙක්, ආගමක් අදහන්නේ නෑ. නමුත් මම මේ සිනමාකරුවන් අදහනවා.

* ඔබ රංග පාසලක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ලැබුණා. ඒ ගැනත් අවසන් වශයෙන් කතා කරමු?

1992 වසරේ ඉඳන් මේ දක්වා මම හැදුවේ මට අවශ්‍ය ආකාරයේ චිත්‍රපට. ඒ සඳහා මට සියලුම නිෂ්පාදකවරුන් විශාල දායකත්වයක්, නිදහසක් ලබා දුන්නා. ඉන්දියාවේ සිටින මගේ මිතුරන් අලුත් නිෂ්පාදනයට දායක වූ නිසා තවත් චිත්‍රපටයක් හැදුවා. එතකොට ඒ චිත්‍රපට සියල්ලම ජපානයේ සංරක්ෂණය කර තිබෙනවා ‘සිසිල ගිනි ගනී’ හැර. ඉදිරියේදී එයත් සංරක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ චිත්‍රපට ඕනෑම වෙලාවක නැරැඹීමට ලංකාවේ ඕනෑම තැනකින් D. V. D ලබා ගැනීමට පුළුවන්. මම නිර්මාණකරණයේ යෙදුණා. ඒ කරපු දේවල් සංරක්ෂණය කළා. ඊළඟ මගේ සිහිනය තමයි ලංකාවේ සිනමා පාසලක් හැදීම.

* වැඩිදුර යමක් කිව්වොත්?

මා ආරම්භ කිරීමට සූදානම් වන රංගන පාසලට මගේ මිතුරන් දෙදෙනෙක් වන සුනිල් ෆොන්සේකා සහ එච්. ඩී. ප්‍රේමසිරි දායක වෙනවා. මම විශ්වාස කරනවා සිනමාවෙන් හා රූපවාහිනියෙන් අප දකින රංගනයන්ට වඩා හොඳ රංගනයන් දැකීමට මේ රටේ පුරවැසියන් වන අපට අයිතියක් තියෙනවා කියලා. ඒ වගේම මට තියෙනවා කිසියම් වූ ආකාරයක ආත්මාර්ථකාමී සිතුවිල්ලකුත්, රංගනය ගැන අවබෝධයක් තියෙන පිරිසක් මගෙත් එක්ක ඉදිරියේදී වැඩ කරන්න හදා ගත යුතුයි කියලා.

* මේ ගේම් එක ගහන්න නැතුව බෑ?

ඔව්. ඒ නිසා මම පළමුවෙන්ම රංගන පාඨමාලාවකින් මේ සිනමා පාසල ආරම්භ කරනවා. එය පූර්ණ සිනමා පාසලක් වීමට තව වසර හය, හතක් යාවි. නමුත් රංගනය මගේ ප්‍රථම ප්‍රේමයයි. ඒ වගේම මම හොඳින් රඟපාන සියලු නළු නිළියන්ටත් අසීමිත ආදරයක් දක්වනවා. මම හිතන්නේ රංගනය ශාස්ත්‍රීයව හැදෑරිය යුතුයි. වාසනා ගුණය, කුසලතාව තිබිය යුතුමයි. රංග පාසලකින් විය යුත්තේ ඒ කුසලතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට බලපෑමක්, සාධනීය බලපෑමක් කිරීමයි. පාසලකින් කරන්නේ විවිධ ශානර ඒ කියන්නේ කොමඩි, ඇක්ෂන් මේ සියල්ල බිහි කිරීම. අද ටෙලිවිෂනය හරහා අපි දකින්නේ දුර්වල රංගනයන්. නමුත් ලෝකයේ එහෙම නෙවෙයි. ගොඩක් රටවල ටෙලිවිෂනය හරහා හොඳ නළු, නිළියන් බිහි වෙනවා. ඉතින් අපේ සිනමාව වෙනුවෙන් මා මේ රංග පාසල ආරම්භ කරන්නේ වඩාත් ප්‍රශස්ත රංග කුසලතාවන්ගෙන් හෙබි නළු, නිළි පිරිසක් රටට හඳුන්වා දීමේ අරමුණෙන්.

* කවදාද වැඩේ ආරම්භ කරන්නේ?

මාර්තු 30 වැනිදා, අපි ඒ සුබ කටයුත්තට මුල පුරනවා.