වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගජමෑන්ට මගෝඩිස්තුමන්ට මඟ පෑදුවේ සරසවිය

ගජමෑන්ට මගෝඩිස්තුමන්ට මඟ පෑදුවේ සරසවිය

ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා

මගේ කාටුන් කලා ජීවිතයත් සරසවිය පත්තරයත් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳුණු අතීත මතක සැමරුමකි. එදා මගේ කාටුන් චිත්‍රයක් මුල් වරට පත්තරයක පළ වූයේ සරසවියේය. අද මා මෙරට කාටුන් කලාවේ සුපතල නමක් දිනා සිටීමේ රහසේ ඇරැඹුම් ලක්ෂය වූයේ සරසවියයි.

මා පදිංචිව සිටියේ මීගමුවේය. මගේ රාජකාරි වාසස්ථානය වූයේ කොළඹ කච්චේරියයි. වැඩිමනක් මා කොළඹ පැමිණියේ දුම්රියෙනි. මගේ ඇඳීමේ හැකියාව මා උපතින් ගෙනා කුසලතාවක මිස ඒ සඳහා ගුරුහරුකම් කාගෙන්වත් නොලැබිණි. මා සිංහල සාහිත්‍යයත්, ඉංග්‍රීසි සාහිත්‍යයත් හදාරා තිබිණි. ඇමෙරිකන්, ඉන්දියන්, බ්‍රිතාන්‍ය පුස්තකාල පරිහරණය කරමින් බොහෝ පොත පත කියෙව්වෙමි. මගේ කාටුන් කලාවේ නිර්මාණකරුවාත් ගුරුවරයාත් වූයේ මාය. මගේ කාටුන් චිත්‍ර, පුවත්පතක පළවනවා දැකීම මට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය. එකල එය ඉතා අසීරු කාර්යයක් ද විය. පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනයට පැමිණීම ද රටේ රජවාසලට යනවා වැනි දෙයක් විය.

එතරම් ප්‍රතාපවත් ගාම්භීර ආයතනයක් මඟින් පළ කරන පුවත්පතක මගේ කාටුන් චිත්‍රයක් පළ කර ගැනීමට මා නොගත් උත්සාහයක් නැති තරම්ය. විවිධ අයුරින් මා චිත්‍ර නිර්මාණය කරමින් එවක පුවත්පත් සඳහා එවනු ලැබුව ද ඒ කිසිවක් පළ නොවිණි. එමෙත් මම අධෛර්යමත් නොවීමි. මම දිගටම චිත්‍ර ඇන්දෙමි. එවක ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටි සුමනා සපරමාදු මෙනෙවිය මාගේ මිත්‍රයකු මාර්ගයෙන් මා හට හඳුනා ගැනීමට ලැබිණි. එම හඳුනා ගැනීම මගේ සිහිනය සැබෑවක් කර ගැනීමට මාර්ගය පෑදිණි.

අන්දරේ රා මදින්නකු ගැන කියූ,

බඳින බඳින වැල හැරපට කැඩීයන්
තියන තියන අඩි ලිස්සා වැටීයන්
කපන කොටන මන්නේ ලේ ගෑවීයන්
මට රා නොදුන් තෝ ගහමුල වැටීයන්

කළුවන් කළුරුවයි අපෙ ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙයියෝ රැක දෙන්න අපෙ ගම මදින්නා

කවි පදයට මා කාටුන් චිත්‍රයක් ඇඳ මම එතුමියට දුන්නෙමි.

ඇය එවක සරසවිය කර්තෘතුමන් වූ විමලසිරි පෙරේරා මහතාට එය භාර දී තිබිණි. එතුමන් එය 1964 මාර්තු මස හතර වැනිදා සරසවිය පත්තරයේ පළ කර තිබිණි. මුල් වරට මගේ කාටුන් චිත්‍රයක් පත්තරයක පළ වූයේ එදාය. මම එයින් කොපමණ සතුටක් අත් වින්ඳාද කිවහොත් සරසවිය පත්තර කීපයක් මිලදී ගෙන හිතවතුන් අතට ද පත් කළෙමි. ඒ පුවත්පත අද ද මා සමීපයේ සුරැකිව ඇත. ඉන් පසුව මා කාටුන් ඇන්ද ද ඒවා අඳිනු ලැබූ තරම් ඉක්මනට පත්තරයේ පළ නොවිණි. 1965 දී මා විසින් අඳිනු ලැබූ පොකට් කාටුනයක් සිළුමිණ පත්තරයේ පළ විය. දිගින් දිගට නොවූවත් වරින් වර කිහිප අවස්ථාවකදී පමණක් මෙලෙස මා විසින් අඳිනු ලැබූ පොකට් කටුන් සිළුමිණ පත්තරයේ පළ විය.

මා දවස පත්තරයට ගියේ ඒ් කාටුන් පළ කර ගැනීමටය. එවක එහි කර්තෘවරයා වූයේ ඩේවිඩ් කරුණාරත්නයන්ය. ඔහු මට පැවසුවේ පොකට් කාටුන් නොව තීරු කාටුන් නිර්මාණය කර දෙන ලෙසය. ඒ වනතුරුත් එවැන්නක් ගැන අසා නැත. අහගන්නට ද කෙනෙක් නැත. ඒ නිසා මා පුස්තකාල පීරමින් ඒ ගැන සෙව්වේ තීරු කාටුන් මොනවාද කියා සොයා බලන්නටය. කාටුනයක් ඇඳීමට අදහසක් ගොනුකර ගන්නේ කෙසේ ද, කොහොමද යන්න ගැනවත් මට දැනුමක් එවක නොතිබුණි. මාගේ දැඩි උත්සාහය නිසාම ඒ බාධකය ජය ගැනීමට හැකි විය. 1966 ජනවාරි පළවෙනිදා තෙපානිස් නමින් මගේ මුල්ම තීරු කාටුනය දවස පත්තරයේ පළ විය. තෙපානිස් තීරු කාටුනය දවස පත්තරයේ පළ වන්නට පටන්ගත්දා පටන් මට යම් පිළිගැනීමක් ඇති වෙන්නට පටන් ගත්තේය. ඒ අතරවාරයේ මාගේ මිත්‍රයකු මාර්ගයෙන් එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූ පියසේන නිශ්ශංක මහතා හඳුනාගන්නට ලැබිණි. එතුමන් දිනක් මා ලේක්හවුස් ආයතනයට කැඳවා මගේ කාටුන් නිර්මාණ අගය කොට එවක ජනතා පත්තරයේ කර්තෘවරයා වූ ඩී. එෆ්. කාරියකරවන මහතා වෙත යොමු කළේ මා ගැන පොඩි පහේ වර්ණනාවක් ද කරමිනි.

ලේක්හවුස් ආයතනයේ දී බිහිවූ කැමිලස්ගේ
බොහෝ කාටුන් චරිත.

ඒ අනුව මම ජනතා පත්තරයට දොන් සේතං නමින් චරිතයක් නිර්මාණය කළෙමි. එය 1966 මැයි මස පළමුවෙනිදා පටන් ජනතා පත්තරයේ පළ වන්නට විය. අතිශයින් ජනාදරය දිනමින් දිනෙන් දින මේ කාටුනය මිනිසුන් අතර ජනප්‍රිය වන්නට වූයෙන් මේ චරිතය වටා මෙරායා, ගොඩ්වින් අයියා, ලපයා ආදි පවුලේ චිත්‍ර රැසක් සමඟ මම දොන්සේතං කාටුනය නිර්මාණය කළෙමි.

ලේක්හවුස් ආයතනයට වර්ණ මුද්‍රණය පැමිණීමත් සමඟ ජනතා පත්තරයේ මුල් කවරයේ වර්ණයෙන් මාගේ කාටුනය පළ වන්නට විය. මාස කිහිපයක් මෙලෙස කාටුනය පළවීමත් සමඟ පත්තර විකුණන අයගෙන් ඉල්ලීමක් ලැබුණේ මගේ දොන්සේතං කාටුනය ඇතුල් පිටුවකට ගන්නා ලෙසය. එයට හේතු වූයේ මගේ කාටුනය මුල් පිටුවේ තිබීමෙන් එය කවුරුත් කියවා රස විඳ යනවා මිස පත්තරය මිලදී නොගන්නා බවකි. ඉන් පසු මගේ කාටුනය ජනතා පත්තරයේ ඇතුල් පිටුවක පළ වන්නට විය. මුල් වරට මට කාටුනයක් සඳහා ගෙවීමක් ලෙස ලැබුණේ ජනතා පත්තරයේ දොන්සේතං කාටුනයටය. එක් දවසක කාටුනයකට රුපියල් පහක් ලැබිණි.

ජනතා පත්තරයේ මගේ කාටුනය ජනප්‍රිය වන විට එවක ඉරිදා ඔබ්සවර් පුවත්පතේ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහතා මට දේශපාලන කාටුන් එකක් ඇඳ දෙන ලෙස ඉල්ලීමක් කළේය. මා මිස්ට ලවුරිස් නමින් කාටුනයක් ඉරිදා ඔබ්සවර් පුවත්පතට ඇන්දෙමි. එය මුලින්ම පළ වූයේ 1967 සැප්තැම්බර් විසි හය වෙනිදාය. ජනතා පත්තරයේ දොං සේතං, ඉරිදා ඔබ්සවර් පත්තරයේ මිස්ට ලවුරිස් ජනප්‍රිය වන්නට වූයෙන් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ එස්. සුබසිංහ මහතා ඒ පත්තරයට ද මගෙන් කාටුනයක් ඇද දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට අනුව 1967 ඔක්තෝබර් මස එකොළොස් වෙනිදා පටන් සිළුමිණ පත්තරයේ මගේ කාටුන් චිත්‍ර පළ වන්නට විය. මේ ආකාරයෙන් මා පත්තර තුනක් සඳහා කාටුන් නිර්මාණය කරනවා දුටු එවක සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා ඔහුගේ පත්තරයට ද කාටුනයක් ඇඳ දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මම 1969 මැයි මස තිස් වෙනිදා පටන් සරසවියට දැක්කොත් පද්මාවතී කාටුනය නිර්මාණය කළෙමි. එතැන් පටන් සෑම සතියක් පාසා පිටු භාගයක් පමණ දැක්කොත් පද්මාවතී කාටුනය සරසවියේ පළ විය.

1964 03.04 වැනිදා සරසවිය පත්තරයේ පළවූ කැමිලස්ගේ මුල්ම කාටුන් චිත්‍රය.

ඩේලි නිවුස් හා දිනමිණ පත්තර දෙක හැරෙන්න අනෙක් සියලුම ලේක්හවුස් පත්තර සඳහා මම කාටුන් නිර්මාණය කළෙමි. සතියකට කාටුන් චිත්‍ර දාහතරක් මම ලේක්හවුස් පත්තර සඳහා ඇන්දෙමි. එකිනෙක කාටුන් සඳහා මට වෙන වෙනම ගෙවීම් කරනු ලැබිණි. සරසවිය පත්තරයේ දැක්කොත් පද්මාවතී කාටුනයට මට රුපියල් පහළොවක් ගෙවනු ලැබිණි.

කිසිදු දිනෙක මම කුමන හෝ ආයතනයක ස්ථිර සේවයට නොගියෙමි. සෑම පුවත් පතකටම මා කාටුන් නිර්මාණය කරනු ලැබුවේ බාහිර පුද්ගලයකු ලෙස සිටිමිනි. සතියකට කාටුන් දාහතරක් ඇඳීම ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවිණි. කොළඹ කච්චේරියේ රැකියාවට අමතරව මා කාටුන් ඇඳීම සිදු කරනු ලැබුවේ දිවා රෑ නොබලාය. සමහර දිනවලදී මා අතින් කාටුන් නිර්මාණය වූයේ මීගමුවේ සිට කොළඹ බලා දුම්රියේ යද්දීය. මගේ කාටුන් සඳහා චරිත විස්සක් පමණ නිර්මාණය විය. එයින් දෙක තුනක් හැරෙන්නට අනෙක් සියලු චරිතයන් බිහි වූයේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් සඳහා ඇඳි කාටුන් සඳහාය. කැමිලස් නමින් මා කාටුන් නිර්මාණය කළ ද පුද්ගලයා වශයෙන් මාව හඳුනාගෙන තිබුණේ ද කිහිප දෙනෙක් පමණි. පාරේ බස් රථයෙන්, කෝච්චියෙන් මා ගමන් බිමන් යන විට මා ඇඳී කාටුන් රස විඳිමින් මිනිසුන් කියන කරන දේ ගැන අසා මම නිහඬව ආශ්වාදයක් ලැබුවෙමි. මගේ සමහර කාටුන් නිර්මාණයන්ට ද සමාජයේ මා එදිනෙදා දකින චරිත, සිද්ධි එක් විය. මා පසු පස ජනප්‍රියත්වය හඹා එන්නට වීමත් සමඟ මගේ මුළු ජීවිතයම කාටුන් කලාව වෙනුවෙන් කැප කළෙමි. ඉංග්‍රීසි, හින්දි, දෙමළ චිත්‍රපට මම නිතර නැරැඹුවෙමි.

1969 05.30 වැනිදා සරසවිය පත්තරයේ පළවූ කැමිලස්ගේ
මුල්ම ‘දැක්කොත් පත්මාවතී’ කාටුන් චිත්‍රය.

සඟරා පොතපත නිතර කියවීමි. බොහෝ ගීත ඇසුවෙමි. ඒ සියල්ලම මා කළේ එමඟින් කාටුන් නිර්මාණයට කතාවක් ගොතා ගැනීමටය. චිත්‍රපටවල ගීත ඛණ්ඩ, දෙබස්, ප්‍රේම ජවනිකා චිත්‍රපට නාමාවලී ඔස්සේ මම කටුන් නිර්මාණය කළෙමි. සරසවිය පත්තරයට මා නිර්මාණය කළ දැක්කොත් පත්මාවතී කාටුනයේ එවැනි සිංදු ඔස්සේ කාටුන් නිර්මාණය වී තිබිණි.

මිනිසුන් අතර මාගේ කාටුන් වඩාත් ජනප්‍රියවීමත් සමඟ මට ලැබුණු අවිවේකී බව නිසාම බොහෝ දිනවලදී මගේ කෑම වේල පවා ගැනීමට මට අමතක වූ අවස්ථා තිබිණි. ගෙදරින් රැගෙන ආ බත්පත ලාච්චුවට දමා කාටුන් නිර්මාණයේ නියැළී ගෙදර ගිය මට යළි පසුදා ලාච්චුව විවර කරන විටදී පෙර දින එහි දැමූ කෑම පාර්සලය පිළුණු වී තිබූ අවස්ථා බොහෝ විය. ඒ තරමටම කාටුන් කලාව මට ආහාරයක් විය. මා අඳින මගේම ස්වයං නිර්මාණ නිසාම මා එයින් ලැබූ ආශ්වාදය හේතුවෙන් මගේ ශරීර කුඩුව ද කාටුන් රසයෙන් පිරී ඉතිරී ගියේය. 1974 වන තුරාම මම සරසවිය පත්තරයටත් ලේක්හවුස් ආයතනයේ අනෙකුත් පුවත්පත් සඳහාත් කාටුන් චිත්‍ර ඇන්ඳෙමි. ඒ වන විටත් මම පුවත්පත් පාඨකයන් අතර කාටුන් චිත්‍ර ඔස්සේ ජනප්‍රියත්වයක් ලැබ සිටියෙමි. යම්කිසි හිත් අමනාපකමක් මත ඇති වූ සිද්ධියක් මුල් කොට මා ලේක්හවුස් ආයතනයෙන් සමුගෙන ඉන් පසු කැමිලස් ප්‍රකාශන නමින් කුඩා ප්‍රමාණයේ පත්තර මුද්‍රණය කරන ආයතනයක් දක්වා එන ගමන ඇරැඹුවෙමි. අද එහි සුවිශාල පල නෙලා ගනිමින් එහි අධිපතිත්වයේ මා කටයුතු කරනුයේ බොහෝ සතුටු සිතිණි.

එදා සරසවිය මගේ ජනප්‍රියත්වයට ලොකු රුකුලක් විය. සිනමාවට මහත් වූ සිනමාලෝලීන් පිරිසක් ආකර්ෂණය කරගෙන තිබූ යුගයක සරසවිය හරහා ඔවුන් වෙත මා කැඳවාගෙන යනු ලැබුණි. මගේ කාටුන් කලා ජීවිතයේ එදා තිඹිරි ගෙය වූයේ අද පනස් වසරක් සපුරා සිටින සරසවිය පුවත්පතයි. මා මේ වන විට නිර්මාණය කරමින් පවතින කැමිලස්ගේ ගජමෑන් ත්‍රිමාණ කාටුන් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා භූමිකාව වී සිටින්නේ ද එදා සරසවියට නිර්මාණය කළ දැක්කොත් පද්මාවතී චරිතයයි. 1964 දී සරවියේ මගේ කාටුන් චිත්‍රයක් පළ නොවන්නට සමහර විට මා අද කාටුන් ශිල්පියෙක් නොවන්නට ඉඩ තිබුණි. මගේ කලා ජීවිතයේ මුල් අඩිතාලම වූයේ සරසවියයි. මා අද යම් තැනක වැජඹෙනවා නම් එහි සැබෑ ගෞරවය නිතැතින්ම හිමි විය යුත්තේ සරසවිය පුවත්පතටත්, ලේක්හවුස් ආයතනයටත්ය. අද වන විට උසස් පෙළ විෂය නිර්දේශයට කාටුන් කලාව ද ඇතුළ¼ත් කොට ඇත්තේය. එහි පුරෝගාමී කාටුන් ශිල්පීන් ලෙස යුනුස්, එම්. ආර්. විජේසෝම, ඔබ්රි කොලට් සමඟ කැමිලස් පෙරේරා නම් වූ මාව ද ඇතුළත් කොට ඇත්තේය. එය ද මා ලැබූ විශාල ගෞරවයකි. කාටුන් කලාවේ දේශපාලන කාටුන් කලාවට මගෝඩිස්තුමා හඳුන්වා දෙනු ලැබුවේ ද සිංහල ශබ්ද කෝෂයට මගෝඩිස්තුමා එකතු කිරීමේ ගෞරවය ද අද මා වෙත ලැබී ඇත්තේය. කැමිලස් ප්‍රකාශන නම් වූ පුද්ගලික ආයතනයක හිමිකරුවකු වෙමින් රට තුළ කාටුන් කලාවේ සුපතළ නමක් දිනා ගන්නට මට මුල් ශක්තිය එක්තැන් කර දුන් සරසවිය තව තවත් චිරාත් කාලයක් අප වැනි කලාකරුවන්ටත්, ඉදිරියේ කලාවට අවතීර්ණ වන සහජ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සියල්ලන්ටමත් යෝධ පියගැට පෙළක් වේවා!