වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාව ගිනි ගනු බලන්නට ඉන්දියානුවෝ පෙළ ගැසෙති

ඉන්දියානු චිත්‍රපට කතාව 09

ලංකාව ගිනි ගනු බලන්නට ඉන්දියානුවෝ පෙළ ගැසෙති

පාල්කේ

අද ලෝකයේ වසරකට වැඩිම සංඛ්‍යාවක් චිත්‍රපට තැනෙන රට ඉන්දියාව බව ඇත්තය.එහෙත් ඉන්දියානු සිනමාවේ ආරම්භය සහ ව්‍යාප්තිය සිදුවූයේ හෙමිහිටය.1913 වසරේ මැයි මස තුන් වැනි දින රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය තිර ගත වීම ඇරඹුණ අතර ඉන්දියාවේ දෙවැනි චිත්‍රපටය වූ මෝහිනි බසුම්සර් ඇරඹුනේ එම වසරේ දෙසැම්බර් මාසයේය.

ඉන්දියානු සිනමා ඉතිහාසයේ තුන් වැනි චිත්‍රපටය වන සත්‍යවන් සාවිත්‍රි තිර ගත වූයේ 1914 වසෙර්ය.මේ වන විට ඉන්දියාව පුරා චිත්‍රපට බෙදාහරින්නන් සිනමාහල් හිමියන් ඇතුළු පිරිස කෙතරම් සිටිය ද මේ චිත්‍රපට ත්‍රිත්වයම පාල්කේ ගේ නිර්මාණයන් වීම විශේෂ කරුණකි.ඉන්දියාව චිත්‍රපට නිෂ්පාදනයට අවතීරණය වනුයේ ලොව බොහෝ රටවලට වඩා ප්‍රමාදවය. එමෙන්ම ප්‍රේක්ෂකයන් කොපමණ සිටිය ද එහි නිෂ්පාදන ව්‍යාප්තිය සිදුවනුයේ හෙමිහිටය.

මේ වන විට පාල්කේගේ චිත්‍රපට කෙරෙහි විශාල ඉල්ලුමක් ඇතිවෙමින් තිබිණ. මුල්ම චිත්‍රපටය තිර ගතවූයේ එක් පිටපතක් පමණක් වුවද අනතුරුව එහි පවා අලුත් පිටපත් මුද්‍රණය වි තිර ගත කෙරිණ.එහෙත් ඔහු ගේ බොහෝ යන්ත්‍ර අතින් ක්‍රියාත්මක යන්ත්‍ර වූ හෙයින් එක් චිත්‍රපටයකින් පිටපත් විස්සකට වඩා මුද්‍රණය වූයේ නැත.ඉල්ලුමට සරිලන පරිද්දෙන් ඔහුට පිටපත් ලබා දිය හැකි වූයේ ද නැත.එහෙත් සිය සිනමාව කෙරෙහි ඇති ඉල්ලුම වැඩි වත්ම යළිත් වරක් පාල්කේ එංගලන්තය බලා නැව් නැංගේය.මෙවර ඔහු එංගලන්තය බලා ගියේ නිකම්ම නොවේ. ඒ තමා විසින් නිර්මාණය කරන ලද මෝහිනි බසුම්සූර් සහ සත්‍යවන් සාවිත්‍රි පිටපත් ද සමඟය.

මේ චිත්‍රපට යුගලම එංගලන්තයේ දි තිර ගත විය. එපමණක් නොව ලන්ඩන් ටෛම්ස් ඇතුළු බොහෝ පුවත්පත් මේ ඉන්දියානුවාගේ චිත්‍රපට ප්‍රයෝගයන් හි ඇති දක්ෂතාව පිළිබඳ බෙහෙවින් අගය කරමින් අදහස් පළ කර සිටියේය.මේ අගය කිරීම කෙතරම් ද යත් බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයෝජකයන් කිහිප දෙනෙක්ම එංගලන්තයේ දී චිත්‍රපට නිර්මාණය කරන ලෙස පාල්කේ ට ආරාධනා කළහ. එහෙත් මේ ඉන්දියානුවා මේ ආරාධනා තරයේ ප්‍රතික්ෂ්ප කළේය.එයට එක් හේතුවක් වූයේ ඒ සමග එළැඹි පළමු ලෝක මහා යුද්ධයයි.දෙවැන්න ඔහුගේ ආයෝජකයන් සමග ඇති වූ මත ගැටුමයි. පාල්කේ නිර්මාණ කරුවකු විනා ව්‍යාපාරිකයකු නොවීය.එබැවින්ම ඔහු සහ ආයෝජකයන් අතර නිරන්තර ගැටුම් සුලබ විය.පාල්කේ එංගලන්තයේ සිටින අතරතුර කාලයේ දි සිය සමාගමේ සේවකයන්ට වැටුප් හා දීමනා ආයෝජකයන් විසින් ගෙවීම පැහැර හැර තිබිණ.

මේ නිසාම ඔහු නැවත මව්රට එද්දී චිත්‍රාගාරය වැසෙන්නට ඔන්න මෙන්න ගානට වැටී තිබිණ.චිත්‍රාගාරයට අලුත් උපකරණ අත්‍යවශ්‍ය වූයේය.එළැඹි පළමු ලෝක මහා සංග්‍රාමය සමග ඇති වු තත්වයන් නිසා සේවකයන් කිහිප දෙනෙක්ම අඩු වැටුපට හෝ වැඩ කරන්නට තරම් කාරුණිත වීම පාල්කේ ලද අස්වැසිල්ලක් විය.එහෙත් මේ වන විට ආනයන නීති බෙහෙවින් දැඩි කර තිබුණේ යුද්ධය සමග ලොවටම බලපෑ ආර්ථික අර්බුදයෙන්න් බේරී සිටිමටය.මේ අනුව චිත්‍රපට උපකරණ වැනි අත්‍යවශ්‍ය නොවන බොහෝ දේ ආනයනයේ දී දැඩි නීති රීති වලට යටත් වීමට සිදු විය. එමෙන්ම එබැවින් ඒවායේ මිල ගණන් ද දැරිය නොහැකි මට්ටමට නැග තිබිණ.

මේ නිසාම පාල්කේ වෘතාන්ත චිත්‍රපට අතහැර විකට කෙටි චිත්‍රපට මෙන්ම අධ්‍යාපනික හා වාර්තාමය චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නට පෙළැඹිණ. මේ අවදියේ පාල්කේ විසින් චිත්‍රපට නිර්මාණය අලළා තනන ලද හව් ෆිල්ම්ස් ආමේඩ් ඉතා අගනා චිත්‍රපටයක් විය. චිත්‍රපට නිර්මාණය කිරීම පිළිබඳ පාඩමක් වූ එය පාල්කේ ගේ චිත්‍රපට අතරින් ඉන්දියානු සිනමා සංරක්ෂණාගාරයේ අද ද තැන්පත් ව ඇති චිත්‍රපටයකි.පාල්කේ විසින් පසුතල හා වස්ත්‍රාභරණ නිර්මාණ කරන අයුරු ද නළු නිළියන් පුහුණු කරන අන්දම ද අවසානයේ චිත්‍රපට සංස්කරණය ද ඇතුළු චිත්‍රපට නිර්මාණයේ සියලු රහස් සිය ප්‍රෙක්ෂකයන්ට කියා දුන් මේ චිත්‍රපටය තනි රීලයක එකකි.

මේ අවදියේම මරාති සඟරාවක් වූ නවයුග් සඳහා ලිපි මාලාවක් ලියන පාල්කේ එමගින් ද සිය සිනමා දැනුම පාඨකයන්ට කියා දුන්නේය.මේ වන විටත් ඉන්දියානුවන් බහුතරය වේදිකා නාට්‍ය කෙරෙහි ඇබ්බැහිවූවන්ය. එබැවින්ම පාල්කේ ගේ මේ ලිපි සහ වාර්තා චිත්‍රපටය ඵෙතිහාසික අතින් ද ඉහළ තැනක් ගන්නේය.1917 වසරේ දී පාල්කේ රාමායනයේ පුවතක් ඇසුරින් ලංකා දහන් චිත්‍රපටය නිර්මාණය කළේය.රාවණ රජු විසින් සීතා පැහැර ගැනීමත් අනතුරුව හනුමා විසින් ලංකාව ගිනි තැබීමත් අළලා තැනුණ මේ චිත්‍රපටය බොම්බායේ වාසින් පුදුමයට පත් කළ චිත්‍රපටයක් විය.එය ඉන්දියානු සිනමාව ආරම්භයේ වඩාත් ජනතා ආකර්ෂණය ලත් චිත්‍රපටය වූයේය.

චිත්‍රපටය නරඹන්නට ඈත ගම් දනව් වලින් ජනයා ඇදී එන්නට වූයේ සියලු පාර්ශවයන් පුදුමයට පත් කරවමිනි.එය දින දහයක් ඇතුළත ලැබූ ආදායම ඒ වන විට ඉන්දියාවේ තිර ගත කළ කිසිදු විදේශ චිත්‍රපටයක් පවා නොලැබූ ආදායමක් විය. ඒ රුපියල් තිස් දෙදහසකි.දිනෙන් දින චිත්‍රපටය නරඹන්නට එන ජනීජනයා නැගුණ කරත්ත නිසා බොම්බායේ වීදි අවහිර වන තරම් බැව් එකල පුවත්පත් වාර්තා කළේය. මේ සමග පාල්කේගේ සිත තවත් නිර්මාණාත්මක අරමුණු රැසක් කරා ඇදී ගියේය.බොම්බායේ ඉහළම ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුම පාල්කේගේ ආයෝජකයන් ලෙස අලුතින් එක්වූයේය.මායා ශංකර් භාත්,එල්.පී.පතක්,මාධව්ජි ජේසිං, සහ ගෝකුල්දාස් දමෝදර් මෙලෙස එක්වූහ.මේ එකතුවෙන් පාල්කේ ෆිල්ම් කම්පැනි එතැන් පටන් හින්දුස්ථාන් ෆිල්ම් කම්පැනි නම් වූයේය.එහි නිර්මාණ අධ්‍යක්ෂවරයා පාල්කේ විය.ඒ සමග වෘතාන්ත චිත්‍රපට හතරක් කෙටි චිත්‍රපට දහසයක් සඳහා සැලසුම් සකස් කෙරිණ.

ගංගාවතරන්

එහි මුල් චිත්‍රපටය වූයේ 1918 වසරේ තැනුණ ශ්‍රී ක්‍රිෂ්න ජන්ම චිත්‍රපටයයි.පාල්කේ වඩාත් ඇලුම් කළ එමෙන්ම ඔහු නම් දැරූ දෘෂ්ටි ප්‍රයෝග සහිත සිනමා තව දුරටත් ප්‍රේක්ෂකයන් විස්මයට පත් කළ චිත්‍රපටයක් විය. මේ හැකියාව වඩාත් ඉස්මතු කිරිම සදහා ඔහු හැම විටම තෝරා ගත්තේ ද මහාභාරතය,රාමායණය වැනි කතාන්දර ඇසුරෙන් තැනුන පුවත්ය. ඉන්දියානුවන්ගේ දේව මහිම කතාන්දර ඇස් පනාපිට සිය ප්‍රේක්ෂකයා හමුවේ ඔප්පු කිරිමට පාල්කේට හැකි වූවේය.අනතුරුව පාල්කේ නිර්මාණය කළ කාලියා මර්දන් චිත්‍රපටයේ එක් ජවනිකාවක් වූයේ ක්‍රිෂ්න දෙවිඳු විසින් දැවැන්ත සර්පයකුගෙන් ජනතාව බේරා ගන්නා දර්ශනයකි.මෙහි ක්‍රිෂ්ණා ගේ ළමා විය සඳහා රංගනයෙන් එක් වූයේ මන්දාකිණි පාල්කේය. ඇය පාල්කේගේ දියණිය වූවාය.

අනතුරුව පාල්කේ නාසික් නගරයේ ඔහුගේ චිත්‍රාගාරය වඩා විධිමත් කළේය.එහි කාර්මික ශිල්පින් මෙන්ම නළු නිළියන් ද මාසික වේතනයට සේවය කළහ.නළු නිළියන්ගේ ශරීර සුවතා අංශයක්,සිනමා පුස්තකාලයක්,කුඩා සත්වෝද්‍යානයක් චිත්‍රාගගාරය සතු වූ අමතර අංග විය.එහෙත් නිර්මාණකරණ නිදහස ඔහුගේ ජිවිතයේ වඩා බලාපොරොත්තවූ කාරණාව විය.එක් තැනක රැඳී සිටීම තරමක ඔහුට අපහසු කාරණයක්වූ බැව් පෙනී යයි.

මේ නිසාම ඔහු හිටිවනම චිත්‍රපටකරණයෙන් බැහැරව බරණැසට ගොස් එහි රංගභූමි නමින් නාට්‍යයක් නිර්මාණය කළේය.මේ වන විට ඉන්දියාව පුරා චිත්‍රපට නිෂ්පාදනය වර්ධනය වෙමින් තිබිණ.බොම්බායේ කොහිනූර් සමාගමත් කොලහපූර් හි මහාරාෂ්ට්‍ර ෆිල්ම් කම්පැනි මෙන්ම කල්කටාවේ මදාන් තියටර්ස් මේ අතරින් ඉස්මතු විය.වසර දෙකකට පසු යළි චිත්‍රපට සමාගමට එක් වන පාල්කේ එවර ශාන්ත් තුකාරම් නිර්මාණය කළේය. මේ වන විට ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනය බෙදාහැරීම ආදී කරුණු වෙනස් වෙමින් පැවතිණ. ඒවා නිසි දින වලට සිදු කළ යුතු විය. එහෙත් පාල්කේ හැඩ ගැසි තිබුනේ එබදු ව්‍යාපාරික රටාවකට නොවේ.

1931 වසර වන විට ඉන්දියාවට කතානාද සිනමාව පිවිසෙන විට තව දුරටත් නිහඬ දේව කතාවලට ප්‍රේක්ෂකයා වසඟ කර ගත නොහැකි විය.එමෙන්ම පාල්කේගේ දෘෂ්ටි ප්‍රයෝගයන් තව දුරටත් ප්‍රේක්ෂකයන්ට විශ්මයක් ගෙන දුන්නේ නැත. ඉන්දියානුවන්ට සිනමාව නම් අලුත් විෂයය හදුන්වා දුන් නමුදු කතානාද නම් අලුත් තාක්ෂණය පාල්කේ ට එතරම් ප්‍රඥාගෝචර වූයේ නැත.1932 වසරේ දී පාල්කේ රාමායණය ඇසුරෙන් සේතු බන්ධන් චිත්‍රපටය නිර්මාණය කළේය.

මුලින් නිහඬ චිත්‍රපටයක් ලෙස තිර ගත වූ එය පසුව ශබ්දපටයක් එක් කරමින් තිරගත කෙරිණ.එහෙත් චිත්‍රපටය අසාර්ථක විය. එතැන් සිට හින්දුස්ථානි ෆිල්ම් කම්පැණි අතීතයට එක් විය.තවත් වසර ගණනාවකට පසු එනම් 1936 වසරේ දී ඔහු සිය එකම කතානාද චිත්‍රපටය මරාති බසින් නිර්මාණය කළේ ගංගවතරණ් නමිනි. ඒ මුල්වරට වෙනත් නිෂ්පාදකවරයකු වෙනුවෙනි. ඒ කොලහපූර් හි විසූ ශිව් මහාරාජා ගේ ආරාධනයෙන් කොලහපූර් සිනෙටෝන් සමාගම වෙනුවෙනි.දෙවසරක් මුළුල්ලේ අධික වියදමක් දරා රූ ගැන්වූව ද ප්‍රෙක්ෂකයා තවමත් රාජා හරිශ්චන්ද්‍ර යුගයේ නොවන බැව් අවබෝධ කර ගන්නට පාල්කේ සමත්වූයේ නැත.

කාලියා මර්දන්

චිත්‍රපටය අසාර්ථක වූයේ නිකම්ම නොව කොලහපූර් සිනෙටෝන් ද බංකොලොත් කරමිනි.පාල්කේ ඒ වන විට චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක් තැනූවද තමන්ටම කියා යමක් උපයා ගත්තෙකු ද නොවීය.ඒ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වයද අනුක්‍රමයෙන් පිරිහී යමින් තිබිණ. ඉන්දියානු සිනමාව සිය තිස් වසර උත්සවශ්‍රීයෙන් සමරන්නට සූදානම් වද්දී උළෙලේ සංවිධායකයන්ට ඉන්දියානු සිනමාවේ පියාණන් වූ මේ මහා පුරුෂයා සොයා ගැනීමට හැකිවූයේ මහත් වෑයමකිනි.ඒ වන විට ඔහු සිටියේ ආර්ථික මෙන්ම ශාරිරික අතින් ද පිරිහී ගොසිනි.

එම උත්සවයේ ආරාධනය වෙනුවෙන් සංවිදායකයකු වූ සිනමාවේදී වී.ශාන්තාරාම් වෙත ලියන ලද පිළිතුරු ලිපිය ලොව බොහෝ සිනමාකරුවන්ගේ පසුකාලින ඉරණම පිළිබද කදිම සාධකයක් වැන්න.එකී ඉරණමට ගොදුරු ව තිබුණේ පාල්කේ පමණක් නොවේ. සිනමා කතා කලාව ගෙනා ග්‍රිෆිත් ද දෘෂ්ටි ප්‍රයෝග කලාව ගෙනා ප්‍රංශයේ මේලිස් ද මේ ඉරනම් කතාවටම සමානව උරුම කම් පෑහ.පැරිසියේ සපත්තු කඩයක දී අහම්බෙන් පුවත්පත් කලාවේදියකුට ජෝර්ජ් මේලිස් හමුවන විට සිනමාවට ඔහු අමතකව බොහෝ කල් ගොසිනි.ශාන්තාරාම් ට පාල්කේ හමුනොවන්නට පාල්කේ මිය ගිය බව හෝ බොහෝ දෙනා දැන ගන්නේ තවත් ටික කාලයක් ගිය පසුවය.

මා කවුරුන්ද?කෝටි තිහක් වූ ඉන්දියානු ජනතාවගේ පියාණන්ද මගේ බිරිය ගේ ස්වාමි පුරුෂයාද? නොඑසේ නම් මව්බිමට යුතුකම් ඉටු කොට නිසි ගෙවීමක් නොලද ඉන්දියානුවෙක්ද? මිනිසුන්ගේ මුදල් නාස්ති කළ අපරාධකරයෙක්ද? චමත්කාරජනක ඉලක්කයක් වෙනුවෙන් සිය පවුලේ අනාගතය අඳුරේ හෙලූවෙක්ද? ඒ අතරින් මා කවරෙක්ද?

මම කිසි විටෙකත් කිසිවකුට දොස් නොපරවමි.නවයුගයක් පතන මිනිසුනි.කලාව අගයන්නෙණි.මා මෙම චලන චිත්‍ර කලාව මිනිසුන්ගේ විනෝදාශ්වාදය උදෙසා හඳුන්වා දුනිමි.එබැවින් එය වඩා විමර්ශනාත්මකව සිහිපත් කළ යුතු වග මගේ විශ්වාසයයි.මා පිළිබද විවේචනය කළ යුතුව ඇත්තේ මා අතින් සිදුවූ වැරදි සලකා බැලීමෙන් නොවේ.ඉන්දියානුවනට මා විසින් හඳුන්වා දෙන ලද සිනමාවට මා අමතකව ගොසින්යැයි මම සිතා සිටියෙමි.එය ලෝකයේ ස්වභාවය බැවින් මම පශ්චත්තාප නොවෙමි. ආරාධනාව ලද පාල්කේ වේදනාවෙන් ලියා යැව්වේ ඒ වන විට ඔහු ලද කෙනෙහිලි හා හිත් වේදනාවන් නොකියා කියමිනි.බොහෝ පුරෝගාමීන්ගේ ඉරණම එය නොවන්නේද? කෙසේ වෙතත් ඉන්දියානු සිනමාව සමරන නැතහොත් රාජා හරිශ්චන්ද්‍ර තිර ගත වී විසි තිස් වසර සැමරුණේ 1943 වසෙර්ය.තවත් වසරකට පසු එනම් 1944 වසරේ පෙබරවාරි 16 වැනි දින පාල්කේ ජීවිතයෙන් සමුගන්නා විට ඉන්දියානු සිනමාව ලොව මුල් පෙලේ සිනමා කර්මාන්තයක් කරා සිය ඉරණම් ගමන අරඹා තිබිණ.

පාල්කේගේ සිනමා නිර්මාණ අධි තක්සේරුවකින් අගය නොකළ ද පුරෝගාමියකු ලෙස ඔහුගේ ප්‍රතිභාව,එමෙන්ම ඒ සඳහා ඔහු කළ කැපවීම,දෘෂ්ටි ප්‍රයෝගයෙන් නිර්මාණයේ දී ඔහු සතු වූ අගනා තාක්ෂණ දැනුම කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකිය.පාල්කේ මිය ගොස් තවත් වසර ගණනාවකට පසු බොම්බායේ එක් මාවතක් දාදාසහාබ් පාල්කේ නමින් නම් කෙරිණ.එමෙන්ම සිනමා කර්මාන්තයේ මෙහෙවර උදෙසා පිදෙන ඉහළම රාජ්‍ය සම්මානය දාදා සහබ් පාල්කේ සම්මානය නමින් නම් 1962දී කෙරිණ.ඔහු නමින් සමරු මුද්දරයක් ද නිකුත් විණ. 2009 වසරේ දි තරුණ මරාති සිනමාකරුවකු වන ප්‍රකාශ් මොකාශි හරිශ්චන්ද්‍රාචි ෆැක්ටරි නමින් අගනා චිත්‍රපටයක් නිර්මාණය කළේ සිය මුල්ම චිත්‍රපටය නිර්මාණය උදෙසා පාල්කේ ගෙන ගිය ජීවන අරගලය විදහා පෑම පාදක කර ගනිමිනි. එය එම වසරේ ඇකඩම් සම්මින උළෙලේ ඉන්දියානු නියෝජනය විය.

මතු සම්බන්ධයි