|
|||
සිරි ඝන ශාක්‍යසිංහ පාද පත්ම වැඳ බැතියෙන් ...
බෝසත් සිරිත සිනමාවට
සඳුන් සුවඳින් නැහැවී ගිය මඟ ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබූ පෙරහැර එකවර නතර වූයේ ලුම්බිණි සල් උයන අසබඩ සොඳුරු වැලි මලුවේය. දෝලාවෙන් බැස ගත් මහාමායා දේවිය සල් උයනේ මල් සුවඳ විඳිමිනි. දරුවකු බලාපොරොත්තුවෙන්ම කල් ගෙවූ ඈ මේ යන්නේ තම මාපියන් දකින්නටය. එකවරම සේවිකාවක් කලබලයටත්, සතුටටත් පත් වූයේ මහාමායා දේවිය තමාට දැනෙන ප්‍රසූත වේදනාව සැලකිරීමෙනි. ලුම්බිණි සල් උයන ශ්‍රේෂ්ඨ පින්බිමක් කළ උපත සිදු වූයේය. මහාමායා දේවියට දාව පුත් කුමරකු උපන්නේය. ඒ ශාක්‍ය වංශයේ ඔටුන්න හිමි කුමාරයාය. පෙරහැරින්ම නැවත මාලිගයට පැමිණි මහාමායා දේවිය සුදොවුන් රජුට පුත් කුමරා තිළිණ කලේ අසීමිත සතුටින් නැහැවෙමිනි. නමුඳු මේ සතුට මාලිගයේ රැඳී තිබුණේ දින කිහිපයකි. මහාමායා දේවිය අනපේක්ෂිත ලෙස ජීවිතය හැරදා ගියාය. බමුණන්ගේ ඒකමතික තීරණයට අනුව මේ කුමරා සිද්ධාර්ථ ලෙස නම් කරන ලදී. දිනෙන් දින වැඩෙන දරුවා පිළිබඳ අනාවැකි පළවන කාලයයි මේ. ඇතැම් බමුණකු පවසන්නේ මේ පින්වත් පුත් කුමරා සක්විති රජවන බවය. නමුදු අසිත බමුණා ඉඳුරාම පවසන්නේ මේ පින්බර කුමරා ඒකාන්ත වශයෙන්ම බුදු වන බවය. ක්‍රමයෙන් කාලය ගෙවී ගියේය. පින්වත් කුමරා සියලු සැප සම්පත් මැද දිවි ගෙවමින්. මල් උයන්, තටාක, ගිමන්හලින් පිරිපුන් මාලිගා පරිශ්‍රය තුළ කුමරා දිවි ගෙවන්නේ සියලු සැප සම්පත් විඳිමිනි. ශාක්‍ය වංශයේ ඔටුන්න හිමි කුමරාට දුනු ශිල්ප, කඩු ශිල්ප මෙන්ම අකුරු ශාස්ත්‍රය උගන්වනු පිණිස ආචාර්යවරුන් මාලිගයට පැමිණියේය. මාලිගයෙන් පිටස්තර පරිසරය කුමරාට තහනම් එකක් වූයේ බමුණන්ගේ අනාවැකි නිසාමය. මාලිගයෙන් බාහිර පරිසරයක් පිළිබඳ කුමරා කිසිත් නොදත්තේය. කාලයාගේ ඇවෑමෙන් තරුණ සිද්ධාර්ථ කුමරු මේ සියල්ල කදිමට වටහා ගත්තේය. අවට ලෝකයේ සිදු වන්නේ කුමක්දැයි දැනගනු රිසියෙන් කුමරු මාලිගයෙන් පිටතට යාමට පිය රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. නමුදු ඊට ලැබුණේ බලාපොරොත්තු නොවූ පිළිතුරකි. ප්‍රජාපතී ගෝතමී සුළු මවගෙන් තරුණ සිද්ධාර්ථ අවට පරිසරය ගැන විමසුවේය. එනමදු ඊට ලැබුණ පිළිතුර තමා බලාපොරොත්තු වූ පිළිතුර නොවන බව දැනගත් සිද්ධාර්ථ කුමරු මාලිගයෙන් එපිට පරිසරය ගැන සොයන්නට පටන් ගත්තේය. පියාගේ අදහස්වලට පරස්පර විරෝධී අදහස් දරූ සිද්ධාර්ථ, සැප සම්පත් නිරතුරුවම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළේය. නන්ද කුමරු සමඟ නිරතුරුව සහෝදරත්වයෙන් දිවි ගෙවූ හේ නැටුමට, ගැයුමට, උයන් කෙළියට පෙම් නොකළේය. තම පුතුගේ වෙනස කදිමට වටහා ගත් සුද්දෝධන රජතුමන් මාලිගයෙන් පිටත පරිසරය කුමරුට නෙත නොගැටීමට වග බලා ගත්තේය. කුමාරයා ගිහි ගෙයි තබා ගනීම උදෙසා සුදොවුන් රජු විවිධ උපක්‍රම සංවිධානය කළේය. ඒ අනුව කුමරු යුව රජු බවට පත් කිරීමට රජතුමා තීරණය කළේය. කුමරුට සරිලන වංශවත් කුමාරිකාවක් සොයාදීමට රජතුමා තීරණය කළේය. ඒ අනුව විවිධ රාජ්‍යවලින් සිද්ධාර්ථ කුමරුගේ අත ගැනීම සඳහා කුමාරිකාවන් පැමිණියෝය. කිසිවකුගේ නෙතු අසලවත් නොනැවතුණු සිද්ධාර්ථ කුමරුගේ නෙතු නතර වූයේ යශෝධරාවගේ හිත අසලය. ඒ අනුව කුමරා යශෝධරා දේවියට සරණ පාවා දීමට තීරණය විය. නමුදු යශෝධරා දේවියගේ මලනුවන් වන දේවදත්ත මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වන්නේ සිද්ධාර්ථ කිසිදු ශිල්පයක් නොදන්නා අයකු බව පවසමිනි. ඒ අනුව යශෝධරා දේවියගේ අත ගැනීම උදෙසා සිදුහත් කුමරු ශිල්ප දැක්විය යුතු යයි තීරණය විය. දේවදත්ත තමා ජයග්‍රහණය කළ ලීලාවෙන්ම ශිල්ප දැක්වීමට පැමිණියේ සිදුහත් කුමරු පිළිබඳ විනිශ්චයකින් තොරවය. සියලු ශිල්ප දැක්වීම් හමුවේ සිදුහත් කුමරු ජයග්‍රහණයට පත් වූයේ නරඹන්නන් වික්ෂිප්ත කරලමිනි. ඒ අනුව යශෝධරා දේවිය සහ සිදුහත් කුමරු සරණපාවාදීම කිසිදු ගැටලුවකින් තොරව නිරාකරණය වූයේ අලුත් ප්‍රේම කතාන්දරයක් අරඹමිනි. මල් වතු, ගෙමිඳුලින් තටාකවලින් පිරි මාලිගා භූමියෙහි යශෝදරා දේවිය සහ සිදුහත් කුමරු කල් ගෙවූයේ සතුටිනි. නිවුණු, හික්මුණු සිතකට උරුමකම් කී සිද්ධාර්ථ කුමරු සරණ මංගල්ලයෙන් පසුව ද තම පියාගෙන් අවසර පැතූයේ රටවැසියන් බැහැදකින්නටමය. තමාගේ කිසිදු උපාය මාර්ගයක් හරි හැටි සිදු නොවන බව දැනගත් සුද්දෝධන රජු අවසන මාලිගයෙන් පිටස්තර පරිසරය බැලීමට කුමරුට අවසර ලබා දෙන්නේ අකමැත්තෙනි. තමාගේ මත සමඟ එකඟ නොවන සිද්ධාර්ථ කුමරුගේ තේරුම් ගත නොහැකි ක්‍රියා කලාපය පිළිබඳ රජතුමා පසුවන්නේ දැඩි කනස්සල්ලකිනි. එක් දිනෙක චන්න ඇමතිවරයා සමඟ මාලිගයෙන් පිටවන කුමරු නගරයේ වීදි අතර අසුපිටින් සැරිසරන්නේ තමාට මෙතරම් කල් සඟවා වසන් කළ සත්‍ය දකිමිනි. වීදි අතර අඳුරු ගුබ්බෑයමක කෙඳිරිලි හඬ නගන මහල්ලකු අසල සීරුවට නතරවන කුමරු අසු පිටින් බැස ඔහු අසලට යන්නේ තමාට ආගන්තුක මේ ක්‍රියාවලිය කුමක්දැයි දැනගනු රිසියෙනි. මහල්ලාගේ මුහුණට අතිශය සමීපවන කුමරුගේ දෑස කඳුළින් තෙත් වන්නේ ඒ තමාට මිතුරු චන්නගේ පියා බව දැනගැනීමෙනි. මහල්ලන් සියලු දෙනා මාලිගයෙන් පිට කිරීමේ රාජ නියෝගයට අනුව චන්නගේ පියා ද මාලිගයෙන් වීදියට වැටී තිබුණා. මෙසේ දින කිහිපයකදී මෙතෙක් නොදුටු ලෙසින් මහල්ලෙක්, මළකඳක් මෙන්ම පැවිදි රුවක් දුටු කුමරු දැන් පසුවන්නේ ගිහි ගෙය ගැන අතිශය කලකිරීමෙනි. එක් අතකින් පිය රජු බලාපොරොත්තු වන රාජ කිරුළ පැළැඳවීම, අනෙක් පසින් යශෝධරාගේ උත්තරීතර ප්‍රේමය මේ සියල්ල පරයා නැගෙන ජීවිතයේ සැබෑව සොයා යාම අතර දෝලනය වන සිද්ධාර්ථ කුමරු අවසන සත්‍ය සොයා යාම සහ ඒ පරම සත්‍ය සොයා යන අපූරුව ගැන කියැවෙන සිනමාපටයයි ශ්‍රීී සිද්ධාර්ථ ගෞතම.
බුද්ධ චරිතය තේමා කොට ගනිමින් තැනුණු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බොහෝ පිරිසකගේ කැපවීමේ
ප්‍රතිඵලයකි. බුද්ධෝත්පත්තියේ සිට බුදු වීම දක්වා සිදුහත් කුමරුගේ ජීවිතය ගැන
කතාබහට ලක් කරනු ලබන මෙම චිත්‍රපටය මේ මස 24 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩයේ
සිනමාහල්වල තිරගතවීමට නියමිතය. සිද්ධාර්ථ කුමරු - ගගන් මලික් යශෝධරා දේවිය - අන්චල් සිං මහාමායා දේවිය - අංශු මලික් දේවදත්ත කුමරු - ගෞතම් ගුලාටි ප්‍රජාපති දේවිය - ඇන්ජි පෙරේරා සුද්දෝධන රජු - රන්ජන් රාමනායක නන්ද කුමරු - රොෂාන් රණවන චන්න ඇමති - සාරංග දිසාසේකර බිම්බිසාර රජු - ජීවන් කුමාරතුංග සුප්‍රබුද්ධ රජු - ඩග්ලස් රණසිංහ ගුරු විශ්වමිත්‍ර - බුද්ධදාස විතානාච්චි අසිත තවුසා - විල්සන් ගුණරත්න උදයින් බමුණා - සංජුල දිවාරත්න රාම තවුසා - එඩ්වින් ආරියදාස කොණ්ඩඤ්ඤ තවුසා - රංජිත් ජයසිංහ ආලාර කාලාම - චිත්‍රාමුල්ලගේ රංගබුද්ධ සුජාතා - ඖෂධී හේවාමද්දුම ජයේනදී කුමරු - දුෂ්්්‍යන්ත් වීරමන් චන්නගේ පියා - ජයරත්න ගලගෙදර අධ්‍යක්ෂණය - සමන් වීරමන් නිෂ්පාදනය - නවීන් ගුණරත්න පිටපත - එඩ්වින් ආරියදාස, නවීන් ගුණරත්න, ජෝර්ජ් කල්දාන, චන්ද්‍රන් රත්නම් කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සංගීත අධ්‍යක්ෂණය - ප්‍රදීප් රත්නායක අංග රචනය - ජයන්තා රණවක සංස්කරණය - ප්‍රවීන් ජයරත්න ඇඳුම් නිර්මාණය - ඔමේෂ් විජේරත්න පසුතල නිර්මාණය - රොෂාන් චන්ද්‍රරත්න
|
|||