|
|
ඉන්දියානු චිත්‍රපට කතාව - 3
කල්කටාවෙන් මරදානට පැමිණි එල්ෆින්ස්ටන්වන්දේ මාතරම් රට වටා ඇසෙයිඉන්දියානු සිනමාවේ බිජු වට වපුළ මේරියස් සේස්ටියර් ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය අන්දම පසුගිය දහ වැනි දින කියැවූවා ඔබට මතක ඇතියැයි විශ්වාස කරමි.කෙසේ වෙතත් පසුගිය 17 වැනි දින සරසවිය මඟින් අනාවරණය කරන ලද්දේ සෙස්ටියර් අපේ මව්බ්මේ ද සිනමාව ආරම්භ කළ අන්දමයි. ඒ විශේෂ ලිපියක් මඟිනි.දැන් අප යළිත් ඉන්දියානු සිනමා කතාව කියවන්නට පටන් ගනිමු.
ඉන්දියානු නිදහස් සටනේ අරුණළු පැතිරෙන්නට පටන් ගත්තේ ද මේ කාලයේය.ඉන්දියාවේ මුල්ම ජාතික ගීතය ලෙස සැලකුණ වන්දේ මාතරම් (මව්බිම වන්දනා කරමු) ගීතය එළි දුටුවේ ද මේ දවස්වලය. එය රචනා කරන ලද්දේ බංකිම්චන්ද්‍ර චැටර්ජිය.සෙස්ටියර් නික්ම ගිය ටික දිනකින් දැන් චෙන්නායි ලෙස හැඳීන්වෙන එවකට මදුරාසියේ පුවත්පත් වල දැන්වීමක් පළ ව තිබිණ. ඒ එරටට ආනයනය කරන ලද චලන චිත්‍ර පිළිබඳවය.කෙසේ වෙතත් වැඩි කලක් නොගොස්ම චිත්‍රපට ප්‍රදර්ශකයෝ ඉන්දියාවට ඇදී එන්නට පටන් ගත්හ.එවකට ඉන්දියාවේ අගනුවර වූ කල්කටාවේ සහ මදුරාසියේ චලන චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹුණේ බොම්බායට පසුවය.කෙසේ වෙතත් සෙස්ටියර් ගේ නික්මයෑමෙන් වසරක් ගෙවන්නටත් පෙර සිටම ඉන්දියානු සිනමාවේ මුල් පියවර ලකුණු පෙනෙන්නට පටන් ගත්තේය.බොහෝ සංචාරක වෙළෙන්දන් ඉන්දියාවට පැමිණියේ සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍ර ද කර තබා ගෙනය. ඔවුන් ඉන්දියාවේ නගර පුරා කරක් ගසමින් ගෙනා චලන චිත්‍ර පට්ටා ගැසූහ. තාවකාලික මඩු කූඩාරම් නැතහොත් කුලියට ගත් ශාලා ඒ සඳහා යොදා ගැනිණ.මේ අතර වාරයේ අමෙරිකාවේ විටාග්‍රාෆ් සමාගම බොම්බායේ ගෙයිටි සිනමාහල කුලියට ගෙන චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ 1897 ජනවාරියේය. සිනමාවේ පුරෝගාමි සමාගමක් වූ විටාග්‍රාෆ් සිය ආරම්භයේ රූ ගත කරන ලද්දේ ප්‍රවෘත්තිමය වටිනාකමින් යුක්ත චිත්‍රපටයන්ය. කොහොමටත් මේ අවදිය වන විට සිනමාව ඇරඹුන ද එයින් කතන්දර කියන්නට කිසිවකු උත්සාහ කළේ නැත. ඉන්දියාවේ ගම් නියම්ගම් වල චිත්‍රපට ප්‍රදර්ශනය කළ ඇතැම්හු විටාග්‍රාෆ් සමාගමෙන් චිත්‍රපට මිලයට ගත්හ.නැතහොත් වෙනත් රටකින් ඒවා මිලයට ගත්හ.මෙම සිනමාව තවත් පතළ කළ කිහිප දෙනෙක් නම් සංචාරක මැජික්කරුවන්ය. මේ මැජික් කරුවන් ඉන්දියාව,චීනය,ඉන්දු චීනය,බුරුමය,නවසීලන්තය ලංකාව ඇතුළු රටවල් රාශියක සංචාරය කළහ.ඔවුන්ගේ මැජික් සංදර්ශණවල එක් අංගයක් වූයේ ජීවමාන චලන චිත්‍ර ප්‍රදර්ශනයයි.කාල් හර්ට්ස් මෙන්ම ප්‍රොෆෛසර් ඇන්ඩර්සන් නම ගිය මැජික් ශිල්පින් දෙදෙනෙක් වූහ.මේ දෙදෙනාටම සහකාරියන් දෙදෙනෙක් ද වූහ. ඔවුහු මැජික් දර්ශණ වලදී සහාය දක්වනවාට අමතරව රැඟුමෙන් ද රසිකයන් පිනවීමේ අමතර අංගයක් ද එක් කළහ. මේ හැරෙන්නට ඔවුනගේ ජීවන සහකාරියන් වූයේ ද ඔවුන්ය.හර්ට්ස් ගේ සහකාරියවූයේ මැඩ්මොයිල් ඩිඇල්ටන් වූ අතර ඇන්ඩර්සන්ගේ සහකාරිය වූයේ ම්ලේ බ්ලාන්ච්ය.ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවන්ට අනුව ඇන්ඩර්සන් ගේ මුල්ම ඉන්දියා සවාරිය 1897 සැප්තැම්බර් 17 වැනි දින සිදුවන්නකි.යළි බොහෝ දෙනාට දැක ගන්නට නොලැබුණ අලුත් දර්ශණ සමග යළි ගෙයිටි ශාලාවට පැමිණෙන්නේ ඊළඟ වසරේ නත්තල සමඟය. එනම් 1898 දෙසැම්බර් 17 වැනි දිනය. එහෙත් මේ කාලය ඇතුළත ඇන්ඩර්සන් ඉන්දියාව පුරා ද ආසියාව පුරා ද සංචාරය කර ඇත්තේය.ඇන්ඩර්සන්ගේ මෙම සවාරිය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැදගත් ලකුණක් වනුයේ එවර බොම්බාය දුම්රිය පොළට දුම්රියක් පැමිණීමේ දර්ශණයක් පෙන්වීමෙන් ප්‍රේක්ෂකයා පුදුමයට පත් කිරන බවට ම්ලේ බ්ලාන්ච් සිය රසිකයන්ට පොරොන්දුවීම නිසාය. මේ ඉදිරිපත් කරනුයේ ඇන්ඩසන්කොපෙග්‍රාෆ් යන්ත්‍රෙයන් ආනුභාවයෙනි. ඇන්ඩර්සන් තමා රූ ගැන් වූ දර්ශණ මැජික් ලෙස හුවා දැක්වූයේ එලෙසය.මේ දිනවල ම බොම්බායේ මෙඩොව් වීදියේ ස්ටුඩියෝවේ දිනපතා චලන චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹුවේය.එයට අමතරව ක්ලිෆ්ටන් ඇන්ඩ් කම්පැනි දැන්වීමක් මගින් කල්කටාවේ සහ මදුරාසියේ චිත්‍රපට ප්‍රදර්ශනය පවත්වන වග දන්වා සිටියේය. 1898 වසර වන විට එච්.එම්.වී.ලේබලය සහිත ග්‍රැමෆෝන් ඇන්ඩ් ටයිප්රයිටර් සමාගම කල්කටාවේ සිය ශාඛා කාර්යාලය පිහිටුවන ලදී.මේ අවදියේ බ්‍රිතාන්‍ය සමාගමක් වූ වෝර්වික් ට්‍රේඩ්න් කම්පැනි ආයතනය ද කල්කටාවේ සිය ශාඛා කාර්යාලයක් විවෘත කරන ලදී. බ්‍රිතාන්‍ය සිනමාවේ පුරෝගාමියකු ලෙස සැලකෙන චාර්ල්ස් අර්බන් ගේ මෙහෙයුමෙන් යුත් මේ සමාගම සිනමා උපකරණ මෙන්ම චිත්‍රපට ද ඉන්දියාවට රැගෙන ආහ. කල්කටාවේ නීතිඥයකු ගේ පුතෙකු වූ හිරාලාල් සෙන් සිය සොහොයුරු මෝතිලාල් සෙන් ගේ ද සහාය ඇතුව වෝර්වික් සමාගමෙන් කැමරාවක් මිලයට ගත්තේය.හිරාලාල් (1816-1917) වර්තමාන බංග්ලාදේශයට අයත් මුන්ෂිගංග් සමීපයේ පිහිටි බක්රූජි ගම්මානයේ උපත ලද්දෙකි. කල්කටාවේ ස්ටාර් තියටර් හිදී ස්ටීවන්සන්ගේ විශ්මිත මැජික් දර්ශන නැරඹූ හිරාලාල් අනතුරුව මිලයට ගත් කැමරාවෙන් එකී මැජික් දර්ශන රූ ගැන්වීය.පසුව ඔහු වෝර්වික් සමාගමෙන් මෙන්ම සෘජුව ලන්ඩනයෙන් ද මිලයට ගත් උපකරණ යොදා ගෙන ස්වභාවික දර්ශන රූ ගැන්වූයේය. ඔහු තම සමාගම රෝයල් බයිස්කෝප් යනුවෙන් නම් කළේය.ඔහුගේ චිත්‍රපට කල්කටාවේ අම්රිත් ලාල් නාට්‍ය ශාලාවේ ප්‍රදර්ශන කළ වග ද වාර්තා වෙයි. එපමණක් නොව ඒ අවදියේ සිටි බොහෝ ඉන්දියානු ධනවතුන් සිය නිවාසයන් හි පැවැති විවිධ උත්සව යනාදිය හිරාලාල් ලවා රූ ගත කර ගත්හ. කල්කටා පුවත්පතක් වන අම්රිත් බසාර් පත්‍රිකා මගින් 1898 ඔක්තෝබර් 02 වැනි දින කල්කටාවේ ස්ටාර් තියටර් හි පැවැත්වෙන චිත්‍රපට දර්ශණ පිළිබද විස්තරයක් පළ කර සිටියේය.මේ දර්ශන මාලාවේදී බෙංගාලි නළුවෙක් සහ නාට්‍ය රචකයකු වූ ගිරිශ් චන්ද්‍ර ගෝෂ් ගේ රගපෑම් ද ඇතුළත් නාට්‍යයක් ද ප්‍රදර්ශන වී තිබිණ.හිරාලාල් සිය මුල්ම චිත්‍රපට දර්ශණ පැවැත්වූයේ එහිය.
කල්කටාව පසුබිම් කර ගෙන ඖෂධ වෙළඳාම ප්‍රමුඛ කොට ගත් ව්‍යාපාර ජාලයක හිමි පාර්සි පවුලක සාමාජිකයකු වූ ජාම්ශෙට්ටි ෆ්‍රාම්ජි මදාන් (1865-1923)සිය පවුලේ ව්‍යාපාරයට අමතරව පාර්සි නාට්‍ය සමාගමක් ද පවත්වා ගෙන ගියේය.ඔහු ඉතා ඉක්මනින් නව විනෝදාත්මක මාධ්‍යයේ ඇති වටිනාකම දැන ගත්තේය. ඔහු ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගම හරහා සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ගෙන්වා ගෙන කල්කටාවේ හරි බසාර් පෙදෙසේ සිනමා ප්‍රදර්ශනය ආරම්භ කළේය.එහෙත් තාවකාලික මඩු කූඩාරම් වලට එළැඹි වැසි සමයේ තද බාදා ඇති විය. ඔහු සියලු චිත්‍රපට දර්ශන අවලංගු කළා පමණක් නොව ඒ වන විට ආසන වෙන් කළ සිටි සියල්ලගේ මුදල් ද ආපසු ගෙවා දැම්මේය.එහෙත් මේ කටයුත්ත ඔහුගේ ව්‍යාපාරයට හොඳ ප්‍රචාරයක් ලබා දුන්නේය. අනතුරුව ඔහු සිය සිනමා ව්‍යාපාරය පුළුල් කළේ 1907 වන විට ඉන්දියාවේ මුල්ම ස්ථාවර සිනමාහල කල්කටාවේ ඉදි කරමිණි. එය නම් කළේ එල්පින්ස්ටන් නමිනි. ඒ ඔවුනගේ ව්‍යාපාර පුළුල් කරන්නට උදව් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ ජෝන් එල්පින්ස්ටන් සාමි වරයාගේ නමිනි.මදාන් සිය සිනමා සමාගම නම් කළේ ද එල්පින්ස්ටන් පික්චර් පැලස් යනුවෙනි. කල්කටාවෙන් ඇරඹි ඔහුගේ සිනමා ව්‍යාපාරය දිනෙන් දින දළුලා වැඩුණ අතර එය ඉක්මනින් අසල රටවලට ද පැතිර ගියේය. කල්කටාවේ එල්පින්ස්ටන් සිනමාහලේ ගෘහ නිර්මාණ ආකෘතියම යොදා ගනිම්න් ඔහු මරදානේ ද සිනමාහලක් ඉදිකළ අතර එය නම් කරන ලදදේ ද එල්ෆින්ස්ටන් නමිනි. කෙසේ වෙතත් මදාන් සිය සිනමා හල ආසියාව පුරා ප්‍රධාන නගරයන්හි ස්ථාවර සිනමාහල් ඉදි කරද්දී අබ්දුල්අලී යූසුෆාලී (1884-1957) ද ඉම්පීරියල් නම්න් කූඩාරම් සිනමාහල් ව්‍යාපාරයක් පටන් ගත්තේය. එය ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ඈත ගම් නියම් ගම් කරා යමින් තාවකාලික මඩු කූඩාරම් වල චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේය. එය නම් කරන ලද්දේ ඉම්පීරියල් නමිනි. මතු සම්බන්ධයි |
|