වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් විදුලියට 87 යි

ගුවන් විදුලියට 87 යි

හැකිය වෙණ ගායනා පෙරසේ

දකුණු ආසියාවේ මුල්ම ගුවන් විදුලිය අපේ

දෙසැම්බර් 16 වැනිදා සිට ගුවන් විදුලියේ අලුත් වගතුග - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී.ඩී.කේ. ජයන්ත විස්තර කරයි

ඉදිරියේදී සිදු කෙරෙන දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාවලිය සමඟින් නව වෙනසක් සිදු වෙනවා. නමුත් මැදිරියේ අපේ තේමාව ‘සුභාවිත ගීතය’ යි.

මේ ලක්දෙරණේ අප සතු වටිනා දේ නම් බොහෝයි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන පුංචි දූපතක් වුණත් අපේ රට සතු බොහෝ දේ ලෝකය තුළ නමක් රඳවන්නට සමත් වෙලා තියෙනවා. රේඩියෝ සිලෝන් ලෙස ආරම්භ වූ වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ද ඒ අතර විශේෂ ස්ථානයක් හිමි වෙනවා. 1925 දෙසැම්බර් 16 වැනිදා ලාංකේය ජනතාව වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ කළ එය දකුණු ආසියාවේ මුල්ම ගුවන් විදුලිය ලෙස ද හිමිකම් දරයි.

එදා මෙදා තුර විවිධ සන්ධිස්ථාන පසුකරමින් දැනුම, තොරතුරු, රස වින්දනය නො අඩුව ලබා දෙමින් ලබන 16 වැනිදාට සිය 87 වැනි වසර සමරන්නේ මෙතෙක් සිදු කළ මෙහෙවරෙහි අභිමානය සනිටුහන් කරමිනි. මේ ඒ සමඟින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හෙට දිනය පිළිබඳ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජාතික සේවා/ ප්‍රාදේශීය සේවා) ටී.ඩී.කේ. ජයන්ත සමඟ කළ සංවාදයයි.

ජාතික ගුවන් විදුලියට 87 වසරක් සපිරෙන මේ මොහොතේ සිදුවන්නට නියමිත විශේෂිත වැඩසටහන් ගැන මුලින්ම සඳහන් කරමු.

ජාතික ගුවන් විදුලියේ 87 වැනි සැමරුම වෙනුවෙන් ‘අභිමන් දැක්ම’ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සියළු කටයුතු සූදානම්. ලබන දෙසැම්බර් 15 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය සහ 16 වැනිදා උදෑසන සංඝයා වහන්සේලා විෂයෙහි හීල් දානය සහ සියලු ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි. ඒ වගේම 16 වැනිදා රාත්‍රියේදී බොරැල්ල කැම්බල් පිටියේ සංගීත් විජේසූරිය ප්‍රමුඛ ‘වායෝ’ සංගීත රාත්‍රිය සහ 17 වැනිදා රාත්‍රියේ පාරම්පරික ශිල්පීන් රඟ දක්වන දහඅට සන්නිය ශාන්ති කර්මය පැවැත්වෙනවා. 18 වැනිදා රාත්‍රියේ ‘අභිමන් රාත්‍රිය’ නමින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දය සමඟ ප්‍රවීණ ශිල්පීන් ගීී ගයන සංගීත සැන්දෑවක් පවත්වන්නටත් නියමිතයි.

ඊට අමතරව කුඩා දරුවන් වෙනුවෙන් 16 සහ 17 යන දෙදින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත වෙලා තියෙනවා. එදාට ඔවුන්ට තම දෙමාපියන් සමඟ පැමිණ නරඹන්න පුළුවන්. එදිනට අපි ගුවන් විදුලිය හා සන්නිවේදනය පිළිබඳ විශේෂ දේශන පවත්වන්නට කටයුතු යොදල තියෙනවා. ඒ වගේම මැදිරි නරඹන්න, කතා කරන්න වගේම අනෙකුත් දිනවල නොමැති පහසුකම් රැසක් දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට අපි කටයුතු යොදලා තියෙනවා. තාමත් නොවැටුන වගේම හරය ආරක්ෂා කරමින් අපේකම රැකෙන පරිදි ජාතික ගුවන් විදුලිය තබන ඉදිරි පියවරක් තමයි මේ.

මේ සියලු කටයුතු සමඟින් සිදු කෙරෙන වැඩපිළිවෙළට විශේෂ අරමුණක් තියෙනවාද?

පසුගිය කාලයේ ගුවන්විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වුණා. 87 වැනි සැමරුම සමඟින් මේ වෙනස ජනතාව අතරට ගෙන යන්න තමයි මූලික අරමුණ. ඒ අනුව ඉදිරියේදී ලංකාව පුරා දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්නටත් නියමිතයි. ඒ වෙනුවෙන් සංගීත් විජේසූරිය ප්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායම සමඟින් දැවැන්ත සංගීත සංදර්ශන පවත්වන්න කටයුතු යොදල තියෙනවා. කාලයට අනුව සම්ප්‍රදාය නොබිඳෙන අයුරින් ජාතික ගුවන් විදුලිය පිළිබඳ කතිකාවක් ඇති කිරීම තමයි මේ මගින් බලාපොරොත්තු වෙන්නේ.

සංගීත් ප්‍රමුඛ ‘වායෝ’ සමඟින් මේ පටන් ගැන්ම සම්ප්‍රදායෙන් බැහැර වීමක් නොවෙයි ද?

කොහෙත්ම නැහැ. සංගීත් ප්‍රමුඛ ‘සනිධප’ වර්තමානයේදී ‘වායෝ’ ලෙස වෙනස් වෙලා තියෙනවා. ඔවුන් දේශීය වගේම බටහිර සංගීත ශෛලීන් දෙකම සමඟ යුතු වූ එකක්. එය අපට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. රිද්මය සමගයි අපි මේ ගමන යන්නේ. වේග රිද්මය අපට බැහැර කරන්න බැහැ. දේශීය දේ නිරතුරුව අපි අගයනවා. ‘වායෝ’ මේ දෙ අංශයෙන්ම සුදුසුයි. ඉදිරියේදී සිදු කෙරෙන දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාවලිය සමඟින් නව වෙනසක් සිදු වෙනවා. නමුත් මැදිරියේ අපේ තේමාව ‘සුභාවිත ගීතය’ යි. මැදිරිය තුළ ඒ යටතේ ගීත පෙළ ගැස්වෙනවා. මේ සියලු දේ සමඟින් නව පරපුරටත් ගැළපෙන ලෙසයි මේ ගමන අපි යන්නේ.

මෙය යෞවනය සමඟ අත්වැල් බැඳ ගැනීමක් ද?

මෙම දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාවලිය තරුණ හා මැදි වයසේ අය ඉලක්ක කරගත් වැසටහනක්. තාරුණ්‍ය සමග යන්නට සැරසෙන මේ ගමන සම්ප්‍රදායික එකක් නෙවෙයි. මෙහි අරමුණ බයිලා කියලා නටන එක නෙවෙයි. ජාතික ගුවන්විදුලිය ලෙස අපට ගැළපෙන රිද්මයක් සමගිනුයි මේ නව ගමන අපි යන්නේ. දැනටමත් අපි සිටි එෆ්.එම් නාලිකාව යෞවනයේ නාලිකාව ලෙසයි ක්‍රියාත්මක කෙරෙන්නේ. එය තවත් වර්ධනය කිරීම තමයි මෙහි අරමුණ.

මේ දක්වා ජාතික ගුවන් විදුලිය ක්‍රියාත්මක වූ ආකාරය සමඟ මෙය අනෙකුත් පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සමඟ රැල්ලට යාමක් ද?

මෙවැනි වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරන්නේ අපේ සම්ප්‍රදාය නොබිඳෙන අයුරින් අපේකම රැකෙන ආකාරයටයි. අපි තමයි මුලින්ම ‘පිබිදෙන ගායක පරපුර’ ආරම්භ කළේ. දැන් විවිධ තරු තරග ලෙස ක්‍රියාමත්මක වන්නෙත් එයම තමයි. එක රැයකින් තරු බිහිකරල අත හරින්න අපට වුවමනා නැහැ. අපි ඒ තත්ත්වයට පත්වන්නට බලාපොරොත්තුවක් නැහැ.

ඒ වගේම මැදිරිය තුළ දී ගීත සම්බන්ධයෙන් වුණත් අපේ ප්‍රතිපත්ති තියෙනවා. ඒවා නොබිඳෙන පරිදි තමයි අපි ගීත විකාශය කරන්නේ. එහිදී භාෂාව සහ අර්ථයට මූලිකව අවධානය යොමු කරනවා. පිටතින් සංගීතවත් කරල ගෙනෙන ගීත වෙනමම විමර්ශන මණ්ඩලයකට යොමු කරල එයින් අනුමත වුවොත් පමණයි විකාශය කෙරෙන්නේ.

මේ සමඟ ඉදිරියේදී වැඩසටහන්වල වෙනස්කම් සිදුවෙමින් ගීත සඳහා වැඩි ඉඩක් ලබාදීමක් සිදු වේවිද?

මැදිරිය තුළ වැඩසටහන්වල දැන්මම වෙනසක් සිදු කෙරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ නාලිකාවල උදෑසන වැඩසටහන් පෙළ ගැසිල තියෙන්නේ සාකච්ඡාවලින්. ලෝකයේ පිළිගත් සම්මතය අනුව මෙම ටෝල්ක් ෂෝ ගුවන්විදුලි නාලිකාවක පැවැත්මට බෙහෙවින් බලපානවා. පෙරවරු 9.00 දක්වා අපේ නාලිකාවල මෙම ටෝල්ක් ෂෝ ක්‍රියාත්මකයි. ඊට පසුව කාලයේදී අපි වැඩිපුර ගීත සඳහා අවස්ථාව ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා.

එදා මෙදාතුර කාලයේදී ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලෙස ජාතික ගුවන් විදුලිය ඔබ දකින්නේ කෙසේද?

මම 1985 වසරේදී ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වුණේ නාට්‍ය ශිල්පියෙක් විදියට. ඒ කාලයේ කිසිම තරගයක් තිබුණේ නැහැ. 90 දශකයේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා බිහිවීම සමඟින් ලොකු අභියෝගයක් එල්ල වුණා. 1990 – 2000 දශකයේදී බොහෝ විපර්යාසවලට ලක්වුවත් ජාතික ගුවන් විදුලිය ලෙස අපි සැලුනේ නැහැ. මේ කාලයේ කෙටි තරංග, මධ්‍යම තරංගවලින් එෆ් එම් තරංගවලට යොමු වුණා. 2006 වසරේදී වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ පැමිණීම සමග ජාතික ගුවන් විදුලිය විශාල ඉදිරි පියවරක් තැබුවා. එතුමාගේ අදහස් පරිදි ටෝල්ක් ෂෝ ක්‍රමය ඉතා නිවැරැදිව ආදේශ කළා. ඒ නිසා අසන්නන් විශාල පිරිසක් අප වටා රොක් වුණා.

උදෑසන විකාශය කෙරෙන දස දෙසින්, රට යන අත වැනි වැඩසටහන් වැඩිම අසන්නන් පිරිසක් අසන වැඩසටහන් ලෙස සමීක්ෂණ වාර්තාවල පෙරමුණේ පසුවෙනවා. ඒ වගේමයි නිවේදන අංශයෙන් තරුණ නියෝජනය හොඳින් කැපී පෙනෙනවා. පැරණි හඬවල් ඈත්වීම සමඟ දක්ෂ නව පරපුරක් අපි හදල තියෙනවා. ඔවුන්ට අපි භාෂාව ගීත වැනි දේ පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දී තියෙනවා. ඔවුන්ගේ දක්ෂතා අපි අගය කළ යුතුයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාතික ගුවන්විදුලිය ලෙස මේ තබන නව පියවර ආයතනයේ වගේම ලාංකේය ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකයි.