|
||||||||
ඔබේ ආදරණීය සුජාත දියණිය චංගුමී
පස්වරු 6.30 උදාවන තුරු නිවෙසේ ප්‍රේක්ෂකාගාරය නොසන්සුන්ය. කොරියානු දියණියගේ දස්කම් දැකගැනීමට තම්බපන්නී දේශයේ වැසියෝ පෙළ ගැසී බලා සිටිති. පුරා හෝරාවක් ගතවන තුරු ඉඳිකටුවක් වැටෙන හඬකටවත් අවසරයක් නම් නැත. ‘සුජාත දියණිය’ මාලා නාටකයේ චංගුමී දැන් අපේම දියණියකි. සොයුරියකි. ඇය ඔෂින් මෙන්ම සෑම දේශයක්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා, වැළඳගන්නා, හිත මිතුරියකි. ටේ චෑන් ගම් (Dae Jang Geum) නැත්නම් ශ්‍රේෂ්ඨ චැන්ග් ගම් අරුත් ඇතිව කොරියානු දේශයේ මුලින්ම මේ මාලා නාටකය විකාශය වූයේ 2003 වසරේදීයි. දකුණු කොරියානු රූපවාහිනියට වීර නාටකය නිර්මාණය කළේ ලී බ්‍යුන්ග් හූන් නම් අධ්‍යක්ෂවරයායි. එය දාසය වැනි සියවසේ එරට බිහි වූ වීර දියණියක, මාළිගයේ පළමු වෛද්‍යවරිය බවට පත්වෙන සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩ නැඟූවකි. ජෝසියෝන් රාජ්‍ය පාලන සමයේ දිරිය දියණිය චෑන් ගම් අනාථ දැරිය රජ මැදුරේ ආහාර පිසින පාලිකාවකගේ සිට ප්‍රධාන වෛද්‍යවරිය දක්වා යන ගමන එරට ඉතිහාසයේ රනින් ලියැවුණු සිදුවීමකි. සතුට, සන්ත්‍රාසය, සංවේගය, සෙනෙහස කැන්දන චෑන් ගම්ගේ කතා පුවත මුළු ලොවටම එරට සංස්කෘතිය, රාජකීයයන්ට කෑම පිසීමේ කලාව හා පාරම්පරික වෛද්‍ය ක්‍රම ගැන කුතුහලය අවදි කරයි.
‘ජුවෙල් ඉන් ද පැලස්’ ලෙසින් ද ජනප්‍රිය ඒ නාට්‍ය 2003 වසරේ සිට විවිධ රටවල විකාශය කෙරේ. නාට්‍යයෙන් මේ දක්වා ලැබී ඇති ආදායම ඩොලර් මිලියන හතළිහ ඉක්මවයි. අද ‘චෑන්ග් ගම්’ කොරියාවට දියමන්තියක් තරමටම වටිනා මැණිකක් වී තිබේ. ඒ කොරියාව යන අකුරු හතරට ද වඩා චෑන්ග් ගම් නැත්නම් චංගුමී එරට කෙරෙහි ළබැඳියාවක් ඇති කිරීමට සමත් වී ඇති නිසයි. ඒ නිසාමදෝ ටේ චෑන් ගම් මාලා නාටකයක් වීමට ද මුලපුරා ඇත.
එදා මෙදාතුර විකාශය වූ කොරියානු නාට්‍ය අතරින් ජාතිකව මෙන්ම අන්තර් ජාතිකව ද වැඩිම ජනප්‍රසාදය දිනාගෙන ඇත්තේ ටේ චෑන් ගම් ය. එනිසාම එය එරට නාට්‍ය අතරින් තවමත් සර්වකාලීනව අංක එකේ මනාපයේ රැඳී තිබේ. කොරියාවේ ටේ චෑන් ගම් නමින් උද්‍යානයක්, ආපන ශාලා තිබේ. මේ නමින් ඇති කෑම පොත් ගණන අති විශාලය. ආසියාව පුරා ටේ චෑන් ගම් මිතුරු සමාජ ද ඇත. මාළිගයේ මැණික, චංගුමී නම් සුජාත දියණිය මෙතරම් සාඩම්බරයක් ගෙනා කතා නායිකාවයි. ජංගුමීට පණ පොවන්නිය ලී යන්ග් – ඒය.
මවගේත්, හන් පාලිකාවගේත් අයුක්ති සහගත මරණවලට සාධාරණය ඉටු කිරීමට ආදරය, සාධාරණය, සහජ හැකියාව, අධිෂ්ඨානය පලිහක් කරගන්නා ඇය (අපේ චංගුමී නැත්නම් කොරියානු දේශයේ චෑන් ගම්) සැබෑ ජීවිතයේදී ලී යන්ග් – ඒ ය. 1971 ජනවාරි 31 වැනිදා දකුණු කොරියවේ සියොල් නගරයේ උපන් ඇය එරට සම්මානනීය නිළියකි. ජර්මානු බස සහ සාහිත්‍ය පිළිබඳ උපාධියක් ඇයට තිබේ. එපමණක් නොව ඇය නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිණියක ද වන්නීය. මෝස්තර නිරූපිකාවක ලෙසින් 1991 දී රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටි ඇයට පසුව ටෙලි නාට්‍ය හා සිනමාපටවල රඟපෑමට අවස්ථාව උදා වූවාය. එහෙත් ලී යන්ග් – ඒ නම් නිළියට කොරියානු ජනතාවගේ අසීමිත ආදරය හිමි වුණේ ටේ චෑන් ගම් නාට්‍යයේ ප්‍රධාන භූමිකාව වූ චෑන් ගම් චරිතය රැගූ පසුවයි. 2003 දී කොරියානු ජන හදවත් දිනාගත් ඇය 2004 දී තායිවානයේදී නාට්‍ය විකාශය වූ පසු එරට ප්‍රේක්ෂකයන්ගේ සෙනෙහසට පාත්‍ර වූවාය. 2005 දී හොංකොං වැසියන්ගේ වීරවරිය වූයේ ද ඇයයි. නාට්‍යයේ අවසන් කොටස එරට ජනගහනයෙන් අඩක්ම නරඹා ඇත. මිලියන ගණනක් වූ චීන ප්‍රේක්ෂකයන්ගේ හද බැඳ ගැනීමට ද ඇය සමත් වූවාය. 2006 වසරේ බ්ලූ ඩ්‍රැගන් සම්මාන උළෙලේදී ලී සම්මානයට පාත්‍ර වන්නේ ‘සිම්පති ෆෝ ලේඩි වෙන්ගීන්ස්’ රංගනයටයි. රංගනයට ඇය පෑ දස්කම් නිසා හොංකොං, සිංගප්පූරුව, තායිවානය, චීනය, ජපානය යන රටවලින් ඇයට ආරාධනා ලැබුණි. ජපානයේ රියැලිටි වැඩසටහන්වල පවා ලී ආදරණීය අමුත්තියක වූවාය. 2007 දී චීනයේ පැවැති හාබින් අන්තර් ජාතික අයිස් සහ හිම කැටයම් උළෙලේ ඇය සන්නාම තානාපතිනියකි.
ලී රඟපා ඇත්තේ ඉන්ෂාඅල්ලාහි (1996), ෆස්ට් කිස් (1999), ජොයින්ට් සිකුයුරිටි ඒරියා (2000), ලාස්ට් ප්‍රසන්ට් (2001), වන් ෆයින් ස්ප්‍රින්ග් ඩේ (2001) සහ සිම්පති ෆෝ ලේඩි වෙන්ගීන්ස් (2005) සිනමාපට පහේ පමණයි. එහෙත් ඇය ටෙලි නාට්‍ය දහ අටකට රංගනයෙන් දායක වී තිබේ. ඇය අවසන් වරට රඟපා ඇත්තේ අසීමිත ජනප්‍රියත්වයක් ගෙනා ටේ චෑන් ගම් ටෙලි නාටකයේයි. එනම් සුජාත දියණිය නාට්‍යයේයි.
මින් ජුන්ග් හෝ
චංගුමීගේ හද දිනාගත් ඔහු ඇයට විවිධ බාධා ජය ගෙන මාළිගයට පැමිණ ප්‍රධාන වෛද්‍යවරිය වීමට උදවු උපකාර කරන සෙනෙහෙවන්තයායි. එනිසාම ඔහුට රටින් පිටුවහල් වීමට පවා සිදුවේ. මින් ජුන්ග් හෝ ලෙස රඟන ජී ජින් – හී ද ලී ගේම වයසේ පසුවන්නෙකි. මේ දකුණු කොරියානු නළුවා වඩාත්ම ජනප්‍රිය වූයේ මිස් කිම්ස් මිලියන් ඩොලර් ක්වෙස්ට්, ලව් ලෙටර්, ස්ප්‍රින්ග් ඩේස් සහ ටේ චෑන් ගම් රංගනයන් නිසයි. වෘත්තීය නළුවකු වූ ඔහු විවාහකයෙකි.
හන් පාලිකාව
ඇය චංගුමීට රාජකීය කෑම පිසීමේ කලාව උගන්වන ගුරුවරිය පමණක් නොවෙයි. ආදරණීය මවක් සේ ඇයට සෙනෙහස දක්වන්නිය ද ඇයයි. හම් පාලිකාව, එසේත් නැත්නම් යෑන්ග් මි – ක්‍යුන්ග් දැන් පනස් එක් හැවිරිදි කාන්තාවකි.
විවාහක ඇයට එක් පුතකු සිටියි. රිදී තිරයේ සහ පුංචි තිරයේ තාරකාවක් වන ඇය ද සම්මාන කිහිපයක්ම දිනාගෙන තිබේ.
චෝයි පාලිකාව
තම අරමුණු හොඳින් හෝ නරකින් ඉටු කිරීමට වෙර දරන ඇය සිය අයහපත් කල්ක්‍රියා නිසා මනස ද වියවුල් වී අකාලයේ මරණයට පත් වන්නේ රජ පරපුරටම සාපයක් වී තිබූ චෝයි පරපුරේ සෙවණැල්ල පවා වළ දමමනි.
මේ දුෂ්ඨ චරිතය නිරූපණය කරන්නිය, කියෝ මි – රී ය. හතළිස් අට හැවිරිදි ඇය මුද්‍රා නාට්‍ය කලාව පිළිබඳ උපාධිධාරිණියකි. ඇය රඟන්නට වාගේම ගයන්නට ද දක්ෂය. ටේ චෑන් ගම් නාට්‍යයේ දුෂ්ඨ චරිතය නිරූපණය කළ පසු ඇය වටා කොරියාවේ පමණක් නොව ජපානය, හොංකොං, චීනය, වියට්නාමය සහ පිලිපීනය යන රටවල ද රසිකයෝ එක් රොක් වූහ. 1984 දී පුංචි තිරයේ තාරකාවක් ලෙසින් දොරට වැඩි ඇය පළමු ගීත ඇල්බමය, හැපි විමෙන් 2009 වසරේදී නිකුත් කළාය. කියෝ මි – රී පුංචි තිරයේ තාරකාවකි. ඇය දෙවරක් විවාහ වී තිබේ.
හෙන්ග් රී – නා
ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් චංගුමීට කරට කර සටනක් දෙන, ඇය ඇලුම් කරන යෞවනයා මින් ජුන්ග් හෝ ගේ හිත ගැනීම නිසා චංගුමීට වෛර කරන චෝයි පරපුරේ ළාබාලම පාලිකාව ගින්යොන්ය. 1968 පෙබරවාරි 7 වැනිදා ඉපදී ඇති ඇය පුංචි තිරයේ තාරකාවකි. ෆාදර් (1997), අයි විල් ෆොගොට් යූ නව් (1991), ඊස් ලයිෆ් අ මල්ටිපල් චොයිස් ප්‍රොබ්ලම් (1992) ඇය රැගූ සිනමාපටයි. හෙන්ග් ද හොඳම නිළිය ලෙසින් සම්මාන ගණනාවක්ම දිනා ගත්තියකි. ඇය විවාහ වී සිටින්නේ ද අමෙරිකානු කොරියානු ජාතිකයකු සමඟයි.
|
||||||||