|
||||
ගාලු වගේ ගෝවේ ගියෙමිඉන්දියානු සිනමා උළෙල පිළිබද ලිපි පෙළක්
සිනමා උළෙලේ මතක සටහන්
ඉන්දියානු සිනමා උළෙල යළිත් වරක් අපට ජාත්‍යන්තර ලෝකය හමුවේ පෙනී සිටින්නට ඉඩක් සැලසුවේය.එහෙත් මේ ලිපි පෙළ එයට වඩා වෙනස්වනුයේ එය පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීමට කරන උත්සාහයකි. මා මෙවර ඉන්දියාවට ගියේ වසර ගණනාවකට පසුවය. මේ වකවානුව ලෝකයේ බොහෝ සිතුම් පැතුම් ද ආකල්ප ද ඉක්මනින් වෙනස් කළ වකවානුවක් වූයේය. මේ වෙනස්වීම වඩාත් පැහැදිලි කළේ ඉන්දියානු ජනප්‍රිය ප්‍රවාහයේ සිනමා කෘතින් මගිනි. ඒවායේ ආකල්ප හා හැසිරීම් මෙයට දශක එක හමාරකට පෙර ඉන්දියාවේ පැවැති ආකල්ප වලට වඩා වෙනස් වන බැව් කැපී පෙනිණ. කොටින්ම එකී ගති සිරිත් සම්ප්‍රදායික ඉන්දියාවට වඩා බටහිරට ළං වන බවක් පළ කළේය. කලක් එක දිගට ඉන්දියානු අන්තර් ජාතික චිත්‍රපට උළෙල නැරඹීමට ඉන්දියාවට යෑමට පුරුදු ව සිටි මගේ එම අදහස පසුව වෙනස් වූයේ එබදු උළෙලක නැරඹිය හැකි සියලු චිත්‍රපට මෙරට දී ඉතා ඉක්මනින් සොයා ගන්නට තරම් තාක්ෂණය දියුණු වූ බැවිනි. කෙසේ වෙතත් නිළි රැජන මාලිනී ෆොන්සේකා ඉන්දිය අන්තර්ජාතික සිනමා උළෙලේ ජාත්‍යන්තර චිත්‍රපට ජූරි සාමාජිකයකුවීම සමග මෙවර සිනමා උළෙල ආවරණය කිරීමේ ප්‍රවෘත්තිමය වටිනාකමක් විය. මාලිනී අක්කා මාපැමිණි දිනට පෙර දින ගෝවේ බලා පැමිණියේ විනිශ්චය මණ්ඩලයේ රැස්වීමක් පැවැති හෙයිනි. මෙරට සම්මානනීය කලා අධ්‍යක්ෂවරයකු වූ ලාල් හවීන්ද්‍රනාත් ද ගෝවේ සිනමා උළෙලට පැමිණියේ පූනා විශ්ව විද්‍යාලයයේ වැඩමුළුවකට ද සහභාගි වීමෙන් පසුවය. මා ගෝවේ අගනුවර වූ පනාජි වෙත පැමිණෙන්නට මත්තෙන් එහි ළගාවූ ලාල් මට ද නවාතැනක් සොයා ගෙන තිබිණ.එය සිනමා උළෙල පැවැත් වූ ස්ථාන වෙත පයින් යා හැකි දුරකින් පිහිටියකි.බස් රථයෙන් යන්නේ නම් වැයවනුයේ ඉන්දියානු රුපියල් පහකි. ගෝවේ පැවැති සිනමා උළෙල ගැන ලියන්නට පෙර ගෝවේ ගැන ද යමක් කිව යුතුය.කොන්කර්නි භාෂාව වහරන ගෝවේ අපට සම්බන්ධ වනුයේ පෘතුගීසින් අපේ රටට කඩා පාත්වුනේ එහි සිට බැවිනි.ලොරන්සෝ ද අල්මේදා 1505 වසරේ දී කුණාටුවකට අසුවී පළමුව ගාලු වෙරළට ගොඩ බැස්සායැයි කියනුයේ මේ ගෝවේ සිටය.දීර්ඝ කාලයක් පෘතුගීසින්ට යටත්ව තිබූ වර්ග කිලෝමීටර් 3702කින් යුත් මේ කුඩා බිම්කඩ අන්තිමට ශත වර්ෂ ගණනාවකට පසු පෘතුගාලයටම බරක් විය. එබැවින් වැඩි ශබ්දයකින් තොරවම 1961 වසරේදී එය ඉන්දියාවට බාර දීමට ඔවුහු කටයුතු කළහ. මුලින් මහාරාෂ්ට්‍රයට බාර වූ එය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කෙරුනේ 1987 වසෙර්ය. එය එක් පසෙකින් අරාබි මුහුදට ද අනෙක් පසින් කර්නාටක සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්ත දෙකට ද මැදි වූයේය.එහි මහනුවර වස්කෝ නම්වනුයේය. එය පෙරදිග ලෝකය පෘතුගාලයට ලබා දුන්නාවූ 15 වැනි සියවසේ ජීවත් වූ ස්‍රපුකට දේශ ගවේශකයා වූ වස්කෝ ද ගාමා නම්න් නම් කෙරූවකි.සුවාරි ගංතෙර පිහිටි මේ නගරයට අගනුවර වූ පනාජි හෙවත් පාන්ජිම් සිට කිලෝමීටර් 19කි. වස්කෝ ද ගාමා පෘතුගාලයට ලබා දුන් මේ සුන්දර බිම් කඩට හිලව්වට එකල පෘතුගාලයේ රජු විසින් එහි පත් කළ මුල්ම ආණ්ඩුකාර තනතුරට ගාමා පත් කළේය. එහෙත් ගෝවේ අගනුවර වූ පාන්ජිම් පිහිටියේ මන්දෝවි ගංතොට සමීපයේය.සුවාරි සහ මන්දෝවි ගංගා එකම ගංතොටක් සමීපයෙන් අරාබි මුහුදට ගලා යයි. කෙසේ වෙතත් ඉතා අතීතයේ ගෝව හදුන්වා දී ඇත්තේ ගෝමන්ත යන නාමයෙනි. එය කෙතරම් පැරණි ජනාවාසයක් ද යත් එය පැරණි මහාභාරත ග්‍රන්ථයේ හදුන්වාදී ඇත්තේ ගෝපාරෂ්ට්‍ර යනුවෙනි. කෙසේ වෙතත් මෑත සියවස් ගණනාවක්ම පෘතුගාල ආභාෂය ලැබූ නිසාදෝ ගෝව ප්‍රාන්තය පුරා වඩා දැකිය හැක්කේ පෘතුගිසි ලක්ෂණයන්ය.කොටින්ම වලාපටල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය නිසා සරසවිය සම්මානයට පාත්‍ර වී සිටි එමෙන්ම හොලිවුඩ් චිත්‍රපට රැසකට ද දායක ව සිටි ලාල් හවීන්ද්‍රනාත් පැවසුවේ පනාජි නගරයේ ඇවිද යද්දී තම උපන් ගම වූ ගාල්ල නගරයේ ඇවිද යන ආකාරයේ හැඟීමක් එන බවය. පසුකලක ගාල්ලේ පැවැති පෘතුගීසි සලකුණු සියල්ලම පාහේ ඉන් පසු බලයට පැමිණි ඕලන්දකාරයන් අකා මකා නසා දැමුවද මේ නිර්මාණ අතර බැලූ බැල්මට සමාන කමක් පවතී. පාන්ජි නගරයේ ඇවිද යන ලාල්ට බැලූ බැල්මට තම උපන් ගම අතර හා ඒ සමානකමක් දැකීම පුදුමයක් නොවේ. මගේ මව් පාර්ශ්වයේ නිජබිම නිසාම මට ද එබඳු සමාන කමක් දැනී තිබිණ. කෙසේ වෙතත් ගෝව යනු ඉන්දියානු සංචාරක කර්මාන්තයේ අගනුවරයි. එය වර්තමානයේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල සඳහා තෝරා ගෙන ඇත්තේ ද එබැවිනි. සිනමා උළෙල පැවැත්වන අයිනොක්ස් සංකීර්ණය ට සිනමාහල් හතරක් අයත්ය. එහි මුල් සිනමාහලේ ආසන 517 කි. දෙවැන්නේ 315කි. තුන්වැන්නේ 230 කි.සිව්වැන්නේ 210කි.එයට යාබද පිහිටි ගෝව එන්ටටේන්ට්මන්ට් සොසයිටි ආයතනය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලේ සිනමාහල් දෙකකි.එහි ආසන පිළිවෙළින් 232ක් සහ 80 කි. මේ ගොඩනැගිල්ල මැකය්නස් මාලිගය නමින් හඳුන්වනු ලබන වර්ෂ 1702 දී ගොඩ නංවන ලද්දකි.දැන් එහි කොටසක් මෙම සිනමා උළෙල සදහා වෙන් කොට ඇත්තේය.එයට යාබද ව ඇති තවත් පැරණි ගොඩනැගිල්ලක් වනුයේ පැරණි වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලයි. සිනමා උත්සව කාර්යාලය පවත්වාගෙන යන්නේ එහිය.ආසන 925කින් සමන්විත කලා ඇකඩමි ශාලාව ට මේ එකිනෙක යාබද ගොඩනැගිලි වල සිට කිලෝමීටර් භාගයක් පමන දුරය. ඒ දුර ගෙවීම සඳහා උත්සව සංවිධායකයන් විසින් නොමිලයේ ත්‍රීවීලර් රථ සේවාවක් උත්සව සමයේ පවත්වා ගෙන යති. උළෙල වෙනුවෙන් ආරාධිතයන්ට ලබා තිබූ හැඳුනුම්පත් දිගු කළ සැනින් රියැදුරන් මේ සිනමාහල් දෙක අතර ප්‍රේක්ෂකයන් රැගෙන යති.උත්සව සමයේ නගරයේ සෙසු ත්‍රිරෝද රියැදුරන්ට ඒ මග යෑම තහනම්ය. පෘතුගාලයේ සිට පැමිණි වින්සන්ට් ඩි අල්විස් ඕ නම් සිනමාවේදියාට ඉන්දියාවේ නිපදවන ත්‍රිවිලර් රථය පුදුම සහගත එකක් ව තිබූ අතර වරක් ඔහු එම රියකට නැග අප සමග පැවසුවේ මේ අමුතු රථයේ ගමන් කරන මුල් අවස්ථාව මෙය බවය. එපමණක් නොව අල්ව්ස් ත්‍රිවිලරයේ නැගී කිහිප වරක්ම රවුම් ගැසුවේය. සිනමා උළෙලපැවැත්වූයේ දැඩි රුකවල් මැදය.සෑම සිනමා ශාලාවකටම අධිතාක්ෂණික අවි සෙවීමේ උපකරණ සවි කොට තිබූ අතර එයින් ඉවත් වූ සැනින් ඊළඟට සිටින රැකවල්ලු ඉන ඉහ අත ගාමින් සෝදිසි කරන්නට පටන් ගනිති.දහ අට වසරකට පෙර මා මුල් වරට ඉන්දියාවේ තිරුවානන්දපුරම් හි පැවැති දෙවන කේරළ අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගි වද්දී එවැනි බාධා කිසිත් නොවීය.එහෙත් ගෙවුණු වකවානුවේ අප එබඳු සෝදිසි වලට නිරන්තරයෙන් ලක් වීමු. එය අද අප මෙරට දී අත් නොවිඳීන්නට තරම් වාසනාවන්තව සිටිමු. අප කෙතරම් නිදහසක් අපේ මව්බිමේදී අත් විදින්නේදැයි මට පෞද්ගලිකව දැනුනේ ඉන්දියානු සිනමාහල් වලදී ලැබුණු නිරන්තර පරීක්ෂණවල ගොදුරු බවට පත්වද්දීය. එපමනක් නොව ජංගම දුරකථන සිම් කාඩ්පතක් ක්‍රියාත්මක වන්නට නම් එය මිලයට ගෙන අවම වශයෙන් දින හතරක්වත් ගත වන්නේය. අන්තර්ජාල පහසුකම් පිළිබඳ ඉන්දියාව කෙතරම් ඉහළ සිටිය ද එය ලබා ගැනීම දුෂ්කර එකක් වූයේය. ඒ එරට ආරක්ෂක විධිවිධාන නිසා සිදුවූවකි. තරු පන්තියේ හෝටල් වල පවා අන්තර්ජාල පහසුකම් ලබා දුන්නේ බොහෝ දේ සොයාබැලීමෙන් පසුවය.එහි මිල ගණන් ද ඉතා ඉහළය. එබඳු හෝටලයකට යන විට දී ඒවායේ තර කොට තිබුණ ආරක්ෂක විධිවිධාන දැඩි ඒවාය.මෙරටට ද සම්බන්ධකම් ඇති එබඳු හෝටලයක නිලධාරියකුට පසුව මා විහිළුවට පැවසුවේ එහි මෙරට ශාඛාවන්ට පැමිණ වෙනස වටහා ගන්නා ලෙසය.එහි ආරක්ෂක නිලධාරියකුගේ අධීක්ෂනයෙන් තොරව විදුලි සෝපානයකට හෝ ඇතුළු විය නොහැක. සිනමා උළෙල සඳහා සහභාගි වනඅපේ කණ්ඩායමේ සෙස්සන් එක්වූයේ තවත් දවස් දෙක තුනකට පසුවය.මේ පිරිස නම් උළෙලේ තරගකාරි අංශයට තරග වැදුණ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ අධ්‍යක්ෂක සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ,මහාචාර්ය සුනිල් ආරියරත්න,චිත්‍රපට නිෂ්පාදක මෙන්ම ස්වර්ණ සංඛ සිනමා පදනම පිහිටුවා ඉංග්මාර් බර්ග්මාන්,ෆ්‍රාන්සුවා ටෲෆෝ ඇතුළු සම්හාවනීය සිනමාකරුවන් රැසකගේ චිත්‍රපට උළෙලයන් රැසක් මෙරට පැවැත්වීමට උර දුන්නාවූ ද ස්වර්ණ සංඛ සිනමා උළෙලේ නිර්මාතෘවූ ද සුනිල් ෆොන්සේකා සහ පුවත්පත් කලාවේදී අජිත් අලහකෝන් එම පිරිස විය. චිත්‍රපට උලෙල මෙවර ඇරඹුනේ ද නිම වුනේ ද වෙනදාට වඩා වෙනස් ආකාරයනටය. ඒ එම සමාරම්භක උත්සවය මෙන්ම නිමාවන උළෙල ද පැවැත්වූයේ විශේෂයෙන් තනවන ශාලාවකය.ආරම්භක චිත්‍රපටය වූ ලයිෆ් ඔෆ් පායි මෙන්ම දින දහයකට පසු උළෙල නිමා කිරීමට තෝරා ගෙන තිබුණ ද රෙලුක්ටාන්ට් ෆන්ඩමෙන්ටලිස්ට් යන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණේ කලා ඇකඩමි චිත්‍රපටශාලාවේය.වෙනදා මේ කටයුත්ත පැවැත්වූයේ එකම තැනකය.සිනමා උළෙල සමග ඉන්දියාවේ ඇති සිනමාව හදාරන බොහෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට නිවාඩු ලැබෙන්නේ මෙම සිනමා උළෙලට සහභාගි වන්නට ඉඩ ලැබීම පිණිසය.එහෙත් සිනමා උළෙල නරඹන්නට නොලැබෙන බොහෝ ගෝවේ වාසින්ට ඒ වෙනුවට වෙනත් සංදර්ශන ද සැණකෙළි ද එහි පිරෙන්නට පටන් ගනී. සිනමා ශාලා පරිශ්‍රයේ ද විවිධ අවන්හල් ද සිනමාව සම්බන්ධ බොහෝ කුටි ද ඉදි වෙයි. එහෙත් වෙනදා මෙන් ඉන්දිය බොලිවුඩ් සිනමාතරු මෙවර උළෙලේ දැක ගත නොහැකිවීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. එයට හේතුව නම් එකල මෙන් නොව මෙකල බොලිවුඩ් සිනමාව ලොව පුරා ප්‍රචලිත වීමය. තව දුරටත් වර්තමාන බොලිවුඩ් සිනමාවට ජාත්‍යන්තර අවධානය දිනා ගැන්මට මේ උළෙල අවශ්‍ය නොවේ. එහෙත් බොලිවුඩ් නළුවෙක් පැමිණීමෙන් එයට වඩා ආකර්ශනයක් හිමි වන බැවින් ඒ සඳහා ඔවුන් කැඳවීමට සංවිධායකයෝ වග බලා ගනිති.මෙවර උළෙලේ ප්‍රධාන ආරාධිතයාවූයේ අක්ෂේ කුමාර්ය උළෙල පැවැති දිනයේ අයිශ්වර්යා සහ අභිශේක් බච්චන් ගෝව වෙත පැමිණ තිබුණ ද ඔවුන් උළෙලට සහභාගි වූයේ නැත.කෙසේ වෙතත් ජනප්‍රිය නළු ඕම් පූරි පැමිණියේ මුම්බායි සිට මා පැමිණි යානයේ ම වූ අතර ගුවන් තොටුපළේ දී ඔහු සමඟ පැවසුවේ ඉන්දියානු පැනෝරාමාවට(ඉන්දිය චිත්‍රපට ඇතුළත් අංශයට) සහභාගි වීමෙන් පසු ආපසු යන බවය. ඉන්දිය උළෙල අංග ගණනාවකින් සමන්විත විය. එයින් එක් ප්‍රධාන අංගයක් වනුයේ ඉන්දියානු පැනෝරාමාවයි. එයට අයත් වනුයේ පසුගිය වසරේ ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල තැනුණ චිත්‍රපටයන්ය. එමෙන්ම ලබන වසරේ ඉන්දියානු සිනමාව සිය වස සපුරන බැවින් ඒ සඳහා ද මෙවර වෙනම අංගයක් ඇතුළත් ව තිබිණ.එයට ගිය සියවසේ ඉන්දියාවේ තැනුණ වෘතාන්ත මෙන්ම වාර්තා චිත්‍රපට ද ඇතුළත් ව තිබිණ. ඒ හැරෙන්නට ඉන්දිය නළු සෞමිත්‍ර චැටර්ජි,සිනමාවේදී ගිරිෂ් කෂාරවල්ලි,මුසාෆිර් අලි නිෂ්පාදක අශොක් අම්රිත්රාජ්,වැනි සිනමාකරුවන් ද මෑතක මිය ගිය යාශ් චොප්රා,රාජේශ් ඛන්නා,දේව් ආනන්ද්,වැනි කිහිප දෙනෙකු වෙනුවෙන් උපහාර පිණිස ද මෑත සිනමා පාසල්වල ශිෂ්‍යයන් නිර්මාණය කළ චිත්‍රපට ද එයට ඇතුළත් ව තිබිණ.ජාත්‍යන්තර තරගකාරි අංශය,ලෝක සිනමාව,සිනමා හරස්කඩ,මහා සිනමාකරුවන්ගේ චිත්‍රපට,විශේෂ තෝරා ගැනීම් තුර්කි සිනමාව,සැකිලි රූ චිත්‍රපට,කොරියානු සිනමාකරු කිම් කී ඩක්, සහ නෙදර්ලන්ත සිනමාකාරිය සුසානා බියර්ගේ ප්‍රත්‍යාවලෝකන සහ ආසියානු ආත්මය යනුවෙන් මෙවර සිනමා උළෙලේ අංග වෙන්ව පැවතිණ.
|
||||