|
50 ස්වර්ණ ජයන්තිය අබිමුවප්රවීණ කලා විචාරක සුගත් වටගෙදරසරසවිය ගෙවුණු දවස අද සිහිපත් කරයිපුවත්පත් කලාවේදියකුවීමේ මගේ සිහිනය ඇරැඹුණේ මාතර නාදුගල අත්තදස්සි විදුහලේ ඉගෙනුම ලබද්දීය. එහි හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අපේ පාසලට පැමිණියේය. එකල මගේ රචනා ශෛලිය නිසාම ගුරුවරුන්ගේ පැසසුමට ලක් වූ මා එනිසාම මානවසිංහයන්ගේ අවධානයට යොමු විය. ලංකාදීපයට වගතුග නමින් තීරු ලිපියක් ලිව්වේ එතුමන් බැව් මා දැන ගත්තේ පසු කලකය. පසුව මම මාතර ගුණරත්න මධ්‍ය මහා විදුහලට ඇතුළත් වීමි. එහි සත්‍ය නමින් පළ වූ සඟරාවේ සංස්කාරක වූයේ මාය. පුවත්පත් කලාවේදියකු වීමේ මගේ සිහිනය ඇරැඹුණේ එයිනි. මානවසිංහයන් මෙන්ම මීමන ප්‍රේමතිලකයන් ද මගේ වීරයකු විය. අපේ ඉංග්‍රිසි ගුරුතුමිය අනාගතයේ කවර රැකියාවක් කරන්නේදැයි ඉංග්‍රීසියෙන් මගෙන් ඇසූ කළ එයට නියමිත වචනය නොදැන මම ලත වුණෙමි. ඇය එයට නියම වදන ‘එඩිටර්’ යැයි කියා දුන්නාය. පසු කලක එනම් 1976 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය නිම කොට එහිම කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමේ හැකියාව මට තිබුණ ද, මම එය පසෙකලා ලේක්හවුසියට ඉල්ලුම් පතක් යැව්වෙමි. මාධ්‍යය මගේ ස්වයං තීරණයක් විය. උපාධියට අමතරව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඩී. බී. නිහාල්සිංහ ආදීන් මෙහෙය වූ සිනමා පාඨමාලා ද, තරුණ සේවා සභාවේ මුල්ම නාට්‍ය පාඨමාලාවද හදාරා සිටිය මා පාසල් අවධියේ ‘වර්ණ’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වා ඡායාරූප කලාව පිළිබඳ දැනුමක් ද තිබිණ. විශ්ව විද්‍යාලයේද මම සාහිත්‍ය සඟරාවේ සංස්කාරක වීමි. මගේ සුදුසුකම් පිරික්සූ එවකට ලේක්හවුස් සභාපති ඒ. කේ. ප්‍රේමදාස මහතා මා සරසවියට යොමු කළේය. එයට පෙර මා තැපෑලෙන් ලේක්හවුසියට එවූ ලිපි පුවත්පත්වල පළ වී තිබිණ. මිහිර පුවත්පතේ මා ලියූ ළමා කතු වැකියක් ද පළවී තිබිණ. මා සරසවියට බඳවා ගත්තේ ආර්. ඩී. ගුණරත්න මහතාගේ පුරප්පාඩුවටය. ඉඳ ගැනීමට ලැබුණේද ඔහුගේ පුටුවේය. විශ්ව විද්‍යාලයේදී මම ආර්. ඩී. ගුණරත්නයන්ගේ සිසුවකු වීමි. එහෙත් ඔහු ව මා දැන සිටියේ ආචාර්ය ඩයස් ගුණරත්න නිමිනි. ආර්. ඩී. ගුණරත්න නමින් සරසවියට ලියන්නේ ආචාර්ය ගුණරත්න බැව් මම දැන සිටියේ නැත. දිනක් ආචාර්ය ගුණරත්නයන් සරසවියට පැමිණි විට මා සිටියේ ඔහුගේ පුටුවේය. එය අදහා ගන්නට බැරිය. විශ්ව විද්‍යාලයේ මගේ ගුරුතුමන් සරසවියේය. මටත් හරිම සතුටුයි මගේම ගෝලයෙක් මගේම පුටුවට ඇවිත්. ආර්. ඩී. ගුණරත්නයන් මට සුබ පැතුවේය. මට පන්ති සාමාර්ථයක් තිබූ හෙයින් විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය තනතුරකට මට ආරාධනා කළේ ද ඔහුය. එවක සිළුමිණ, නවයුගය හා සරසවිය පුවත්පත් තුනේම කතුවරයා වූයේ විමලසිරි පෙරේරා මහතාය. මේ සෑම පුවත් පතකම හිටියේ සුළු කාර්ය මණ්ඩලයක් පමණි. එකිනෙකා තමන් සිටින පුවත්පතට වගේම අනෙක් පුවත්පත් සඳහා ද ලිපි ලියනු ලැබූ අතර, අනෙකුත් සහායන්ද ලබා දුන්නේය. පංගු පේරුවක් නොවිණ. සෝමවීර සේනානායක, පර්සි ජයමාන්න, රාජා ටී. බස්නායක, රාජා පෙරේරා, බන්දු එස්. කොඩිකාර ආදී කිහිප දෙනකු සරසවියේ විය. විමලසිරි පෙරේරා ප්‍රධාන කර්තෘවරයා වුණත් සරසවියේ සියලු කටයුතු ඔහුගේ උපදෙස් පරිදි සිදු කළේ සෝමවීර සේනානායකයන්ය. නවයුගයේ ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ රාජා ටී. බස්නායකයන්ය. සරසවියට පැමිණි මුල් කාලයේ මට ලැබුණේ ලිපි සංස්කරණයයි. ලිපි ලිව්වා විනා පත්තර කලාව පිළිබඳ දැනුමක් ලබා නොසිටි හෙයින් ඒ සියලු දෙනා මට ගුරුවරු විය. පුවත්පත් කලාව පිළිබඳ මා ඉගෙන ගනු ලැබුවේ වැඩ කිරීම තුළිණි. ජ්‍යෙෂ්ඨයන් අපිට හොඳින් ඉගැන්වූහ. සෝමවීර සේනානායකයන් මා හඳුනා ගත්තේ සරසවියට ආවට පසුය. ඔහු මට පුවත්පත් කලාවේ ගුරුවරයකු විය. නිහඬ නිර්මාණශිලී පුද්ගලයකු වූ ඔහුගේ මවකගේ ගීතය පොත ඒ වන විට මා කියවා තිබිණි. පර්සි ජයමාන්නයන් ද මට හොඳ ගුරුවරයකු විය. වරක් ඔහු මට මේක විශ්ව විද්‍යාලයක් නෙවෙයි. සරලව ලියන්න යැයි උපදෙසක් ද දෙනු ලැබිණි. සතිපතා මා සිළුමිණට, නවයුගයට, සරසවියට ලිපි තුනක් ලියනු ලැබිණි. සිළුමිණට මා නාට්‍ය විචාරයන් හා සරසවියට නාට්‍යකරුවන් සමඟ සාකච්ඡා කොට කලාව හා අපි නමින් ලිව්වෙමි. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පටන් හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා ඇතුළු අස්සක් මුල්ලක් නෑර බිහි වූ සෑම නාට්‍යකරුවකුම නාට්‍යකාරියකම පිළිබඳ මා සරසවියට ලිව්වෙමි. සරසවියේ පිටු හතරකින් යුත් විශේෂාංගයක් පත්ම තටාකය නමින් මට බාර විය. එවක සරසවියට බොහෝ දෙනෙක් ලිපි ලියනු ලැබුවේ බාහිරවය. ඔවුන් පත්තරයේ ස්ථිර ලේඛකයන් නොවිය. පත්ම තටාකය සඳහා ඒ සියල්ලන්ගේම දායකත්වය මට ලැබිණි. සෞන්දර්ය විද්‍යාව පිළිබඳ මා විසින් ලිපි ලියන ලදී. ගීත රචනා පිළිබඳ රත්න ශ්‍රී බණ්ඩාරයන් ලියනු ලැබිණි. සිනමාව පිළිබඳ පියසිරි නාගහවත්තයන් ලියනු ලැබිණ. සාහිත්‍ය පිළිබඳ චන්ද්‍රසිරි පල්ලියගුරු ද දායක වූහ. විශිෂ්ට සිනමා සාහිත්‍ය පිළිබඳ ලිපි පර්සි ජයමාන්න විසින් ලියනු ලැබිණි. සාරංගා නමින් ජනක රත්නායක ද සරසවියට චිත්‍ර කතාවක් ද ඇන්දේය. පසු කලක එය සිනමාවට නැගෙද්දී තිර රචනය කළේ ද මවිසින්ය.
ඉතිරි කොටස ලබන සතියේ
|