|
හිමින් ගමන ඉතා හොඳයිසල්මල් ලන්ද ඔබට ගෙනෙන විජිත මංජුල
මේ දිනවල ජාතික රූපවාහිනියේ සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට විකාශය වන ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යය නව ආරක කතා තේමාවක් ඔස්සේ ප්‍රේක්ෂක හද ස්පර්ශ කරයි. ඒ නිසාමදෝ ප්‍රේක්ෂක හද ඇඳ බැඳ තබා ගැනීමට ‘සල්මල් ලන්ද’ සමත් වී ඇතැයි පැවසීම මුසාවක් නොවේ. ‘සල්මල් ලන්ද’ විජිත මංජුල සිංහපෘථිවිගේ කුලුඳුල් ප්‍රාසංගික ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයයි. 1996 වසරේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයට සම්බන්ධ වන ඔහු සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකාරවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස දිගු ගමනක නිරත වෙයි. විජිත මංජුල සිංහපෘථිවි අධ්‍යක්ෂණයට අත්පොත් තබන්නේ 2004 වසරේ විකාශය වූ ‘සසර තරංග’ වෙසක් ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමිනි. මේ වනවිට ජාතික රූපවාහිනියේ නාට්‍යය අංශයේ සිව්වැනි පරම්පරාව නියෝජනය කරන හේ නිෂ්පාදකයෙකි. මේ මංජුල සිංහපෘථිවි සල්මල් ලන්ද පිළිබඳ අප සමඟ කළ කතාබහකි. * රංගන ශිල්පියකු ලෙස කලඑළි බැසීමේ අදහසින් පසු වූ ඔබ අද අධ්‍යක්ෂවරයෙක්. ඒ පැමිණි ගමන් මඟ පිළිබඳ යමක් පැවසුවහොත්? ‘සඳලංකාව කියන ඈත පිටිසර ගමක ඉපැදුණු මම මුලින්ම පාසල් ගියේ නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයටයි. ඊට පස්සේ මා සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. පාසල් යන කාලයේ පටන්ම ‘රංගන ශිල්පියකු වෙමි’යි කියන හේතු පාඨය හිතේ ගුලි කරගෙන සිටිය මා කොළොම් පුරවරයට පා නඟන්නේ 1995 වසරේ. ඒ ජාතික තරුණ සේවා සභාවේ තිබුණු නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන්නයි. එතැනින් නොනවතින මට රූපවාහිනියට සම්බන්ධවීමට අපූරු අවස්ථාවක් ලැබෙන්නේ මේ අතරෙදියි. ඒ, ඒ කාලයේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමා හා කළ කතාබහකදී ලැබුණු ප්‍රතිඵලයකින්. පළමුවෙන්ම බාහිර පුහුණු නිෂ්පාදකවරයෙක් විදියට 1996 වසරේදී ජාතික රූපවාහිනී නාට්‍ය අංශයට සම්බන්ධ වන මා විමලරත්න අධිකාරී කියන ප්‍රවීණයා යටතට යොමු වෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ඉංගම්මාරුව’ ටෙලි නාට්‍ය මාලාවේ රංගන ශිල්පියකු වගේම බාහිර නිෂ්පාදන සහකාරවරයකු ලෙස කටයුතු කිරීමට ලැබීම අද මා පැමිණි ගමනේ සාර්ථකත්වයේ මූල බීජයයි. විමලරත්න අධිකාරී මහතාගෙන් ලැබුණු ක්‍රමවත් පුහුණුවීමෙන් පසුව නිෂ්පාදන සහකාරවරයකු ලෙස ස්ථිර කාර්ය මණ්ඩලයට පිවිසීමට ලැබීම මා ලද භාග්‍යයක්. එතැනින් ආරම්භ වුණු මගේ ගමනේදී ‘මිරිගු තෙර, දෝන ඉසබෙලා, දෑකැති මුවහත, කාහල නාදය, දෙරණ, අසනි වැසි, එකට ගැටුම, වර්ණ, සඳගලතැන්න, ඇබෑර්තු ඇත’ කියන ටෙලි නාට්‍යවලදී සහාය අධ්‍යක්ෂවරයකු වගේම නිෂ්පාදන කළමනාකාරවරයකු හා නිෂ්පාදකවරයකු විදියට කටයුතු කරන්නට ලැබෙනවා. මේ විදියට පැමිණි ගමනේ සංඳිස්ථානයක් සටහන් වෙන්නේ 2004 වසරේදී. ඒ ‘සසර තරංග’ කියන ඒකාංගික ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයෙන්. ‘රළ නැගුම, භව සෙවණැලි, කන්තාරු මාස්ටර්, වලා පටල, උපදින්න ඉඩ දෙන්න, සසර පුරුදු, සෙනෙහස, තරු රැයක්’ කියන ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා මට වරම් ලැබෙන්නේ වසර අටක් පමණ මා ලැබූ අභ්‍යාසයන් නිසාමයි. එහිදී 2006 වසරේදී ‘භව සෙවණැලි’ ඒකාංගික ටෙලි නාට්‍යය සුමති සම්මාන උළෙලේදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට නිර්දේශ වීම මගේ දක්ෂතාවයට ලැබුණු එක්තරා ඇගැයීමක්.’ * ‘සල්මල් ලන්ද’ කියන ඔබගේ පළමු ප්‍රාසංගික ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමේ මූල බීජය රෝපණය කළ කාලය මතකද? ‘ඒ 2005 වර්ෂයයි. මා ‘සඳගල තැන්න’ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයයි. ‘සඳගල තැන්න’ පිටපත ලිව්ව යූ. බී. රත්නායක කියන මහත්තයා මුලින්ම ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යයට හේතුවුණු කතා තේමාව පිළිබඳ මමත් සමඟ කතාබහ කළේ එතැනදියි. වාරියපොළ පාදෙණිය ප්‍රදේශයේ සිටින ගුරුන්නාන්සේ කෙනෙක් හා ඔහුගේ ගුරුකම් පිළිබඳත් ඒ කතාවේ අපූරුවට විග්‍රහ වුණා. ඒ වගේම සල්මල් ලන්දේ චරිත මවන උක්කු රාළ, උමා සහ සාගර කියන චරිත නිර්මාණය වෙන්නේ මේ ගමේ සිටි සත්‍ය චරිත ත්‍රිත්වයකින්. ඔහු පැවසූ තොරතුරු සම්බන්ධ කරගෙන අපූරු පිටපතක් ලියන්නට හැකි බව මට හැඟුණු කාරණයක්. ඒ සඳහා අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමටත්, පිටපත ලිවීමටත් යූ. බී. රත්නායක මහත්තයට මා ආරාධනා කළා. ඒ වගේම වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ටෙලි නාට්‍යය රැගෙන යමින් සත්‍ය තොරතුරු ආශ්‍රයෙන් යම් පණිවුඩයක් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යන්නට මා උත්සාහ කළා. ඊට පිටපත් රචකයා තරමටම මමත් වෙහෙස මහන්සි වුණා.’ * ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යය විකාශයවීමේදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය පිළිබඳව වගේම ඊට හාත්පසින්ම වෙනස් පණිවුඩයක් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්න ඔබ යම් උත්සාහයක් ගත් බවක් පෙනෙනවා. ‘ගමක ඉපදුණු කෙනෙක් විදියට ඒ ආශ්‍රයෙන් යමක් කළ යුතුය කියන තැන මා සිටියා. ප්‍රේක්ෂකයන් වුණත් ගමක් ආශ්‍රයෙන් කෙරෙන නිර්මාණවලට දක්වන්නේ විශේෂ ප්‍රිය බවක්. අනිත් කාරණය වෙන්නේ නවක අධ්‍යක්ෂවරයෙක් විදියට හොඳ මට්ටමක නිර්මාණයක් කිරීමේ පිපාසයෙන් මා පෙළුණා. ඒ පිපාසයට අර්ථයක් සපයන්නේ කෙළෙසද කියන කාරණය මා කල්පනා කළා. එවිටම මගේ මතකයට නැගුණේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. කාලයක් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය මිනිස්සු අමතක කළා. ඒ අමතක කළ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට මිනිස්සු ළඟා කළ යුතු කාලය ඇවිත් බව මා සිතුවා. අපේ පාරම්පරික දේ හි තිබෙනා වටිනාකම මිනිස්සුන්ට අවබෝධ කර දිය යුතු යැයි මා සිතුවා. එවන් දේ තේමා කර ගනිමින් ‘සල්මල් ලන්ද’ නාට්‍ය පිටපත රචනා වුණා. ඒ අතරට ආදරය කියන කාරණයත් ඇතුළත් කිරීමෙන් මා යමක් බලාපොරොත්තු වුණා. මෙහිදී මා කතාබහට ලක් කරන්නේ බොළඳ ප්‍රේමයක් නොවෙයි. සංසාරගත බැඳීමක් සමඟ එන ප්‍රේමයක් පිළිබඳයි. තේමා ගීතයේදී පමණක් නොවෙයි නාට්‍යයේ ආරම්භයේදී දක්වන රූපයන්ගෙන් මා යමක් කියන්නට උත්සාහ කළා. සංසාරගත ප්‍රේමයක් පිළිබඳ කතාබහේදී අපට සිහිවන්නේ යශෝධරාව හා සිදුහත් කුමරු පිළිබඳ කතා පුවතයි. ඔවුන් දෙදෙනා මුණ ගැසුණේ එවන් සංසාරික ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස බව අප සමාජයේ වෙසෙන්නන් විශ්වාස කරනවා. මේ සියල්ලේ එකතුව නාට්‍යයට අපූරු ආලෝකයක් ගෙනෙනවා.’ * ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යයෙහි සිදු වෙන්නේ මේ සත්‍ය ලෝකයෙහි සිදුවන දේ දැයි පේ‍්‍රක්ෂකයන්ගේ සිතෙහි දෙගිඩියාවක් ඇති විය හැකියි. මේ පිළිබඳ ඔබ පවසන්නේ කුමක්ද? ‘මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සියල්ල බොරු දේ යැයි පිළිගත නොහැකි යැයි යමෙකු තර්ක කළ හැකියි. තවත් සමහර අය මේවා පිළිගත හැකියි. නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නට පෙර මා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ දේ කරනා ඔවුන් හමු වුණා. මේ නිසා මේ හැම දෙයක්ම බොරු යැයි කියමින් ඉවත දැමිය හැකි ද කියන ගැටලුව පැන නැඟෙන්නේ මෙහිදීයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය පැවත එන්නේ අතීතයේදී පටන්. ඒ නිසා ඒවා පිළිගන්න වගේම නොපිළිගන්න පිරිසක් අද පෙලඹිලා ඉන්නවා. කොහොම වුණත් නිරීක්ෂණයකින් පසුව නිර්මාණය වුණු බොහෝ දේ සත්‍ය ලෙසම යොදා ගන්නට මා උත්සාහ කළා. යන්ත්‍ර මන්ත්‍ර කියනා දෑත් එහෙමමයි. සමහර තැනකදී පුංචි වෙනස්කම් සිදු වුණත් ඒවායේ සත්‍යභාවය රකින්නට මා නිතර මහන්සි වුණා. එසේ කළේ ප්‍රේක්ෂකයන්ගේ විශ්වසනීයත්වය රැක ගැනීමටයි. * දවසකින් දෙකකින් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පිවිසිය හැකි කාලයක එම භූමිකාවට පිවිසීමට ඔබට වසර අටක පමණ කාලයක් ගත වෙනවා. ඒ තරම් කාලයක් ගතවීමට යම් හේතුවක් බලපෑවාද? ‘කිසිම අත්දැකීමක් නැතිව මේ ක්ෂේත්‍රයට පිවිසෙන මම ඒ කාල පරාසයේදී බොහෝ දේ ඉගෙන ගත්තා. අධ්‍යයනය කළා. මේ සඳහා යම් කාලයක් ගත වුණා. ඕනෑම කෙනකුට අධ්‍යක්ෂවරයකු කියන භූමිකාවට පිවිසෙන්නට පෙර කළ යුතු බොහෝ දේ තිබෙනවා. එහෙම අධ්‍යයනයක් නැතිව අධ්‍යක්ෂවරයා කියන භූමිකාවට පිවිසුණත් එහි ස්ථාවරත්වය පිළිබඳ මට තිබෙන්නේ සැකයක්.
ස්ථාවර ගමනක් යන්න නම් අධ්‍යයනය, කැපවීම, උත්සාහය කියන මේ සියල්ල අත්‍යවශ්‍යයි. එවන් තැනකින් තම ගමන ගොඩනඟා ගන්නා අයකුට දිගු ගමනක් යා හැකි බවයි මගේ හැඟීම වන්නේ. හිමින් ගමන හොඳ බවයි මා සිතන්නේ.’ * ඔබගේ ටෙලි නාට්‍යයෙහි රංගන කාර්යය සඳහා සහභාගි වන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්. අධ්‍යක්ෂණයේදී ඔවුන්ගෙන් ඔබට ලැබුණේ මොන වගේ සහයෝගයක්ද? ‘පළමු නිර්මාණය හොඳ තැනකින් ආරම්භ කිරීමට නම් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳත් අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා සුදුසුම අය මේ නිර්මාණය සඳහා මා තෝරා ගත්තා. ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ටෝනි රණසිංහ, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ, සුමින්ද සිරිසේන, අජිත් ලොකුගේ, ග්‍රේස් ආරියවිමල්, කාංචනා මෙන්ඩිස්, මොරින් චාරුණී, ඕෂධී හේවාමද්දුම, ජගත් චමිල, මාලි ජයවීර ඇතුළු සෑම දෙනෙකුගෙන්ම මට ලැබුණේ අපූරු සහයෝගයක්. ඔවුන් මේ නිර්මාණය හා බැඳී සිටියා. ටෝනි රණසිංහයන්ට මෙහි චරිතයක් රඟපාන්න ආරාධනා කළ අවස්ථාවේ එතුමා ඒ ආරාධනය බොහොම සුහද සිතින් බාර ගත්තා. ඒක මට ලොකු හයියක් වුණා. මේ සියලු දෙනාම මගේ අදහස ඒ චරිතය ඔස්සේ මතු කර ගන්නාතුරු අවස්ථා කිහිපයකදීම කිහිප වරක් රඟපෑවා. මා නවකයෙක් කියන තැන නොසිට මට දුන් සහයෝගයට ඔවුන් සියලු දෙනාටම මා ණයගැතියි. ඒ වගේම ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යයක් ලෙස රැගෙන එන්නට සහයෝගය දුන් සියලු දෙනාටත්, රූපවාහිනියේ සියලු දෙනාටත් මගේ ස්තුතිය හිමි විය යුතුයි. ඉදිරියේදී හොඳ නිර්මාණයන් හරහා ඔබට මාව දකින්නට ලැබේවි.’
|