වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මං ආසයි හිනා වෙන්න
අශෝක විද්‍යාලයේ ගුරුවරුන්ගේ සංවේදී බවෙන් බිහි වූ අපූරු ගීතය

කඳුළක් නොවී සුපිපුණු කුඩා කවියකුගේ කතාව

රංජිත් ප්‍රේමවීර

නන්දසේන පතිරණ

කොළඹ අශෝක විද්‍යාලයේ එකොළොස් වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන නවෝද් නිලංගට ඔහුගේ හිතවතෙකු පෙර දිනක කාර්යයක් බාර කළේය.

ඒ එම මිත්‍රයාගේ හිත්ගත් යුවතියකට ලබාදීමට සුදුසු නිසඳැසක් හෝ කවි පේලි කිහිපයක් රචනා කිරිමටය. නවෝද්ට එය අතිශය සරල කාරණයක් බැව් මිතුරා දැන සිටියේය.

නවෝද් පුරුද්දක් වශයෙන් කාව්‍ය රචනයේ යෙදෙන බව මිතුරන් අතරේ ප්‍රසිද්ධය. එමෙන්ම ඒවා කෙනෙකුගේ සිතක් වෙනස් කිරීමට තරම් අතිශෝක්කවත් බව ද ඔවුන් දත්තෝය. මිතුරා නවෝද්ට කිසිදු සැකයකින් තොරව එම කාර්යය බාර දුන්නේ එහෙයින්ය. නවෝද්ගේ කවිය බලා පළමුව තම හිත සොරා ගත් ගැහැනු ළමයා වඩාත් ළෙංගතු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

මිත්‍රයාට අවැසි පරිදි නවෝද් තම පන්හිඳින් පෙම් රස වෑහෙන වදන් වැලක් ඇමිණීය. එය කොතරම් රසවත් වීද යත් නවෝද්ම විසින් එය දහ දොළොස් සැරයක් කියවා බලා මහත් ආශ්වාදයක් වින්දේය.

විදුහල්පති ප්‍රසන්න උපශාන්ත

එය පසුගිය සැප්තැම්බරයේ එක්තරා දිනයකි. එදින පස්වරුවෙහි මිත්‍රයා ඉල්ලූ සොඳුරු ප්‍රේම කව ඔහුට බාර දිය යුතුය. එහෙම සිතූ නවෝද් එය පොතක පිටු අතරෙහි රඳවා පාසල් බෑගයෙහි සුරක්ෂිත කළේය. උදෑසන කාලය එළඹිණ. සුපුරුදු පරිදි පාසලෙහි වැඩ කටයුතු ඇරැඹිණ. පංතිය කාර්යබහුල විය. පංතිියේ ඈයෝ මෙම වසරෙහි අපොස සාමාන්‍ය පෙළට හිඳ ගන්නා බැවින් අධ්‍යාපන කටයුතු අකුරටම සිදු කෙරිණ.

ගුරුවරයා උගගන්වමින් සිටින එක්තරා අවස්ථාවකදී නවෝද්ට නැවත වරක් තම අත් අකුරින් විරචිත වූ ප්‍රේම කව කියවන්න සිත් විය. ඒත් සමඟම එහි යම් අඩුපාඩුවක් ඇත්නම් සකසන්නට ද නවෝද් අදහස් කළේය. එහෙයින් ඔහු බෑගය අත ගා බලා එය කාටත් හොරෙන් අතට ගත්තේය.

පංතියෙහි සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවම තමන්ගේ උගැන්විම කෙරෙහි අවධානය යොමු කරත්දී වෙනත් සතුටු සයුරක ගිලෙන නවෝද් දුටු විට ගුරුවරයාට ඇති වූයේ විමතියකි. ඔහු වහාම නවෝද් වෙත ගියේය. වැඩි කතාබහක් නොකරම අත ඇති කොළය ඔහු උදුරා ගත්තේය. එය කියවා බැලු විට නම් ගුරුවරයාගේ කෝපයෙහි සීමාව නොඉක්විමට බැරි විය. එය නවෝද් ඔහුගේ පෙම්වතියට දෙන්න සැකසුවක් යැයි ගුරුවරයාට හැඟිණ. මුවින් නවෝද්ට හොඳටම දොස් තැබූ ඔහු නවෝද් කැටුව ආවේ අශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නන්දසේන පතිරණ ගුරුතුමා වෙතය.

බලන්න සර් මෙයා කරලා තියන හපන්කම . . .

ගුරුවරයා පතිරණ සර්ට නවෝද් සහ ඔහුගේ ප්‍රේම කාව්‍ය භාර කළේය.

පතිරණ සර්ගේ දෑස් බොහෝ වේලාවක් නවෝද් ලිියූ ප්‍රේම කාව්‍ය ඇතුළෙහි එහා මෙහා ගමන් කෙරුවේය. එහි ඇති චමත්කාරය ක්ෂණයකින් ආග්‍රණය කර ගැනීමට ඔහුට හැකි විය. නවෝද්ගේ සිත තුළ සැබෑ නිර්මාණකරුකු සිටින බව පතිරණ සර් විශ්වාස කළේය. ඔහුගේ හදවත මඳකට සැලිණ.

සර් යන්න පංතියට. මං නවොද්ව ප්‍රින්සිපල්ට බාර දෙන්නම්.

පතිරණ මහතා ව්‍යාජ තරහවක් මවා ගනිමින් ගුරුවරයාව පිටත් කොට හැරීය. නමුත් ඔහු නවෝද්ට කිසිදු වෙනසක් පෙන්නුවේ නැත.

නවෝද්ගේ හද ගැස්ම දෙගුණ තෙගුණ විය. දෙපා පණ නැතිව යනවා යැයි ඔහුට දැනිණි. තමා කබලෙන් ලිපට වැටෙන්නට සූදානම් වනවා යැයි සිතිණ. පතිරණ සර් නවෝද්ව අශෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත මහතා වෙත රැගෙන ගියේය. දැන් නවෝද්ගේ සිත පුරා පිරී ඇත්තේ මරණ දණ්ඩනයට ගෙන යන සිරකරුවකු තුළ ඇති භීතියකි.

නවෝද් පංති භාර ගුරුතුමිය චම්පිකා සමඟ

‘සර් මේ කවි පේලි ටික කියවලා බලන්නකෝ. කියන්න බලන්න සර්ට මොකද හිතෙන්නේ කියලා?’

පතිරණ මහතා විදුහල්පතිවරයාට නවෝද්ගේ ප්‍රේම කව සඳහන් කොළය ලබා දුන්නේය. නළලෙහි තිබූ උපැස් යුවළ දෑසට දමා ගත් හෙතෙම දැඩි උනන්දුවකින් එය කියවන්න පටන් ගත්තේය.

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම ඔබත් එක්ක
නොවරදවාම ඔබ එන විට
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවාම ඔබ එන විට
ළෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුළක් තබා යන්න

ප්‍රසන්න මහතා එක හුස්මට එය කියවීය. තවත් වරක් කියවීය. තව තවත් වරක් කියවීය. ‘සිනා මලක් අරන් එන්න ළෙන්ගතුකම අරන් එන්න’. ඒ වචක පේළි ද්විත්වය තුළ ගැබ්ව ඇති නොකිලිටි ආදරයේ සුන්දරත්වය වටහා ගැනීමට ඔහු අපොහොසත් නොවීය. වර්තමාන පරපුර ආදරය කියා වැරැදියට වටහාගෙන ඇති රාගයෙහි බිඳුවක්වත් ඒ තුළ නැති යැයි ප්‍රසන්න මහතා තේරුම් ගත්හ.

‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යන කියමනට නවෝද්ට ඔහු සමාන කළේය.

අසුනෙන් වහා නැගිට ඔහු නවෝද් දෙස බැලීය.

පුතාමද මේක ලිව්වේ.

ඔව් යන්න නොකියා නවෝද් ඉහළටත් පහළටත් හිස සැලීය. එය ලියූ හේතු කාරණා ද පසුව ඔහු විසින් දෙදෙනාට හෙළි කෙරුවේය.

පතිරණ සර් මේක හොඳයි සිංදුවකට. නවෝද් ඇත්තටම දක්ෂ කලාකරුවෙක්.

විදුහල්පති පතිරණ මහතා දෙස බැලීය.

ඔව්, නවෝද් ලියපු වචන ගොඩක් ලස්සනයි. ඒකයි මං දඬුවම් නොකර සර් ගාවට ගෙනාවේ.

පතිරණ සර් කීය.

වැඩි කාලයක් ගතවීමට මත්තෙන් නවෝද්ගේ පංති භාර ගුරුතුමිය වන චම්පිකා විජේසිංහ සහ විද්‍යාලයේ සංගීත ආචාර්ය රංජිත් ප්‍රේමවීර යන අය එතැනට කැඳවීය.

ඔවුන් දෙපොළට සිදු වී ඇති සියලු තතු විදුහල්පතිවරයා පැහැදිලි කොට පද මාලාවට සංගීතය යෙදීමට රංජිත් ගුරුතුමාට භාර කළේය.

මගේ ගෝලයෙක් තමයි තීක්ෂණ අනුරාධ. අපි මේක කියන්න දෙමු එයාට.

පතිරණ ගුරුතුමා එම මොහොතේම තීක්ෂණට දුරකතන ඇමතුමක් දී එයට කැමති කර ගත්තේය.

ගීතයේ වැඩ කටයුතුවලට සිදුවන වියදම් ගැන බලා කියා ගැනීමටට චම්පිකා ගුරුවරිය එම මොහොතේම ඉදිරිපත් වීම සියල්ලන්ට ශක්තියක් විය. මේ සිදුවන දේවල් නවෝද් බලා සිටියේ වික්ෂිප්ත මනසිනි. දින කිහිපයක් ගතවීමට මත්තෙන් ‘මං ආසයි සිනහ වෙන්න’ ජීවය ලැබීය. ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.

මේ වන විට එය සුමින්ද සිරිසේනගේ පුත් නන්දිත සිරිසේන විසින් රූප රචනයට නඟමින් සිටින්නේය. එහි අඩංගුව ඇත්තේ මා සඳහන් කළ ගීයෙහි සත්‍ය කතා පුවතය. බොරැල්ලෙහි පදිංචි නවෝද් නිලංග දැන් රටම හඳුනන අයකු බවට පත්ව ඇත. කලාවට මෙන්ම ඉගෙනුම් කටයුතුවලටද ඔහු දක්ෂ අයකුය. මේ වන විට අප ආදරය කරන ගීතයක් නොදැනුවත්ව හෝ රචනා කළ ඔහු සැබවින්ම දක්ෂ නිර්මාණකරුවෙක්ය.

මෙම සංසිද්ධීන් කිහිපයෙන් ගම්‍ය වුණ මහඟු ආදර්ශයක් තිිබේ. ඒ කෙදින කොතැන කොයි මොහොතකදී හෝ කුමන වයසකදී අප නොසිතන අයුරින් බිහිවන නිර්මාණකරුවන් හඳුනාගත යුතු බවය.

ඒ වගකීම ඇත්තේ දැන උගත් වැඩිහිටියන්ටය. හදිසියකින් වෙනත් චින්තනයක් ඇති විදුහල්පතිවරයකු මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවරයකු අශෝක විද්‍යාලයේ නොසිටියා නම් මේ වන විට නවෝද් නිලංග නම් නිර්මාණකරුවා උපන් තැනම මිය යනු ඇත. ඔහු කෙදිනකවත් කවියක් දෙකක් තියා කිසිදු නිර්මාණයක් ඔහුගෙන් බිහි නොවනු ඇත. නවෝද් ගැන මේ පුවත ආරංචි වූ සැනින් මෙම ගීතය වෙනත් අයකු මීට ප්‍රථම ලියා ඇත්තක් බවට අන්තර් ජාලයේ සඳහන්ව තිබිණ. විදුහල්පතිතුමා මැදිහත්ව එය මේ වන විට දූෂමාන ආරංචියක් යැයි තහවුරු කොට තිබේ.