වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුබ උපන්දිනයක්

සුබ උපන්දිනයක්

වින්සන්ට් ද පෝල් පීරිස් අවුරුදු 90 යි

සිරිපාදේ, සමනල කන්ද, බයිසිකලේ ආදී ගී ගැයූ ගම්බද සුන්දරී ප්‍රධාන නළුවා ඔහුගේ බිරිය ගර්ටි පෙරේරා දක්ෂ ගිටාර් වාදන ශිල්පිනියකි.

‘සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් කුලේ’ සිරිපාදය කරුණාකරන විට තුන්සරණය තරමටම අපේ හදවතට මේ ගීතවත් පද පෙළ සමීපය. ඉහළ නඟින නඩයේ මෙන්ම ගුරු පාරේ පහළ බසින පොඩි මිනිසාගේ හදවත්හි රජ කරන ගීතයක් තිබේ. ‘බයිසිකලේ බයිසිකලේ, දුප්පත් අපගේ බයිසිකලේ’ ඒ ගීතයයි.

සමන් දෙවියන්ගේ කරුණාව ලබා දශක හැට දෙකක කාලයක් පුරා හෙළ කලා කෙත මිහිරි කරන වින්සන්ට් ද පෝල් පීරිස් සුමධුර ගී හඬට නොවැම්බර් තුන්වැනි දිනට වසර අනූවක් සපිරේ. ඔහුගේ අනූ වැනි උපන් දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 3 වැනි දිනයටයි.

අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියාගේ ජන්ම දිනය තවත් සුවිශේෂී වන්නේ පරම්පරා හතරක එකතුවෙන් ‘සිරිපාදේ’ නමින් පවත්වන සංගීත ප්‍රසංගය නිසයි.

වින්සන්ට් ද පෝල් පීරිස්, ඔහුගේ දූ දරුවන්, මුනුබුරු මිනිබිරියන්, මුනුබුරු මිනිබිරියන්ගේ ද දරුවන් (මී මුනුබුරු මිනිබිරියන්) එක්කර ගෙන පවත්වන තුන්වැනි ‘සිරිපාදේ’ ප්‍රසංගය මෙයයි. 2008 දී පුංචි තියටර් හි ප්‍රසංගය පැවැත්වුණු දින නාමෙල් - මාලිනී වීරමුණි කලා යුවළ සේම, කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයාත් පැවැසුවේ මේ ගිනස් පොතට යන වාර්තාවක් කියායි. එය එසේ නම් මේ ප්‍රසංගය අපේ ගීත ඉතිහාසයේත් නව පිටුවකි. සිවුවැනි ‘සිරිපාදේ’ ගී ප්‍රසංගය දරු මුනුබුරන්ගෙන් වින්සන්ට් ද පෝල් පීරිස් කලාකරුවාට ලැබුණු සුවිශේෂී තෑග්ගකි.

මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ මුහුණ පුරා ඇත්තේ නිම්නැති සතුටකි.

* උපන් දිනය ජයයි නේද?

ඔව්. තුන්වෙනිදා උපන් දිනය යෙදුණාට ප්‍රසංගයට සූදානම් වෙන නිසා සාදයක් පවත්වන්න වෙලාවක් නැහැ. එදාට පවුලේ අය එකතු වෙලා සතුටු වෙනවා. පල්ලියට ගිහින් ස්තුති පූජාවක් පවත් වන්නෙත් පස්සෙ දවසකයි.

පියකු වෙනුවෙන් දූ දරු, මුනුබුරන්ට දිය හැකි හොඳම ත්‍යාගය දීමට පොල් පරපුරේ දූ දරුවන් සූදානමින්ය. එහෙත් වින්සන්ට් ද පෝල් පීරිස් ගායකයාණන්ට නම් කලා ජීවිතය මවුපියන්ගෙන් ලැබුණු තෑග්ගක් නොවෙයි. ඔහු සිය මාවතට පාර කපා ගත්තේ බොහෝ දුෂ්කරක්‍රියා කොටයි.

‘මං ඉපදුණේ ලක්ෂයට කොඩි දැමූ නිවෙසකයි. බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ ලක්ෂයක වත්කමක් ඇති නිවෙස් ඉදිරියේ කොඩි දමන්න ඕන. ඒ වගේ නිවෙස් ඒ කාලෙ හරිම අඩුයි.

අපේ පවුලේ දරුවන් හතරක් හිටියා. මට වැඩිමල් අයියලා දෙන්නයි. එකම සොයුරියයි. අපි හැමෝම කළුවර වැටෙන්න කලින් ගෙදරට ඇවිත් ඉන්න ඕන. තාත්තාගේ නීති හරි තදයි.

හැන්දෑවට ඇවිත් නිකරුණේ කාලෙ ගත කරන්න බැරි නිසා අයියලා අක්කලා එකතු වෙලා ගී ගයනවා. වාදනය කරනවා. ඒ තුන් දෙනාටත් හොඳට ගී ගයන්න පුළුවන්.

මාත් පුංචිකමට ඒ සාජ්ජයට එකතු වුණා. ඒත් ඔවුන්ගෙන් අසාගෙන වාදනය ඉගෙන ගැනීම මදිකමක් කියලා හිතුවා.

ආඩම්බරකම නිසා තනියම වාදනය ඉගෙන ගත්තා. සහෝදර සහෝදරියන්ගේ කලා හැකියාව සැන්දෑ කාලය ගෙවා දැමීමට පමණක් සීමා වුණා.

ඒත් මං කලාවෙන් ඉදිරියට යන්න තීරණය කළා. පාසලේ ජනප්‍රිය ගායන තරුවක් වුණා.

මගේ ඉරණම් ගමනට තවදුරටත් පාර කැපුණේ යුද සමයේ මෝදර පාසල් වැසී ගම්පහට යාමට සිදු වුණු නිසයි. 1940 දී මුල්වරට ගැටවරයකු ලෙස ප්‍රසංගවලට ගීී ගැයුවා. ඉංග්‍රීසි පාලන කාලයේ ඔවුන්ගේ හමුදා භටයන් වෙනුවෙන් ගීත ප්‍රසංග පැවැත්වුණා. වැඩිපුරම ඒවායේ ගැයුණේ බටහිර ගීතයි. මං ගැයුවේත් බටහිර ගීතයි. මවුන්බැට්න් සාමිවරයා ඉදිරියේ ගී ගැයීමට ලැබීම විශේෂ සිහිවටනයක්.

ප්‍රසංග වේදිකාවේ ගී ගැයුවේ පියාට හොර රහසේයි. ප්‍රසංග ඉවර වෙලා කළුවරේම හොරෙන්ම ගෙදර ආවා. අම්මා මගේ රාත්‍රී කෑම වේල කාටත් හොරා හංගා තැබුවා. දවසක් යුද සමයේ ප්‍රසංගයකදී හිඟන්නකුගේ යාදිනි ගීයක් ගායනා කළා. රසිකයෝ මිටි ගණන් මුදල් කොළ වේදිකාවට විසි කළා. විසි කළ කාසියක් වැදිලා නළල තුවාල වුණා.

මුදල් ගැන අම්මට කිව්වම කටහඬ මුදලට විකුණන්න එපා! යන අවවාදය දුන්නා. අම්මාගේ අවවාදය මගේ හිතට තදින් කා වැදුණා. අදටත් වින්සන්ට්ගේ හඬ තරුණ අම්මාගේ ඒ අවවාදය පිළිපැද්ද නිසයි. මං මුලින්ම වේදිකාවේ සිංහල ගීතයක් ගායනා කළේ 1940 දෙසැම්බර් 15 වැනිදායි. කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පවත්වපු ප්‍රසංගයකදී ‘මාගේ මවුනි’ ගීතය ගැයුවා. ඉංග්‍රීසි ගීත කීපයකුත්, ද්‍රවිඩ ගීතයකුත් ගැයුවා. ප්‍රසංගයේ ප්‍රධාන අමුත්තා වී සිටියේ එවකට කොළඹ නගරාධිපති ඒ. ඊ. ගුණසිංහ මහතායි.

තැටි සඳහාත් ගී ගායනා කළා. පනස් ගණන්වල කාර්ගීල්ස් සමාගමේ එච්. එම්. වී තැටියකටයි මුලින්ම ‘සිරිපාදේ සමනල කන්ද පෙනේ’ ගීය ගායනා කළේ. මාත් තැටි සඳහා ගී ගැයීම වෙනුවෙන් කතෘ භාගය (රෝයල්ටි) ලැබුණු ගායකයන් කිහිප දෙනාගෙන් කෙනෙක්.

ගී ගයන්න තිබුණු ආසාව නිසාම 1947 දී විතර කොටා පාරේ තිබුණු රේඩියෝ සිලෝන් සමාගමට අයදුම්පතක් යොමු කළා. සම්මුඛ පරික්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක් විදියට සමත් වුණා. ඒ කාලෙ වැඩිපුර ගැයුවේ කව්බෝයි ගී. (දැන් ඒ ගීත ‘කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ලෙස හඳුන්වනවා).

පැය භාගයක් සිංහල ගීතත්, පැය භාගයක් ඉංග්‍රීසි ගීතත් ගයන්න ලැබුණා. භාෂා දෙකකින් ගීී ගයන්න තේරුණු එකම ශිල්පියා මායි. ඒක සමහරුන්ට ගැටලුවක් වුණා. භාෂා දෙකෙන්ම වැඩසටහන් දෙන්නේ ඇයි යන ප්‍රශ්නය මතුවුණු නිසා එක අංශයක් තෝරා ගැනීමට සිදු වුණා. මං තෝරා ගත්තේ සිංහල ගීත ගායනයයි. ලිවී විජේමාන්න මහත්තයා නම් මේ තෝරා ගැනීම ගැන සතුටු වුණේ නැහැ. ඔහු කිව්වේ මට බටහිර පන්නයේ ගී ගැයීමේ වැඩි හැකියාවක් තිබෙනවා කියලයි. මටත් හිතෙනවා බටහිර ගී ගැයුවා නම් මීට වඩා තැනකට යන්න තිබුණා කියලා.

කොහොම වුණත් ඉන්දියාවේ රතන් ජංකර් පඬිතුමා පැවැත් වූ පරීක්ෂණයෙනුත් සමත් වුණා.

පෝල් මහතා හෙළ ගී කෙත අස්වද්දන විවිධ තේමාවල ගීත ප්‍රබන්ධ තෝරා ගැනීමේ රහසක් තිබේ.

‘ප්‍රිය බිරිය නිසා ප්‍රේම ගීත දෙක තුනකට වඩා ගයන්න ලැබුණේ නැහැ. මං ආදර ගීත ගයන විට ඇයගේ හදවතට රිදුණා. ඒ නිසා විවිධ විෂයයන් තේමා කරගත් ගී ගැයුවා. කුස්සිය, බීරළු කොට්ටය, පනස් ගණන්වල ගංවතුර, රැජනගේ ලංකා ගමන එකී මෙකී බොහෝ විෂයයන් ගැන ගීත ගායනා කළා.

මේ අතරේ රසවත් සිදුවීම් තියෙනවා. ඒ කාලයේ ගුවන් විදුලියේ මාසික රැඟුම ලංකාවේ විවිධ පළාත්වලට ගොස් පටිගත කළා. මාත් එක්ක පුංචි නොමනාපයකින් සිටිය නිවේදකයා මාව හඳුන්වා දුන්නේ කුස්සියේ හිරමනේටයි, වංගෙඩියටයි විතරයි මේ ගායකයා ගී ගයා නැත්තේ කියලා. මටත් පොඩ්ඩක් කේන්ති ගියා. එදා ප්‍රසංගය අවසන් වී පැමිණි පසු මුළුතැන්ගෙයි බඩු සේරම එකතු කරලා ගීතයක් රචනා කළා. මගේ ගීත බොහොමයක් ලිව්වේ හියුබට් පෙරේරායි.

රික්සෝකාරයා ගැන කියවෙන ගීතය අසා ඇන්. ඇම්. පෙරේරා මහත්තයා පුදුම වෙලා තියනවා. රික්සෝකාරයා මේ තරම් දුකක් විඳිනවද කියලා ඔහු දැනගෙන ඇත්තේ මගේ ගීතය නිසයි.

මං ගීතයෙන් නොකියපු දෙයක් නැහැ. එහෙත් අදටත් ඇහෙන්නේ එච්. එම්. වී. තැටිවල තියන ගීත කීපයක් පමණයි. සිරිපාදේ ගීතයත් එච්. එම් වී තැටියක් නොවුණා නම් ඇසෙන එකක් නැහැ.

තවමත්, සීදූවේ රද්දොළුගම නිවාස සංකීර්ණය දෙදරා යාමට තරම් උස් හඬින් ගී ගැයීමට පුළුවන් පරණ ගායකයන් ගී ගැයුවේ මයික්‍රපෝනයට හුරු වෙලා නෙමෙයිනෙ. ඒ වාගේම ඒ කාලේ ගුවන් විදුලි වැඩසටහන්වල ගීත එක පාරින්ම වරද්දන්නේ නැතිව ගයන්න ඕන මාසයකට සැරයක් තියෙන වැඩසටහනට ඒ නිසා මාසය පුරාම පුහුණු වෙනවා.

සී. ටී. ප්‍රනාන්දු, කාන්ති වක්වැල්ල, සුසිල් ප්‍රේමරත්න මගේ සමකාලීනයන්. විවියන් ද සිල්වා බොරලැස්ස අදටත් හොඳ මිතුරියක්.’

වින්සන්ට් ද පෝල් පීරිස් නාමය කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ ගුවන් විදුලි ගායකයකු, එච් එම් වී ගායකයකු වශයෙන් පමණක් නොවෙයි. ඔහු සිනමා පසුබිම් ගායකයෙකි. ගම්බද සුන්දරී පළමු වර්ණ සිනමාපටයේ ප්‍රධාන නළුවෙකි.

‘ඒ කාලේ සිනමා තාක්ෂණය අද වගේ දියුණු නැහැ. ඒ නිසා බාහිර රූගත කිරීම්වලදී හිනා යන දේ සිදු වුණා. සිනමාපටයේ ගස් උඩ නැගලා ගී ගයන ගීත ජවනිකා තිබුණා. මයික් ගස් අස්සෙ හංගලා තිබුණු නිසා උස් හඬින් ගී ගයන්න සිදු වුණා. ප්‍රසංගවලදී පවා එහා කෙළවරට ඇහෙන්න ගී ගයන නිසා ඒක අපහසු වුණේ නැහැ.

පළමු සිනමා අත්දැකීම මිහිරි වුණේ නැහැ. මංගල දර්ශනය පැවැත්වුණේ ක්‍රවුන් සිනමා ශාලාවේ. රසිකයෝ රජවරු වගේ අපව පිළිගත්තා. ඒත් මිලි මීටර් 16 ක සිනමාපටය මිලි මීටර් 35 ක තිරයක පෙන්වද්දී රූප පෙනුණේ අවතාර වගෙයි. සෙනඟ හූ තිබ්බා. අපි එළියට යන කොට සිනමා ශාලාවේ පුටු සියල්ලම හිස්.

දිගින් දිගටම රඟපෑවේ නැහැ. ඒත් ප්‍රේම තරගය, පොඩි පුතා සිනමාපටවල ගී ගැයුවා.’

මේ වයෝවෘද්ධ ගායකයාගේ දූ දරුවන් හත් දෙනාගෙන් වැඩි දෙනෙක් පදිංචි වී සිටින්නේ බ්‍රිතාන්‍යයේයි. වින්සන්ට් ද පෝල් පිරිස් පරපුර හතරක ගීතාවලිය එංගලන්තයේ කින්ස්බරිහි පහසුවෙන්ම පවත්වන්නට එනිසාම ඔහුට හැකි විය. ප්‍රසංගයට පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජ්‍යෙෂ්ඨ ගායකයාගේ හපන්කම් දැක සතුටු වී සම්මානයක් ද පිරිනමා තිබේ.

අපේ ජ්‍යෙෂ්ඨතම ගායකයා සියක් ආයු ලැබුව ද ඒ හඬ තරුණය. ගත තරුණයකු මෙන් ජව සම්පන්නය. රසික ආශිර්වාදය ඔහුගේ හඬ මිහිරියාව පිටුපස සිටින යෝධ සෙවණැල්ලයි, මහා සවියයි.

එළැඹෙන හතර වැනිදා සිවු පරපුරක එකතුවෙන් පැවැත්වෙන ‘සිරිපාදේ’ ප්‍රසංගයේදීත් ඔහු රසික ඔබේ සහභාගිත්වය උපන් දින තිළිණයක් ලෙස බලාපොරොත්තු වන්නේ අහිංසක හසරැල්ලකින් මුව රඳවා ගනිමිනි.

* වින්සන්ට් ද පෝල් පීරිස් මහතාගේ ලිපිනය:

හත එෆ් 54, ජාතික නිවාස සංකීර්ණය,

රද්දොළුගම.

දුරකතන අංකය: 0112291645

0723537170 (ජංගම)