වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




තනිකඩය තවම මම

තනිකඩය තවම මම

මල්කාන්ති, නිර්මලා, නිරංජලා පවුලේ බාලයා මනෝජ් පීරිස් සමඟ සුහද පිළිසඳරක් බිමට නැඹුරු කරගත් හිසින් යුතුව තාල තරංගය මත සිය දෑඟිලි අසුරු සැනින් එහා මෙහා යවමින් පෙළහර පානා ඔහුගේ රුව අපට ආගන්තුක නැත. ඒ පුංචි තිරයේ විවිධ සංගීතමය වැඩ සටහන් ඔස්සේ ඔහු නිරන්තරයෙන් අප හමුවට එන බැවිනි. කුළුණුබර සිනහවක් මුව මත රඳවා ගනිමින් වරෙක ඔහු තම වාද්‍ය වෘන්දය මෙහෙයවන්නේ අපූර්ව සත්සර චමත්කාරයක මහිමය අපට කියාපාමින්ය.

රුවෙන් මෙන්ම නමෙන් ද අප හොඳින් හඳුනන ඔහු මනෝජ් පීරිස්ය. මනෝජ් ගැන දන්නා බොහෝ දෙනා අතරෙන් ඇතැමෙකුª නොදන්නා කරුණක් ද වේ. ඒ ඔහු මෙරට දැවැන්ත, කීර්තිමත් කලා පවුලක සාමාජිකයකු බවය. ඒ පිළිබඳ මනෝජ් තුළ ඇත්තේ සංතාප සිතිවිල්ලකි.

ඇත්තටම සමහරු දන්නේ නෑ මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනී මගේ අක්කලා කියලා. ඒක හිතට පුංචි දුකක්. මොකද මම අද මනෝජ් පීරිස් හැටියට මෙතැන ඉන්නේ පවුල් පසුබිමෙන් ලැබුණු ඒ පන්නරයත් එක්කයි.

මනෝජ් තම සිතිවිලි එලෙස වදනට ගළපමින් කතාබහට මුල පුරයි. මතක මං පෙත සිසාරා දිව යන ඒ සිතිවිලි අතිශයින් සුන්දරය.

ඇත්තටම මල්කාන්ති අක්කා නිසා තමයි අපි සියලු දෙනාම සංගීතයට යොමු වෙන්නේ. මම පොඩියි. මට වයස අවුරුදු එකොළහක් විතර වෙනකොට තමයි සනත් අයියා අපේ පවුලට සම්බන්ධ වෙන්නේ. නිවසේ තිබුණේ සංගීතකාමී පරිසරයක්. සනත් අයියා තබ්ලාව වාදනය කරන කොට මම බලන් ඉන්නේ හරිම ආසාවෙන්. හොරාට ගිහින් වෙලාවකට තබ්ලාවට තට්ටුවකුත් දානවා. ඒ කාලේ සනත් අයියා වැඩිපුර වාදනය කළේ තබ්ලා සෝලෝස්. ඒත් ඒකේ තිබෙන ගැඹුරු ශාස්ත්‍රීය පදනම මම ඒ වෙන කොට දැනගෙන හිටියේ නෑ.

මේ ආසාව හැකියාවක් බවට වර්ධනය වෙන්නෙත් ඒ කාලෙමද?

ඔව් . . . මගේ ආසාව, උනන්දුව දැකලා සනත් අයියා මට වෙලාවක් එහෙම බලලා මුල්ම පදය කියා දුන්නා. ඒ විදිිහටයි මම තබ්ලා වාදනයට අත්පොත් තැබුවේ. සනත් නන්දසිරි මගේ ගුරුතුමා ඔහුගේ ‘ස්වර්ණ කුණ්ඩල’ ඒක පුද්ගල ගී ප්‍රසංගයකින් තමයි මාව දොරට වැඩම්මුවේ. කොට කලිසමකුත් ඇඳගෙන තමයි ඒ ප්‍රසංගයේ මම තබ්ලාව වාදනය කළේ. ඔහොම ටික, ටික ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. හැබැයි මම ඒවාට සහභාගි වුණේ විනෝදයට. මේක වෘත්තියක් බවට පත්කර ගන්න ඒ කාලේ අදහසක් තිබුණේම නැහැ.

දෙවැනි මස්සිනාත් තබ්ලා විශාරදයෙක්?

නිර්මලා අක්කා විවාහ වුණේ විජේරත්න රණතුංග සමඟ. ඒ වෙන කොට ඔහු’ස’ ප්‍රසංගයේ පවා තාල තරංග වාදනය කරන ලංකාවේ අංක එකේ වාද්‍ය ශිල්පියා. ඔහුගෙන් මම ආභාෂය ලැබුවේ විශේෂයෙන් ගීතවලට වාදනය කරන්න. උඩැක්කි, එතකොට රබාන අන්න ඒවා වයන්න මම ඉගෙන ගත්තේ විජේ අයියාගෙන්. සරල වාදනයට විජේ අයියගෙන් උපදෙස් ගන්න ගමන් මම සනත් අයියා යටතේ විශාරද විභාගය සඳහා ශාස්ත්‍රීය තබ්ලා වාදනය හැදෑරුවා. 1986 වසරේ මම ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා අනියම් වාදකයෙක් හැටියට. 1993 වසරේ මම ස්ථිර වාදක මණ්ඩලයට ඇතුළත් වෙලා අවුරුද්දකින් විතර රැකියාව අහිමි වෙනවා.

ඇයි ඒ?

ඕස්ට්‍රේලියාවේ සංචාරයකට සහභාගි වෙලා ආපහු එද්දී නිවාඩු අනුමත නොවීම නිසා වැඩ තහනමකට ලක්වෙලා කියලා මට ලියුම ඇවිත් තිබුණා. ඒක තමයි මට ලොකු ආලෝකයක් වුණේ දියුණු වෙන්න. එතන ඉඳලා මම දිගටම විදෙස් සංචාරවලට සහභාගි වුණා. ජගත් වික්‍රමසිංහත් එක්ක තමයි මම වැඩිපුරම පිටරට ගියේ. මේ වෙන කොට ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඔස්ට්‍රියාව, ස්වීඩනය ඇතුළු රටවල් හතළිස් දෙකක මම සංචාරය කර තිබෙනවා. ඔය ස්වීඩනය, ඔස්ට්‍රියාව වගේ රටවල ලංකාවේ ශිල්පීන්ගෙන් ප්‍රථම වරට ප්‍රසංගයක් පැවැත්තුවේ ජගතුයි, මමයි. ඇමරිකාවේ පස් වතාවක් ගිහින් තියෙනවා.

නමුත් අද කෙතරම් ඉල්ලීම් තිබුණත් ඔබ විදෙස් සංචාරවලට සහභාගි වන්නේ නැහැ. ඒ වගේ දැඩි ප්‍රතිපත්තියක ඉන්නේ ඇයි?

මම දැන් සුමානෙකට ඊ. ඍ. ප්‍රෝග්‍රෑම්ස් හතරක් කරගෙන යනවා ආසාවෙන්. ආයෙත් ටුවර්ස් යන්න ගියොත් අරවා කඩා වැටෙනවනේ. ඒකට මම කැමැති නෑ. අනෙක ගියත් යන්න වෙන්නේ ආපහු ඒ රටකටමනේ. තනිතඩයා නිසා එච්චරම මුදල් අවශ්‍යතාවයකුත් නැහැනේ. ඒ එක්කම තරුණ පරපුරටත් අපි අවස්ථාවක් දෙන්න ඕනෑ. අඩුම තරමේ තබ්ලා වාදකයෝ හය දෙනෙකුටවත් මම, මට ලැබුණු අවස්ථා ලබා දීලා තියෙනවා. ඒකත් මගේ ජීවිතේ ලොකු දෙයක්.

පරිණත, දක්ෂ වාද්‍ය ශිල්පියකුගෙන් ගීතයකට හෝ වෙනත් සංගීත නිර්මාණයකට ලැබෙන්නේ විශාල ආලෝකයක්. නමුත් ඒ පැත්ත ගැන කාගෙත් වැඩි අවධානයක් යොමු වන්නේ නැහැ?

බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ මා වැඩ කර තිබෙනවා. ඒ අයගේ හැකියාවන් එකිනෙකට වෙනස්. සමහරු මගේ උපරිම හැකියාවන් තමන්ගේ නිර්මාණයට උකහාගෙන තියෙනවා. තවත් අයට මමම හිතලා නිර්මාණශීලී දේවල් එකතුª කළ අවස්ථාත් තිබෙනවා. විජේ අයියා නොමැති අවස්ථාවල කේමදාස මාස්ටර් එක්ක මම වැඩ කළා. ඔහුට ඕනෑ වෙනම ස්ටයිල් එකක්. එතකොට සරත් දසනායක, ඔහුගේ ශෛලිය ඊට වෙනස්. රෝහණ වීරසිංහට අවශ්‍යය වැඩේ ඉතාම අලංකාර විදිහට කරගන්න. ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගත්තම ඒ විදිහට හැඩ ගැහෙනවා. එච්. එම්. ජයවර්ධන, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, නවරත්න ගමගේ වගේ සංගීතඥයන් සමඟත් මම වැඩ කළා. එතකොට රූකාන්තගේ පළමුවැනි කැසට් පටය ‘බඹර පහස’ සියලුම ගීත මම තමයි වාදනය කළේ.

මනෝජ්, විශාරද අමරදේවයන් හා මහාචාර්ය සනත් නන්දසිරි සමඟ

මේ අතරින් ඔබ වඩා ප්‍රිය කරන සංගීතඥයා කවුද?

රෝහණ වීරසිංහ. මම දන්නේ නෑ ඔහු කොහොමද මේ ගීත නිර්මාණය කරන්නේ කියලා. ඒ ගී තනු ඒ තරමටම මිහිරියි. විවිධයි. පද රචනයට සම්පූර්ණ සාධාරණත්වයක් ඔහුගෙන් ඉටු වෙනවා. අහක දාන්න පුළුවන් නිර්මාණයක් නෑ රෝහණ අයියාගේ. ගීත පටිගත කිරීමේදී ඔහු ඒ ගීතය කියනවනේ. ඒ ට්‍රැක් එකට සිංග් කරන කොට අපි දන්නවා අනිවාර්යයෙන්ම ඒ ගීතය ජනප්‍රිය වෙනවා කියලා. ඒ වගේම අනෙක් සංගීතඥයන්ගේ නිර්මාණත් මං බෙහෙවින්ම අගය කරනවා.

වාද්‍ය ශිල්පියකු නම් ඔහු හැමදාම වාද්‍ය ශිල්පියකු පමණයි. කෙතරම් නිර්මාණ කුසලතාවක් තිබුණත් ඔහු එක තැනක කොටු වෙනවා. නමුත් ඔබ පසුකාලීනව ඒ සම්මතයට අභියෝග කරමින් තනු නිර්මාපකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු බවටත් පත් වෙනවා?

ගුණදාස කපුගේ, සනත් නන්දසිරි දධද ඵබධනකැසට් එක මියුසික් කළේ මම. ඒ වගේම සිසිර සේනාරත්න වගේ ගායකයන්ගේ මුල් ගීත නැවත පටිගත කිරීමේදී ඒවායේ සංගීත අධ්‍යක්ෂණය පැවරුණේ මට. අලුත් ගීතයක් මියුසික් කරනවාට වඩා ඒක අසීරු කාර්යයක්. මොකද අර මුල් නිර්මාණයට හානියක් නොවී කරන්න එපායැ. මම ගීත හදන්න එච්චර දක්ෂ කෙනෙක් නොවුණත් ජනප්‍රිය ගායක, ගායිකාවන් දහසය දෙනෙකු ගී ගැයූ මගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටියකුත් මේ වෙන කොට එළි දක්වා තිබෙනවා. එහෙම කළේ මම හැමදාම අර පැරණි ගීී කොපි කරන මියුසීෂියන් කෙනෙක් විදිහට හංවඩු ගැහෙයි කියලා හිතුණ නිසයි..

ඇයි ඔබ ගීත හදන්න එතරම් දක්ෂ නෑ කියා කිව්වේ?

මට තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගීතයක් හදනවා කියන එක මට එච්චර පහසුවෙන් කරන්නත් බැහැ. මම ඉන්නේ ඒ සබ්ජෙක්ට් එකේ නෙවෙයිනේ. දැන් රෝහණ අයියා මෙලඩි ෆැක්ටරියක්නේ. මට එහෙම බෑ. අද ‘චැට් ඇන්ඩ් මියුසික්’ හෙට ‘සංහිඳ’. ඔය වගේ වැඩත් එක්ක මට ඇත්තටම වෙලාවකුත් නෑ ගීත නිර්මාණය කරන්න. ඒත් මම හදපු සිංදු ටික ගැන මට සතුටුයි. ඒ වගේම අපේ රටේ සියලුම බෙර වර්ග යොදාගෙන මම සංයුක්ත තැටි හතරකුත් නිකුත් කරලා තියෙනවා.

එදා ගුවන් විදුලියේ වැඩ තහනමට ලක් වූ ඔබ අද එහි අධ්‍යක්ෂවරයෙක්. ඒ පිළිබඳ කතා කළොත්?

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මාව ගුවන් විදුලියේ මාණ්ඩලික අධ්‍යක්ෂවරයෙක් බවට පත් කළා. අනියම් වාදකයකු විදිහට ගුවන් විදුලියට ඇවිත් මේ වගේ ලොකු පුටුවකට පත් වෙන්න ලැබීම මගේ භාග්‍යයක්. ඒ ගැන ගොඩක් සතුටුයි.

එදා ගුවන් විදුලියේ තිබූ ‘මධුවන්ති’, ‘රස මියුරු’, ‘ජන ගායනා’ වැනි උසස් සංගීත වැඩ සටහන් අද අසන්නට ලැබෙන්නේ නෑ. ජාතික ගුවන් විදුලියත් අද තවත් එක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විතරයි කියා සමහරු චෝදනා කරනවා?

ඒ චෝදනාව මම පිළිගන්නේ නෑ.

හොඳයි එහෙනම් සුභාවිත ගීතය නැවත ජනගත කිරීමේ වැඩ පිළිවෙලක් අද ගුවන් විදුලිය හරහා දියත් වෙනවාද?

අපේ ජන ගීත, ජන සංගීතය සංරක්ෂණය කිරීම ගුවන් විදුලියේ මූලික අභිප්‍රායක්. ඕක කෙරෙන්නේ නෑනේ වෙන චැනල් එකකින්. විරිදු, එතකොට බයිලා ගීත අදටත් ප්‍රචාරය වෙනවා. එතකොට මුවන්පැලැස්ස, විනෝද සමය වගේ වැඩ සටහන්. අන්න ඒවා රැකෙන තැන තමා මෙතන. අඩුම තරමේ පියා ගැයූ ගීත පුතාගේ හඬෙන් ප්‍රචාරය කරන්නවත් අපේ සභාපතිතුමා කැමැති නෑ. එච්චරට මේක රැකගෙන තමයි අපි මේ ගමන යන්නේ. සුභාවිත ගීතය වත්මන් පරපුර අතරට අදටත් ගෙනි යන්නේ ගුවන් විදුලිය.

ඒ කියන්නේ ජාතික ගුවන් විදුලිය තාම අක්මුල් සිඳගෙන නෑ?

ඇත්තෙන්ම. අද තිබෙන තරගකාරිත්වයත් එක්ක යම් මට්ටමකට වාණිජවාදී වෙන්නට සිදු වුණත් තාම ගුවන් විදුලියේ ප්‍රෞඪත්වය මැකිලා නෑ. අදටත් ගායක, ගායිකාවන්ට සරල ගී වැඩ සටහන් ලැබෙනවා. ඒ වගේම අලුතෙන් සරල ගී පරීක්ෂණ තියලා ශිල්පීන් ශ්‍රේණිගත කළා පසුගිය කාලයේ. අද ශ්‍රාවකයෝ වැඩපුර පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවලට නැඹුරු වෙලා සිටියත් හොඳ මවු ගුණ ගීතයක්, දේශාභිමාන ගීතයක් තවම ඇහෙන්නේ ගුවන් විදුලියෙන් නේ. 70 දසකය කියන්නේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය. එදා බිහිවුණ ගායක, ගායිකාවන් වගේම ගී නිර්මාණත් තවම ජනතාවට මතකයි.

පොදුවේ ගත්තොත් අද රූපවාහිනිය ගුවන් විදුලිය ආක්‍රමණය කරලා කියා මට හිතෙනවා?

ඒකේ ඇත්තක් තියෙනවා. මොකද අද රූපවාහිනිය වටා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එක් රොක් වී සිටිනවා. මුළු ලෝකෙම එහෙමයි. අද ගොඩක් වෙලාවට ගීත අහලා රස විඳීන්න නෙවෙයි මිනිස්සු පෙළඹී සිටින්නේ, ඒවා බලන්න. ඒ්කනේ විෂුවල් එකක් තිබුණොත් ගීතය ජනප්‍රිය වෙන්නේ. අද ප්‍රවීණ ශිල්පීන් පවා රූපවාහිනියේ ගී ගයන කොට කිසියම් රඟපෑමක් අවශ්‍යයි. ඒකනේ වෙන්නේ. නමුත් සංගීත ශිල්පීන් හැටියට අපි බලන්නේ රසය. හිටගෙන සිංදු කිව්වත්, ඉඳගෙන කිව්වත් අපට ප්‍රශ්නයක් නෑ.

ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනය අවශ්‍යමද?

බොහෝ දුරට. රූපවාහිනී මාධ්‍යයට එනකොට ඇත්තටම නිකං හිටගෙන ගීතයක් ගයනවාට වඩා යමක් කරන්න පුළුවන් නේ. ඒකේ වරදක් නෑ. දැන් සනත් අයියාගෙ ‘සැන්දෑ කළුවර’ වගේ ගීතයක් ගත්තොත් ඒ සැන්දෑ කළුවර රූප මඟින් මවන්නට පුළුවන්නේ. ඒ අදාල පරිසරය රූප රාමුවලට නැගෙන කොට ගීතයට අපූර්වත්වයක් එක් නොවන බව කියන්න අපට බෑ.

හැමදාමත් වගේම අවසානයේ මනෝජ්ගෙන් අහන්න තියෙන්නේ සුපුරුදු ප්‍රශ්නයම තමයි?

මොකක්ද?

ජීවිතයේ අර අසම්පූර්ණ පැත්ත සම්පූර්ණ කරගන්නේ කවදාද කියලා?

ඔය අහන්නේ මගේ ආදරය, විවාහය ගැනනේ. අදටත් මට ගර්ල් ෆෙ‍්‍රන්ඩ්ස්ලා ඉන්නවා. නමුත් මම ගොඩක් වෙලාවට ආගම අදහන නිසා ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදු වෙයි කියන තැනයි මම ඉන්නේ. විවාහ විය යුතුයි. නමුත් සුදුසු කෙනා ලැබෙන්න ඕනෑ.

හැමදාම කියන්නේ ඕකමනේ?

ඔව් . . . ඒක තමයි. මම එහෙම කියන්නේ දැන් අවුරුදු දහයක් තිස්සේ ඉඳලා. ඒත් තාම මගේ දෛවය ඒකට ඉඩ දීලා නෑ. මට ආදරය අවශ්‍යයි. ජීවිතය ජීවත් කරවන්නේ ආදරය.

දැන් මනෝජ්ට හිතෙන්නේ නැතිද ‘අයියෝ මාගේ යෞවන කාලේ’ කියලා . . .?

නෑ, ඊට වඩා සුන්දරව මම යෞවනය විඳිනවා කියලා මට හිතෙනවා. ආදරයට වයසක් බලපාන්නේ නැහැ. ගොඩක් ලාබාල කෙනෙක් මට ආදරය කරන්න පුළුවන්. මගේ වයසෙම කෙනෙක් ආදරය කරන්න පුළුවන්. ඒ අය කීප දෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ආකර්ෂණය, වාසනාව හැමෝටම ලැබෙන දෙයකුත් නෙවේනේ. කොහොම වුණත් මම ආදරයට ආදරය කරන කෙනෙක්.