|
අපරාදේ මගේ කාලයනේපාලයේදී සිය අධ්‍යාපනය හමාර කළ අල්තිනායි සංගීත කථිකාචාර්යවරියක් ලෙස මෙරටට පැමිණේ. ඇයගේ පැමිණීමත් සමඟ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සංගීත සංධ්වනියකට සූදානම් වෙයි. එහිදී අල්තිනායිගේ සිහියට නැගෙන්නේ ඇයගේ ගුරුතුමාගෙන් ඇය සංගීත අධ්‍යාපනය ලැබූ කාලයයි. නේපාලයේ දුෂ්කර පළාතක විඳි කටුක අත්දැකීම් මෙන්ම ගුරුතුමාගේ ඇසුරෙන් මිදී සංගීත ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයෙන් පසුව පැමිණි ගමනේදී කලාකරුවන් කලාවට ඇති ආදරය හරි හැටි වටහා නොගැනීම මෙන්ම තවත් විශාල ප්‍රශ්න රැසකට අල්තිනායි මුහුණ දෙනවා. මේ අල්තිනායි ඔබට හමු වන්නේ උපාලි ගම්ලත්ගේ ‘හිමිබිම’ නවතම සිනමා සිත්තමෙන්. අල්තිනායි චරිතයට පණ පොවන්නී දමයන්ති ෆොන්සේකා. හිමබිමේ අල්තිනායි ගැන දමයන්ති ෆොන්සේකා සරසවියට කිව්වේ මේ විදියට. ඇත්තටම අල්තිනායි චරිතය මට අලුත් අත්දැකීමක්. මේ වෙනුවෙන් මඨ සංගීත භාණ්ඩ වාදනය කරන්නත් ඉගෙන ගන්න වුණා. මෙම චරිතයට අනුව අල්තිනායි පියානෝව වාදනය කරනවා. ඒ නිසා මම මේ දිනවල පියානෝව වාදනය කරන්න ඉගෙන ගන්නවා. මගේ පළමු ටෙලි නාට්‍යය වූ කුමාරිහාමි ටෙලි නාට්‍යයේදිත් මම රෙදි වියන්න ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයා මාව ඒ සඳහා යොමු කරන්නත් කලින් මම මගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් ඒ ගැන ඉගෙන ගෙනයි තිබුණේ. මම ඒ තරම්ම ඒ ගැන උනන්දු වුණා. හිමබිමේ අල්තිනායි නම් තරුණ සංගීත කථිකාචාර්යවරියගේ චරිතය හරිම අපූරුයි. සංගීතය සමඟින් එම චරිතයේ පෙළ ගැස්මට මම ගොඩක් කැමැතියි. ඇය ජීවිතයේදී ලද අත්දැකීම් සමඟ නුහුරු පරිසරයකදී ඇය මුහුණ දෙන සිදුවීම් වගේම අප්‍රකාශිත ආදරයක සුන්දරත්වයක් අල්තිනායි මෙහිදී දකිනවා. ඊළඟට මම අම්මා කෙනෙක්. ඒ තුෂාරි අබේසේකරගේ ‘හෝපළු අරණ’ ටෙලි නාට්‍යයේ. එතනි නම් ඇය තණමල්විල අලි ඉන්න කැලෑ ගම්මානයක හේන් ගොවිතැන් කරමින් දුෂ්කර ජීවිතයක් ගත කරන අම්මා කෙනෙක්. ඇයට තරුණ පුතෙක් ඉන්නවා. ඔහුත් කරන්නේ හේන් ගොවිතැන. මේ ගමේ ජීවත්වන හැමෝම ජීවිතය ගත කරන්නේ දුෂ්කරතා මැද්දෙයි. එතනිගේ ස්වාමි පුරුෂයා දුෂ්කර බව, චිත්ත පීඩනය තනිවම විඳගෙන සිටින නිහඬ පුද්ගලයෙක්. මේ සියලු දේ හමුවේ මේ අම්මා තමයි ගෙදර වගකීම අරගෙන කටයුතු කරන්නේ. මේ අම්මා හරිම වෙනස්. ඇගේ ජීවිතයේ තියෙන කටුක බව ඇගේ කතාබහෙන්ම පේනවා. නමුත් ඇය හරිම ධෛර්යවන්තයි. ඇය තමයි ඇගේ නංගීගේ දරුවෝ දෙන්නත් හදාවඩා ගන්නේ. ඒ දරුවෝ දෙන්නාගෙන් එක දරුවෙක් අන්ධයි. මේ අතරෙදි වෙනත් පළාතක මෙහෙකාර සේවයේ සිටි සැමියාගේ නැගණිය රූමත් තරුණියක් සමඟ ගමට පැමිණෙනවා. මෙම සිදුවීම ගමේ කාගේත් කතාබහට ලක්වන විටදී ඇය හිතන්නේ මේ තරුණිය තම පුතුට ගැළපෙන බවයි. නමුත් ඇය කිසි විටෙක තම අදහස ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මේ නිසා යම් අවස්ථාවලදී පුතු පවා ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා මම පැණි පත්ගාන විටදී නැගණියගේ අන්ධ දරුවා මං ළඟට ඇවිත් කියනවා ‘සුවඳක් එනවා ලොකු අම්මේ. මටත් ටිකක් දෙනවද?’ කියලා. ඒ වෙලාවේ මම උණු පැණි ටිකක් දරුවගෙ අතට දාල කියනවා ‘ඔය සුවඳ ගහන දේවල් හරි භයානකයි’ කියලා. ඒක කියන්නෙත් ඇනුම් පදයක් විදියට. මෙවැනි අවස්ථාවලදී ඇගේ චරිත ලක්ෂණ දෝලනය වෙනවා. මේ අම්මා ආදරය, සතුට හෝ දුක වුවත් ඇගේ හැඟීම් කිසි විටෙක ප්‍රකාශ කරන්නේ නැහැ. ජීවිතයේ තියෙන කටුක බව හා පීඩනය විසින් මේ සියලු දේ යටපත් කරලා තියෙන්නේ. මම මේ චරිතය රඟපාන්න කලින් ඒ අවට පැල්පත්වලට ගිහින් ඔවුන්ගේ ජීවන රටාව ගැන අධ්‍යයනය කළා. ඔවුන්ගේ හැසිරීම් රටාව කතා විලාශය වැනි බොහෝ දේ ඒ තුළින් මම ඉගෙන ගත්තා. ඔයාලටත් මේ ධෛර්යවන්ත අම්මා ළඟදීම හමු වේවි. මේ අතරෙදි මට තවත් වෙනස්ම චරිතයක් ලැබුණා. එකක් නෙවෙයි එකම ටෙලි නාට්‍යයේ චරිත දෙකක්. දමයන්ති ෆොන්සේකා නම් රංගන ශිල්පිනියට තවත් රංගන ශිල්පිනියන් දෙදෙනකුගේ චරිත නිරූපණය කරන්න මෙහිදී සිදු වුණා. දමින්ද ඩී. මඩවලගේ ‘මෙගා’ නම් ටෙලි නාට්‍යයේ විමර්ශනා කියන රංගන ශිල්පිනියගේ චරිතය තමයි මම නිරූපණය කළේ. එහිදී මට ලැබෙන ‘අරික්කාල්’ නම් ටෙලි වෘත්තාන්තයේ කල්පනී නම් නවක රංගන ශිල්පිනියගේ චරිතයටත් පණ පොවන්නට සිදු වුණා. මෙහිදී දමයන්ති, විමර්ශනා සහ කල්පනී කියන චරිත තුන වෙන් වෙන්ව තුන් දෙනෙක් විදියට තියාගන්න මට විශාල වෙහෙසක් දරන්න වුණා. ‘මෙගා’ කියන්නෙත් වෙනස් ටෙලි නාට්‍යයක්. එය ටෙලි නාට්‍යයක් රූගත කරන පිරිසක් වටා ගෙතුන කතාවක්. ඒක ඇත්තටම අපට ඉතාම සමීප එකක්. වෙනත් කතා තේමාවකින් බැහැරව අපි අපි ගැනම කතා කරන එකක්. එය ප්‍රහසනාත්මකයි. මෙහිදී ඇඳුම් පැළඳුම්, කතා බහෙන් චරිත වෙන් වෙන්ව දක්වන්න සිදු වුණා. යම් අවස්ථාවල අධිරංගනය භාවිත කරන්න සිදු වුණා. ටෙලි නාට්‍ය පුරාවට විහිදෙන්නේ අපි මුහුණ දෙන මානුෂික ප්‍රශ්න. සමහර දවස්වල උදෑසනට අප රූගත කිරීම්වලට කැඳවාගෙන ගියත් අදාළ දර්ශනය රූගත කරන්නේ හවස. ඒ වෙනකල් අපට එහි රැඳී සිටින්නට සිදු වෙනවා. විවිධ හේතූන් නිසා මෙවැනි කාලය අපට කැප කරන්නට වෙනවා. මෙගා නම් ටෙලි නාට්‍යයෙත් එවැනි අවස්ථාවක් තියෙනවා. විමර්ශනාට අරික්කාල්හි කල්පනීගේ චරිතයේදී මෙවැනිම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. එහිදී විමර්ශනා කියනවා ‘අපරාදේ මගේ කාලය’ කියලා. එදා දමයන්ති ෆොන්සේකාටත් එයම සිදු වුණා. මමත් උදේ පටන් එතන ඉඳල රූගත කිරීම් කරන්න හවස මට කතා කරද්දී මම කිව්වා ‘අපරාදේ මගේ කාලය’ කියල. සෙට් එකේ කට්ටිය අප්සෙට් වුණා. මං ඉක්මනට හිනා වෙලා කිව්වා ‘මං කිව්වේ දෙබසක්’ කියල. ඉතිං මේ අපට ඇත්තටම මුහුණ දෙන්න වෙන දේවල්නේ. අද කාලේ ගොඩක් අලුත් අය මේ වගේ දේවල් කියල කෑගහනවා. එයාලා එක දවසකට වැඩ ගොඩක් තියාගෙන දුවන්න බලාගෙන තමයි රූගත කිරීම්වලට එන්නේ. මෙවැනි විවිධ දේ මෙගා තුළ අඩංගුයි. මේ මඟින් කතා කරන්නෙත් ක්ෂේත්‍රයේ ඇති වෙන මානුෂික ගැටලු ගැන තමයි. එහිදී මට ලැබුණ චරිත දෙක සමඟ මා පටලවා ගන්නේ නැතුව සිටින එක හරිම දුෂ්කර කාර්යයක් වුණා. ඒ වගේමයි සම්මානනීය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ මිඩ් නයිට් චිල්ඩ්රන් චිත්‍රපටයේ හෙදියගේ චරිතයත් මට ගොඩක් සුවිශේෂ වුණා. ඊට අමතරව සෝමරත්න දිසානායකගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ රණාවත්ත දුරාහාමිනේගේ චරිතයත් වෙනස්ම චරිතයක්. ඉදිරියේදී එහි රූගත කිරීම් ආරම්භ කරන්නට නියමිතයි. අනාගතයේ දී ඔබට මේ හැම චරිතයකින් මා හමුවේවි.
|