වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා නේද එක දවසක් මගෙන් බැනුම් ඇහුවේ

ඔයා නේද එක දවසක් මගෙන් බැනුම් ඇහුවේ

සරසවිය පොබ කළ මාධ්‍යවේදිනී නෙළුම් විමලරත්න

මගේ කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබා මාස කීපයක්නිවාඩු ගත්තේ ද එකලය. අනතුරුව මා නැවත ලේක්හවුස් ආයතනයට එන විට මා තරුණී පුවත් පතෙන් සරසවිය පුවත්පතට මාරුකර යවා තිබිණි.

ඒ මා සරසවිය පුවත්පතට එක් වූ ආකාරය විය. තරුණී සිට සරසවියට යාම මට මහත් දුක සිතෙන සිදුවීමක් වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළ ද එය මට මහත් ආශ්වාදජනක මාරුවක් විය. මා සරසවියට පැමිණෙන විට එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ ග්‍රැන්විල් සිල්වාය. ඔහු මගේ පැමිණීම මහත් ආදරයෙන් පිළිගැණිනි. මම ද බොහෝ ආශාවෙන් සරසවියේ වැඩ කිරීම ඇරැඹියෙමි.

මේ වකවානුවේ ජනප්‍රිය නිළියක් වූ එළිසබත් ටේලර්ගේ හයවන විවාහය ගැන මාධ්‍ය හරහා ලොකු කතාබහක් ගොඩ නැඟෙමින් පැවතිණි. මේ නිසාම මා ග්‍රැන්විල් මහත්තයාට එළිසබත් ටේලර්ගේ ජීවිත කතාව කොටස් වශයෙන් සරසවියට ලියන්නට අවසර පැතීමි.

ඒ සඳහා ග්‍රැන්විල් මහතාගෙන් ද කැමැත්ත ලැබිණි. මාස කීපයක් එළිසබත් ටේලර් ගැන ලිපි සරසවියේ පළ වන විට සරසවිය පාඨකයන් අතර ද මෙම ලිපි මාලාව වඩාත් ජනප්‍රිය විය.

ග්‍රැන්විල් සිල්වා මහතා අලුතින් නිවසක් ඉදි කර එයට ගෙවදීම නිමිති කොට එම නිවසේ සාදයක් පැවැත් වීය. එයට සරසවිය කර්තෘ මණ්ඩලයට ද ඔහු හා සමීප නළු නිළියන්ට ද ආරාධනා කෙරිණි.

මම ද එම සාදයට සහභාගි වුණෙමි. මේ සාදය සඳහා රවීන්ද්‍ර රන්දෙණිය ද පැමිණ සිටියේය. මාව රවීට මුල් වරට හඳුන්වා දෙන ලද්දේග්‍රැන්විල් විසිනි.

ඔය අතරේ මම නෙළුම් විමලරත්න බව හඳුනාගත් රවීන්ද්‍ර මට චෝදනාත්මකව කියා සිටියේ එළිසබත් ටේලර් ගැන සරසවියට ලියන කෙනාව මම හම්බ වෙන්න තමයි හිටියේ යනුවෙන් පැවසුවේ රකුසු මුහුණක් මවාගෙනය.

අට පාරක් බැඳපු මේ වගේ ගෑනු ගැන ලියන්නේ නැතුව මෙරිල් ස්ට්‍රිප් වැනි නිළියන් ගැන ලියන්න තිබුණනේ කියා පැවසුවේය. මා එබඳු අත්දැකීමකට මුහුණපෑවේ මුල්වරටය. ඒ නිසා මට බියක් ද දැනිණි. ලැජ්ජාවක් ද ඇතිවිණි. එබැවින් මට ඇඬුම් ආවේය.

කෙසේ හෝ වසරකට පමණ පසු සරසවිය සම්මාන උළෙලක් අවසානයේ රවීන්ද්‍ර රන්දෙණිය නැවතත් මට හමු විය. ඒ හමුවේදී ඔයා නේද එක දවසක් මගෙන් බැනුම් ඇහුවේ යනුවෙන් අසන විටම සරසවියේ සුනිල් හොරේෂස් ඔව් මෙයා තමයි යනුවෙන් සිනාසෙන්නට පටන් ගත්තේය. මාත් එක්ක තරහ නෑ නේද යනුවෙන් ඇසූ රවීන්ද්‍ර එතැනින් නික්ම ගියේය. පසු කලෙක මා වඩාත් ආශා කළ නළුවන් අතරින් කෙනකු වූයේ රවීන්ද්‍ර රන්දෙණියයි.

සරසවියට මා වඩාත් ප්‍රිය කරන්නට හේතුව වූ තවත් සිදුවීමක් වූයේ මා පුද්ගලිකව හින්දි චිත්‍රපට නැරැඹීමට තිබූ ආශාවත්, හින්දි ගීතවලට තිබූ ආශාවත් නිසා ඔවුන්ගේ තොරතුරු සෙවීමට, ඔවුන් ගැන පළ වන පොතපත කියවීමට මම වඩාත් ආශා කළෙමි. හින්දි චිත්‍රපට වැඩිපුර නැරැඹීම නිසාම මා අතින් සරසවියේ සිටින කාලය තුළ වැඩිපුරම විශේෂාංග ලියවුණේ හින්දි නළු නිළියන් සහ හින්දි චිත්‍රපට ගැනය.

රවීනා තන්ඩන්, රාජේන්ද්‍ර කුමාර්, ජයප්‍රදා, අමිතා බච්චන්, ශෂි කපූර්, රන්ධීර් කපූර්, කරිෂ්මා කපූර්, සල්මන් ඛාන් ආදී බොහෝ දෙනකු ලංකාවට පැමිණි මොහොතේ සරසවිය සඳහා පුවත්පත් සාකච්ඡා සඳහා සහභාගිවීමට මට අවස්ථාව උදා විය.

මේ අතරේම මට නවයුගය පුවත්පතට මාරුවක් ලැබිණි. මා එහි කටයුතු කරමින් සිටින අතරේ මා හට මාස කීපයක ශිෂ්‍යත්වයක් ලැබ මැලේසියාවට හා සිංගප්පූරුවට යාමට සිදු වූයේ ඒ අතරය. එම සංචාරයෙන් පසුව මා නැවතත් ලේක්හවුස් පැමිණීමත් සමඟ අතුරු මිතුරු නමින් පුවත්පතක් ඇරැඹීමට යන බව දැනගන්නට ලැබිණි.

දිනක් මා හට පාලන අධිකාරියෙන් කතා කෙරිණි. ශිෂ්‍යත්වයක් ලැබ විදේශ ගතවීම පිළිබඳ හා එයින් ලබාගත් දැනුම ආයතනයේ අභිවෘද්ධියට කෙසේ යොදවන්න ද බලාපොරොත්තුව කියා ඔවුන් ඇසීය. ඒ පිළිබඳ විස්තර කතා කිරීමෙන් පසු පෙර පාසල් ඉලක්ක කර ගනිමින් අතුරු මිතුරු නමින් පත්තරයක් පටන් ගැනීමට යන බවත්, එහි කර්තෘ ධූරය භාරගෙන කටයුතු කරන්න කැමැතිදැයි මගෙන් විමසීය. එසේ ඇසුවේ එවක ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතාය.

මම එයට කැමැති වීමි. එහෙත් සුමනා සපරමාදු මහත්මිය එහි මුල් කතුවරිය ලෙස මාස හයකට පාලන අධිකාරියෙන් පත් කෙරිණි. මා නවයුගයෙන් අතුරු මිතුරු පුවත්පතේ කර්තෘ මණ්ඩලයට මාරු කෙරිණි. එහෙත් මාස හයක් අතුරු මිතුරු පුවත්පත ඇගේ කර්තෘ පදවියෙන්ම මුද්‍රණය කෙරිණ.

මේ මාස හයේ කතාව සරසවියේත්, නවයුගයේත් ජනප්‍රිය විහිලුවක් බවට පත් විය. ඔවුන් සපරමාදු මහත්මිය ඉන්නා තැන ඇයට නොදැනෙන්න මට කතා කරයි. මා ඇයි යැයි ඔවුන් දෙස බලත්ම ඇඟිලි හයක් ඉහළට ඔසවා කෝ කියා මගෙන් අසයි. මෙය කා අතරත් සිනා සාගරයක ගිල්වමින් කළ විහිළුවක් විය.

පසුව තරුණී සඳහා ඉඳුනිල් අමරසේකරත්, අතුරු මිතුරු සඳහා මා ද, මිහිර පුවත්පත සඳහා ඉන්ද්‍රා ගුණතිලක ද පත් කෙරිණි. පසුව අතුරු මිතුරු ඒ දිනවල මුද්‍රණය නවතා දැමිණි. දැන් (යළිත් අතුරු මිතුරු ඇරැඹීම මට සතුටකි).

එවක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූයේ මගේ තාත්තාගේ ද හිතවතකු වූ ධර්මසිරි ජයකොඩි මහතාය. ඔහු මා හට කැමැති පත්තරයක් තෝරා ගන්නා ලෙස පවසා සිටියේය. ඒ වන විට සරසවිය පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය.

සරසවියට තිබූ ආදරයත් ආශාවත් නිසාම මම සරසවියට ඉල්ලීමක් කළෙමි. එයද වසා දමන්නට අදහස්කර ඇති බැවින් තරුණී පත්තරයට යන ලෙස එවකට ආයතනයේ සභාපතිව සිටි ඒ. කේ. ප්‍රේමදාස මහතා මට දැන්වීය.

යළිත් තරුණී පුවත්පතේ සේවය කරමින් සිටියදී අනුර බණ්ඩාර රාජගුරු සරසවියේ කර්තෘ පදවියට පත් විය. ඒ සමඟ ඔහු නැවතත් මා සරසවිය කර්තෘ මණ්ඩලයට එක්කර ගත්තේය. රාජගුරුගේ කාලයේද මා අතින් සරසවියට වැඩිපුර ලිපි ලියවුණේ හින්දි විශේෂාංගය. ඒ අතරේ දේශිය නළු නිළියන් ගැන ද ලිපි ලියනු ලැබිණි. මා අතින් ලියවුණු පැරැණි හින්දි නළු නිළියන් පිළිබඳ ලිපි මාලාව අතිශයින් පාඨකයන් අතර ජනප්‍රිය විය. ඒ සඳහා මට පුද්ගලිකව කතා කොට හා ලියුම් මඟින් ප්‍රසාදය පළ කළ අවස්ථා තිබිණි.

සරසවියේ ගත කළ කාලය හරිම විනෝදජනක විය. සරසවිය සම්මාන උළෙල කාලවලදී මේ සතුට දෙගුණ තෙගුණ වී යන්නේ අප කාටත් හොරාය. සම්මාන උළෙල පවතින සති කීපය පුරාවට සාදවලින් ද සරසවියේ කට්ටියට අඩුවක් නැත.

මා සරසවියේ වැඩ කරන කාලයේ සිදු වූ එක් දුක්මුසු සිදුවීමක් ද මගේ සිත තුළ අදත් පැලපදියන් වී ඇත. ඒ විජය කුමාරතුංගයන්ගේ මරණයයි. විජය කුමාරතුංග සරසවියේ සිටි ලතා බොතේජු, දීප්ති ෆොන්සේකා අපි හැමෝම සමඟ සිටියේ සමීප මිතුරන් සේය.

විජයගේ හදිසි අභාවය සිදුවන දිනයේ ඒ අසුබ ආරංචිය දැනගන්නා විට මාත් ලතා බොතේජුත් සිටියේ බම්බලපිටියේ මගේ ගෙදර දහවල් කෑම කමිනි.

එය අසා අප දෙදෙනාම වැළපෙන්නට පටන් ගත්තේ ඥාතියෙක් නැති වූවා සේය. ඒ තරමට අපේ සිත්වලට විජයගේ මරණය තදින් දැනිණි. එදා ලේක්හවුස් ආයතනයෙන් සරසවිය පුවත්පතේ විශේෂ කලාපයක් විජය වෙනුවෙන් මුද්‍රණය කිරීම ඇරැඹිණි.

අපි ළඟ තිබූ විජයගේ විශේෂ පින්තූර ඇල්බමයන්වල තිබූ ඡායාරූප එකතුªකොට විශේෂ සරසවිය කලාපය විජය වෙනුවෙන් අප මුද්‍රණය කළේ එදා රැයක් දවාලක්, ගෙදරක් ගැන නොසිතාය.

ඉතිරි කොටස ලබන සතියේ