වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රඟන්නට ගයන්නට අයිතිවාසිකම් මෙන්න

රඟන්නට ගයන්නට අයිතිවාසිකම් මෙන්න

බොබී ජී. බොතේජු

විශිෂ්ට ගණයේ පරිවර්තකයකු වන බොබී ජී. බොතේජු මෙරට නිර්මාණ ශිල්පීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැඩි උනන්දුවෙන් කටයුතු කරන්නෙකි. ඔහුගේ මෙම ලිපිය මෙරට කලාකරුවන්ගේ අයිතීන් පිළිබඳ අපේ නැණැස අවදි කරවන්නකි.

මෙරට ක්‍රියාත්මක වන ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවල මෙන්ම ප්‍රසංග වේදිකාවේදී නළු නිළි, ගායක ගායිකාවන් සහ අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් දෛනිකව සහ බහුලව උල්ලංඝනය කරනු දක්නට ලැබේ.

ඊටත් වඩා බරපතල කාරණය වනුයේ එසේ උල්ලංඝනය කරන පුද්ගලයන් මිලියන ගණනින් තෑගි පිරිනැමීමත් ඉහළ පිළිගැනීමක් ලබාදීමත්ය. (බුද්ධිමය දේපළ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඔවුනට තෑගි පිරිනමන වෙනත් රටක් ලෝකයේ කොතැනක හෝ තිබෙනවා නම් ඒ බව අපගේත් පාඨකයන්ගේ දැනගැනීම සඳහා ලියා දන්වනු මැනවි).

තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව දැක දැකත් නිහඬව සිටිනවා හැරෙන්නට එම උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අයිතිවාසිකම් හිමිකරුවන් ක්‍රියා කරන බවක් ද පෙනෙන්නට නැත. නිදසුනක් මෙම කාරණය පැහැදිලි කරතහොත් සමහර ආධුනිකයන් ජනප්‍රිය ගීත ගායනා කරන්නේ ප්‍රකාශන අයිතිය හිමිකරුවන්ගෙන් හෝ එම ගීත මුල්වර ගායනා කළ ගායකයන්ගෙන් අනුදැනුමකින් තොරව සහ අවසරයකින් තොරවයි.

ඉන් නොනැවතෙන ඔවුහු එම ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරන අතර ඒ සඳහා විශාල මුදලක් අය කරති. එපමණකින්ද නොනවතින ඔවුහු සංයුක්ත තැටි, වීඩියෝ පටි නිෂ්පාදනය කරවා වෙළඳපොළට නිකුත් කරති.

මෙලෙස තමන්ගේ ඉදිරිපත් කිරීම් අනුකරනය කරන්නන්ට එරෙහිව ක්‍රියා නොකිරීමට හේතුව කුමක්ද? නළු නිළියන්, ගායක ගායිකාවන් මෙන්ම අනෙකුත් ඉදිරිපත් කරන්නන් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවම මට්ටමේ දැනුමක්වත් ලබා නොතිබීම ඊට හේතුව බව පෙනේ. මේ බව වඩාත්ම තහවුරු වන්නේ මීට අදාළ වූ ඓතිහාසික කරුණු විමර්ශනය කිරීමේදීය.

20 වන සියවස මෙරට නීති පද්ධතියට නව නීති රාශියක්ම හඳුන්වා දෙනු ලැබීය. එම කාලවකවානුව මෙරට දේශීය නීතියේ විප්ලවීය වෙනසක් ඇති වූ කාල වකවානුවක් ලෙස හැඳින් විය හැකිය. මානව අයිතිවාසිකම් පමණක් නොව විවිධ වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ද නීති සම්පාදනය විය.

කම්කරුවන්ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් නව නීති සම්පාදනය වූයේ ද 20 වන සියවසේදීය. මෙම නීති සම්පාදනය වූයේ සාමකාමී මෙන්ම ජීවිත පූජාවෙන් සිදු කරන ලද විවිධ අරගලවල ප්‍රතිඵල වශයෙනි. එහෙත් නළු නිළියන්, ගායක ගායිකාවන්ගේ සහ අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් දේශීය නීති පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා කිසිදු ඛ්ඬක් නොනැගිණ.

නළු නිළි සංගම්, ගායක ගායිකා සංගම්, නිවේදකයන්ගේ එකමුතු ආදී විවිධ සංවිධාන පැවතිය ද තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දේශීය නීතියට ඇතුළත් කරවා ගැනීමට එකම සංවිධානයක්වත් ඉදිරිපත් නොවීය.

ප්‍රකාශන අයිතියට අමතරව සම්බන්ධිත අයිතිවාසිකම් පිළිගෙන ආරක්ෂා කිරීම සංස්කෘතික, ආර්ථික සහ සමාජ සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. මේ අයිතිවාසිකම් දේශීය නීතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. කරුණාරත්න මහතා සහ මම බොහෝ අවස්ථාවල පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කළෙමු.

මීට පෙර සම්මතව පැවති 1908, 1912 සහ 1979 පනත්වල නළු නිළි, ගායක ගායිකා, නිවේදක සහ අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිදු සඳහනක් නොවීය. 20 වන සියවසේ දේශිය නීතියට ඇතුළත් කිරීමට නොහැකි වූ මෙම අයිතිවාසිකම් 21 වන සියවසේදීත් දේශීය නීතියට ඇතුළත් කොට එය යාවත්කාලීන කිරීම අවශ්‍යයෙන්ම සිදු විය යුත්තක් බවට අපි එකඟ වීමු.

ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. ඇම්. කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් සම්බන්ධිත අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බුද්ධිමය දේපළ නීතියට ඇතුළු කරන ලද්දේ 2003 අංක 36 දරන පනතිනි.

එම අයිතිවාසිකම් හඳුන්වා දෙන ලද්දේ ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව තම වගකීම් ඉටු කිරීමක් වශයෙන් වුවත් ඉදිරිපත් කරන්නන් ඉන් ප්‍රයෝ්ජන ගන්නා බවක් නොපෙනේ. එම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අරගලයක නොයෙදුන බැවින් ඉදිරිපත් කරන්නන්ට එහි අගයක් දැනී නැත. ඉන් පල ලබා ගැනීමට උනන්දු නොවන්නේ ඒ නිසා වන්නට ඇත.

සම්බන්ධිත අයිතිවාසිකමක (ආසන්න හිමිකම) යනු කුමක්ද?

1961 වර්ෂයේදී රෝම නගරයේදී සම්බන්ධිත අයිතිවාසිකම් එනම් නළු නිළි, ගායක ගායිකා සහ ඉදිරිපත් කරන්නන්ගේ සහ ගුවන් විදුලි ආයතන ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂා කර දීම සඳහා රෝම සම්මුතිය නමින් ජාත්‍යන්තර සම්මුතියක් ඇති කර ගන්නා ලදී. ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ පාර්ශකරුවකු නොවේ.

ප්‍රකාශන අයිතිය හා සම්බන්ධව පවත්නා අනෙක් අයිතිවාසිකම සම්බන්ධිත අයිතිවාසිකම ලෙස හැඳින්වේ. මෙම අයිතිවාසිකම ආසන්න හිමිකම ලෙස ද හඳුන්වනු ලැබේ.

1. රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් සහ කලාත්මක නිර්මාණ මහජනතාව වෙත ඉදිරිපත් කරන අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම්,

2. ශබ්දවාහිනී තැටි සහ පටි නිෂ්පාදකයින් සහ

3. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන ආයතනවල අයිතිවාසිකම් යන ;තවැදෑරුම් අයිතිවාසිකම් ආවරණය කරනු ලබන්නේ සම්බන්ධිත අයිතිවාසිකම් නමින් හැඳින්වෙන අයිතිවාසිකම් විශේෂය තුළිනි.

නිර්මාණයක කර්තෘවරයකුට තනිවම තම නිර්මාණය මහජනතාව වෙත ගෙන යෑමේ හැකියාවක් නැත. ඒ සඳහා ඔහුට ඉදිරිපත් කිරීමේ කුසලතාවයෙන් යුතු මැදිහත්කරුවන්ගේ සහාය ලබා ගැනීමට සිදු වෙයි.

නාට්‍යයක් නම් වේදිකාවක් මත රඟ දැක් විය යුතුය. ගීතයක් නම් ගායකයකු හෝ ගායිකාවක ලවා ගායනා කරවා ගත යුතු වෙයි. එසේ රඟ දක්වන ලද නාට්‍යය හෝ ගායනා කරන ලද ගීතය තැටි හෝ පටි නිෂ්පාදකයකු ලවා කැසට් පටයකට හෝ වීඩියෝ පටයක හෝ සංයුක්ත තැටියකට ඇතුළත් කර ගත යුතු වෙයි.

ඉන් අනතුරුව ගුවන් විදුලි හෝ රූපවාහිනී විකාශන ආයතනයක පහසුකම් ලබාගෙන මහජනතාව වෙත විකාශනය කරනු ලැබිය යුතු වෙයි. මේ ආකාරයෙන් නිර්මාණයක් පොදු මහජනතාව වෙත සංනිවේදනය කිරීමේදී ප්‍රකාශන අයිතිය හිමි තැනැත්තාගෙන් හෝ සම්බන්ධිත අයිතිවාසිකම් හිමි තැනැත්තාගෙන් අවසර ලබා ගත යුතු වෙයි. එසේ අවසර නොගෙන, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් එම නිර්මාණය ලබාගෙන, මහජනතාව වෙත ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වෙයි.

නිර්මාණකරුවකුගේ නිර්මාණය මහජනතාව වෙත ඉදිරිපත් කිරීමේදී ඊට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය වන හේතු රාශියකි.

මෙය නිදසුනකින් පැහැදිලි කරමු. ග්‍රන්ථ ප්‍රකාශකයකු වෙත කර්තෘවරයකු ලබා දෙන අත්පිටපත ප්‍රකාශකයා පොතක් බවට පරිවර්තනය කරයි. එම පොතේ කර්තෘවරයාගේ අයිතිය සහ ප්‍රකාශකගේ අයිතිය, ප්‍රකාශන අයිතිය නීතිය යටතේ ආවරණය කරයි.

එහෙත් නාට්‍ය සහ සංගීත නිර්මාණවල තත්ත්වය මීට මඳක් වෙනස් වේ. එම නිර්මාණ මහජනතාව වෙත ඉදිරිපත් කරන්නේ රංගන ශිල්පීන් හෝ ගායක ගායිකාවන් හෝ වෙනත් ඉදිරිපත් කරන්නන්ගේ මාර්ගයෙනි. නිර්මාණයක් මහජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට ඉදිරිපත් කරන්නාගේ දක්ෂතාවය සහ කුසලතාව ද බලපායි.

එබැවින් ඒ සඳහා කුසලතා පූර්ණ පුද්ගලයන්ගේ සේවය ලබා ගත යුතු වෙයි. මේ නිසා රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් සහ අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කර දිය යුතු වෙයි.

එසේ ආරක්ෂා කර නොදෙන්නේ නම් එම වෘත්තිකයන්ගේ ජීවන මාර්ගයට බාධා පැමිණේ. පසුගිය දශක කිහිපය තුළ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති වූ සීග්‍ර සංවර්ධනය නිසා නිර්මාණ ඉදිරිපත් කරන්නන්ගේ කාර්ය බරපතල අර්බුදයකට ලක් විය.

ඉතිරි කොටස ලබන සතියේ