වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




දේදුන්නේ පාට අරන් මල් පෙතිවල ගෑවේ අපියි

දේදුන්නේ පාට අරන් මල් පෙතිවල ගෑවේ අපියි

‘දරුවනේ’ තේමා ගීතය සමඟින් ජනප්‍රිය ගී රචකයකු වූ සුනිල් ධර්මසිරි

දරුවනේ සඳහා සුනිල් ලියූ ගීය:
 

* දේදුන්නේ පාට අරන් මල් පෙතිවල ගෑවෙ අපියි
කනාමැදිරියන්ගෙ පිටේ තරු කැට හැංගුවේ අපියි
සමගිය ලෝකේ පුරා පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම සමනල පරපුරේ ළමයි
හඳේ හාවා බිමට අරන් වන වදුලේ තිබ්බෙ අපියි
තිත් තියලා කහ පාටට මුවා පාට කළේ අපියි
සමඟිය ලෝකෙ පුරා . . .
 

* චක් ගුඩු ගුඩු පිනෝකියෝ කැකිල්ලෙ
රජතුමා මමයි
මගේ හිතට දැනෙන ලෙසට නීති වෙනස්
කරන්නෙ මං
හොඳ නෑ නපුරු කෙරුම් හොඳ
කෙරුවොතින් දිනුම්

අපි හැම එකතු වෙලා සාමෙන් ඉඳිමු තුටින්

* චක් ගුඩු ගුඩු පිනෝකියෝ සාතන්ගේ පුතා මමයි
විදුලි අකුණු අතට අරන් ලෝකෙම
ගිනි තබන්නෙ මං
හොඳ නෑ නෑ නපුරූ . . .
 

ගායනය –

කවිදු ලක්ෂාන්, මනීෂා චංචලා,

චානක ගුණරත්න, සරින්ද මෙල්

දරුවනේ චිත්‍රපටය හරහා අලුත් ගීත රචකයකු බිහි වුණා. ඔහු සුනිල් ධර්මසිරි. සුනිල් සිනමා ක්ෂේත්‍රයට නෑකම් කියන අයෙක්. ඔහු තමයි කොළඹ රිකී සිනමා ශාලාවෙහි කළමනාකරු. එපමණක් ද නොව ඔහු සුනිල් ටී. ෆිල්ම්ස් ආයතනයේ චිත්‍රපට සැලසුම් සහ සම්බන්ධීකරණ ශිල්පියාද වනවා.

අතිශය කාර්ය බහුල දිවියක් ගෙවන සුනිල් ‘දරුවනේ’ හි අඩංගු දේදුන්නෙන් පාට අරන් නම් වූ තේමා ගීතය ඉතාම අර්ථවත්ව රචනා කොට තිබෙනවා.

එය ගැන දරුවනේ නැරැඹූ බොහෝ දෙනෙකු කතා බහ කළේ ප්‍රසංසා මුඛයෙන්.

සුනිල් ගැන දන්නා තොරතුරු එසේ සටහන් කොට මේ සැරසෙන්නේ ඔහුගේ අප්‍රකට විස්තරයන් දැනගන්න.

අපි කොහෙන්ද කතාව පටන් ගන්නේ?

මං හිතනවා මගේ ගමට ටිකක් ගිහිල්ලා අතීතයත් කතා කරල වර්තමානයට එන්න.

හොඳයි . . .

මං දකුණෙ මිනිහෙක්. මාගල නම් වූ ගම්පියසෙයි මං ඉපදුණේ. පාසල් වියේ සිටම මොන මොනව හරි ලිය ලිය පත්තරවලට යවනවා. සීයක් යවපුවම එකක් විතර පළ වෙනවා.

අපේ තාත්තට තිබුණා පික්චර් හෝල් එකක්. නම එල්. එස්. ඉගෙනුම හමාර වූ සැනින් පියා මට මහත් වගකීමක් පැවරුවා. ඒ එම හෝල් එකේ කළමනාකාරිත්වය. මුලදී මට ටිකක් අමාරු වුණා. පස්සේ පස්සේ වැඩ ටික අල්ල ගත්තට පසුව එම තනතුර පිළිබඳ ඇල්මක් ඇති වුණා. 1987 සිට 2002 දක්වා මං එහි වැඩ කළා. ඒ අතරතුරදී මං ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දැන හැඳින ගත්තා.

සුනිල් ටී. මහතාගේ ඇරැයුමෙනුයි මං රිකී සිනමා ශාලාවට එන්නේ. 2002 අවුරුද්දේ ඉඳන් මං එතැන කළමනාකරු.

එතකොට ගිත රචනා කලාව?

ඔබ ඇතුළු වැඩි දෙනෙක් දරුවනේ චිත්‍රපටයෙනුයි මං ගීත ලියනවා කියලා දැනගත්තේ. මා මීට ප්‍රථම ‘වැඩ බැරි ටාසන්’, ‘අඟර දඟර’, ‘ජය පිට ජය’ වැනි චිත්‍රපටවලට ගී ලිව්වා.

ඉන් ඇතැම් චිත්‍රපටවල නාමාවලියෙන් හිතාමතාම මා නම ඉවත් කර ගත්තා. මොකද වෙනත් අංශ යටතේ මගේ නම කියවෙන හින්දා. සෑහෙන කලක සිටන් මා ගීත ලියනවා.

මං මුලින්ම ගිතයක් ලිව්වේ අපේ ගමේ ගායකයකුට. ඔහු ඔහුගේ කැසට් පටයට මගේ ගීතය ඇතුළත් කළා. නමුත් ගීතය ලියූ කෙනා හැටියට ඔහු ඔහුගේ නමයි භාවිත කළේ.

ඇහුවම කිව්වා ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියලා. මං ඒ සිද්ධියෙන් බොහෝමත් කලකිරුණ. කාලයක් ගීත ලිව්වේ නැහැ. මගේ හැකියාව හැඳිනගත් සුනිල් ටී. මහත්මා තමයි යළි මා තුළ සිටි ගීත රචකයාව අවදි කළේ.

අපි දරුවනේ චිත්‍රපටයේ ඔබ ලියූ ගීතය ගැන කතා කළොත්? එය හරි සුන්දර රචනාවක්.

ඇත්ත. එය රස විඳී ඇතැමෙක් ඒක අහද්දී හඳයා චිත්‍රපටයෙහි ‘කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ’ ගීය මතක් වෙනවා කිව්වා. මමත් ඒ ගීයේ හොඳ රසිකයෙක්. පුදුමෙ කියන්නේ එහි සංගීත නිර්මාණය කරපු සෝමපාල රත්නායකයන්මයි ‘දේදුන්නෙන් පාට අරන්’ හිත් සංගීතය නිර්මාණය කළේ. ඒකයි ඒ හුරුව.

ඔබ ගෙවන ජීවිතය බොහෝ අවිවේකයි. කොහොමද ගීයක් දෙකක් ලියන්න ඉඩහසර වෙන් කර ගන්නේ?

මං රිකී හෝල් එක නඩත්තු කරනවා. එයට එන සෑම චිත්‍රපටයක්ම මුල සිට අවසන් වනතුරුත් ඉන් පසුත් වැඩ කටයුතු පිළිබඳ සොයා බලනවා. අපේ නිෂ්පාදනයක් නම් පටන් ගන්නට පෙර පිටපත කියවා අනුමත කරන්නේ මං. නළු නිලියෝ නම් කරන්නේ මං.

ඊට අමතරව මගේ ගමේ සිහින නමින් චිත්‍රපට ශාලාවක් පවත්වාගෙන යනවා. රාජකාරි ගොඩයි. නමුත් ඒ අතරේ කෙසේ හෝ පෑනත් අතට ගන්නවා. විනාඩි පහයි ගත වෙන්නේ මට ගීතයක් ලියන්න.

මේ ගීයත් එහෙමද?

ඔව්, හැබැයි ලියන්න ගත කළ කාලේ කෙටි වුණත් වචන වැඩියි කියලා සෝමපාල මහත්තයා පළමුවර ගීතය ප්‍රතික්ෂේප කරලා ආපහු එව්වා. දෙවැනි වරයි ගීතය ලිව්වේ. පුංචි ළමයින්ගේ සිතුවිලි හරිම සරලයි. ඔවුන් පරිසරයට හරිම ආදරෙයි. ඒ අදහස් ගොනුකොට තමයි මේ ගීය ලිව්වේ.

මේ සඳහා වෙන කිසිම දෙයක් ගැන මං හිතුවේ නැහැ. මගේම බාල කාලය සිහිපත් කළා පමණයි.

ගීතය ඉතාම ක්ෂණිකව ලිය වුණා. ඒ වගේම චිත්‍රපටයෙහි මීට ප්‍රථම කැමරාවක් දැකලාවත් නැති ලංකාවේ හතරදිග් භාගයෙන්ම තෝරා ගත් දරුවන් පිරිසක් රඟනවා. ඔවුන්ගේ දායකත්ව ගුණයත් මෙහි සාර්ථකත්වයට ප්‍රබල හේතුවක්.

ඔබගේ පුද්ගලික විස්තර පවසමුද දැන්?

මං විවාහකයි. බිරිය තුෂාරි මාධවිකා. මට පුතකු ඉන්නවා. එයා දුරුතු අභිෂේක්. එයත් දරුවනේ චිත්‍රපටයේ රඟපානවා. හැමදාම සති අන්තයට මං ගෙදර යනවා. ඒ නිවාඩු දවස් දෙක වෙන කිසිදු බාහිර වැඩක් නොකර මගේ පවුල් ජීවිතයට විතරයි ඉඩ දෙන්නේ.

කාටද තුති පුදන්න තියෙන්නේ?

සුනිල් ටී, සිවදාසන්, සෝනියා දිසා, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජණී ඇතුළු පිරිසට.