වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මට පහන් වැටක් වූයේ සරසවියයි

මට පහන් වැටක් වූයේ සරසවියයි

විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය රචකයකු, සාහිත්‍යධරයකු, පුවත්පත් කලාවේදියකු වන සෝමවීර සේනානායකයන්ට සිය ජීවන ගමනේ සරසවිය පුවත්පත පහන් ටැඹක් වූ අයුරු දිග හැරෙන්නේ මෙපරිද්දෙනි.

බන්දු එස්. කොඩිකාර

ඡායාරූප කලාවේ බොහෝ දක්ෂතා පෙන් වූ පුද්ගලයෙක් විය. මනුස්සකම අතින්ද ඔහු හොඳ පුද්ගලයකු විය. ඔහු ද මා සමඟ දැඩි මිත්‍රකමක් ගොඩ නගා ගෙන තිබුණි. මා බොහෝ විට කළේ ඉඳහිට සරසවියට ලිවීම පමණි.

වැඩි වශයෙන් කළේ සංස්කරණ කටයුතුය. එවක ජනප්‍රියත්වයේ සැඟව සිටි දක්ෂ කලාකරුවන් සොයා ගොස් අපි විශේෂාංග කළෙමු. හෙන්රි කල්දේරා පිළිබඳ අපට දැනගන්නට ලැබිණි. ඔහු අන්ධ පුද්ගලයකු වූ බැවින් ලේක්හවුස් ආයතනයට ගෙන්වා ගැනීම ගැටලු සහගත විය. තත් තත් තත් තාර පැටියා . . . ගීතය සමඟ ජනප්‍රිය වූ හෙන්රි කල්දේරා පිළිබඳ ලිපියක් ලියන්නට ඔහු සොයා යන ලෙස මා රංජිත් කුමාරටත් බන්දු එස්. කොඩිකාරටත් පැවසීමි. හෙන්රි කල්දේරා එවක පදිංචිව සිටියේ ජාඇල ප්‍රධාන මාර්ගයේ සිට බොහෝ ඈත දුෂ්කර ප්‍රදේශයකය. රංජිත් හා බන්දු බස් රියකින් ජාඇලට ගොස් යාමට ඇති දුෂ්කරතාවය නිසාම නැවත සරසවියට දුරකථන ඇමතුමක් දුන්නේ ගමනේ අපහසුතාවය කියන්නටය. ඒ මොහොතේ සරසවියේ දුරකථනය ගත්තේ මාය. මා අණ කළේ පාපැදියකින් හරි හොයා ගෙන ගොස් ඔය ගමන කෙසේ හෝ යන ලෙසය. රංජිත් හා බන්දු ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගේ පැපැදි දෙකක නැගී හෙන්රි කල්දේරාගේ නිවසට ගොස් සියලු තොරතුරු ඡායාරූප සමඟ පසුදා සරසවියට රැගෙන ආවේය. මේ දුෂ්කර ගමන පිළිබඳව ලිපිය ආරම්භයේ ලියන ලෙස මම රංජිත්ට උපදෙස් දුනිමි.

රත්තරං හෙලේනා සමඟ ජනප්‍රිය වූ රෝහණ බැද්දගේ සොයා අපි හොරණට ගියෙමු.

මා ගමට ගොස් සිටින අවස්ථාවකදී විජිත මල්ලිකා අවිස්සාවේල්ලට නුදුරු දෙහිගහපිටියේ ඉන්නවා යැයි මට ආරංචියක් ලැබිණි. ඇය පදිංචිව සිටියේ මීගමුවේය. මෙය සරසවියට හොඳ ප්‍රවෘත්තියක් විය. මගේ ගමේ සිට දෙහිගහපිටියට එතරම් දුරක් නොවූයෙන් ඇය සොයා යාමට මම අදහස් කළෙමි. ඒ කටයුත්තට මා සරසවියේ ඡායාරූප ශිල්පියකු වූ රෙජී බුලත්සිංහල ද ගෙන්වා ගතිමි. අපි විජිත මල්ලිකා සොයා යන කොට ඈ නැවතී සිටි ගෙදර පහන්පැල අසල මල් පූජා කරමින් උන්නාය. වහා ක්‍රියාත්මක වූ රෙජී පින්තූර කීපයක් ගත්තේය. අපට අවශ්‍ය තොරතුරු සියල්ල සොයා ගත් මා ඇයගේ පදිංචිය හැර යාම ගැන විශේෂාංගයක් ලීවෙමි. එය පළ වූයේ රෙජීගේ ඡායාරූප සමඟය. පින්තූර හා ලිපිය සරසවියේ ගිය පසු මුළු මීගමුව කැලඹිණි. සරසවිය පත්තරයක් සොයා ගන්නටවත් නොතිබිණි. කතෝලික කාන්තාවක වූ විජිත මල්ලිකා මීගමුව අතහැර ගොස් බුදු දහම වැලඳ ගත්තා සේ හැඟීමක් ඡායාරූපයේ දකින්නට ඇති නිසා මේ පිළිබඳ කසුකුසුවක් ඇති විය. මේ ලිපිය ලියූ මා හට ද විවිධ අයුරින් තර්ජන ගර්ජන පවා එල්ල වන්නට පටන් ගත්තේය.

කුමාරදාස වාගිස්ට බොහෝ විට කළේ සරසවියට රසවත් ප්‍රවෘත්ති රැගෙන ඒමය. නළු නිළියන්ගේ රසවත් සිද්ධි හරි අපූරුවට ගොතා සරසවියට ලියන්නට ඔහු සමතෙක් විය. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම එවක නිතර සරසවියට ආව ගියෝය. ඒ ආ මොහොතක මා සමඟ ද බොහෝ වේලා කතා කොට ගිය අවස්ථා තිබුණි. පසු කලක ගාමිණී සමඟ සාකච්ඡා සඳහා සරසවියෙන් ගියේ රංජිත් කුමාරය.

සරසවියට ආලීකයක් වූ තවත් පුද්ගලයකු වූයේ නිමල් පෙරේරා අබේවර්ධනයන්ය. දුර්ලභ ගනයේ මානුෂික ගුණාංගයන්ගෙන් පිරි නිමල් ඉතා ධනවත් පවුලක සාමාජිකයකු විය. ඔහු සරසවිය ඇතුළු පුවත්පත්වල ප්‍රධාන ඡායාරූප උපදේශකයා විය. සිංහල භාෂාව තරමක් කතා කළ හැකි වුණ ද ඔහුට සිංහල ලිවීමට අපහසු විය. ඉංග්‍රීසියෙන් පමණක් වැඩ කළ නිමල් පෙරේරාගෙන් සරසවියට ලැබුණේ සුවිශාල දායකත්වයකි. ඔහු නිවැරැදි තීරණ ගැනීමට සමතෙක් විය. කොතරම් මිත්‍රකම් තිබුණ ද ඒවා රාජකාරියට ඔහු මායිම් නොකළේය. කොතරම් දක්ෂයෙක් ගත් ඡායාරූපයක් වුව ද ඔහු පරීක්ෂාවට ලක් කළේ එකම මිණුම් දණ්ඩකිනි. ඔහු ඡායාරූප කලාවේ බොහෝ දේවල් බන්දු එස්. කොඩිකාරයන්ට උගන්වනු ලැබීය. රූ රටා පිළිබඳ ඥානය ඔහු මට දෙනු ලැබීය. ඕනෑම ඡායාරූප ශිල්පියෙක් රැගෙන එන පින්තූරයක් ඔහු පරීක්ෂා කළේ සිමෙන්ති පොළවේ එලාගෙනය. එවැන්නක් කිරීමට ඔහු හේතුව ලෙස අපට පෙන්වා දුන්නේ පත්තර තට්ටුවක පත්තර තබා තිබෙන විට පාඨකයාගේ ඇස් මට්ටම යොමු වන ආකාරය සලකා බැලීමෙන් පත්තරයක අලෙවියට එය ලොකු උපකාරයක් වනවා කියාය.

ඔහුගේ මේ උපක්‍රමශිලී ඡායාරූප තේරීම නිසාම සරසවියේ අලෙවිය ද වැඩිවීමට ලක්විය. එවක සරසවිය හා තරග වැදුණු අනකුත් සිනමා පත්තර මුල් කවරය සඳහා භාවිත කළේ නිරුවත් බව දැණෙන ආකාරයේ ඡායාරූපයන්ය. එහෙත් ඒවායේ අලෙවිය වැඩිවීමක් නොවිණි. සරසවියේ කිසිම දිනක කාන්තාවකගේ නිරුවත් ගණයේ ඡායාරූප කවරයක් පළ නොවිණි. කෙටි ඇඳුම් වෙනුවට සාරිය ඔසරිය දණහිසෙන් පහළට වැටුණු ගවුම රෙද්ද හැට්ටය ඇඳි පින්තූර කවරයේ පළ විය.

පත්තර කන්තෝරුව එකල අපේ ජීවිතය විය. එයින් තොර දෙයක් අපට නොවීය. ඒ වන විට මා විවාහ වී සිටියේද නැත. රංජිත් කුමාර, බන්දු එස්. කොඩිකාර, ලක්ෂ්මන් වික්‍රමසිංහ ආදී බොහෝ දෙනකු ද එදා ඒ වන විට අවිවාහකය. අපි සියලු දෙනා සමහරදාට අතින් වියදම් කොට නාට්‍ය, චිත්‍රපට නැරැඹුවෙමු. රාජකාරියට කැප වූ ජීවිතයක් ගෙවා දැමූ අපි බෝඩිමට හෝ ගෙදරට ගියේ මැදියම ඉක්මවද්දීය. මා කිසිදු දිනක අතිකාල දීමනා අරගත්තේ නැත. කොතරම් රාත්‍රිය වනතුරු වැඩ කළ ද කිසිදු දිනක එවැන්නක් ගත්තේ නැත. මාසයට ලැබෙන පඩිය හැරුණු විට අතිකාල දීමනා ගැනීම මහා ලැජ්ජා සහගත ක්‍රියාවක් ලෙස මම එදා සැලකුවෙමි. සමහර නිවාඩු දිනයන්හිද කාර්යාලයට විත් පත්තරයේ වැඩ කිරීමේ උණක් ද අපට තිබිණි. මෙවැනි රැයක් දවාල් නැති කාර්යාල ජීවිතය නිසාම සමහරුන් අපෙන් ඇසුවේ ගෙවල් තෙමෙනවාද යන්නයි.

සරසවිය පත්තරය අනුග්‍රහයෙන් ඇරැඹි සරසවිය සිනමා සම්මාන උළෙල ප්‍රධාන බාහිර කටයුත්තක් විය. මුල්ම සරසවිය සම්මාන උළෙල කොළඹ අශෝක සිනමාහලේ පැවැත්වුව ද මා සරසවිය සම්මාන උළෙල සඳහා සම්බන්ධ වූයේ කොළඹ රීගල් සිනමාහලේ හා කොළඹ කාන්තා විද්‍යාලයේ පැවැති සම්මාන උළෙල සඳහාය. සාමුහික කාර්යයක් වූ සම්මාන උළෙලේ වැඩ කටයුතු එක් එක්කෙනා අතර බෙදී ගොස් සිදු කෙරිණි. රීගල් ශාලාවේ පැවැති සරසවිය සම්මාන උළෙල පිළිබඳ මතකය අදත් මගේ සිතෙහි තැන්පත්ව ඇත. එවක වරායේ සිට ලේක්හවුස් ආයතනයට කඩදාසි රෝල් රැගෙන එන විශාල දිගින් යුත් තට්ටුවක් සහිත වාහනයක් තිබිණි. මෙය ඉතා අලංකාර ලෙස සරසා සරසවිය චිත්‍රපට සතියේ තේරුණු චිත්‍රපට හතේ නළු නිළියන් සියල්ල එහි හිඳුවාගෙන කොළඹ පුරා සැරිසරනු ලැබීය. මෙය හැඳින්වූයේ තාරකා යානය නමිනි. මෙය චිත්‍රපට රසිකයන්ට නළු නිළියන්ට පෙම් කරන්නන්ට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය. තාරකා යානය කොළඹ පුරා සැරිසරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් එවක පාරවල් පුරා ගමන් කිරීම එක අතකින් සරසවිය පුවත්පතට රැගෙන ආවේ සුවිශාල ප්‍රසිද්ධියකි. එමෙන්ම සිනමා උළෙලට රැගෙන ආවේ විශාල ජන ආකර්ශනයකි. තාරකා යානයේ ඡායාරූප රැගෙන සරසවියේ පළ කිරීම එහි අලෙවිය වැඩිවීමට තවත් හේතුª වූ කාරණයක් විය. තාරකා යානයේ සිට නළු නිළියන්ගෙන් සමරු සටහන් ලබා ගැනීමට පැමිණි රසිකයන්ගේ පොරකෑම් නතර කිරීමට අශ්වයන් පිට නැඟි පොලිස් නිලධාරීන් ද යෙද වූ අවස්ථා තිබිණි. සම්මාන උළෙල ඉවර වුව ද වැඩවල අඩුවක් නම් සිදු නොවිණි. උළෙල ඉවර වී පසුදාම සම්මාන නොලැබූ අයගේ දුක්ගැනවිලි බැනුම් අසන්නට ද අපිට සිදු වෙනවාමය. ඒ කාලයේ කෙනකුට සරසවියට පැමිණීමට ආයතනයෙන් බාධාවක් නැත. මේ නිසාම සම්මාන ලැබූ අය සතුටු වෙන අතරේ නොලැබූ අය තමන්ට වූ අසාධාරණය කියා සරසවියට විත් පැය ගණන් දොස් කියන අවස්ථා ද අපට ඕනෑ තරම් දැක ගත හැකි විය.

සරසවිය සම්මාන උළෙල පැවති අවස්ථා කීපයකදීම සිදු වූ රසවත් සිදුවීම්ද නැතුවා නොවේ. බොහෝ විට සරස්වතී අභිනන්දන ගීතය ගැයීමට භාර වී තිබුණේ පණ්ඩිත් අමරදේවයන්ටය. මෙය උත්සවය ආරම්භයේම ගැයෙන නිසා අමරදේවයන්ගේ පැමිණීම නොවුණහොත් එය විශාල ගැටලුවක් වන නිසා එදිනම අමරදේවයන් උත්සවයට රැගෙන ඒම සඳහා වෙනම පුද්ගලයකුට භාර කොට ආයතනයෙන් ඒ සඳහා වාහනයක් ද වෙන් කොට තිබිණි. අමරදේවයන්ට එදින වැඩ අධිකකමක් නිසා දවසේ වැඩ කටයුතු අමතකවීමක් තිබුණි. ඒ නිසාම එදින අමරදේවයන් යන යන තැන පසුපසින් ලේක්හවුස් ආයතනයේ වාහනයක් ද ගියේය. එතුමා වටා මෙවැනි මුරකාවල් යොදා එදින නියමිත වේලාවට උත්සව සභාවට රැගෙන පැමිණීම වරෙක භාර වූයේ මටය.

සම්මාන උළෙල කොළඹ කාන්තා විද්‍යාල ශාලාවේ පැවැත්වෙද්දී ඉඳුනිල චිත්‍රපටයේ රඟපෑ අශෝක පොන්නම්පෙරුමට හොඳම සහාය නළුවා ලෙසින් සරසවිය සම්මානය ලැබීමට නියමිතව තිබුණි. එහෙත් එදා මේ බවක් නොදැන සිටි අශෝක පොන්නම්පෙරුම වෙනත් චිත්‍රපටයක රඟපෑම් කරන අතර වාරයේ උත්සව සභාවට නොගැළපෙන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන සම්මාන උළෙලට පැමිණියේය. සම්මාන ලැබීමට සිටින නළු නිළියන් කෙසේ හෝ උළෙලට ගෙන්වා ගැනීමේ කටයුත්ත භාර වී තිබුණේ ද කුමාරදාස වාගිස්ටටය. සම්මාන උළෙල පුරාවට කවුරුත් නළුවන් පැමිණ සිටියේ ෆුල් සූට් ඇඳය. අශෝක පොන්නනම්පෙරුම පමණක් මෙලෙස පැමිණීම සම්මාන උළෙලට මෙන්ම ඔහුට ද කරගන්නා අවමානයක් බව වටහා ගත් කුමාරදාස වාගිස්ට හනික ඔහුගේ ටයි පටිය ගලවා අශෝක පොන්නම්පෙරුමගේ කරේ බැන්දේය. එත් ඔහු ඇඳ සිටි කමිසය උත්සවයට නුසුදුසු හෙයින් එය වසාලීමට වාගිස්ට පොන්නම්පෙරුම මහත නිසාම ඔහුට ගැළපෙන කෝට් එකක් සෙවීය. ප්‍රාංශු දේහයක් හිමි අශෝක හා කෙසඟ වාගිෂ්ඨ එකිනෙකා පෑහිය නොහැක.

ඔය අතරේ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් සම්මාන උළෙලට පැමිණියේය. ඔහුගේ හා අශෝකගේ ඇඟපත එක සමාන විය. වාගිස්ට හනික දුව ගොස් ඉහළ නිලධාරියාට කරුණු පැහැදිලි කර දී ඔහුගේ කෝට් එක ඉල්ලාගෙන විත් අශෝක පොන්නම්පෙරුමට ඇන්ද වීය. අවසානනෙය් සිදු වූයේ අශෝක සම්මාන ලබාගෙන නිමවනතුරු නිලධාරියාට රථ ගාලට වී මදුරුවන් තලන්නටය. එයට හේතුව වූයේ නිලධාරියා කබායට යටින් ඇඳි කමිසය බාල වර්ගයේ එකක් වීමයි.

කාන්තා විද්‍යාලයේ තිබුණු එවැනිම සරසවිය සම්මාන උළෙලක තවත් රසබර සිද්ධියක් වූයේය. එම සම්මාන උළෙල පුරාවට නිවේදන කටයුතු සිදු කරනු ලැබුවේ විරුදු ගායනයෙනි. ලේක්හවුසියේ සේවය කළ සිසිර කුමාර මානික්කආරච්චි එම උළෙලේ විරිදු ගායනා පිටපත රචනා කළේය. ඒ අවධියේ හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව රට පුරා ජනප්‍රියත්වයක් ලැබ සිටින අවධිය විය.

එහි පොතේ ගුරා වූ විජේරත්න වරකගොඩ මෙහි නිවේදන කටයුතුª විරිදුවෙන් ගායනා කිරීම සඳහා තෝරා ගෙන තිබුණි. සම්මාන උළෙල අරඹා සම්මාන ප්‍රදානයකින් පසු ගීතයක් ගායනා කිරීම සඳහා මොහිදීන් බෙග්ට අවස්ථාව සලසා තිබිණි. වරකාගොඩ විරිදුවෙන්ම මොහිදීන් බෙග්ට ඒ සඳහා ආරාධනා කළ ද බෙග් මාස්ටර් වේදිකාවට ගොඩ වූයේ නැත. හනික ඔහු අසලට දුව ආ කුමාරදාස වාගිස්ට මාස්ටර් ඇයි කියා ඇසීය. මට අල්හාජ් කියල ගෞරව නාමය විරිදුවෙන් නොකී බැවින් වේදිකාවට ගොඩ නොවන බව බෙග් මාස්ටර් පැවසීය. වෙලාවේ හැටියට වාගිස්ටට ගණ දෙවි නුවණ පහළ විය.

මාස්ටර් මේ විරිදුවෙන් ආරාධනාව විතරයි. මාස්ටර් සිංදුව කිව්ව ගමන් අවසානයේ විරිදුවේ තියෙනවා අල්හාජ් මොහිදීන් බෙග් කියලා. මාස්ටර් නැගලා සිංදුව කියන්න. අල්හාජ් මොහිදීන් බෙග් හනික වේදිකාව මතට ගොස් සිංදුව කියා අවසන් වුවද අල්හාජ් කියා විරුදුවෙන් නම් කිය නොවිණි. පිටපතේ ද එවැන්නක් නොතිබිණි. වාගිස්ටත් ඒ වන විට අතුරුදන් වී තිබුණි.

විමසිරි පෙරේරා මහතා සරසවිය, නවයුගය, සිළුමිණ පුවත්පත් තුනේම ප්‍රධාන කර්තෘවරයා ලෙසින් කටයුතු කළේය. ඒ වකවානුව 1977 විය. ලේක්හවුස් ආයතනය තුළ විශාල දේශපාලන කුමන්ත්‍රණයක් දියත් විණි. විමලසිරි පෙරේරා මහතා ඒ වන විට සිටි සියලු පත්‍රවල කර්තෘකමින් ඔහුව නෙරපනු ලැබිණි. ඒ පත්‍රවල සිටි නියෝජ්‍ය කර්තෘවරුන්ටවත් ප්‍රධාන කර්තෘ පදවිය නොදී පිටස්තර පුද්ගලයන් සඳහා කර්තෘකම පිරිනැමිණි. විමලසිරි පෙරේරා මහතාගේ අනුප්‍රාප්තිකයා සමඟ වැඩ කිරීමට මට අපහසු කටයුත්තක් විය. එම නිසා මා සරසවියෙන් ඉවත් වී නවයුගයට පැමිණියෙමි.

ඒ වන විට නවයුගය ප්‍රධාන කර්තෘවරයා වූයේ එඩ්වින් ආරියදාස මහතාය. ඔහුගේ සේවා කාලයෙන් පසු හිස්වන ප්‍රධාන කර්තෘ පදවිය ඉන් පසු පැවරුණේ මා වෙතය. එතැන් පටන් 1986 වනතුරු මම ලේක්හවුස් ආයතනයේ සේවය කළෙමි. සරසවිය පුවත්පත හරහා විශාල කලාකරුවන් පිරිසක් හඳුනාගෙන තිබීම නිසාම මට කලා නිර්මාණ සඳහා ඔවුනගෙන් ආරාධනා ලැබෙන්නට විය.

එය එක පැත්තකින් මට විශාල ආර්ථිකමය අත්වැලක් විය. මේ නිසාම මා ලේක්හවුස් ආයතනයෙන් ඉල්ලා අස් වී රූපවාහිනි රචනා කලාව, සාහිත්‍ය හා ලේඛන කලාවන්ට යොමු වීමි. මාගේ නිර්මාණ කලා හැකියාවන් හි තිඹිරි ගෙය වෙමින් මට ජීවිත ගමනේ ආලෝකය එක් කළ සරසවිය පුවත්පත මට සදා අනුස්මරණීයය.

අද මා මේ රටේ ගෞරවයක් දිනා ඇත්නම් ඒ ගෞරවයේ තිඹිරි ගෙය වූයේ සරසවියයි. මා මෙතෙක් ලබා ඇති යම් ගෞරවයක්, සම්මානයක් වේ නම් එහි හැම දෙයක්ම සරසවියටත් එලෙසින්ම අත්වේවා. මාගේ ජීවිතයට පහන් ටැඹක් වූ සරසවිය තවත් සිය වසක් ආයු ලැබ අන් අයටත් සරසවියක්ම වේවා!