|
බොන්ඩ් කෙල්ලගේ නිරුවත් ඡායාරූප
නගරයේ පාරවල් හිස්කොට වාහන ලුහුබැඳීම් දර්ශනවලට අවශ්‍ය පරිදි අවකාශ ලබා දෙන ලද්දේ ලාස්වේගාස් පොලීසියේ සහ සාප්පු හිමියන්ගේ අනුග්‍රහයෙන්. විනෝද ක්‍රීඩා සහ සූදුවලට ලෝ පතළ ලාස්වේගාස් නගරයේ කානිවල් සහ සර්කස් හිමියකු වූ බොන්ඩ් රසිකයෙක් චිත්‍රපටයේ අඩංගු සර්කස් දර්ශන සඳහා නොමිලේ ඉඩකඩ ලබා දුන් අතර ඔහු එහි චරිතයක් ද නිරුපණය කළා. නගරයේ අලංකාරය සඳහා යොදා තිබුණු නියොන් විදුලි සැරසිලි සහ වෙනත් විදුලි ආලෝක නිසා රාත්‍රී රූගත කිරීම් පහසු වූ බව කැමරා ශිල්පි ටෙඩ් මුවර්ගේ අදහස වුණා. රෑ නිදි වරමින් වෙහෙසකර රූගත කිරීම්වලට සහභාගී වුවත් ඉඩක් ලත් විගස වීදිවල සැරිසරමින් ‘ජැක් පොට්’ වැනි ක්‍රීඩාවල නිරත වී සෑහෙන මුදලක් උපයා ගන්නට හැකිවීම සතුටක් බව කොනරි වරෙක ප්‍රකාශ කළා. රූගත කෙරුණු අවදානම් වාහන ලුහුබැඳීම් දර්ශනවලදී වාහන බොහොමයක් අනතුරට ලක් වුණා.
චිත්‍රපටයේ එක් ජවනිකාවක නිළි ලානා වුඩ් පිහිනුම් තටාකයක ගිල්වා තබන අවස්ථාවකදී ඇගේ දෙපා ගැටගසා තිබුණු ගඩොල තටාකයේ ගැඹුරු අන්තයට ලිස්සා යාම නිසා ඇය දිවි ගලවා ගත්තේ අනූනමයෙන්. ඒ දිනවල දියේ ගිලීමෙන් මරණයට පත් වූ ඇගේ එකම සොයුරිය වූ නතාලි වුඩ් නම් ජනප්‍රිය නිළියගේ මරණය තවමත් නොවිසඳුනු අබිරහසක්. සුරූපී ලානා වුඩ් උසින් අඩු නිළියක් වූ හෙයින් කොනරි සමඟ රඟපෑමේදී යම් අසීරුතාවයන්ට පත්වුණා. ඔහු හා පෙනී සිටින වෙළඳ දැන්වීම් ඡායාරූප ගැනීමේදී ඡායාරූප ශිල්පීන්ට සිදු වුණේ ඇය පෙට්ටියක් මත සිටුවා ඡායාරූප ගැනීමටයි. ඇය අමෙරිකාවේ පළ වන ලෝක ප්‍රකට වැඩිහිටි සඟරාවක් වන ‘ප්ලේ බෝයි’ සඟරාවේ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටි නිරූපිකාවකි. බොන්ඩ් සහ ඔහුගේ ප්‍රතිවාදියකු අතර මහල් නිවාසයක විදුලි සෝපානයක් තුළ සිදුවන බිහිසුණු සටනේදී ඔහු හා සටන් වදින්නේ ජෝ රොබින්සන් නමැති ඔහුගේ සැබෑ ජීවිතයේ ජූඩෝ සටන් ගුරුවරයායි. ඔහු බොන්ඩ් චිත්‍රපට ගණනාවක සටන් ශිල්පියකු ලෙස රඟපායි. චිත්‍රපටයේ තවත් ජවනිකාවක බොන්ඩ් මිනී පෙට්ටියක් තුළ බහා ආදාහනාගාරයක් තුළ ගෑස් උදුනක ලා දවන අවස්ථාවක් වෙයි.
චිත්‍රපටයේ මංගල දර්ශනය 1971 දෙසැම්බර් 17 දින අමෙරිකාවේදී සිදු කිරීම විශේෂත්වයක් වන අතර දෙසැම්බර් 30 වනදා ලන්ඩනයේ ලිසිස්ටර් චත්‍රරස්‍රයේ ඕඩියන් සිනමාහිදී ආරම්භක දර්ශනය පැවැත්වෙද්දී එය බ්‍රිතාන්‍යයේ බොන්ඩ් ලෝලීන්ගේ අති උත්කර්ෂයට හේතු වූ අතර ආදායම අතින්’යූ ඔන්ලි ලිව් ට්වයිස්’ චිත්‍රපටයටත් වඩා ඉහළ අගයක් ගනිමින් උපරිම ජනප්‍රියත්වයක්ද ලබා ගත්තේය. එහෙත් මෙම චිත්‍රපටයෙන් පසු ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේදී හැරී හා බ්‍රොකොලිගේ සහභාගිත්වයේ පැහැදිලි වෙනසක් සිදුවීම ආරම්භ විය.
ඩොලර් මිලියන 7.2 ක වියදමින් නිම කළ චිත්‍රපටයේ ලොව පුරා ලැබූ බොකස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 116 කි. අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 43 ක ආදායමක් ලබාගත් අතර චිත්‍රපටය නැරැඹූ අමෙරිකානු බොන්ඩ් රසික ජනතාව මිලියන 25.8 ඉක්ම වීය. බොහෝ සිනමා විචාරකයින් ලාස්වේගාස් හි පටු මාවත් ඔස්සේ බොන්ඩ්ගේ වේගවත් රිය පැදවීම අගය කළ අතර සමහර ස්ථානවලදී ඔහු ෆෝඩ් මස්ටෑන්ග් රථය රෝද දෙකෙන් පමණක් පදවාගෙන යන අවස්ථා ඔවුන්ගේ විශේෂ වර්ණනාවන්ට ලක් වුණා. මෙම අවදානම් අවස්ථා ප්‍රථම වරට සිනමාපටයක් තුළින් ඉදිරිපත් කිරීමේ ගෞරවය ලබා ගත්තේ දක්ෂ විශේෂ ප්‍රයෝග ශිල්පී රියැදුරකු වූ ප්‍රංශ ජාතික රෙමී ජූලියෑන් සහ ඔහුගේ සහාය රියැදුරන් කණ්ඩායමයි. ජිල් සෙන්ට් ජෝන්ස්ගේ දුර්වල රඟපෑම් විවේචනයට බඳුන් වූ අතර ඇතැමුන් ඇය ‘කිසිම සහයෝගයක් නැති ඈලි මෑලි බොන්ඩ් කෙල්ලක්’ යනුවෙන් චෝදනා කළා. ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමේ ඊළඟ නිර්මාණය වන්නේ ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටයයි. එය නිපදවීම පසුපස ඇති අපූරු සිදුවීම් අපි ලබන සතිියේ මෙම පිටුවෙන් කියවමු.
|