|
සවසට රූපවාහිනියෙන් අපට ලොව ගැන කියන්නී ඇයයිප්රවෘත්ති කියද්දී මැස්සෙක් නහය උඩවෙනුරි ගින්නලිය
‘වෙණ’ කියන්නේ වීණාවට. ‘උරි’ කියන්නේ උරතලයේ දරා සිටීමට. වෙණ සහ උරි කියන වචන ද්විත්වයේ එකතුවෙන් තැනෙන වෙනුරි කියන නමේ තේරුම වීණාව උර දරන්නී යන්නයි. එහි සුපිරිසුදු තේරුම සරස්වතී කියන එකයි. දවසක්දා මේ නාම අර්ථය පැහැදිලි කරලා දුන්නේ දිවංගත අපේ අරිසෙන් අහුබුදු ශ්‍රීමතාණන්. රූපවාහිනියේ මහ ගෙදරට ගොඩ වූ එතුමා වෙනුරිගේ දියුණුවේ ලක්ෂණ මෙන්ම සුපැහැදිලි ජනප්‍රියත්වය එදා දකින්නට ඇති නියත වශයෙන්ම. වෙනුරි ඒ වන විටත් ස්වාධීන රූපවාහිනියේමයි සේවය කළේ. නමේ තේරුම මේ දියණීට තේරුම් කළ අහුබුදු සූරීන් මේ දරුවාට එදා ප්‍රබල අනාවැකි කිහිපයක්ම පැවසුවේ පිය සෙනෙහේ පෙරදැරි කරගත් කරුණාවෙන්. ‘දුවගේ නම හරිම ප්‍රබලයි. කවදා හරි ඔයා අපේ රටේ ප්‍රබල, ප්‍රසිද්ධ, ජනප්‍රිය, බුද්ධිමත් චරිතයක් වෙනවා. වැඩසටහනෙන් පසු අහුබුදු සූරීන් නික්ම ගියේය. කාලයාගේ ඇවෑමෙන් එතුමන් දිවිමන් තලාවෙන් ද නික්ම ගියේය. අද වන විට ඒ අනාවැකිය ස්ථිර වශයෙන්ම නිවැරැදිය. ඒ දියණි අද ලොව ගැන අපට රටට කියන බුද්ධිමතියකි. අහුබුදු සූරීන්ගේ අනාවැකිය පරිදිම ඈ ප්‍රබල, ප්‍රසිද්ධ, ජනප්‍රිය රූමතියකි. වෙනුරි නයන්ති ගින්නලිය. ලොව වටා තොරතුරු එකට එකතු කොට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපට ගෙනෙන්නී ඇයයි. මේ ඇගේ ජීවිත මං තලාවේ සිදුවීම් අතර ගෙවූ දෙපැයක මතක පෙළකි. * මුලින්ම මාධ්‍ය ජීවිතයේ ඇරැඹුම මතකයට නඟමින් කතා බහ අරඹමු. මාව අද ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රටම හඳුනන්නේ මගේ අම්මා මට දුන් ශක්තියත්, තාත්තා නමින් මට දුන් වාසනාවත් නිසා. අද මං ළඟ තියෙන්නේ තාත්තාගේ ඒ උදාර ගුණ සුවඳ විතරයි. මට අද වගේ මතකයි ළමා පිටියේ පරීක්ෂණයට අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා ගුවන් විදුලියට ගිය හැටි. පරීක්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ළමා ශිල්පිනියක් ලෙස සමත් වුණා. ඊට පසුව මම පහ වසරේ සිට උසස් පෙළ දක්වාම ළමා නිවේදිකාවක් විදිහට දස්කම් දැක් වූවා. උසස් පෙළින් පස්සේ තමයි මම ලක්හඬ පවුලට එකතු වෙන්නේ. ඒ අතරේම ස්වාධීන රූපවාහිනී සේවයේ නිම්තෙර, උදා විකාශය, පත්තර පිටුව වගේ වැඩසටහන් ඉදිරිපත් කළා. * මතකද රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කළ පළවෙනි දවස? කොහොම අමතක වෙන්නද ඒ දවස? එදා මාර වැඩක්නෙ වුණේ. මම හිටියේ හොඳටම බය වෙලා. හිතේ තිබුණු බයයි, කලබලයයි කොච්චර ද කිව්වොත් මම එදා වැඩසටහන ඉදිරිපත් කළේ කරාබු නැතිව. විරාමයක් අතරෙදි අම්මා කතා කරලා ඇහුවා කෝ දරුවෝ කරාබු? කියලා. එතකොටයි මට මතක් වුණේ කරාබු නැති වග. විරාමෙන් පස්සේ මම ප්‍රේක්ෂකයන් හමු වුණේ කරාබුත් දාගෙන. * එතකොට ඇයි වෙනුරි අද කරාබු නැත්තේ. අදත් අමතක වුණාද? මෙච්චර වෙලා හිනා වෙවී කතා කර කර හිටපු වෙනුරි මගේ ඒ පැනයට නම් සිනහ වුණේ දෙකන් පිරිමදිමින්. * එතකොට කොහොමද ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්නේ? දවසක් සුදර්මන් රදලියගොඩ මහත්තයා මගෙන් ඇහුවා ‘වෙනුරි’ අයි. ටී. එන්. නිව්ස් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරමුද කියලා. ඊට පස්සේ තමයි මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්නේ. * වත්මන් ප්‍රවෘත්ති නිවේදන කලාව ගැන මොකද හිතෙන්නේ? ඒකත් කලාවක්. හැබැයි එය කතා කලාවක් නෙවෙයි. අපි නිතරම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න ඕන වැදගත් ප්‍රවෘත්ති. නැතුව අනවශ්‍ය වැල්වටාරම් ගොඩක් හෝ රස කතාවක් හෝ නෙවෙයි. ඒ වගේම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කියන්නේ අවධානමක් සහ දැඩි වගකීමක් ඇතිව කළ යුත්තක්. මට අද වගේ මතකයි මම අයි. ටී. එන්. නිව්ස් කියපු පළවෙනි දවස. එදා මම නිව්ස් කිව්වේ වෙව්ල වෙව්ල. අදටත් ඒ තිගැස්ම තියෙනවා. ඒ තිගැස්ම නැතිදාට අපිට හරියට අපේ වෘත්තිය කරන්න බෑ. තිගැස්ම තියෙනවා කියන්නේ කියන හැම වචනයක් කෙරෙහි අපි අවධානයෙන් ඉන්නවා කියන එකයි. * ප්‍රවෘත්ති කියද්දි අකරතැබ්බ එහෙමත් වෙලා ඇති? අකරතැබ්බ වෙලා නම් නෑ. හැබැයි වෙන්න ගිහිං තියෙනවා. එක දවසක් මම ප්‍රවෘත්ති කියද්දී මැස්සෙක් මැදිරිය පුරාම කැරකෙනවා. මගේ නහය ඉස්සරහින් එහෙට මෙහෙට යනවා. ඒ මදිවට ඇෙඟත් වහනවා. එදා මම හරිම අමාරුවෙන් නිව්ස් කිව්වෙ. * සංවේදී වුණ අවස්ථා නැද්ද? අනේ තියෙනවා. මම කැබිතිගොල්ලෑව බස් බෝම්බ නිව්ස් එක කිව්වේ හිතින් අඬ අඬා. තාත්තා කෙනෙක් තමන්ගේ මරුණු දරුවාව දෑතට අරගෙන යන රූප රාමු දිහා ඇස් දෙකෙන් අඬන්නෙ නැතිව බලාගෙන හිටියේ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ මං විතරයි. මොහොතකට පෙර සිනාවෙන් පිරී තිබූ ඇගේ දෑස් කඳුළින් තෙත් වූයේ අතීත මතකයන් හමුවේ වෙනුරිගේ සිත අදත් වෙඬරු පිඬක් මෙන් උණු වෙමිනි. වතේ රැඳුණු කළු වළාව අතරින් රිදී රේඛාවක් වන් සිනහවක් යළිත් පායා ආවේ පුංචි දෝණිගේ මතකයන් සමඟයි. දෝණිට නම් දැන් අවුරුදු දෙකක් වෙනවා. ඇයට අකේන්යා එක්නුලී කියන නම දැම්මේ අහුබුදු සූරීන්ගේ දියණිය. එක්නුලී කියන්නේ එකම එළිය කියන එක. මටත් මගේ මහත්තයා ක්‍රිස්ලි ප්‍රනාන්දුටත් ඇත්තටම එකම එළිය ඇය. අපේ කැදැල්ල ආදරයේ උණුසුමෙන් හොඳටම පිරිලා. ඒ උණුසුම නිසාම මම බොහෝම ශක්තිමත් කෙනෙක්. හමුවෙමු යළිත් ස්වාධීන රූපවාහිනී උණුසුම් පුවත් තුළින්. ආයුබෝවන්! සමුගන්න මොහොතේ මගේ මතකයට නැගුණේ ඒ වදන් වැල විතරමයි.
|