|
සතිශ් පෙරේරා ගේ වියෝව පිළිබඳ සටහනකි
‘මගෙ හිත අද තද නින්දේ’
මන්දාරම් අහසේ රැඳුණු වැහිකෝඩය කොයි වේලේ පොළොවට කඩා වැටේදැයි සැක සහිතය. නිවෙසින් එළියට පා තබා මඳ දුරක් පැමිණියා පමණි. මොර ගෙඩි මෙන් වැටෙනා වැහි පොදෙන් මුවා වන්නට මම කඩයෙහි පිලට ගොඩ වීමි. වැහි අඳුර සහිත පරිසරය සිතට බරකි. මොර ගෙඩි මෙන් වැටුණු වැහිපොද මහ වැස්සක් බවට පරිවර්තනය වී ඇත්තේ පරිසරය අමුතු ගුප්ත බවකින් පුරවමිනි.
ඉන් මිදෙන්නට මෙන් වට පිට බැලූ මගේ නෙතට හසු වූයේ ඉදිරිපස ඇති ජෑම් ගසය. මහ වැස්සෙන් බේරෙන්නට මෙන් ජෑම් ගසෙහි අත්තකට වී ගුලි වී සිටින පොල් කිච්චාගේ ශෝකී නාදය සිතෙහි ඇති කළේ තිගැස්මකි. සිතෙහි ඇති තිගැස්මත් මුළු පරිසරයත් යම් නිමිත්තක් කියන්නට තතනන සැටියෙකි. දුරකතනය නොනවත්වාම හඬ තලයි. ‘අනේ නංගි සතිෂ් . . .’ කුසුම් අක්කාට කියා ගත හැකි වූයේ එකී වචන කිහිපය පමණි. සිහින් ඉකිබිඳුම ඇය කියන්නට ගිය දේ කියා හමාර කළාය. තිගැස්සුණු සිත සමඟ මම උන් තැනම ගල් ගැසුනෙමි. ‘සෙනසුරාදා තමයි මල්ලිව දැඩි සත්කාර ඒකකයට ගත්තේ. ඉරිදා රෑ අපි එයාට බෝධි පූජාවක් තියලා සෙත් පැතුවා. ඒ කටයුත්ත ඉවර වෙලා මම කෙළින්ම ආවේ හොස්පිටල් එකටමයි. එතකොට රෑ එකොළහ මාරයි. මල්ලිට හොඳටම නින්ද ගියා. ඒ වෙලාවේ අපේ සිතට පුංචි සැනසීමක් දැනුණා. ඒත් අද උදේ පාන්දර හතරයි පහළොවට විතර ආව දුරකථන ඇමතුම කිව්වෙ මල්ලි අපිව දාල යන්නම යන්න ගිය බවයි.’ සිය සහෝදරයා මිය ගිය ශෝකයෙන් නැෙඟනා ඇගේ ශෝකී ස්වරය හදවතට රැගෙන එන්නේ රිදුමකි. ඒ රිදුම ඔස්සේ සිත දිව යන්නේ මීට පෙර සතිය දෙසටය. එදත් සඳුදාය. ‘දැන් නම් මල්ලිට ගොඩක් හොඳයි.’ සිය මවගේ සොහොයුරු වූ ෂෙල්ටන් පෙරේරාගේ පුතු සතිෂ් පෙරේරා එනම් සිය ඥාති සොහොයුරා පිළිබඳ කුසුම් පෙරේරා පැවසුවේ කොපමණ බලාපොරොත්තු සහගතවදැයි සිතේ. ‘පිළිකා හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්නවා අම්බලන්තොට පැත්තේ. එතනට යමුද?’ මා යෝජනා කළේ තවත් බලාපොරොත්තුවක සහන් එළිය ඇගේ සිතෙහි දල්වමින්. ඒත් ඒ සහන් එළිය දකින්නට මත්තෙන් ඔහු අප අතැර ගියේය. වැස්ස තුරල් වී ඇත. වැහි බීරමත් පරිසරයෙහි වූ ගුප්ත බවත් එලෙසමය. කාලය ගෙවී ගියේය. කලල්ගොඩ නිවෙසට අප පියමං කළේ ඔබ දකිනු රිසියෙනි. වෙනදා අප දුටු විට නැඟෙනා සොඳුරු සිනහව අමතක කර ඔබ තද නින්දේය. ඒ කිසිදා නොඇහැරෙන තද නින්දකට පිවිසි විලසකිනි.
‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳි පෑනෙන් කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ’
නුඹ කවදත් ගයනා ඒ ගීතය මගේ සිතට පිවිසියේ නිතැතිනි. එ ගැයූ අයුරින් අද ඔබගේ සිත මෙන්ම ගත ද තද නින්දකට පිවිසි බවක් නොවේ ද අපට හැඟෙන්නේ. ඔබ හැර ඒ හැඟුම දැඩිව දැනුුණා වූ සියල්ලෝම ඒ ශෝකයේ හැඩි දැඩි ඝන කළු පුවත හදවත හිර කරමින් කදුළකට පෙරළීය. ඒ කඳුළේ අයිතිකාරිය වූ දිනේෂා ඔබගේ දෙණ අසලට වී වැළපුණු වැළපිල්ල මට සිහි කළේ යශෝදරාවතයි. ඔබේම ලේ වලින් ජනිත වූ නව මසැති අක්ෂිත් බිළිඳු පුතු ඇගේ උණුහුමට ගුලි වී නිදයි. දෙවසරක් පුරාවට ඔබ හා දුක සැප බෙදා ගත් ඔවුන් සනසන්නට තුරුළට නොගන්නේ මන්දැයි අසන්නට පැමිණියේ ඔබට කවදත් ආදරය කරනා රසික සහෘදයන්ය. වෙනදා ඔබ ‘මගේ සිත අද තද නින්දේ’ යැයි ගයනා විට විඳීනා ඔවුන් එදා පැමිණියේ ඔබව තද නින්දෙන් ඇහැර වන්නටය. එපමණටම ඔබගේ මියුරු ස්වරය ඔවුන්ගේ හදවත සොරා ගත් බවට සාක්ෂියක් තවත් තිබේදැයි යන්න සැක සහිතය. ‘සතිෂ්ගේ හිත හොඳ වැඩියි’ සමීපතමයකු ඔබගේ ගුණ ගැයුවේ බොරු ශෝභනයට නම් නොවේ. තවකෙක් කීවේ ඔබට කිසිකුගේ සිත රිද්දන්ට නොහැකි බවකි. සංජය, සුබාෂ්, අනුපමා, අනුරාධා යන සොහොයුරු - සොහොයුරියන් අතර තුන්වැන්නා වූ නුඹගේ හදවත රැඳුණු අවිහිංසක බවින් ඔවුන් පුදුමයට පත් විය. එපමණක් නොව මීට මාසයකට ඉහත දී ‘ඔබට තිබෙන්නේ ලියුකේමියා නම් රෝගයයි’ යැයි දොස්තර සිය දෙනෙත් දල්වා කියූ කළ ඔබ පෙන් වූ සංසුන් බව ඔවුන් හද පාරවයි. ඊටත් වඩා ඔබ නැති සොවින් වැළපෙන මෑණියන්ගේ නිහඬ බව අපට පසක් කරන්නේ ඔබට ඇති ආදරය නොවේද? පුරා හතළිස් දෙවසරක් අප හදවතෙහි ජීවමාන වූ නුඹගේ උපන් දිනයට ඇත්තේ හරියටම මසක කාලයකි. ඒ සියලු මතක මං පෙත් හැරදා ඔබ සදහටම අප හැරදා නින්දට ගොසිනි. මම ඔබ දෙසම බලා සිටියෙමි.
‘මගේ සිත අද තද නින්දේ’ මම තිගැස්සී වටපිට බලමි. කියූ ලෙසටම ඔබ තද නින්දෙන් අවදි වන මතුª යම් දිනක් වේද? නැවතත් ඔබ අප පුදුම කරමින් අප අතරම නින්දෙන් අවදි වන්න යැයි මම අයැදීමි. ඒ ඔබගෙන් සමුගන්නට මොහොතකට මත්තෙනි. |