|
නළු - නිළි යුවළක් අත් අඩංගුවටමේ චිත්‍රපට කතාවක් නොවේකප්පම් ඉල්ලා නොලැබුණු නිසා නවක නිළියගේ ගෙල කපා මරලා
එහෙත් මෙතරම් නොමිනිස්කමක් . . .? සංවේදී හදක් හිමි සහෝදර කලාකරුවකු කෙසේ නම් කරන්න ද? විසි හය හැවිරිදි මීනක්ෂි තාපා බොලිවුඩයේ අතරමං වී තටු සිඳගත් අලුත්ම තාරකාවයි. අද ඇය ගැන ඇත්තේ මතකයක් පමණි. 1984 ඔක්තෝබර් 4 වැනිදා රෝස කැකුළක් මෙන් සොඳුරු රුවක් ඇතිව මීනක්ෂි උපන්නාය. ඇය උතුරු ඉන්දියාවේ ඩෙරාදූන් නගරයේ ඉපදුණේ නේපාල සම්භවයකට උරුමකම් කියමිනි. තවත් මනීෂා කොයිරාළ කෙනකු වන්නට මේ පුංචි සමනලිය ද සිහින මවන්නට ඇත. 2011 වසර ඇයගේ නමින්, රුවින්, සාකච්ඡාවලින් පුවත්පත් සඟර පිටු සැරසුණේ නවක තාරකාවක් පිළිබඳ බලාපොරොත්තු රසික සිත්හි දල්වමිනි. ‘404’ සිනමා පටයේ රඟපෑමෙන් ඇය බොලිවුඩයට පා තැබීමට වරම් ලැබුවාය. ‘සහීර්’ ඇයට රඟන්නට ලැබුණු තවත් සිනමා පටයකි. වෘත්තියෙන් නර්තන ශිල්පිනියක වූ ඇය බොලිවුඩ් සිත්තම් පටයක් සැරසීමට අවශ්‍ය සියලු සුදුසුකම්වලින් පරිපූර්ණ වූවාය. මීනක්ෂි වෙළෙඳ දැන්වීම කිහිපයකට ද පෙනී සිටියාය. ‘404’ රංගන වරමත් සමඟ ඇය කියා සිටියේ ‘මං හරිම වාසනාවන්තයි. නවකයකු වශයෙන් මට හොඳ චරිතයක් ලැබී තිබෙනවා. මගේ මාපියන්ටත් හරි සතුටුයි.’ දකින සිනමාව මෙන්ම සැබෑ සිනමාව ද සොඳුරු ඇතැයි සිතූ මේ අහිංසකාව එදා එසේ හදවතින්ම ප්‍රකාශ කළාය. දෙරාදුන්වල සාන්ත ජෝශප් ඇකඩමියේ නැටුම් ගුරුවරියක ලෙස ගෙවූ දිවියට ඇය සමු දී මූම්බායි පැමිණියේ වෘත්තීය නිළියක වීමට ඇති දැඩි කැමැත්ත නිසයි. ඒ වන විට ඇය ගුවන් සේවා පිළිබද ඩිප්ලෝමාවක් ද ලබා සිටියාය. රඟන්නට චරිත සොයා ඇය මෙන්ම බොලිවුඩ් පැමිණි අමිත් සහ ප්‍රීති යුවළ මීනක්ෂිට මුණ ගැසුණේ ‘හෙරොයින්’ දර්ශන තලයේදීය. තමන්ගේම වයසේ පසු වූ ප්‍රීති හා ඇය ඉක්මනින් මිතුරු වූවාය. අමිත්, ප්‍රීති දෙදෙනාම පැමිණ සිටියේ අලහබාද් නුවර සිටයි. විවාහකයකු හා දෙදරු පියකු වූ තිස් හය හැවිරිදි අමිත්, තමන්ට වඩ දස වසරකින් බාල ප්‍රීති හා මිතුරු වී ඇත්තේ බිරියට හොර රහසේය. එහෙත් බිරියට ඇත්ත හෙළි වූ පසු දෙදෙනා පැදුරටත් නොකියා, යුවළගේම එකම සිහිනය වූ සිනමා සිහිනය සැබෑ කර ගැනීමට මූම්බායිහි නවාතැන් ගත්හ. දෙදෙනා හඳුනා ගත් මීනක්ෂි මුදල් උපයා ගත හැකි යන්ත්‍රයක් බව වැටහෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එවැනි සිතුවිල්ලක් ඔවුන් තුළ ඇති කළේ මීනක්ෂිමය.
මේ සර්වපිත්තල ලෝකයේ ඇති දෙයට වඩා නැති දෙය මවා පෑමේ යථාර්ථයක් ඇති නිසා ආධුනික තාරකාවක වූ මීනක්ෂි තමන් එසේ පැවසීම අනුවණකමක් කියා මොහොතකටවත් නොසිතන්නට ඇත. එහෙත් ඇයගේ ගෙල සිඳලන පාරාවළල්ලක් වූයේ එම වදන් පෙළයි. අමිත් ජයිස්වාල් සහ ප්‍රීති සූරීන් මේ රන් කිකිළියගෙන්, රන් බිජු ගැනීමට අපූරු සැලැස්මක් යෙදූහ. මධූර් බන්ධර්කර්ගේ ‘හෙරොයින්’ චිත්‍රපටයේ තිදෙනාම සුළු චරිත රැගූ අතර, දිනක් අමිත් සහ ප්‍රීති මීනක්ෂි පැහැර ගත්හ. ඔවුන් ඇයගේ මවට මීනක්ෂි ලක්ෂ 15 ක්දී නිදහස්කර ගත්තේ නැත්නම් ඇයට මත්පැන් පොවා නිල් චිත්‍රපට රංගනයට යොදන බව දැන් වූවාය. අසරණ මවට සොයා ගත හැකි වූයේ ඉන්දියානු රුපියල් 60,000 ක් (පවුම් 730 ක්) පමණි. ඇය ඒ මුදල ඔවුන් දුන් ගිනුම් අංකයට බැර කළත් දියණිය ගැන කිසිදු ආරංචියක් නොලැබුණි. මවත්, ඇයගේ සොයුරු නව්රාජ් පොලීසියට පැමිණිලි කළේ කළ හැකි කිසිවක් නැති තැනය.
අත් අඩංගුවට ගන්නා විට මීනක්ෂිගේ ජංගම දුරකතනය, ඒ ටී එම් කාඩ් පත පවා තිබී ඇත්තේ සූරීන් ළඟය. මුදල් තණ්හාව වගේම මීනක්ෂි ගැන පුංචි ඊර්ෂ්‍යාවක් ද මොවුන්ට තිබී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. තිරයේ රැජනක වීමට සිහින මවාගෙන බොලිවුඩයට පැමිණෙන පුංචි සමනලියන් ඕනෑ තරම්ය. එහෙත් වැඩි දෙනෙක් සිහින සැබෑ කර නොගෙන එහි අතරමං වෙති. මීනක්ෂි තාපා අතරමං වූවා පමණක් නොව ජීවිතය ද අහිමි කර ගත්තාය. නිළියකගේ චරිතය වටා ගෙතුණු ‘හෙරොයින්’ දර්ශන තලයේදීම තවත් යොවුන් නිළියක පිළිබඳ ඉරණම් කතාව අවාසනාවන්ත ලෙස ලිය වුණු අන්දම පුදුමාකාරය. |