යළිත් හාරලක්ෂය නැරැඹීමි

පසුගිය සිකුරාදා එනම් 16 වැනිදා දිගු කලකට පසු මම කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයට ගියෙමි. එකල අප වැනි දුහුනන්ගේ සිනමාව වැනි කලා මාධ්‍යයන්ගේ පෝෂණය උදෙසා එදවස සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස හැඳීන්වූ එම ශාලාව තෝතැන්නක් විය.

එකල ලොව පරසිඳු සිනමා කෘති පමණක් නොව විවිධ සිංහල චිත්‍රපට පුවත්පත් දර්ශන පවා පැවැත්වූයේ එම ශාලාවේය. මගේ සභාපතිත්වයෙන් යුතුව 1988 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ මෙහෙයවීමෙන් 88 සිනමා කවය අරඹන ලද්දේ ද එමගින් වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරන ලද්දේ ද එහිය.

කෙසේ වෙතත් පසුගියදා මා එහි ගියේ මෙරට සිනමාවේ විශිෂ්ටතම කැමරා ශිල්පීන් අතර කෙනෙකු වන ඇන්ඩෘ ජයමාන්න වෙනුවෙන් පැවැති උපහාර උළෙල සඳහා ය . මේ වනවිට ඇන්ඩෘ මව්බිම අතහැර විදේශ ගත වී අවසන් ය.

ඉතා සංවේදී මිනිසෙකු ලෙස පතළ ඇන්ඩෘ ජයමාන්නයන් මට මුල්වරට මුණ ගැසුණේ මෙයට වසර තිහකට පමණ පෙරාතුව ය. එසමයෙහි ඔහු ඕ.සී.අයි.සී ආයතනයේ සිනමාකරණය පිළිබඳ ඉගැන්වීමෙහි යෙදිණ. මගේ පන්ති මිතුරකු වූ හේමසිරි අබේරත්න එකල එහි සිසුවකු විය. එම පන්තියේ දී තමන් විසින්ම චිත්‍රපටයක් නිර්මාණය කළ යුතු විය.

හේමසිරි තැනූ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ මා ය. හේමසිරිගේ චිත්‍රපට තැනීමත්, මගේ රඟපෑමත් එම චිත්‍රපටයට සීමාවිණ.

මා සිනමා ලේඛනයට පිවිසෙන්නට පෙර ආනන්දයේ අපේ පන්තියේ සිට පත්තරවලට ලිපි ලිව්වේ ද මේ කියන හේමසිරි ය.

එහෙත් හේමසිරිගේ රස්නය වැදී ලියන්නට පටන් ගත් මා දිගටම ලියනු දැක ඔහු එයින් බැහැරව වෙන රස්සාවකට ගියේය. කෙසේ වෙතත් ඇන්ඩෘ අනතුරුව මට මුණ ගැසෙන්නේ රංජිත් කුරුප්පු අධ්‍යක්ෂණය කළ ‘පවන රළු විය’ චිත්‍රපටයේ රූ ගැන්වීමේදීය.

එකල සරසවිය කතුවර ඒ.ඩී.රන්ජිත් කුමාරයන් ඇන්ඩෘ ජයමාන්න සමඟ සාකච්ඡා කොට ලිපියක් ලිවීම මට පැවරුවේය. මා ලියූ ලිපිය ඇන්ඩෘ අය්යාගේ හිතට අල්ලලා ගියේය.

එබැවින් ඒ මිත්‍රත්වය දිගටම පැවතුණි. පසුකලෙක පවා ඇන්ඩෘ අය්යා මුණ ගැසුණු විට ඔහු සිනමාව පිළිබඳ අප නොදත් බොහෝ දෑ කියා දෙන්නට මැළි නොවී ය. මා ඇන්ඩෘ අය්යා යැයි පවසද්දී ඔහු මා ඇමතුවේ මචං යන නාමයෙනි.

ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරාවෙන් රූ ගැන්වුණ හාරලක්ෂෙ චිත්‍රපටය ද ඇන්ඩෘ වෙනුවෙන් පැවැති උපහාර උළෙලේදී තිරගත කෙරිණ.

ඒ තිස්ස නාගොඩවිතානගේ කාරුණික අනුග්‍රහයෙනි. ඇන්ඩෘ හාරලක්ෂෙ නිර්මාණයට තොටවත්තයන් සමඟ එක්වනුයේ විජය චිත්‍රාගාරයේ රැකියාවට සමුදෙමිනි. එතැන් පටන් ටයිටස් සහ ඇන්ඩෘ යනු හොඳ සංයෝගයකි. ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් ‘සාගරිකා’, ‘මංගලා’, ‘මරුවා සමඟ වාසෙ ්’, ‘හඳයා’ වැනි චිත්‍රපට බිහි විය. හිතුවක්කාරයකු ලෙස පතළ ටයි මහත්තයාගේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නට ඇන්ඩෘට කවර තරමේ ඉවසීමක් තිබෙන්නට ඇතිද?

හාරලක්ෂෙ මෙවර මා නැරැඹුවේ තුන් වැනි වතාවට ය. මුල් වරට මා එය නැරැඹුවේ පාසල් යන අවදියේ දී විදුහලේ කුලරත්න ශාලාවේ ය. ඒ වනවිටත් එය මුල්වරට තිරගත වී වසර දහයක් ගෙවී ගොසිනි. එහෙත් එදා ද එයින් පසුව තවත් තිස් වසරක් ගෙවුණ මෙදා ද හාරලක්ෂෙ චිත්‍රපටය නරඹද්දී එහි මා දුටු සාධනීය ලක්ෂණ සියල්ලම පාහේ නොඅඩුව එමෙන්ම කල් ඉකුත් නොවී පැවතිණ.

හාරලක්ෂෙ යනු කලකට ඉහත මෙරට කැලඹූ මංකොල්ලයක් විය. ඒ 1949 වසරේ ය. එකල ලක්ෂ 4ක් යනු අද මිලෙන් නම් කෝටි දහයක ආසන්න වත්කමක් විය යුතුය.

මේ කියන දවස්වල බත් පිඟානක් රුපියලකට වඩා වැඩි නොවූ වග වැඩිහිටියෝ පවසති. මංකොල්ලයක යෙදුණ පිරිස ගේ එකී සැලසුම අද සැලකුවද හොඳ මොළ කාර වැඩක් බැව් කියනු වටී. එහෙත් මොන තරම් මොළ කාර වැඩක් වුවද අපරාධයක් නම් කිසිවිටෙකත් සඟවනු නොහැක යන න්‍යාය මෙහිදී ද වලංගු විය. එබැවින් එයින් වැඩි දවසක් යන්නට මත්තෙන් සියල්ල හෙළිවුණා පමණක් නොව එයට දායක වූ කිහිප දෙනෙකුට එල්ලුම් ගස් යන්නට ද සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ දී මංකොල්ලය වුවද එය රට වටා පතළ වූයේ හාරලක්ෂේ මංකොල්ලය හැටියටය. කෙසේ වෙතත් ටයිටස් තොටවත්තයන් මේ චිත්‍රපටය නිර්මාණය කරනුයේ 1971 වසරේ ය. ඒ වනවිට හාරලක්ෂෙ මංකොල්ලය සිදු වී වසර විසි දෙකකි. එමෙන්ම ඒ වනවිට මෙරට තුරඟ තරග පැවැත්වීම නීතියෙන් තහනම් වී වසර පහළොවකට ආසන්නය.

ඒ අනුව එම චිත්‍රපටය මුළුමනින්ම අතීතය ගොඩ නංවන්නක් විය. මෙවර චිත්‍රපටය නරඹද්දී එහි මුල් දර්ශන පෙළ අහිමි වි තිබුණ ද එහි අලුතෙන් චිත්‍රපටය නරඹන්නෙකුට ගැටලුවක් වන්නේ නැත. හාරලක්ෂෙ චිත්‍රපටය ඇරැඹෙනුයේ එයට පෙර සිදු වූ වයිට් හවුස් මංකොල්ලය නම් තවත් මුදල් මංකොල්ලයත් සමඟ ය.

මේ මංකොල්ලයේදී සුදු ජාතිකයෙකු මිය ගිය ද මංකොල්ලකරුවන් අතට මුදල් පත් නොවේ. ඔවුන් මුදල් යැයි සිතා රැගෙන යන්නේ ඇපල් මල්ලකි.

කෙසේ වෙතත් එයින් පසු එම මංකොල්ලය කළ දාමරිකයන් පිරිස පොලිස් රැහැනට හසුවන අතර ඔවුන් මුදා ගැනීමේ වගකීම ඥාතියකු වූ සෙනෙවිරත්න ලබා ගන්නේ ඒ අනුව ය. හාරලක්ෂෙ මංකොල්ලය නිර්මාණය වනුයේ ඒ අනුව ය.

හාරලක්ෂෙ ඇරැඹෙනුයේ කිසිවකු විසින් තම දරුවන් අරභයා ලියන ලියුමක් සමඟ ය. එය පාපොච්චාරණයකි.

මේ පාපොච්චාරණයත් සමඟ කිසියම් කෙනෙකු එල්ලා මැරීමට ගෙන යයි. ඔහුගේ සගයා නියමිත දවස එනතුරු බලා සිටියි.

මේ පාපොච්චාරණය ගෙන එනුයේ ඔහු ය. කැමරාව සිර මැදිරි මතුයෙහි සිට එහි ඇති දැල් කවුළු ඇසුරු කරමින් ඉහළින් ගමන් කොට අනුක්‍රමයෙන් බිමට එනුයේ එහි සිටින මිනිසුන් අසුවන පරිද්දෙනි. මේ චිත්‍රපටය පුරා සමකාලීන බොහෝ චිත්‍රපටවල එන අධිනාටකීය රංගනයන් නැත. එහි එබඳු දේට ඉඩ නැත. ඉතා සූක්ෂම ආකාරයෙන් ඔවුහු සිය මංකොල්ලය සැලසුම් කරති. මේ මිනිසුන්ගේ ඉච්ඡා භංගත්වය සහ ජීවිත හරහා වැටී ඇති අඳුරු ඉරණම අපට පසක් වේ .

ඔවුන් නොඅනුමානවම මිනීමරුවන් ය. එහෙත් මුල් ජවනිකා පෙළ සමඟ ඔවුන්ගේ ඉරණම පිළිබඳ කිසියම් කණගාටුවක් අපට එයි.

එය ඔවුන් විසින් ජෝන් සිල්වා නම් රියැදුරු මරා දමද්දී ඇතිවන ශෝකයට පරිබාහිර එකකි. මට ක්‍රිස්ටොෆ් කිසලොව්ස්කිගේ ‘ෂොර්ට් ෆිල්ම් එබවුට් කිලිංග්’ සිහිපත් වෙයි.

එහි මිනිමරුවා මෙන්ම මරණයට ලක්වන තරුණයා කෙරෙහි ද එක හා සමාන අනුකම්පාවක් ලබාදීමට සිනමාකරු සමත් වෙයි.

හාරලක්ෂෙ තනනුයේ කිසලොව්ස්කිගේ චිත්‍රපටයට වසර විස්සකටත් පෙර ය. ඇන්ඩෘ ජයමාන්නයන් මා සමඟ වරක් පැවසූ කරුණක් මට සිහිපත් වේ. සිනමාවේ උදාහරණ දෙන්න ලෝකයේ වෙන රටවලින් චිත්‍රපට ගන්න ඕන නෑ. අපේ චිත්‍රපටවලින් ම පුළුවන්.

හාරලක්ෂෙ චිත්‍රපටයට නියමිත තිරනාටකයක් තිබුණේ නැතැයි ප්‍රසිද්ධ කරුණකි. පේළි පහළොවකින් පමණක් ඇති සටහන තබා ගෙන ඇත්තේ ද ඇන්ඩෘ ජයමාන්න විසින්ම ය.

අපේ රටේ බොහෝ තිරනාටක රචනා වනුයේ චිත්‍රපට තනන්නට ඇවැසි නිසාම නොවේ. ඒවා වැඩි හරියක් සල්ලි ඇති මෝඩ ව්‍යාපාරිකයකු රවටන රස ඇමක් පමණී. තිරනාටකයක් අවබෝධ කර ගත හැක්කේ මා දන්නා තරමින් සිනමාව දන්නා කෙනෙකුට පමණී.

එහෙත් තිරනාටකයක් යනු සිනමාවේ අත්‍යවශ්‍ය අංගයකි යන මතය එයින් බිඳ නොවැටෙයි. එහෙත් හාරලක්ෂෙ තනන්නට විධිමත් තිරනාටකයක් නොවී ය.

එය එහෙත් බැලූ බැල්මට විශිෂ්ට තිර නාටකයක පදනම එහි තිබෙයි. එහි අනිත් ලකුණු නම් කැමරා කරණයයි.

කැමරාකරණය සහ කලා අධ්‍යක්ෂණය එහි එකිනෙක මනා සබඳතාවයක් ගොඩනඟා ඇත්තේය. තිරනාටකයක් නැති ව වුවද පිරිසිදු සිනමාව ඉස්මතු කරනුයේ සංස්කරණ රීතිය මගිනි.

ජොන් සිල්වා මරා දමද්දී ඇසෙන්නේ තුන් සරණය කියමින් යන වන්දනා නඩයකි. මේ වන්දනා නඩයේ ගුරා මේ දෙයියන්නේ අඩවියේ කාටවත් ආන්තරාවක් නැති බව පවසයි. එහෙත් එයට පෙර ජෝන් සිල්වාට ගෑස් මුහුණ දමා ඔහු මරණයට කැප කර අවසන් ය. මංකොල්ල කා පලා යන කාරය සමඟ ගැටෙන කරත්තය ද එහි විසි වී ගොස් වැටී කරකැවෙන රෝද අතරින් පලා යන රථයේ දර්ශන පෙළ ද අපේ සිනමාවේ වඩාත් මතක සිටින රූප පද්ධතියක් අපට සිහිපත් කරයි.

හාරලක්ෂෙ මෙයට වසර ගණනාවකට පෙර චිත්‍රපට සංස්ථාව මගින් මෙරට බිහි වූ හොඳම චිත්‍රපට දහය තෝරද්දී එයට ඇතුළත් වූයේය. එය නිපද වූ සුගතදාස මාරසිංහ ද අධ්‍යක්ෂණය කළ ටයිටස් තොටවත්තයන් ද අද ජීවතුන් අතර නැත.

එහි අති විශිෂ්ට ලෙස චරිත නිරූපණය කළ නළුවන්ගෙන් රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , බුද්ධි වික්‍රම ඇතුළු දෙතුන් දෙනෙකු හැර අන් සියල්ලෝම පරලෝ සැපත් ව ඇත. හාරලක්ෂෙ මංකොල්ලය සිදුවූ සමයේ ජීවත්වූවන් සියල්ලන්ටම හැට පැනලා ය.

අපි චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට පැමිණියෙමු . ඒ වනවිට මද වැස්ස හෙමි හෙමිහිට වැඩිවෙමින් පැවතිණ. එය නොතකා පාරට බට අපට චිත්‍රපටය රූ ගැන්වීමේදී පමණක් නොව එමෙන්ම එකී සත්‍ය කතාවට ද පසුබිම් වූ තුරඟ තරග පිටියේ උත්තුංග ගොඩනැඟිලි මෙන්ම කුරුඳුවත්ත පොලිස් ගොඩනැඟිල්ල ද අතීතය අනාගතයට පවසමින් බලා සිටින සැටි පෙනිණ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු