ඔබ නැතිව ඔබ එක්ක

ප්‍රසන්න විතානගේ ගේ සත්වැනි සිනමා කෘතිය

සෙල්වි, ඇය වැඩි ආරක්ෂාවට මව්පියන් විසින් කැඳවාගෙන එනුයේ වතුකරයටය. සරත්සිරි ඇයට හමුවනුයේ එහිදීය. මේ හමුවීම අනපේක්ෂිත සිදුවීම් මාලාවක ආරම්භයයි.

‘ඔබ නැතිව ඔබ එක්ක’ එය අපූරු නමකි. එය ප්‍රසන්න විතානගේ ගේ සත්වැනි සිනමා කෘතියයි. හැටන්, දික්ඔය, බගවන්තලාව ඇතුළු ප්‍රදේශයන්හී මසක් තුළදී රූගත කිරීම් හමාර කළ මෙය සිංහල සහ දමිළ බසින් නිර්මාණය වන ද්වි භාෂිත චිත්‍රපටයකි.

‘ඔබ නැතිව ඔබ එක්ක’ සඳහා පාදක වී තිබෙන්නේ පියදෝර් දොස්තොව්ස්කිගේ ‘ද මීක් වන්’ කෙටි කතාවයි. සෙල්වි ජීවත් වූයේ යුද පරිසරයකය. වැඩි ආරක්ෂාව තකා මව්පියන් ඇයව වතුකරයක නවත්වනු ලබයි. එහිදී ඇයට සරත්සිරි නම් සිංහල පුද්ගලයකු සමීප වෙයි. ඔහුට සහ ඇයට සිදු වන්නේ අනපේක්ෂිත සිදවීම් පෙළකි. මෙහි සෙල්වි හැටියට රඟපාන්නේ ඉන්දීය නිළි අංජලී පටිල්ය. ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්‍රපට ගණනාවක චරිත මැවූ ඇය සිංහල සිනමාවට කුලුඳුලෙ එක් වන්නේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ සමඟිනි.

වේදිකා නාට්‍ය රැසක සිය රංගන හැකියාව ඔප් නැං වූ ෂ්‍යාම් ප්‍රනාන්දු සරත්සිරිගේ චරිතය මවනු ඇත.

වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් සෙසු රංගන ශිල්පීන් වේ.

‘ඔබ නැතිව ඔබ එක්ක’ රූගත කිරීම සඳහා භාවිත කර ඇත්තේ ලෝකයේ නවීනතම තාක්ෂණයෙන් යුතු ‘අල්ට්‍රා ප්‍රයිම්’ කාච යෙදූ කැමරාවකි. එමෙන්ම ප්‍රසන්න විතානගේ වැඩිම වියදමක් දරා නිපයූ චිත්‍රපටය ද මෙය වන්නේය.

‘ඔබ නැතිව ඔබ එක්ක’ හී කාර්මික ශිල්පීන් වන්නේ කැමරාකරණය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාලගෙනි. දමින්ද ඩී. මඩවල පෙර නිර්මාණවලදී සේම මෙවර ද ප්‍රසන්නගේ සහය අධ්‍යක්ෂවරයාය.

ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශගේ පුතුන් වන කල්ප ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරෝ මෙහි රේඛීය නිෂ්පාදකවරුන්ය. විධායක නිෂ්පාදනයෙන් ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා සහ නදීරා ඇඩම් අලී එක් වෙයි. රොබ් නෙවිස් කලා අධ්‍යක්ෂවරයාය. ඊබට් විජේසිංහ මෙහි වේෂ නිරූපණ ශිල්පියාය. ඉන්දීය - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසින් කලඑළියට එන ‘ඔබ නැතිව ඔබ එක්ක’ හි නිෂ්පාදකවරුන් වන්නේ ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලි, රාහුල් රෝයි සහ එච්. ඩී. ප්‍රේමසිරියි.

ලබන සතියේ සිට චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු ඉන්දියාවේදී ඇරැඹීමට නියමිත අතර එහිදී සංස්කරණයෙන් ශ්‍රිකර් ප්‍රසාද් ද, ශබ්ද පරිපාලනයෙන් තපස් නායක් ද දායක වනු ඇත. තපස් නායක් රාවන්, පා ඇතුළු බොලිවුඩ් චිත්‍රපට බොහොමයක ශබ්ද පරිපාලකවරයාය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු