වේදිකාවෙන් පුළුල් ලොවට
‘එම්.සෆීර්’
නාට්‍ය කලාවේ නියැලෙන්නන්ට නම් මේ නම නුහුරු නුපුරුදු නමක් නොවේ. කලින් කලට ඔහු
විවිධ දේ නාට්‍ය කලාවට විදහා පායි. මීට පෙර අප ඔහු පිළිබඳ කතාබහ කළේ බ්ලැක් බොක්ස්
තියටර් සංකල්පය හරහායි.
ලෝකයට බ්ලැක් බොක්ස් තියටර් සංකල්පය පැරැණි අදහසක් වුව ද ලංකාවට එකල එම සංකල්පය
පැමිණියේ වසර 60 ක පමණ කාලයකින් පසුවයි. ඒ සෆීර් නම් සිතැත්තාගේ යුරෝපා සංචාරයේදී
ලැබුණු අත්දැකීමකි. කෙසේ වුව ද නැවතත් ඔහු අප අතරට පැමිණ සිටියි. ඒ තවත් අපූරු
කටයුත්තකට උර දෙමිනි.
* ‘මොකක්ද මේ අලුත්ම කටයුත්ත?’
අපි ඔහුගෙන් විමසුවෙමු.
‘ලංකාවේ කරන පළමු ජාත්‍යන්තර නාට්‍ය උළෙල ආරම්භ කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ
මේ මාසයේ 26 වැනිදා. ‘Colombo International Theatre
Festival - 2012’ යන නමින්
නම් කර තිබෙන මේ නාට්‍ය උළෙල සවස 3.30 ට ආරම්භ කිරීමට අප අදහස් කරනවා. 26 වැනිදා
ආරම්භ වෙන නාට්‍ය උළෙල පුරා සතියක් ඒ කියන්නේ අප්‍රේල් මාසයේ 02 වැනිදා දක්වා කොළඹ
බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වෙනවා”.
මෙවර ඒ සොඳුරුතමයා රැගෙන එන්නේ ජාත්‍යන්තරයම නියෝජනය කරනා නාට්‍ය උළෙලකි. ලෝකයේ
බොහෝ රටවල පැවැත්වෙන ජාත්‍යන්තර නාට්‍ය උළෙලයන්ට අපේ නාට්‍යකරුවන් සහභාගි වුව ද අපේ
රටටත් එවැනි උළෙලක් තැබීමේ සිහිනයක්ව පැවැතුණු යුගයක් ද විය. ඒ යුගය නිමා කරමින් ඒ
අපූරු සිහිනය සැබෑ වන ලකුණු පහළ වී ඇති බවක් පෙනේ.
* ඇත්තටම මේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණ පිළිසිඳුණේ කොහොමද?
‘මම බොහෝ රටවල සංචාරය කළ කෙනෙක් වගේම ඒ රටවලදී නාට්‍ය පිළිබඳ සැලකිලිමත් වුණු
කෙනෙක්.ඒ වගේම ජාත්‍යන්තර නාට්‍ය උළෙලයන් නියෝජනය කිරීමට වාසනාව ලද්දෙක්. මේ
උළෙලයන්ට සහභාගි වෙද්දී ලාංකිකයෙක් විදියට අපේ රටටත් මෙවැනි උළෙලක අවශ්‍යතාවය දැඩිව
දැනුණු කාරණයක්.
කාලයක් මේ කාරණය අපට හීනයක් වුණු බව ඇත්තයි. මගේ වගේම පොදුවේ අපේ
නාට්‍යකරුවන්ගේම හීනයක් වුණු ජාත්‍යන්තර නාට්‍ය උළෙලක අඩුව පිරවීමට මට මැදිහත් විය
හැක්කේ කොහොමද කියලා මා කල්පනා කළා. ඒ අවශ්‍ය පසුබිම සෙමෙන් සෙමෙන් ගොඩ නඟා ගත්තා.
මට ලැබුණු සංචාරයන්, නාට්‍ය උළෙලයන්ට සහභාගිවීම් ඔස්සේ සම්බන්ධතා ජාලයන් නිර්මාණය
කර ගැනීමට මට හැකියාව ලැබුණා.
ඒ ජාලයේ සවි ශක්තිය තර වුණු සැනින්ම අපේ රටෙත්
ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් තිබිය යුතු කාලය මේකයි කියන තීරණයකට මට පැමිණීමේ හැකියාව
හිමි වුණා. ඒ අනුවයි මගේ අදහස මෙලෙස ක්‍රියාවට නඟන්න හැකියාව ලැබෙන්නේ.
කාලයක් යුද්ධය නිසා බැට කෑ අපි ඉන් මිදී සිටින මෙවන් කාලයක් ජාත්‍යන්තර නාට්‍ය
උළෙලකට සුදුසුම කාලයයි. අනෙක් කාරණය වෙන්නේ මෙවන් ජාත්‍යන්තර නාට්‍ය උළෙලකින් රටෙහි
සංස්කෘතියේ පිබිදීම කොයි තරම් ද කියන කාරණය ජාත්‍යන්තරයට පෙන්වීමට තිබෙන හොඳම
අවස්ථාවත් මේකයි. මෙවන් උළෙලක් ඔස්සේ අන්න ඒ කියන කාරණයත් ඔප් නැංවෙනවා.
රටක
සංවර්ධනය මනින එක් මිනුම් දණ්ඩක් වන්නේ රටක පවතින සමාජ සංස්කෘතික වාතාවරණයයි. ඒ
වාතාවරණය කුමක් ද යන්න ප්‍රශ්න කරන්නෙකුට ලැබෙන අපූරු පිළිතුරක් ලෙස මා මේ නාට්‍ය
උළෙල දකින්න කැමැතියි.’
* අනෙකුත් රටවල තිබෙන්නා වූ ජාත්‍යන්තර නාට්‍ය උළෙලයන් හා අපේ රටේ තිබෙනා
ජාත්‍යන්තර නාට්‍ය උළෙලට සහභාගි වන්නේ කවුරුන්ද යන වග?
‘අපේ රටට ආසන්නයේ තිබෙන ඉන්දියාවෙත් ජාත්‍යන්තර නාට්‍ය උළෙලයන් කිහිපයක් තිබෙනවා.
පාකිස්ථානයේ, නේපාලයේ, බංගලා දේශයේත් කියන මේ රටවල් ඇතුළු බොහොමයක් රටවල ජාත්‍යන්තර
නාට්‍ය උළෙල පැවැත්වෙන බව රහසක් නොවෙයි. මුලින්ම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් තියමුයි
කියන මතයේ පිහිටා සිටියත් මේක බරපතළ අභියෝගාත්මක වැඩක් බව වැටහෙන්න වුණා.
මේ වනවිට
ඒ අභියෝගය ජය ගන්න හැකියාව ලැබුණේ තනිවම නොවෙයි. ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කර
ගැනීමට තවත් බොහෝ දෙනෙක් උදව් වුණා. මුලින්ම ජාත්‍යන්තර නාට්‍ය උළෙලට රටවල්වලින්
නාට්‍ය ගෙන්වා ගත යුතුයි. ඒ පියවර සාර්ථක වෙමින් නාට්‍ය 28 ක් 30 ක් පමණ පිළිබඳ
විස්තර අපට ගලාගෙන ආවා. මේ සියලු නාට්‍ය නිරීක්ෂණය කිරීමෙන් පස්සේ නාට්‍ය 8 ක් තෝරා
ගත්තා.
ඒ අනුව ජර්මන්, ඉරාන, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය, ඉන්දියාව හා
ලංකාව යන රටවල් හතේ කණ්ඩායම් 10 ක් මෙම උළෙලට ඉදිරිපත් වෙනවා. ඉන්දියාවෙන් නාට්‍ය 2
ක් හා ලංකාවේ නාට්‍ය 2 ක් ඉදිරිපත් වෙන අතරම සියලුම නාට්‍ය දහයක් ඒ සතියෙහි වේදිකා
ගත වෙනවා.
මෙම උළෙල සංවිධානය වී තිබෙන්නේ ප්‍රධාන කොටස් තුනක් යටතේයි. ප්‍රධාන
නාට්‍ය දර්ශන පැවැත්වීමට අමතරව උළෙලට සමගාමීව විදේශීය නාට්‍යකරුවන් සම්බන්ධ කරගෙන
කරනා වැඩමුළු, සම්මන්ත්‍රණ හා දේශන මාලාවක් පැවැත්වීම මෙහි වන විශේෂත්වයක්.
ඊට
අමතරව නාට්‍ය කලාව වෙනුවෙන් කැපවුණු නාට්‍යකරුවන් 08 දෙනෙකුට උපහාර හා සම්මාන
ප්‍රධානය කිරීමත් උළෙලෙහිම එක් කොටසක් ලෙස ගැනෙනවා. එදින දවසේ ප්‍රධාන ආරාධිත
අමුත්තා වෙන්නේ උපහාර හා සම්මාන ලබන නාට්‍යකරුවායි. මේ විදියටයි දින සියල්ල
සංවිධානය වී තිබෙන්නේ.’
* ජාත්‍යන්තර නාට්‍ය උළෙලෙන් ලාංකික ප්‍රේක්ෂකයන්ට හා නාට්‍යකරුවන්ට හිමිවන
ප්‍රතිලාභ මොනවාද?
‘ලාංකික නාට්‍ය ප්‍රේක්ෂකයන්ට මෙන්ම නාට්‍යකරුවන්ටත් මෙය අලුත් අත්දැකීමක් වේවි.
රටක කේන්ද්‍රීය දැනුම වෙනස්වීම, පොදු ප්‍රේක්ෂකයන්ට රටකට ගිහින් බැලිය යුතු බොහෝ
නාට්‍ය රට තුළදීම දැක ගත හැකි වීම ප්‍රතිලාභ කිහිපයක් පමණයි. මෙම නාට්‍ය උළෙලේදී
වර්තමානය වනවිට ප්‍රදර්ශනය වන නාට්‍ය වර්ග කිහිපයක් මෙහිදී දැක බලා ගත හැකියි.
ආබාධිත හා ආබාධිත නොවන අය සමඟ නර්තනය භාවිත කරමින් කරනා නිර්මාණයන්, තත්කාලීන
නාට්‍ය වැඩමුළු, කතන්දර කීමේ නාට්‍ය වැඩමුළු, කුඩා මෙවලම් භාවිත කරමින් කරනු ලබනා
නාට්‍ය කලාව, සහභාගීත්ව රංග කලාව, රංගනය සඳහා රංගාලෝකය, ශාස්ත්‍රිය කටයුත්තක් සඳහා
රංග කලාව භාවිත කිරීම, ශ්‍රව්‍ය නාට්‍ය පිළිබඳ වැඩමුළුවක්, ළමා හා යොවුන් නාට්‍ය
පිළිබඳ වැඩමුළුවක්, ලංකාවේ නර්තන රංග කලාව, මෙහිදී ඇති අභියෝග හා අර්බුද ආදී විශාල
පරාසයක් මේ ජාත්‍යන්තර උළෙලින් සම්පූර්ණ වෙනවා.
මෙහිදී දැනුම හුවමාරුවීමක් වගේම
දැනුම වර්ධනය වීමත්, නව නාට්‍ය ප්‍රවණතාවයන් දැකබලා ගැනීමට ලැබීමත් ඒකාකාරී බවින්
කොටුවුණු නාට්‍ය කලාවක් වෙනුවට වෙනස්ම නාට්‍ය කලාවකට ඉඩහසර වෙන් වේවි.’
* මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල සාර්ථක කර ගැනීමට උදව් වූ පිරිස පිළිබඳ සිහිපත් කළොත්?
මේ වෙනතුර ැත් උළෙල සඳහා මූල්‍ය අනුග්‍රාහකයෙක් නැහැ. මේ උළෙලේ කටයුතු මේ තරමින්වත්
සාර්ථක කර ගැනීමට උදව් වූ විශාල පිරිසක් මේ පිටුපස ඉන්නවා. ජර්මන් සංස්කෘතික
මධ්‍යස්ථානය, ඉන්දුනීසියානු තානාපති කාර්යාලය, කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල,
ලේක්හවුස් ආයතනය, සිරස මාධ්‍ය ජාලය, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය, සංස්කෘතික හා කලා
කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජන කරළිය, ඇතුළු ඔවුන් සියලු
දෙනාටම ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.
ඒ වගේම මේ කටයුත්ත සඳහා අතිගරු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාද අපට ලැබුණු බවත් විශේෂයෙන්ම කිව
යුතුයි. ජනාධිපතිතුමා මුණ ගැසීම සඳහා අපට සහාය වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ කලා හා
සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක මහතා සිහිපත් කරන්නේ ආදරයෙන්.
- තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න
|