අම්මලාගේ ස්ටාර් උන්මාදය සහ දරුවන්ගේ අවසානය
ළමා රියැලිටි වැඩසටහන් ගැන අපක්ෂපාතී විමර්ෂණයක්
‘තාත්තෙ සින්දු සීඩී එකක් අරන් එන්න’
නිවෙසින් එළියට බසිද්දී දෝණි කළේ පැහැර හැරිය නොහැකි ඉල්ලීමකි. කාර්යාලයේ කෑම
විවේකයේදී එකවරම දියණියගේ ආදරණීය ඉල්ලීම සිහි වූ කල්හි මම ගීත තැටියක් සොයන අටියෙන්
වීදි බැස්සෙමි. නා නා විධ වෙළෙඳ උපකරණ අලෙවිසල් ජංගම වෙළෙඳසල්, පලතුරු, එළවළු
වෙළෙඳසල් පසු කොට මා වීදි පුරා ළමා ගී තැටියක් සොයමින් අවසන පැමිණියේ පිටකොටුවේ ද
කෙළවරටය. එතැන සී. ඩී. ලෝකයකි. කතා කර සී ඩී විකුණන තරමේ තරගයක් පවතින එතැනට වී මම
බොහෝ වේලා බලා උන්නෙමි.
ජංගම වෙළෙන්ඳන්ගේ ඇවිදින ටී. වී බොහොමයක පාහේ දරුවෙක් නටමින් ගයයි.
‘මඩේ ළඟින තාරාවන් නාවන්නද මං’
ඈ හරිම අපූරුවට ගයයි. නමුත් මේ දරුවා ගයන්නේ මොනවාදැයි සිඟිත්තිය නොදන්නා වග ඇගේ
මුහුණෙන් පෙනේ.
‘චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං’
ඈ සිනාසෙමින් අසයි. හයක් හතරක් නොදන්නා මේ දරුවා ගයන හැම ගීතයක්ම වැඩිමහලු ගායක
ගායිකාවන් වෙනුවෙන් ලියූ ඒවාය.
මේ දරුවා මෙතැනට ඇද දැම්මේ කවුරුන්ද? අප මේ කතාන්දරය හරහා ප්‍රශ්න කළ යුත්තේ එයයි.
අපේ රටේ රූපවාහිනිය අරඹා ගත වූ කාලය තුළ අඩු වැඩි වශයෙන් සමාජ පද්ධතියට ලැබුණු හොඳ
සහ නරක දේ අපමණය. කාලයෙන් කාලයට විවිධ මාතෘකා පදනම් කර ගනිමින් පෝෂණය වූ රූපවාහිනී
කලාවේ මෑත කාලයේ ව්‍යාපාරික ඉලක්කය වූයේ රියැලිටි වැඩසටහන්ය. ගායන වැඩසටහන් හරහා
ඇවිලී ගිය එය ප්‍රේමවන්තයන්, ප්‍රේමවන්තියන් තෝරන වැඩසටහන දක්වා දිව ගියේය.
රාත්‍රී රූපවාහිනී පේ‍්‍රක්ෂකාගාරය වන පවුල ඉදිරියේ නළු නිළියන් ගායක ගායිකාවන්
මෙන්ම මෝස්තර නිරූපිකාවන් අමු අමුවේ අඩ නිරුවත් කළ මේ රියැලිටිකාරයෝ තමන්ගේ ඊළඟ
ඉලක්කය බවට පත්කර ගත්තේ හයක් හතරක් නොදන්නා කුඩා දරුවන්ය.
Little Miss Sun Shine
නම් චිත්‍රපටය මේ මොහොතේ මට සිහි වෙයි.
රියැලිටියේ උන්මාදනීය මධු පැනින් මත් වූ දෙමාපියෝ රියැලිටිවලෆැන්ටසියට වහ වැටී
උන්හ. ඒ නිසාම තාමගේ දරුවා එස්. එම්. එස්. වීරයකු වනු දැකීමට බොහෝ දෙමාපියන් මැවුවේ
ලොකු හීන මාළිගාවකි. ඒ බොළඳ හීනය මනාවට තේරුම් ගත් රූපවාහිනී කාක්කෝ ලොව දකින්නට
විකසිත වන දරුවන් වෙනුවෙන් තරග සංවිධානය කළෝය.
හරි හැටි බහ තෝරා ගන්නටවත් බැරි දරුවන් උදෑසන සිට පෝලිම් ගැසෙමින් අම්මලාගේ ස්ටාර්
උන්මාදය වෙනුවෙන් දහ දුක් වින්දෝය.
‘අම්මේ මම වෙරළු ගෙඩියක් කන්නද?’
ඇසූ දරුවාට අම්මා උත්තර දුන්නේ ‘එපා ළමයෝ උගුර බැරැන්ඩි වුණොත් අපරාදෙ’ කියමිනි.
දස දහස් ගණන් දරුවෝ පාසල් කාලය පාඩු කර ගනිමින්, අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින්
ස්ටාර් මාමලාගේ උන්මාදනීය හීනය යථාර්ථයක් කරන්නට කැප වූහ.
මේ දරුවෝ තරගයට කීවේ ප්‍රේම ගීත ය. නැටුවේ ප්‍රේම ජවනිකා ය. ඇන්දේ සරාගී හින්දි,
ඉංග්‍රීසි නිළියන්ගේ නළුවන්ගේ ඇඳුම් පැළඳුම්ය. තනිකරම හීන රියැලිටිලන්තයක ජීවත් වූ
මේ දරුවෝ ගමන් බිමන් රටාව ද වෙනස් කළේ අම්මලාගේ පෙරැත්ත මත ය. මයික්‍රෆෝනය උස්සා
ගන්නට නොහැකි දරුවා පෙම් ගී ගයමින් නටන හැටි දෙමාපියෝ අත්පුඩි තලමින් බලා උන්හ.
විශාරදලා, සංගීත් නිපුන්, ප්‍රවීණ නර්තන ආචාර්යලා මුදලට වහල්ව සිඟිත්තන්ගේ නැටුම්
රැගුම් වර්ණනා කළහ.
ඔවුන් අත්පුඩි තලන්නේ, වර්ණනා කරන්නේ වැළලෙමින් යන මේ දරුවන්ගේ අනාගතයට බව ඔවුන්
දන්නා මුත් මුදලට ඒ ප්‍රඥාව, අවබෝධය වැසී ගොසිණි.
විදුලි එළි දිගේ දිවා රෑ නොබලා ස්ටාර් කිරුළට පොර බැදූ දරුවන්ගෙන් පොත ගිලිහී ඒ
වෙනුවට පුස් අභිමානයේ අං තට්ටුව පැළඳුණේය. මේ වැඩසටහන් හරහා වැහිරුණු අනවශ්‍ය
තරගකාරීත්වය දරුවන්ගේ සිත තුළට ක්‍රෝධය, වෛරය කුඩාකලම එන්නත් කළෝය.
‘සඳලී ට වඩා ඔයා හොඳට සින්දුව කිව්වා. එයාලගෙ අම්ම සල්ලි දීලා තමයි සඳලීව දෙවෙනි
වටේට යැව්වේ. අපි එයාට හොඳ වැඩක් කරමු.’
තරගයෙන් පසු බැසගත් දරුවකුට අම්මා කීවේ එසේය. එදා කාගේ දරුවකු වුවද හොඳ දෙයක්
කළහොත් ඇගැයීමට ලක් කළ මවුවත් ගුණය සහ පිය සෙනෙහස මේ වැඩසටහන්වල නැත්තටම නැති කළේය.
රියැලිටි උන්මාදයෙන් ඔද වැඩී ගිය සියල්ලෝම වල්ගය ගිනි තබා ගත් හනුමා මෙන් රියැලිටි
උන්මාදය රට පුරා පැතිර වූයේය.
පාසල්වල දරුවන්ට පිළිගැනීමේ උත්සව තැබුවේය. මල් මාලා ලා දරුවන් පිළිගත්තේය. නමුත්
මේ දරුවන්ගේ කඩාකප්පල් වූ අධ්‍යාපනය වෙනුවෙන් කිසිවෙක් කතා නොකළේය.
කෙසේ හෝ රියැලිටි නිමා වී ලක්ෂ ගණනකින් දෙදෙනකු හො තිදෙනකු ස්ටාර් කිරුළ පැළඳුවේ
ඉතිරි අනු නව දහස් දෙනාගේ පැතුම් සුන් කරමිනි. ජංගම දුරකතන ජාල හා රූපවාහිනී නාලිකා
ප්‍රකෝටිපතියන් කරමින් තරගය නිමාවී කලක් ගතවන තෙක්ම දරුවන්ට නින්ද නොගියේ මේ පැතුම
බිඳීම නිසාම ය.
මලකට පොල්ලෙන් ගැසුවා මෙන් දරුවෝ ගොළු වූහ.
‘මං ආයෙ සින්දු කියන්නෙ නෑ’
ස්ටාර් තරගයකදී නොව ගෙදර කණ්ණාඩිය ඉදිරියේවත් ගී නොගයන පරදි දරුවෝ නිහඬ වූහ.
‘ටිකිරි ටිකිරි ටිකිරි ලියා’
ගැයූ දරුවා ‘පෙම්වතා මං ඔයාගේ’ කියන්නට පටන් ගත්තේය. උන්මාදනීය හීන අතරේ දරුවා නළු
නිළියන්ගේ සංකර විලාසිතා අනුකරණයට හුරු වූයේ තමා ගැහැනියක යන හැඟීම පෙරදැරි කොට
ගනිමිනි.
පරාද වූ දරුවන් මෙසේ මානසිකව පීඩා විඳිද්දී ඔවුන්ගේ දෙමාපියන් ණය බරෙන් නිදහස් වීමට
මං සෙවූහ. දරුවාට වැඩ පොතක් ගන්නට නොහැකිව උන් දෙමාපියෝ එස්. එම්. එස්. පොරයට ලක්ෂ
ගණන් පොලියට ගත්තේ කඳු පාමුල හිඳ ඉර ඇල්ලීමටය.
දැන් ණයෙන් මිරිකී සිටින මේ දෙමාපියන් දරුවන්ට රට හුණු කූරක් අරන් දෙන්නටවත් සල්ලි
නැත. කොටසක් එසේ විඳවද්දී ස්ටාර් දරුවෝ වේදිකාවට නැංගෝය. මහ මිනිසුන් මෙන් වේදිකාවල
ගී ගයන මේ දරුවෝ වේදිකාව පිටුපස මචං ලෙවල් එකට වැටුණෝය. ප්‍රවීණ ගායකයෝ දස දහසට
ගයද්දී විසි දහසට ගයන මේ දරුවෝ තමන් පිළිබඳ මවා ගත්තේ නොතේරෙන අභිමානයකි.
වේදිකාව පිටුපස ලිස්ට් පොරයට සෘජුව මැදිහත් වන මේ දරුවෝ කට කියවමින් මහ මුත්තන් සේ
හැසිරෙමින්, නිදි වරමින් කාලය ගත කළෝය. උදේට පාසලට යාමට වඩා මේ දරුවන්ට වුවමනා වූයේ
රාත්‍රියට ප්‍රසංගවලට යාමටය. චක්කරයට වඩා ඔවුන් පාඩම් කළේ ප්‍රසංගවලට ලැබෙන මුදල්
සූත්‍රයයි. මේ දරුවන්ගේ කර පිටින් දිගු ගමනක් යාමට සැලසුම් කළ දෙමාපියෝ දරුවන්
ඉස්සර කර ගනිමින් තමන්ගේ අරමුණ කරා ගියහ.
ප්‍රේම ගීත, හින්දි ගීත ගයමින් මේ දරුවෝ් වේදිකාව මත ගයනවාට වඩා කෑ ගැසූහ. ඒ කෑ
ගැසීමට සිනාසෙන මිනිසුන් තමාට හිනා වෙන්නේ දස්කම් නිසා යයි මේ දරුවෝ සිතූහ. ඒ නිසාම
දරුවා තව තවත් තමා ගැන අධි තක්සේරුවක් මවා ගනී. කවදාක හෝ මේ දරුවන්ට සිදු වන්නේ
පිළිමය කර තබාගත් බූරුවාට සිදු වූ දේ බව ඔවුනට වැටහීමක් නැත.
මේ එක් පැත්තකි. අද ළමා ගීතයක් ඇසෙන්නේ ඉතා කලාතුරකිනි. අද ඇසෙන්නේ ළමයින් ගයන
වැඩිහිටියන්ගේ ගීත ය. ඊට හේතුවක් තිබේ. මේ වැඩසටහන් හරහා ළමා ගීත ගැයුවහොත් ඒ වටා
රොක් වන්නේ, ඊට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන් පමණි. බුද්ධිමතුන් මේ එස්. එම්.
එස්. උගුල ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දුර දිග සිතා බලමිනි. ඒ නිසා පේ‍්‍රක්ෂකාගාරයට
අවශ්‍ය වන්නේ ඕනෑම දෙයක් වැළඳ ගන්නා මෝඩ රැළකි. මෝඩ රැළක් ප්‍රේක්ෂකාගාරයට කැඳවා
ගැනීමට නම් ලබා දිය යුත්තේ කසළ ගොඩකි. මේ රූපවාහිනිකරුවන්ගේ ඉලක්ක ගත ප්‍රතිපත්තිය
ද වන්නේ මෝඩ රැළකි. ඔවුන් ඒ නිසා මෙම වැඩසටහන් සඳහා දරුවන් ලවා ගයන්නේ පෙම් ගීතය.
දරුවකු ළමා ගීතයක් ගැයීම සාමාන්‍යය ය. දරුවකු ටිකිරි ලියා ගයමින් නැටීම සාමාන්‍යය
ය.
නමුත් දරුවකු සිරි යහනේ වැතිරීම ගැන ගැයීම අසාමාන්‍යයය. ඌරන්ට අවශ්‍ය වන්නේ අසූචි
මිස කිරි නොවේ.
දරුවන් මෙසේ විවිධ දෙයින් පීඩා විඳිද්දී රූපවාහිනීවල අයිතිකරුවෝ මෙන්ම දුරකතන ජාල
ප්‍රධානීන් සැප ලබමින් සිනහ සෙමින් තවත් සල්ලි හොයන ක්‍රම ගැන සැලසුම් ඇහිඳීති.
ළමයින් ලවා ළමා ගීත ගයනවා වෙනුවට වැඩිහිටියන් මෙන් අන්දවා වැඩිහිටි ගීත ගයන
ප්‍රධානීන්ගේ දරුවන් මෙම වැඩසටහන් සඳහා සහභාගී වන්නේ නැත. මේ උගුලට අසු වන්නේ
තුත්තිරි ගසේත් එල්ලී ජීවිතය බේරා ගැනීමට වෙර දරන, කොයි ක්‍රමයෙන් හෝ ගොඩ යන්නට බලා
හිටින අපේ සාමාන්‍ය ජනතාව ය.
දරුවන් ස්ටාර්ලා කළ යුතුය.
නමුත් දරුවන් කළ යුත්තේ එඩියුකේෂන් ස්ටාර්ලා මිස පුස් එස්. එම්. එස්. ස්ටාර්ලා නොවන
බව දෙමාපියන් තේරුම් ගත යුතුය. මේ දරුවන් ස්ටාර්ලා බවට පත්වන්නේ තමාගේ දෙමාපියන්
විසින් යවන ලද එස්. එම්. එස්. පණිවුඩයෙනි. නමුත් ඔවුන් සිතා සිටින්නේ තමා දක්ෂයකු
බවය. මේ වැරැදි අවබෝධය දරුවන්ගේ ජීවිතාන්තය දක්වා පවතිනු ඇත.
චතුර ගීතනාත් බණ්ඩාර
|