සරසවිය සවිය ඇරැඹේ

සරසවිය සවිය ව්‍යාපෘතිය පිළිබඳ ලේක්හවුස් ආයතනයේ ගරු සභාපති කළමණාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මැතිතුමන් අදහස් දක්වමින්.

අසරණ වූ සහ දැනට හුදකලාව ජීවිතයේ සැඳැ කල ගෙවන කලාකරුවන්ට ශක්තියක් වීම වෙනුවෙන් ‘සරසවිය සවිය’ නමින් වැඩ පිළිවෙලක් ඇරැඹීම පසුගියදා ලේක්හවුස් ආයතනයේදී සිදු කෙරිණි.

ලේක්හවුස් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ පූර්ණ අනුශාසකත්වය යටතේ ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවති මෙම මුල් රැස්වීමට ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, ප්‍රධාන පරිපාලක නිලධාරී රෝහණ ආරියරත්න යන මහත්ම මහත්මීන් ද ආයතනය වෙනුවෙන් සහභාගි විය.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය අදහස් දක්වමින්.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, ජනාධිපති උපදේශක ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, රොහාන් ජයකොඩි, ආචාර්ය ක්‍රිෂාන්ත හෙට්ටිආරච්චි, ආචාර්ය ජයන්ත අතාවුද, ග්‍රේෂන් වීරසිංහ, තනුජා රාජපක්ෂ, රුවන් ජයසිංහ ඇතුළු ආරාධිතයන් මේ සඳහා පැමිණසිටියහ.

මෙරට කලාකරුවන් වියපත් වීම සමඟ ඇතිවන විවිධ දුෂ්කරතා හඳුනාගෙන ඒ වෙනුවෙන් පිළියම් යෙදීමේ තීරණ රැසක් මෙහිදී ගනු ලැබිණ.


කුරුමිට්ටෙක් ඇවිල්ලා 30 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

ඒ. ඒ. ජුනයිදීන්ගේ ‘කුරුමිට්ටෙක් ඇවිල්ලා’ සිනමාපටය මෙම මස 30 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ.

ක්ලීටස් මෙන්ඩිස්, රිචාඩ් වීරක්කොඩි, වීණා ජයකොඩි, නුවන්ගි ලියනගේ, චන්ද්‍රිකා පෙරේරා, රාජසිංහ ලෝලුවාගොඩ, සුමිත් සුරංග, සුදාකර් සමඟ විනෝත්, තිෂූණ පෙරේරා, චතුර එස්. කාන් ළමා චරිත මවන මෙහි කැමරාකරණය ඩැනී ඩබ්ලිව්. පතිරණගෙනි.

එම්. එස්. අලිමාන්ගේ සංස්කරණයකි. ප්‍රියන්ත ඊෂ්වර අංග රචනා ශිල්පියාය. කීර්ති රුවන් ලාල්සන්ගේ කලා අධ්‍යක්ෂණයකි. චන්දන එදිරිසිංහ සහය අධ්‍යක්ෂවරයාය.

එම්. කේ. සුදාකර් නිෂ්පාදන කළමනාකරු වේ. ගී පදමාලා චන්ද්‍රදාස ප්‍රනාන්දුගෙනි. ගීත සඳහා සංගීතය සරත් වික්‍රම ද, පසුබිම් සංගීතයෙන් ෆසාල් එම්. ජින්නා එක්ව තිබේ. ගායනය නදීමා සංජීවනීගෙන්ය.

නිෂ්පාදනය, කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය ඒ. ඒ. ජුනයිදීන් විසිනි. කුරුමිට්ටෙක් ඇවිල්ලා ඔහුගේ පස්වැනි සිනමා සිතුවම වන අතර ජුනයිදීන් මීට ප්‍රථම නාග කන්‍යා, සඳනි, සුපර් ස්ටාර්, සොමි බෝයිස් චිත්‍රපට අධ්‍යක්ෂණය කොට තිබේ.


කැමරාවෙන් හරඹ පෑ පතාක යෝධයෝ එකට හමුවී

සිනමා ක්ෂේත්‍රයේ කැමරාවෙන් හරඹ පෑ පතාක යෝධයින් තිදෙනෙක් එකට හමු වූ විරල අවස්ථාවක් තෙවැනි ඇසෙහි සටහන් වූයේ මෙපරිද්දෙනි. රූපයෙන් අමරණීය සිනමාපටයක් තනා සුවහසක් ප්‍රේක්ෂකයන් පින වූ මෙම අපූර්ව කැමරා අධ්‍යක්ෂවරුන් තිදෙනා හමු වූයේ ඡායාරූපයේ මැද සිටින ඇන්ඩෘ ජයමාන්නට උපහාර පිදුණුදාය. රූපයේ ඔහුට දකුණු පසින් සිටිනුයේ ඔහුගේ පෙර පරම්පරාව නියෝජය කළ වී. වාමදේවන්ය. වම් පසින් සිටිනුයේ ඇන්ඩෘගේ පසු පරම්පරාව නියෝජනය කළ සුමින්ද වීරසිංයන්ය.


දන්ත කුමරු චරිතයට මංජුල

සිරිදළදා ගමනයේ දන්ත කුමරුගේ චරිතය නිරූපණයට භාර දෙමින් ඊ. ඒ. පී. සමාගම අලුත් තරුවක් හඳුන්වා දෙයි.

ඒ හේෂාන් මංජුලය. මිට ප්‍රථම චැලෙන්ජස්, රන්කෙවිට II සිනමාපට සඳහා රංගනයෙන් දායක වී ඇති හේෂාන් මෝස්තර නිරූපණ ශිල්පියකි.


ඩොනල්ඩ් ජයන්තට තවත් චිත්‍රපට තුනක්

වර්තමාන ක්ෂේත්‍රයේ සිටින කාර්යය බහුලම සහය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්තට තවත් චිත්‍රපට තුනකට ආරාධනා ලැබිලා. ඒ සදේශ් කුමාරගේ මායා, උදයකාන්ත වර්ණසූරියගේ සාජන්ට් පුණ්‍යසේන සහ සනත් අබේසේකරගේ මහරජ අජාසත්ත.

මායා හී රූගත කිරීම් මෙම මස 25 වැනිදා ආරම්භ වන බව සැලයි. ඒ වගේම අනෙක් චිත්‍රපට ද්විත්වයෙහි වැඩ කටයුතු ළඟදීම ආරම්භ වීමට නියමිතය. මහ රජ අජාසත්ත ජනිත මාරසිංහ නිෂ්පාදනය කරයි.


Spiritual Journey පුවත්පත් කලාවේ දී රොඩ්නිගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන Spiritual Journey සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා රත්නපුරයේදී පැවැත්විණ.

මැග්නෝලියා චිත්‍රපට ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයෙන් විමල් අලහකෝන්, රෙබේකා නිර්මලී, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ඉෂාර වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් එකතුවීමට නියමිතය. කැමරා අධ්‍යක්ෂණය චමින්ද දිසානායකගෙනි.

ඡායාරූපයෙන් දැක් වෙනුයේ එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සාම්ප්‍රදායනුකූලව පොල් තෙල් පහන් සිළ දැල් වූ ආකාරයයි.

Spiritual Journey පුවත්පත් කලාවේ දී රොඩ්නිගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි.


නොමිලේ මාධ්‍ය වැඩමුළුවක්

බ්‍රිටිෂ් මීඩියා ඇකඩමි මගින් නොමිලයේ සංවිධානය කරනු ලබන මාධ්‍ය සම්මන්ත්‍රණයක් මෙම මස 24 වනදා දවස පුරා නිට්ටඹුව රණ තිසර හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් කලාව, නිවේදන කලාව, අලෙවි ප්‍රවේශය ආදී විෂයන් පිළිබඳ දැනුවත් කෙරෙන මෙය සඳහා දේශකවරුන් ලෙස ධර්ම ශ්‍රී කාරියවසම්, සුධර්මන් රදළියගොඩ, වසන්ත දුක්ගන්නාරාළ, සනත් විමලසිරි, කුල ශ්‍රී කාරිවසම් යන අය දායක වීමට නියමිතය.

0718079747 / 0773455373 දුරකතන අංකවලින් වැඩි විස්තර ලබාගත හැකි අතර මාධ්‍ය පිළිබඳ ඇල්මක් දක්වන කොයි කාටත් මීට සහභාගී වීමට අවස්ථාව ඇත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු