මට ඇත්තේ ඊර්ෂ්‍යාවක්ද පසුතැවීක්ද

උපේක්ෂා සරසවිය හරහා ඔබේ ළබැඳි සොහොයුරියක වී අවසානයි. ඔබේ හදවතේ උපන් වේදනාවේ කළු වළාවට ඇගේ අදහස් රිදී රේඛාවක් වූ බව නොඅනුමානය.ඒ ආදරණීය උපේක්ෂා අදත් මේ සූදානම් වන්නේ ඔබේ දුක බෙදා හදා ගන්න, ඔබ වෙනුවෙන් කතා කරන්න.

මම පුංචි කාලේ ඉඳන්ම අධ්‍යාපනයට දක්ෂ කෙනෙක්. ඒ නිසාම මගේ මව්පියන් මං ගැන ලොකු බලාපොරොත්තුවලින් හිත් පුරවාගෙන ඉන්නේ. මම දෙවරක්ම ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. ඒත් ඒ දෙපාරෙම මම සමත් වුණේ විෂයන් දෙකක් පමණයි. මට විභාගය සඳහා ඉදිරිපත් වීමට තව තියෙන්නේ එක අවස්ථාවක් පමණයි. මේ පාරවත් විභාගය සමත් වෙන්න බැරි වුණොත් මම කොහොමද මගේ මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ? අනේ මට හරිම බයයි අක්කේ. මේවා මතක් වෙන කොට මට හිත හදාගෙන පාඩම් කරන්න බෑ.

ඉසුරු තරින්ද – යාපහුව

තරින්ද උත්සාහය අත් නොහැර විභාගයට පෙනී සිටින්න අදහස් කරපු එක ගොඩාක් හොඳයි. ඔයා මල්ලි බය වෙලා තේරුමක් නෑ. බය වීම නිසා ඔයාගේ ප්‍රශ්නෙ තව වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නෑ. ඔයාට විභාගය ගැන තිබෙන අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන ඉතිරි වෙලා තියෙන කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. බාහිර බලපෑම් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරන්න එපා. හිත සැහැල්ලුවෙන් තබාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න. මල්ලි දවසෙන් යම් කාලයක් අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන ලෙස විනෝදාංශයක් සඳහාත් වෙන් කර ගන්න.


මගේ පුතා විවාහ වුණේ ප්‍රේම සබඳතාවකින්. ලේලිත් මටත් මගේ බිරිඳටත් සලකන්නේ ඇගේම මව්පියන්ට වගේ. ඒත් මගේ බිරිඳට ඇය කරන කියන හැම දේම වැරැදියි. ඇයට ලේලියව දුවක් විදිහට දකින්නම බෑ. මම ඇයගේ හිත හදන්නේ කොහොමද?

නිමල් රත්නසේකර – හොරොව්පතාන

මට හිතෙන විදිහට අම්මලා එහෙම හැසිරෙන්නේ ලේලිට තිබෙන අකැමැත්ත නිසාම නෙවෙයි. පුතාට අම්මාගේ තියෙන අසීමිත ආදරය තමයි නිමල් මහත්තයාගේ ගැටලුවට හේතුව. ඔබ පුළුවන් හැම වෙලාවේදීම ලේලියගේ හොඳ ගතිගුණ ගැන නිතරම කියන්න. කාලයත් සමඟ අම්මාගේයි ලේලිගෙයි ගැටලුව විසඳේවි.


දුවේ, මම තනිවුණු වයසක අත්තම්මා කෙනෙක්. මම ඉන්නේ පුංචි අතු පැළක. දවාලට කන්න ගෙනාපු බත් එක ඔතලා තිබුණේ දුවගේ මේ ලිපිය තියෙන පත්තර පිටුවේ. රටට වැඩදායී දරුවෝ බිහි කරලා තනිවුණ මම වගේ මව්පියන්ගේ හිත හැදෙන්න දෙයක් කියන්න මගේ දුවේ. ඔයාට ජාති ජාතිත් පිං සිද්ධ වේවි.

එමලිං සොපිනෝනා - සූරියවැව

මට අත්තම්මා ගැන කණගාටුයි. ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. පිනට දහමට හිත යොමු කරන්න අත්තම්මේ. එතකොට අත්තම්මාගේ හිතේ තියෙන පාළුව, තනිකම ඉබේම නැති වේවි.


මම මීට මාස හයකට පමණ පෙර පොළොන්නරුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ මගේ යටතේ සේවකයන් හත් අට දෙනෙක්ම වැඩ කළා. ඒත් නොයෙකුත් හේතු නිසා මගේ ව්‍යාපාරය බංකොළොත් වුණා. දැන් මම වෙනත් ප්‍රදේශයක පොළේ එළවළු බිස්නස් කරනවා. එදා මගේ ගෝලයෙකුත් මම වෙළඳාම් කරන පොළ ඉස්සරහ සරු සිල්ලර කඩයක් කරගෙන යනවා. සතිපතා ඔහු මුණ ගැසීම මගේ හිතට වධයක්. මගේ හිතේ තියෙන්නේ ඊර්ෂ්‍යාවක් ද? එහෙමත් නැත්නම් පසුතැවීමක් ද කියලා ඇත්තටම මට තේරෙන්නේ නෑ.

නම සඳහන් නොකළ

පාඨකයෙක්

මට ඔබ ගැන ඇත්තටම කණගාටුයි. තවත් කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එක ලොකු දෙයක්. ඔබට පුළුවන්නම් ඔහුගේ සාර්ථකත්වයේ හේතුව දැනගන්න.


මගේ වයස අවුරුදු 47 යි. ඒත් තවම මම අවිවාහකයි. දැන් මට වයස අවුරුදු 50 ක පුද්ගලයෙකුගෙන් විවාහ යෝජනාවක් ඇවිත් තියෙනවා. මමත් ඔහුට කැමතියි. ඒත් සමාජය අපිට හිනා වේවි කියලා මට තියෙන බය නිසා මම තවම ඔහුට මගේ කැමැත්ත ප්‍රකාශ කළේ නෑ.

ශ්‍රියානි – බදුල්ල

ඔබේ දුකේදී සැපේදී ඔබ ගැන සමාජයේ කවුරුවත්ම හොයලා බලන්නේ නෑ නේද? ඔහුගේ ගතිගුණ හොඳ නම් ඔබ ඔහුව සමාජයට බියෙන් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නෑ.

සමාජයට ටික කලකින් කතා කරන්න මාතෘකාවක් ලැබුණු ගමන් ඔබගේ විවාහය ඔවුන්ට අමතක වේවි. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.


මම වයස අවුරුදු 24 ක තරුණියක්. මම අපේ පවුලේ එකම දරුවා. ඒ නිසාම පුංචි කාලේ ඉඳන් මම හැදුණේ වැඩුණේ දැඩි ආරක්ෂාව මැද. මම රැකියාවක් කරනවාට මව්පියන් කැමැති නෑ. ඒත් මගේ වයසේ අනෙක් තරුණියන් රැකියාවන් කරනවා දකින කොට මට ගොඩාක් දුකයි අක්කේ.

නදීකා - රත්ගම

අපි කිසිම දෙයක් අනුන් කියන නිසාම හෝ කරන නිසාම නොකළ යුතුයි නංගෝ. දෙයක් අපි කළ යුත්තේ ඒ සඳහා අපිට කැමැත්ත වගේම හැකියාවත් තියෙනවා නම් පමණයි.

ඔයා ඔයාගේ කැමැත්ත පිළිබඳ මව්පියෝ සමඟ පැහැදිලිව, ඉවසීමෙන් සහ බොහෝම විනීතව සාකච්ඡා කරන්න. තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන අධ්‍යාපන මට්ටමට ගැළපෙන රැකියාවක් කළාට නම් කමක් නෑ ඇත්තටම.


අක්කේ මම පිළිකා රෝගියෙක්. මම දැනට ප්‍රතිකාර ලබනවා. ඒත් මගේ රෝගය සුව වේවි කියලා නම් මම දන්නේ නෑ. මට මං ගැන නම් පොඩ්ඩක්වත් දුක නෑ. මට දුක මං ගැන හිතලා මගේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි දුක් වෙන එකයි. අනේ මම කොහොමද එයාලගේ හිතේ තියෙන දුක නැති කරන්නේ.

සුගන්ධි චතුරිකා - කොළොන්නාව

ඔයාගේ හිත ශක්තිමත් කර ගන්න ඕනෑ නංගියේ මුලින්ම. ඔයාගෙ හිත ශක්තිමත් වුණ තරමට තමයි ඔයාට රෝගය පරාජය කර ගන්න හැකි වෙන්නේ. ඔයා සතුටින් ඉන්න නංගෝ. ඔයා සතුටින් ඉන්න කොට ඔයාගේ පවුලේ අයගේ හිතේ තියෙන දුකත් යන්තම් හෝ තුනී වේවී සුගන්ධි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු