රස සොඳුරු ගී පැතිරේ

තරු මිහිර අතරේ

ආදරණීය රසිකයන්ට ජූඩ්ගෙන් ගී වැස්සක්

අද බලාපොරොත්තු සපිරුණු දිනයකි. මේ බලාපොරොත්තුවේ දිනය අපේ සරසවිය පාඨකයන් පස් දෙනෙකුට ජීවිතයේ ආදරණීයම දිනය වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් අතරින් මේ පින්වන්ත වාසනාව ලැබුවේ තමාගේ ජිවිතයේ ආදරණීයම තරුව සමඟ පැය කිහිපයක් ගත කරන්නටය.

මේ තරුව ද ඉතාමත් වාසනාවන්තයෙකි. ප්‍රේක්ෂක සහෘදයන්ගේ අපරිමිත ස්නේහයෙන් භක්තිමත් වූ මේ සහෘදයා, නිතර සිනහවෙන් මුව මෙන්ම, සතුටින් හිත ද පුරවා ගත්තෙකි.

අපි ඒ තරුවට ‘ඇන්ටන් ජූඩ්’ යන නම දෙමු.

අයිශ් අම්මා ගුණ්ඩු, ජූඩ්ගේ හඬ සර්පිනාවේ නදට මුසු වෙයි.

කොළඹට නුදුරු රාගම සිට පැමිණි අයිලින් සෝවිස්, සුන්දර කඳු මිටියාවතේ සීතල බෙලිහුල්ඔය සිට පැමිණි කමල් ලසන්ත, පන්නිපිටිය සිට පැමිණි එන්. පී. ඩී. සමරනායක, කොට්ටාව සිට පැමිණි කුසුම් සෙනෙවිරත්න, මීගමුවේ සිට පැමිණි සුදත් නිශාන්ත මේ තරු සිහිල විඳින්නට පැමිණියේ බලාපොරොත්තු දහසකින් සිත පුරවා ගනිමිනි.

සරසවිය ඡායාරූපාගාරයට එක් වූ පාඨක මිතුරෝ තරුව පැමිණෙන තෙක් උන්නේ නොඉවසිල්ලෙනි.

තවත් සුළු වේලාවකින් ඇඟිලි ගනිමින් සිටි පාඨක අපේ මිතුරන් දුටුවේ සරසවිය ඡායාරූපාගාරයේ දොර විවෘත වීමයි. නමුත් දොරෙන් ඇතුළට එනු දක්නට ලැබුණේ සුපුරුදු මුහුණ නොව සර්පිනාවකි. අනතුරුව පාඨක අපේක්ෂා මුදුන්පත් කරමින් සුපුරුදු රුව දිස් වූයේ අප සැමගේ මුහුණේ ජයග්‍රාහී සිනා රැල්ලක් නංවමිනි.

ඇන්ටන් ජුඩ් අද තරු මිහිරට මිහිරිමත් මතකයක් ගෙන එනු ඇතැයි අප කාගේත් සිතිවිල්ල විය.

සර්පිනාව රැගෙන ලේක්හවුස් පඩි පෙළ නැඟුන නිසාදෝ කිසියම් තෙහෙට්ටු ගතියක් පෙනෙන්නට තිබුණත් ඔහු පැවැසූ වේලාවටම පැමිණීම කාගේත් පැසසුමට ලක් විය.

මේ සොඳුරු මිනිසාගේ පැමිණීමෙන් කුල්මත් වූ රසික පිරිස ඔහු වට කර ගනිමින් විවිධ ප්‍රශ්න යොමු කිරිමට පටන් ගත්තෝය.

ප්‍රථමයෙන්ම කුසුම් සෙනෙවිරත්න රැගෙන ආ වතුර බෝතලයම හිස් කිරීමට අපේ කතානායකයාට ගත වූයේ සුළු නිමේෂයකි. ආගිය කතාවලට පසුව පළමු පැනය යොමු වූයේ කමල්ගෙනි.

අයියේ ඔය සර්පිනාවට එහා පැත්තේ මොනවද ලොකු බෑග් එකක් තියෙන්නේ?

ආ . . . මල්ලි ඒ ඔයාලට දෙන්න පොඩි තෑග්ගක්.

ජූඩ් අයියා බෑගය ඔතා පසෙක තැබුවේ සිනාසෙමිනි.

මෙතෙක් වේලා ඇන්ටන් ජූඩ්ගෙන් විවිධ වූ කලා හැකියාවන් ගැන තොරතෝංචියක් නැතිව කියවමින් සිටි අයිලින් සෝවිස්ගෙන් ඊළඟ පැනය යොමු වූයේ කතබහ අතරය.

සබඳ පබිලිස් ටෙලි නාට්‍යයේ උණ පුරුකේ ගීතය ගැන යමක් කියන්නකෝ.

‘සබඳ පබිලිස්’ ටෙලි නාට්‍යය කොටස් 19 කට රූගත කරලා තිබුණේ. ඔය ගීතය ඇත්තටම මට වාසනාව ගෙනාවා. ඔය ගීතය රචනා වුණේ අපේ කෘතහස්ත රංගන ශිල්පී ජෝ අබේවික්‍රමයන් අතින්. මම වාසනාවන්තයි ඒ වගේ උත්තමයෙකුගේ ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන.

ඔබ වේදිකාවෙන් ද,, ටෙලි නාට්‍යයෙන් ද නැතිනම් සිනමාවෙන් ද කරළියට ආවේ? ඒ සමරනායකගේ පැනයයි.

‘මගේ මුල්ම කලා ආගමනය වේදිකාව හරහා. හැබැයි රූපණයෙන් නෙමේ. විවිධ නිෂ්පාදන කටයුතුවලින්. පසුකාලීනව තමයි රංගනයට පිවිසුණේ. වේදිකාව කියන්නේ රූපණ ශිල්පියෙකුගේ හැකියාව දිනෙන් දින ඔප මට්ටම් කරගත හැකි තැනක්.

එතකොට වේදිකාවට පැමිණි ඔබ ඇයි ඒ කාලේම ජනප්‍රිය නොවුණේ? ඒ සුදත් නිශාන්තයි.

‘මෙහෙමයි, වේදිකාවේ පරිණත අත්දැකීම් ලබා ගත්තාට පසුව සෑම දෙයකින්ම සන්නද්ධ වෙලා සිටීම තමයි වැදගත්. මම ක්ෂේත්‍රයට පැමිණ වසර විස්සකට විතර පසුවයි ජනප්‍රියත්වය කියන දේ ලැබුණේ.

එතකොට නව පරපුර කමල් විමසයි.

‘මල්ලි නව පරපුරේ බොහෝ දක්ෂ අය සිටිනවා. නමුත් බහුතරයක් මිරිඟුවක් වගේ ජනප්‍රියත්වය පිටුපස ගිහින් රසිකයන්ගේ මනසින් සදාකාලිකවම සමු ගන්නවා. හැබැයි ඔය අතර ක්‍රමානුකූලව රංගනය හදාරලා ක්ෂේත්‍රයේ නමක් රැන්දූ නවක තරුත් සිටිනවා.

අයියේ මේ රටට රංගන පාසල් අවශ්‍යයි නේද? නැවතත් පැනය කමල්ගෙන්.

මෙහෙමයි මල්ලි, දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතනවල නාට්‍ය හා රංග කලාව විෂයක් හැටියට උගන්වනවනේ. රංග පාසල් අවශ්‍යයි වගේම ප්‍රායෝගිකව එහි නිරතවීමත් වැදගත්.

මම නම් කියන්නේ සහජ හැකියාව තමා වැදගත් කියලා. ඒ එක් කිරීම අයිලින්ගෙනි.

ඔව්, ඒකත් වැදගත්.

මොහොතක් මේ දෙස බලා සිටි සමරනායක යෝජනාවක් කළේය.

‘අපි දැන් සිංදුවක් කියමු.’

එකහෙලාම කැමැත්ත පල කළ ජූඩ් සර්පිනාව අතට ගෙන තාලයට වැයුවේය. වයන අතර මෙසේ කීවේය.

‘මට මේ ගීතය ලැබුණේ අහම්බෙන්. සිළුමිණ පත්තරේ පුන්කළසේ පළ වුණ ගීතයක්. ගීතය ලියලා තියෙන්නේ අරලගංවිල රෝහලේ වෛද්‍ය බණ්ඩාර සෙනෙවිරත්නයන්. මගේ අලුත්ම සී. ඩී. එකේ මේ ගීතය තියෙනවා කියූ ජූඩ් ‘සෙඳ් ඇබින්දක් ඔහොම ඉඳින්’ ගීතයෙන් ගැයුම ආරම්භ කළේය. අනතුරුව රිද්මය වැඩි කළ ජූඩ් ගීත කිහිපයක්ම ගැයුවේය.

මේ ගී ගයන අතරතුර බෙලිහුල්ඔය කමල් හා කොට්ටාවේ කුසුම් මනරම් රැගුම් කිහිපයක් ඉදිරිපත් කළේ අප කර්තෘ මණ්ඩලයේ මෙන්ම පැමිණ සිටි සියලු දෙනාගේ සිත් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි.

මේ ගී සාජ්ජය යන අතරතුරේදී හැමදාමත් ‘තරු මිහිරේ’ තෑගි අනුග්‍රාහකයා වන ලක් සළුසල මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී රෝමා රෝෂි පැමිණියාය. ඇයත් මේ ගායනයට අත්වැල් ඇල්ලීය. සභාවම සහෘද මණ්ඩපයක් වී තිබුණි.

ගායනය මඳකට නතර කළ මේ සොඳුරු මිනිසා තමා රැගෙන ආ අනෙක් බෑගය විවෘත කර පැමිණි සෑම දෙනාටම ‘සඳේ ඇබින්දක්’ සී. ඩී. තැටිය තමාගේ අත්සනින් යුතුව ලබා දුන්නේ ඔහුට ආදරය කරන්නන්ගේ මොහොත අමරණීය කරමිනි.

තරු මිහිරට සැබෑම මිහිරක් ගෙනෙමින් තවත් ගීත කිහිපයක් ගැයීම ආරම්භ කළ ජූඩ් හා සැවොම නර්තනයට හා ගායනයට එක් විය.

සර්පිනාවේ යතුරු පුවරු මත රිද්මයට ඇඟිලි යවමින් නියම ස්වර ස්ථානයන් හි පිහිටා ගී ගැයීමේ උපන් හැකියාවක් ඇති මේ කලා තරුව අප පාඨකයන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රස මිහිරක් එක් කළේය.

ගී ගැයීමෙන් පසු රෝමා රෝෂි ලක්සළු සල වෙතින් රැගෙන ආ තෑගි වවුචර සියල්ල ඇන්ටන් ජූඩ් වෙත භාර දුන්නාය.

පසුව ඇන්ටන් අප පාඨක හිතවතුන්ට මේ වවුචර ලබා දුන්නේ හද පතුලෙන් නැගෙන සුභාශිංසන ද එකතු කරමිනි.

සැබෑ නිර්ව්‍යාජ කලාකරුවකු සමඟ හෝරා කිහිපයක් ගත කළ අප පාඨකයන් පස් දෙනාට නම් කාල වේලාව ඉක්මවා යන බව හැඟෙන්නේවත් නැත. ඔවුන්ගේ අදහස නම් තවත් හෝරා කිහිපයක් මේ සොඳුරු මිනිසා හා රැඳෙන්නටය.

මේ සියල්ල අතරතුරදී ආගිය කතා, හාස්‍ය කතා මෙන්ම දුක් කතා ද සමඟින් කාලය වේගයෙන් ගලා ගිය නිසාම තරු මිහිර මෙතෙක් ගෙනා මිහිරිම හමුවට සමු දෙන්න කාලය එළඹියේය.

සියල්ලෝම උනුන් වැළඳ ගනිමින් සුබ පැතූ අතර අවසානයේ ඇන්ටන් ජූඩ්ගේ මියුරු හින්දි ගීතයකින් රමණීය තරු හමුවක නිමාව සිදු විය.

ජූඩ්ගෙන් තෑගි - සුදත් අයලීන්, කමල්, කුසුම්,

සමරනායක යමක් විමසයි.

ජූඩ්ගේ ගැයුමට කුසුම්, කමල් මනහර රැගුමක.

ලක් සළු සල ආයතනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී රෝමා රෝෂිගෙන් ජූඩ්ටත් තෑගි.

ජූඩ් සමරු සටහන් තබයි.

අවස්ථාව තවත් රසවත් කරමින් ජූඩ් කේක් කැපූ මොහොත.

සතුටු සිනා මැද කතාබහ රස සාගරයක් වුණා

රසිකයන්ගේ අත්පොලසන් නද.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු