ටී වී ටී දහ අට සමරමින් කඳුළු පිරෙන පිංකමක්

පුංචි ළමෝ පන්සිල් ගනිමින්

ගමකින් සොයා ගත් ‘පිකාසෝ’

අප කොළඹින් පිටත් වෙන කොට පාන්දර පහට විතර ඇති. නවය වෙද්දී අනුරාධපුර නොච්චියාගම පසු කළා.තව පැයකින් විතර අපිට එතනට යන්න පුළුවන් වේවි.රවීන්ද්‍ර ගුරුගේ පැවසුවා. ඔහු සිටියේ ඉදිරි අසුනේය.

රවීන්ද්‍ර ගුරුගේ ටී. වී. ටී. (ද වීඩියෝ ටීම්) ආයතනයේ සභාපතිවරයා. 1994 දී ඔහු සහ පරාක්‍රම නිරිඇල්ල, සුනිල් ජයන්ත නවරත්න යන තුන්කට්ටුව විසින් ඇරැඹි එයට දැන් වසර දහ අටකි. මෙවර එහි සංවත්සරය වෙනස් ආකාරයකට සැමරීමට ටී. වී. ටී. ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඇතුළු කොල්ලො කෙල්ලො ටික සූදානම් වෙලා. මා යන්නෙත් ඒ ගමනටයි.

රවීන්ද්‍ර ගුරුගේ

කඳුරුපිටිය ඉස්කෝලෙ තව දුරද දන්නේ නෑ?

අතරමගදී හමු වූ යුද හමුදා නිලධාරියකුගෙන් රවී විමසීමක් කළා.

තව මීටර් සීයක් විතර යද්දී වම් අත පැත්තට ඇති පාරක්. ඒක දිගේ දිගටම යන්න.

යුද හමුදා මූලස්ථානය, රනෝරාව. ඔහුට එහා පැත්තේ තිබූ පුවරුවේ එහෙම සඳහන් වෙලා.

මේ රනෝරාව. දැන් ඉස්කෝලෙට කිට්ටුයි.

රියදුරු තැන එහෙම කිව්වා.

පාසලට යන මාවත යැයි අනුමාන කළ තැනින් අප හැරෙව්වා. ඒක පාළු පාරක්. පෙනෙන තෙක් මානයක මිනිස් වාසස්ථානයක් පෙනෙන්නට නැහැ. තාර පොදක් නොමැති එහි ඇවිස්සුනු දූලිවලා ඇවිත් වාහනයේ ඉදිරි වීදුරුවේ ඇලුනා.

පාරෙහි සීමාව වෙන් කළ දෙපස තිබුණු ගස් කොළං අහස දෙස බලා සිටියේ වැස්ස අයදිමින් යාතිකාවක් කරන්නට සැරසෙන්නාක් මෙන්. කාලෙකින් වැහි පොදක් නොවැටී ඇති බවට ඉරි තැළුනු වැව් පතුළත් අපිට සාක්ෂි සැපයුවා.

අතරමඟදී අලිමංකඩවල් කිහිපයක් ද දුටුවා. කළුවර වැටුණට පස්සේ මේ පාරක යන්න බැරුව ඇති. ඒවා දුටු මට එහෙම හිතුණේ නිරායාසයෙන්. මෙහි නිවසක් පිහිටා තිබෙන්නේ හැතැප්මකට එකක් වගේ.

වළ ගොඩැලි පහු කරමින් රියදුරු සීරුවෙන් රිය පැදෙව්වා. ගව් එකහමාරක් පමණ ගිය පසු අපට ඒ පාසල මුණ ගැසුණා.

කඳුරුවෙල අශෝකමාලා විදුහල . නිල් පැහැති බෝඩ් එකේ සුදු පාට අකුරින් ්එහෙම ලියවිලා.

පුංචි වුණත් හරි සිරියාවන්ත පාසලක්. එහි ඉගෙන ගන්නා අතළොස්සක් දුවා දරුවන් මවුපියන් සමඟ අපි එනතුරු බලා ඉඳලා තියෙන්නේ උදේ ඉඳලා. අම්මා තාත්තා දුටුවා වගේ ඔවුන් අපිව පිළිගත්තේ බොහොම ගෞරවයෙන්.

තිළිණ කළ පොත් පත්

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුණුමඩලාව ග්‍රාම සේවා වසමට අයත් කඳුරුවෙල අශෝකමාලා විද්‍යාලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 73 දෙනෙක් ඉගෙන ගන්නවා. ඒ අයට උගන්වන්න ඉන්නේ ගුරුවරු තිදෙනෙක් පමණයි.

මෙතැනට පැමිණි ගුරුවරු බොහෝමයක් ගමේ ඇති දුෂ්කරතා නිසා ඉක්මනින් මාරුවීම් හදාගෙන වෙනත් පාසල්වලට පිටත්ව ගියාලු. වර්තමාන විදුහල්පති ක්ලීටස් රොද්‍රිගෝ මහතාගේ සහ වටපිටාවේ උදවියගේ වීර්යයෙන් පවත්වාගෙන යන මේ සිප්හලේ ඇති අඩුපාඩු හැකි අන්දමින් පියවන්නයි රවී ඇතුළු කණ්ඩායම මෙහෙ ආවේ.

නැති බැරිකම නිසා ඇඳුමෙහි මතු වූ සිදුරු ආයා කටුවකින්, නූලකින් අමුනගෙන සිටි ඒ පුංචි එවුන් දුටු අපට ඇති වූයේ මහත් සංවේගයක්. ඒ බොහෝ දෙනෙකුගේ පයේ පාවහන් නැහැ. පාවහන් දමාගෙන සිටි අයගෙත් ඒවා ලෙල්ලටම ගෙවිලා.

ස්වල්ප වේලාවකින් උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බී. ඒ. තිලකරත්න, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් රුවන් නවරත්න, සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ උදය රත්නායක යන මහත්වරුන් මෙතැනට පැමිණියා.

විදුහල්පති ක්ලීටස්

අශෝකමාලා විදුහලට තදබල අඩුපාඩුවක්ව පැවතියා පුස්තකාලයක්. විද්‍යාලයේ ගොඩනැගිල්ලක් සුද්ධ පවිත්‍ර කරලා රවීගේ කණ්ඩායම පුස්තකාලයකට සුදුසු පරිසරයක් එතැන හැදුවා. පොත් ප්‍රකාශකයෝ කිහිප දෙනෙකුගෙන් වට්ටම් සහිතව ග්‍රන්ථ බොහොමයක් මිලදී ගෙන මේ ගමනෙදි ගෙන ආවා.

පළමුව කළේ ඒවා පුස්තකාලයට බාරදීම. නැවුම් පොත්පත්වල සුවඳින් මුළු ගොඩනැගිල්ලම පිරුණා. තමන්ට හිමි වූ පොත් කන්ද දැකලා විදුහලේ කොයි කාගේත් සිත් ප්‍රමෝදයෙන් මත් වෙලා. හෙට දිනයේ ඒ පොත්පත් කියවලා සම්පූර්ණ වූ මිනිසෙකු රටට දායාද වේවා යැයි අපි හැමෝම පැතුවා. ටී. වී. ටී. කණ්ඩායමේ අය වරින්වර ඊයේ පෙරේදා දවස් දෙකේ ඉඳලා වැඩමුළු පවත්වලා. ඒත් සමඟම චිත්‍ර තරගයක් සංවිධානය කරලා.

මෙන්න අනාගතයේ පිකාසෝ කෙනෙක්.

ඒ චිත‍්‍ර අතර තිබූ විශිෂ්ට චිත්‍රයක වර්ණ සංයෝජනය දැකලා නිර්මාණශීල අධ්‍යක්ෂක උපාලි හේරත් මහතා විස්මය පළ කළා.

ඊළඟට එහි ජයග්‍රාහකයන්ට මෙන්ම විද්‍යාලයේ අනෙකුත් දරු දැරියන්ට මල්ලක් පිරෙන්න තෑගි දුන්නා.

ජන කරළියේ රැඟුම්

අපි හැම ළමයකුගේම කකුලේ ප්‍රමාණය බලලයි මේවා ගෙනාවේ.

පාවහන් ප්‍රදානය කරද්දී රවී එහෙම කිව්වා.

චූටි දැරියකගේ අතට දුන්නු තෑගි මල්ල ඇයට බර වැඩි වුණා. ඉන්න නංගි මං එන්නම්. එහෙම කියලා එතනට දුවගෙන ආවෙ ඇගේ සහෝදරයා.

සභාවේ තිබූ ඒකාකාරී බව බින්දේ පරාක්‍රම නිරිඇල්ලගේ ජන කරළිය කණ්ඩායම ඉදිරිපත් කළ අපූරු නාට්‍යයකින්. කාලීන මාතෘකාවක් යටතේ දිග හැරුණු එය සැමට දැනුණු වග නම් සුපැහැදිලියි.

මේ පාසල ඇරැඹියේ 1958 වසරේ. එදා ඉඳලා මේ දක්වා කොළඹින් මෙහාට කණ්ඩායමක් ආවේ අද. මේ අවස්ථාව ඉතිහාසගත වෙනවා.

විදුහල්පතිතුමාගේ සතුට දෝරේ ගලන හැටියි ඒ.

වැඩසටහන නිම වූ පසුව ගමේ උදවියගෙන් අපට පුංචි සංග්‍රහයක් ලැබුණා. හොඳට පැණි දමා හදපු වැලිතලප කෑල්ලක් කාලා උණු උණු බෙලි මල් කොප්පයක් බිව්වේ තොල කට පිච්චි පිච්චි.

පුස්තකාලය විවෘත වූ මොහොත

බරට බරේ තෑගි මල්ලත් සිතෙහි වාන් දමන සන්තෝසයත් ගෙන පුංචි එවුන් ටික ගුරු පාරවල් දිගේ නොපෙනී යන තෙක්ම අපි බලන් හිටියා.

මේ ඉස්කෝල ගැන මට ඔත්තුව දුන්නේ මෙහෙ ප්‍රාදේශීය ලේකම්තුමා. ඉතිං මං හිතුවා අපේ දහ අට වැනි සංවත්සරයට මෙයට උදව් කරන්න. මේක දැකලා අනිකුත් නිෂ්පාදන ආයතනත් ඔවුන්ගේ සැමරුම් දිනවල උත්සව හෝ වෙනත් කටයුතු සංවිධානය නොකර මෙවැනි දේකට මුල පුරනවා නම් කොච්චර හොඳද? .

රවී හඬ යළිත් අවදි කළා.

අපි ආපහු යන්න හදද්දී විදුහල්පතිතුමා ඇතුළු පාසලේ රැඳී උන් අයගේ ඇස්වල කදුළු.

‘ආයෙත් එන්න මහත්තයෝ’

අපි ආ මගෙහිම ඉබි ගමනින් ඉදිරියට ඇඳුනා. පිටුපසින් පා පැදියකින් පැමිණි පාසලේම පුංචි එකෙක් අප පසු කරගෙන ගියා.

අන්න බලන්න දැනටමත් ඉස්කෝලේ ළමයි අපිව පාස් කරගෙන යන හැටි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු