වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




දස ලක්ෂය පෙනි පෙනී පැරැදුන දිරිය දියණිය අචලා

දස ලක්ෂය පෙනි පෙනී පැරැදුන දිරිය දියණිය අචලා

සිරස ලක්ෂපති වැඩ සටහනේදී සිදු වූ අනුවේදනීය සිදුවීම

අචලාගේ හදගැස්ම එන්න එන්නම වේගවත් වන්නට පටන් ගත්තාය. රෝස කිනිති මෙන් සියුමැලි ඇගේ දෙඅතේ ඇඟිලි තුඩු එකිනෙක පැටලෙන්නට විය. මේ ගෙවෙන්නේ අචලාගේ ජීවිතයේ තීරණාත්මක මොහොතකි. ඇය නිරුත්තරව මොහොතක් බලා උන්නාය.

මොකද කරන්නේ?

ඇය තමාටම කියා ගත්තීය. මේ වන විට මුළු සිරිලකම තමා දෙස නෙත් පිය නොසලා බලා සිටින වග ද ඇයට දැන් අමතකය.

ඔන්න ඔහෙ කමක් නැහැ මං අර උත්තරය කියලා දානවා.

කොළඹ කොටුවේ සිට වැඩිම දුරක් ඇති දුම්රිය ස්ථානය වනුයේ ගාල්ල, මහනුවර, කුරුණෑගල සහ පුත්තලම යන ස්ථාන අතරින් කවරකටද? ඇය නුවර යයි පිළිතුරු දුන්නාය.

සිරස ස්ටයින් මැදිරියේ දෝංකාර දුන් ඔල්වරසන් හඬ එකවරම නැවතිණි. සියල්ලෝ බලා උන්නේ බලාපොරොත්තු පිරුණු දෑසිනි.

චන්දන සූරිය බණ්ඩාර සිය සුපුරුදු වාග් විලාසයෙන් අචලා ඇතුළු සමස්ත ප්‍රේක්ෂක ජනතාවගේ කුතුහලය තව තවත් තීව්‍ර කරන ලද්දේ හද ගැස්ම දෙගුණ තෙගුණ කරමිනි.

අහෝ ශෝකාන්තයකි.

අචලා ලබා දී තිබුණේ වැරැදි පිළිතුරකි. කොළඹ – පුත්තලම වෙනුවට ඈ ලබා දුන්නේ මහනුවර යන්නයි. ඇය මහත්සේ කම්පනයට පත් විණ. මන්දයත් අචලා ඒ වන විටත් තරගයෙන් ලක්ෂ පහක් දිනා සිටි බැවිනි. මේ වැරැදි පිළිතුර නිසා ඇයගේ ඒ මුදල ලක්ෂ එකහාමාර දක්වා අඩු වන බව තරග කොන්දේසි දන්නා ඇයට පසක් විය.

නොලැබිච්ච දේ ගැන හිතන්නේ නැහැ. මං ලැබුණු දෙයින් සතුටු වෙනවා.

අවසන අචලා සිරස නාලිකාවට තුති පුදන්නට ද අමතක නොකළාය. ඇය එදින සිරස ස්ටයින් මැදිරියෙන් නික්ම ගියේ මිටින් මුදාහල කිරිල්ලියක විලසිනි.

අචලා ගයානි වීරසිංහ.

මේ ඒ කුතුහලය පිරුණ කතාවේ කතා නායිකාවගේ සම්පූර්ණ නමය. දෙකටන පරංගොඩ ග්‍රාමයේ උපන් අචලා සැබෑවටම දිරිය දියණියකි. නිවෙසේ වැඩ කටයුතුවල යෙදෙමින් උන් එක් මොහොතක සිරස ලක්ෂපති වැඩසටහන නරඹන ඇය එමඟින් සිය දැනුම් පොතට කරුණු කාරණා එකතු කර ගත්තේ දැඩි උන්නදුවෙනි.

මාත් කවදා හරි මේකට යන්න ඕනේ.

උණුසුම මෙන්ම රසවත් තරග කිහිපයක් නැරැඹූ ඇයට සිතිණි. තරගය ජයග්‍රහණය කිරීම දැනුමෙන් මෙන්ම මුදලින් ද ජීවිතය සරසන බව ඈ දැනඋන්නාය.

දෙකටන පත්මාවතී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අචලා කුඩා කළ සිටම ක්‍රීඩිකාවක ලෙස ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධව උන්නාය. කුඩා කළ සිටම වටපිටාව ගැන දැනුම සොයන්නට වෙහසුණු අපේ කතා නායිකාව අධ්‍යාපන කටයුතු අහවර කොට ගොඩ වැදුණේ ඇඟළුම කම්හලකටය. දිනෙන් දින ආර්ථීක අපහසුතා ඉදිරි දොරින් ගෙට වැදුණ ද ඈ අම්මා සහ තාත්තා සමඟ එක්ව ඒවාට මුහුණ දුන්නේ දිරිය සිතිනි.

ලක්ෂපති තරගාවලියෙන් යම් මුදලක් ලදහොත් මුලින්ම නිවෙසට වතුර මෝටරයක් මිලට ගැනීමේ සිතිවිල්ල ඇගේ හිත තුළ කා වැදුණේ තමාගේ මවුපියන් වතුර අදිමින් කළ සටන නිමා කරලීමේ අවිහිංසක චේතනාවකිනි. ඒ තරමටම අවිහිංසක පුංචි චේතනාවලින් පිරුණු ඒ පිරිසුදු සිත ඉතාමත් ශක්තිමක් මහා බලාපොරොත්තු පිරුණු එකක් විය.

ඈ පඩි පෙළ නැඟීම ඇරැඹුවේ මීට සති තුනකට පෙරය. ක්‍රමයෙන් ඈ ලක්ෂපති පඩි පෙළ නැඟීම ඇරැඹුවාය. මවුපියන්ගේ ආශිර්වාදයෙන් අචලා සිරස ස්ටයින් මැදිරිය බලා පිටත් වූවාය. දෙකටන සිට රත්මලානට එතරම් දුර නොවුණ ද බලාපොරොත්තු ගව් ගණනාවක් දිගුව තිබුණා.

පළමු වටයේ තරගයට සාර්ථකව මුහුණ දුන් ඇගේ හිත තුළ බලාපොරොත්තුවේ එළි විහිදමින් තිබුණි. තමාගේ කුඩා නිවස අලංකාර කර ගැනීමේ චේතනාවෙන් අම්මා තාත්තාට උපරිමයෙන් සැලකීමේ පවිත්‍ර චේතනාවන් පෙරදැරි කොට ගනිමින් අචලා නොනැවතී ඉදිරියටම ගියාය.

‘මගේ ජීවිතේට තිබුණෙ පුංචි පුංචි බලාපොරොත්තු ටිකක්.’

ඈ තවමත් පිළිතුරු දෙන්නේ දිරිය විරිය නොපහව ගිය හිතිනි. ක්‍රමානුකූලව ඉහළට ගිය අපේ කතාවේ නායිකාව ලක්ෂ පහේ පැනය ජය ගත්තේ තම විද්‍යාලයේ එරංග පනාපිටිය ගුරුතුමාගේ උපකාරයෙනි.

දැන් ලක්ෂ පහේ ජයග්‍රහණය තම දෑතේය. ඊළඟට යා යුත්තේ ලක්ෂ දහය වෙතටය.

තත්පරයෙන් තත්පරය ලියලන ඉගිල්ලෙන්නට වෙර දරන බලාපොරොත්තු.

දරිද්‍රතාවයේ වැට අද්දර පිපුණ නැවුම් සිනහ මල්.

ජීවිතය ජය ගන්නට වෙර දරන දිරිය දියණියකගේ හද ගැස්ම ක්‍රමයෙන් ලියලමින් තිබුණි. ලක්ෂ දහයේ පැනයට ඇයට පිළිතුරු ලබාදීමට සිදු වුණේ සජීවීව නරඹමින් ඉන්නා මොහොතකය. නමුදු බලාපොරොත්තුව ගිලිහී ගියේ සියලු දෙනාගේ දෑසට කඳුළු උනවමිනි.

ඒ අවස්ථාව ඒ තරමටම සංවේදීය.

ජයග්‍රාහි දියණියකගේ ලක්ෂපති චාරිකාව එතනින් නිමා වූයේ අචලා ලක්ෂ එකහාමරක හිමිකාරිණිය කරමිනි. වාසනාව හා උත්සාහය එක් කොට ගනිමින් අචලා පැමිණි මඟ ඉතාමත් සුන්දරය. ශක්තිමත්ය.

අදත් කොළඹ සිට පුත්තලමට දුම්රිය පිටත් වූයේය. නමුදු ඒ දුම්රිය ගමන තරමටම අචලාගේ ගමන සුන්දර ද නැත. අසුන්දර ද නැත.