වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කොමන් මෑන්ට ජාත්‍යන්තර සම්මාන

කොමන් මෑන්ට ජාත්‍යන්තර සම්මාන

ගාන්ධි චිත්‍රපටයේ රඟපෑමෙන් ඔස්කාර් සම්මාන දිනූ නළු බෙන් කිංස්ලි ශ්‍රී ලාංකික සිනමාකරුවකු වූ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ අ කොමන් මෑන් චිත්‍රපටය උදෙසා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය. එම සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගත් චන්ද්‍රන් රත්නම් මෙරට සිනමා ඉතිහාසයේ වාර්තා තැබුවේ ශ්‍රී ලාංකික ඉංග්‍රිසි චිත්‍රපටයක් මුල් වරට ජාත්‍යන්තර අවධානයට පාත්‍ර කරමිනි.

පසුගිය ත්‍රස්තවාදී සමය පාදක කර ගනිමින් තැනුණ අ කොමන් මෑන් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය මාර්තුවේ හොලිවුඩ් හි පැවැත්විණ.

ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් ආචාර්ය මනෝහන් නානායක්කාර, බී. එස්. රාධක්‍රිෂ්ණං හා චන්ද්‍රන් රත්නම් මෙහි නිෂ්පාදකවරුන්ය.

බෙන් කිංස්ලි සමඟ මේ චිත්‍රපටයේ රඟපනා අනෙක් ප්‍රධාන නළුවා චැරියට්ස් ඔෆ් ෆයර් චිත්‍රපටයේ රඟපෑ බෙන් ක්‍රොස්ය. ජෙරම් ඩි සිල්වා, අශාන් ඩයස්, අමායා සිරිවර්ධන, විල්සන් ගුණරත්න, විල්මන් සිරිමාන්න, සැන්ඩෝ හැරිස්, මොහමඩ් ආදමලි සමඟ දුෂ්‍යන්ත වීරමන් ද මෙහි චරිත නිරූපණය කරති.