වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා ලංකාවේ ජනප්‍රියම කලාකාරියක් වෙනවා මහේෂිගේ රසිකයකුගෙන් අනාවැකියක්

ඔයා ලංකාවේ ජනප්‍රියම කලාකාරියක් වෙනවා මහේෂිගේ රසිකයකුගෙන් අනාවැකියක්

නිශා යාමයට ඉරබටු තරුව වෙමින් පිනිබර හිමිදිරියට පහන් තරුව වූ සිකුරුගේ උච්චත්වය මත මෙලොව එළිය දුටු පින්වත් කුමරියකි ඇය. ඒ සිකුරුගේ බලපෑමෙන් ඕ හට සරස්වතියගේ ආශිර්වාදය උපතින්ම උරුම වුවා.

විසි එක් හැවිරිදි මේ තාරකාව අද ලංකාවම ආදරය කරන රංගන ශිල්පිනියක් වී හමාරයි. රංගනය පමණක් නොව නර්තනය මෙන්ම ගායනයට ද ඈ සමත්කම් දක්වයි.

සුදෝ සුදු වතින් බටහිර පන්නයට සැරසුන නැවුම් මනාලියක මෙන් හැඩ වී මේ පුණ්‍යවන්තිය සරසවිය ඡායාරූපාගාරයට පැමිණියේ ඇයගේ ආගමනය ගැන නොඉවසිල්ලෙන් ඇඟිලි ගනිමින් සිටි,

කුරුණෑගල තරිදු ස්වර්ණ රත්නත්, සීදූව නිලූක ලසන්නත්, කඩුවෙල ස්වර්ණ කාන්තිත්, දෙමටගොඩ ඉන්දික රණසිංහ හා මේ පිරිසේ නඩේ ගුරා වූ මහනුවර රත්නයාක යන පිරිසගේ සිනා සපිරි මුහුණු ප්‍රමෝදයට පත් කරම්නි.

මහේෂී මධුශංකා,

මෙවර’තරු මිහිර’ හැඩ කරන්නිය ඇයයි.

‘හානේ සමාවෙන්න හැමෝම මට මේ දෙරණ රූපවාහිනියේ වැඩ සටහනක් තියෙනවා අද හවස. ඔයාලත් එක්ක ‘තරු මිහිරේ’ විමෝදෙන් ගත කරලා ආයේ සැලෝන් ගිහින් ලෑස්ති වෙන්න වෙලාවක් නැති නිසා ඔන්න මම මනමාලියක් වගේ ලස්සනට හැඩවෙලා ආවා.

මට ඔයාලව හඳුන්වලා දෙන්නකෝ’ යැයි මහේෂි එක හුස්මට කියාගෙන ගියේ කාටවත් කතා කරන්නවත් ඉඩ නොතබමිනි.

මම ඉන්දික, මේ ඉන්නේ තරිඳු, අර නිලූක, කෙළවරේ ඉන්නේ ස්වර්ණා අක්කා, ඔය මැද ඉන්නේ අපේ රත්නායක මහත්තයා. එයා ප්‍රවීණ ජ්‍යෙතිෂවේදියෙක්, ඒ වගේම මහනුවර පැත්තේ හදිසි මරණ පරික්ෂකවරයෙක්’. ඉන්දික ඉදිරිපත් වී සියල්ලන්ව හඳුන්වා දුන්නා.

‘හානේ එහෙනම් මා ගැන මොනවද රත්නායක අංකල්ට කියන්න පුළුවන්’.

ඔයා ලංකාවේ ජනප්‍රියම කලාකාරියක් වෙනවා. ඒ වගේම වාසනා ගුණයක් තියෙනවා. තව අවුරුදු හතරක් විතර යනකම් ඔයා විවාහ වෙන්නේ නම් නෑ. ඒ වගේම තමයි තමන්ගේම පාර්ශවයේ අයගෙන් ටිකක් අපලයි. ඒ කිච්වේ මේ ගැහැනු පාර්ශවයේ අයගෙන්. හඳහනේ කොපිය එවන්නකෝ.

අපි ‘චායා’ ටෙලි නාට්‍යය බලනවා හැමදාම. ඔයා අහිංසක, ගැමි විදියට එකේ චරිතය රඟපානවා. චායා වගේම ද ඇත්ත ජීවිතයෙත් ඔයා? නිලූක විමසුවා.

අනේ නැහැනේ නිලූක, මම හරිම දඟ ළමයෙක්. අපේ අම්මගෙන් අහන්නකෝ මා ගැන’ එසේ කියූ මහේෂි ඇගේ මව දෙසට ඇඟිල්ලක් දිගු කළා.

‘අනේ ඔව් මෙයා නම් දඟමල්ලක්. පොඩි කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. හැබැයි පිටට පෙන්නේ නම් අහිංසකයි වගේ. මහේෂිගේ මව එසේ කියුවේ ඇය තරහ ගස්සන්න හිතාගෙනයි.

මහේෂි ඔයා අද නම් ‘කත්‍රිනා කායිෆ්’ වගේමයි. මෙතෙක් වෙලා නිහඬව සිටි තරිඳු පැවසුවා.

හානේ ඇත්තද මමත් කත්‍රිනාට ගොඩක් කැමැතියි. එයා රඟපාන ෆිල්ම්ස් මම බලනවා.

ඔයාගේ රංගන ජීවිතයේ ඉලක්ක මොනවාද? නිලූක සමඟ පැමිණි ඔහුගේ මව විමසුවා.

‘හොඳම නිළිය, ජනප්‍රියම නිළිය වෙනවා කියන ඉලක්ක නම් මට නැහැ. හැබැයි රඟපාන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න උත්සාහ ගන්නවා. රංගනය කියන්නේ මේ මහ පොළොව වගේ දෙයක් නම් මම එහි වැලි කැටයක් වගේ. අනික දෙරණ මියුසික් අවෝඩ් 2013 දී මට ජනප්‍රිය නිළිය ලෙස සම්මානයක් ලැබුණා.

මට ලැබුණු ලොකුම සම්මානය මගේ ආදරණීය රසික රසිකාවන්ගේ ආදරය, සෙනෙහස. බලන්නකෝ තරුණ අය විතරක් නෙමේ මේ විශ්වයේ දැනුම් සම්භාරය සොයන අපේ රත්නායක අංකල්ලා වගේ වියපත්, වැඩිහිටි උගත් අයත් මගේ රසිකයෝ. ඉතින් මට ඒ සම්මානයම ඇති.

ඔයා මේ ක්ෂේත්‍රයේ ගරු කරන්නේ කාටද?

නිහඬව සිටි රත්නායකගේ පළමු පැනය එයයි.

මට වඩා දවසකින් හරි මේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ අයට මම ගරු කරනවා. මගේ සිහින රැජින හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා. අනේ තාමත් මට මාලිනී ෆොන්සේකා මහත්මිය සමඟ කතා කරන්නවත් අවස්ථාවක් ලැබිලා නැහැනේ.

වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවද? නැවතත් නිලුකගෙන් පැනයක්.

පාසල් කාලෙ නම් රඟපාල තියෙනවා. ප්‍රසිද්ධ වේදිකාවේ නම් තවම නැහැ. නිලුක ඔයා මොකද කරන්නේ පෙරළා මහේෂි නිලූකගෙන් ඇසුවා.

මම වාසනා දන්තනාරායන මහත්මිය ළඟ මෝස්තර නිරූපණ කලාව හදාරනවා.

එතකොට තරිඳු?

මම ඡායාරූපකරණ ශිල්පියෙක් විදියට වැඩ කරනවා.

එහෙනම් මගෙත් ලස්සන ෆොටෝස් ටිකක් ගන්නකෝ කියමින් තරිඳුට ඇගේ ජංගම දුරකතනය ලබා දුන්නා.

ඔන්න හෙට ඉඳන් මගේ ෆේස් බුක් එකවුන්ට් එකේ තරිඳු ගන්න මගේ ෆොටෝස් තියෙයි හොඳද?

‘චායා’ ටෙලි නාට්‍යයට අමතරව තව මොන ටෙලි නාට්‍යවලද ඉන්නේ?

ඇයි මුතු වරුසා, තව ඉදිරියට ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර තිරකතා රචකයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ බොහෝ ටෙලි නාට්‍යවලට දායක වෙන්න ලැබුණේ එතුමා නිසයි.

අර අවුරුදු දවසේ රූපවාහිනියේ ගායනා කරපු ගීතය ගයන්න බැරිද? ඉන්දික විමසිලිමත්ව විමසුවා.

අනේ අද මගේ උගුරේ අමාරුවක්. ඊයේ ෂූටිං එකේදී හොඳටම අඬන්න තිබුණා. ඒ නිසා උගුර රිදෙනවා. ඒ වෙනුවට ඔයාල කවුරු හරි සිංග් කරන්න. මම නටන්නම්. එවිටම රත්නායක ‘සිහින අහසෙ වසන්තේ’ ගීතය ගායනා කළා. සියල්ලෝම ඒ ගීයේ රිද්මයට නැටුවේ සිිත් සතුට උතුරා යන සෙනෙහසද එක් කරමින්.

ඔයා රූ රැජින තරගවලට ඉඳලා නැද්ද? මෙතෙක් වෙලා නිහඬව සිටි ස්වර්ණා ඇසුවා.

මම ප්‍රතිපත්තියක් විදියට ගොඩාක් ඇඟ පේන්න අඳින්න කැමැති නැහැ. ඒක නිසා එවැනි දේවල් වලට මම සහභාගී වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණයි කියලා මම ඒවා හෙලා දකින්නෙත් නැහැ.

ළඟදී චිත්‍රපටවලට එහෙම සම්බන්ධ වුණේ නැතිද? නිලුක නැවතත් ප්‍රශ්නයක් යොමු කළා.

මේ මාසේ මැද හරියේදී මම අමෙරිකාවට යනවා. ඒ චිත්‍රපටයක් සඳහා. තව චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයේ රඟපෑම් හොඳ නිසා වෙන්න ඇති මට එහෙම චිත්‍රපට දෙක තුනකටම ආරාධනා ලැබුණේ. මම ආසයි කලාත්මක සිනමා කෘතියක රඟපාන්නත්.

ඔයගේ මොකක්ද ටී. වී. දෙරණත් එක්ක තියෙන සම්බන්ධය. අද තරු මිහිරට එන්න පරක්කු වුණෙත් ඒ නිසා නේද? රත්නායක විමසිලිමත්ව ඇසුවා.

ටී. වී. දෙරණ කරන නර්තන රියැලිටි වැඩසටහනකට සහභාගී වෙනවානේ. අද සුරාජ් මාපත් එක්ක නර්තනයක් තියෙනවා කරන්න. ඒකයි අද මේ මනමාලියක් විදියට හැඩ වෙලා ආවේ. ඒ අතරේම මතක් කරන්නම ඕනේ දෙරණ ශ්‍යාමලි, දිල්ශාන්, ප්‍රභාත්, සඳුන් ඇතුළු පිරිවර. ඒ වගේම සඳුන් රාජකරුණා, ලලිත් වසන්ත ඇතුළු චායා ටෙලි නාට්‍යයේ කණ්ඩායමත්, මුතුපලස ටෙලි නාට්‍යයේ ස්වර්ණවාහිනියේ පිරිසත්.

ඔයා මනමාලියයක් වගේ ලස්සනට ඉන්නවා. අනේ කවද්ද විවාහය සිදු වෙන්නේ. පෙම්වතෙක් එහෙම ඉන්නවද?

මේ විදියට මනමාලි වගේ මාව හැඩ ගැන් වූයේ නම් අමිල ඉන්ද්‍රජිත්. අර මුලිින්ම අපේ රත්නායක අංකල් කිව්වා වගේ තව අවුරුදු හතරක් පහක්වත් ඉන්න ඕනෑ. තවම පෙම්වතෙක් නැහැ. මගේ දුකට සැපට දෙකටම ඉතින් මම ළඟ ආදරය කරන්න මගේ අම්මා සංජීවනී ඉන්නවනේ.

ඔයා විනාඩියට වචන කීයක් කතා කරනවද? ඉන්දිකට තිබූ ගැටලුව එසේ යොමු කළා.

එයාගේ සීයා කිංස්ලි ප්‍රනාන්දු නීතිඥවරයෙක්. ඒ ආභාසය එයටත් පිහිටලා. එසේ කියමින් ඒ පැනයට පිළිතුරු දුන්නේ මහේෂිගේ ආදරණීය මවයි.

මේ සුන්දර තරු හමුව මිහිරිමත් වෙද්දී සරසවිය ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න මහතා පැමිණ ‘තරු මිහිර’ තෑගි අනුග්‍රාහක වන ‘ලක්සළු සල’ තෑගි වවුචර් පත් මහේෂි අතට ලබා දුන්නේ පාඨකයන්ට ඇගේ අතින්ම එය ලබාදීමටයි. මතක තියා ගන්න ලක් සළුසල ජාවත්ත ශාඛාවට අදම ගියොත් ඔයාලට හොඳම රෙදිපිළි හෝ අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් යැයි මහේෂි පැවසුවේ හදපිරි සෙනෙහසිනි.

හේෂි මධුශංකාගේ ආගමනයෙන් හැඩවුණ තරු මිහිර තවත් මිහිරි මතක රැසක් සනිටුහන් කරමින් නිමා වුණේ නැවත අමෙරිකාවේ සිට පැමිණි විගස අප හමුවෙන බවට මහේෂි දුන් පොරොන්දුවත් සමඟිනි.