වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීයම තාත්තා

ආදරණීයම තාත්තා

* රාඛී සාවන්ත් පවන්නේ සල්මන් ඛාන්ට ද කුලියට ගත් ගැබක දරුවකුගේ පියකු වන්නට කියායි. දැන්ම විවාහ නොවුණත් එයින් සල්මන් ඛාන් පරපුර සුරැකෙන බව ඇය පවසන්නීය. සල්මන් එසේ කළොත් අමීර් ඛාන්, ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් යන ත්‍රිත්වයම කුලියට ගත් ගැබ් හි පියවරුන් ත්‍රිත්වයක් වනු ඇත.

බොලිවුඩයේ ඛාන් රජු, ෂාරුක් ඛාන්ට උපදින දූ දරුවන් ද සුපිරිය. දූ පුතුන් ගැන පියා හා සමානවම පුවත් මැවෙන්නේ ඒ නිසයි. පසුගිය සති ගණනාවේම කතාබහට ලක් වූයේ ෂාරුක් - ගෞරී කැදැල්ලට එක්වන අලුත්ම අමුත්තා ගැනයි.

මේ පුංචි අමුත්තා වරෙක නීතිමය ප්‍රශ්නයක් විය හැකි බවට පෙරනිමිති පළ වුණි. රසික රසිකාවන්ට නම් ඔහුගේ පැමිණීම සුබම සුබ ආරංචියක් විය. දැන් නීතිමය කුණාටුව හමා ගොස් අවසන්ය. පුංචි අමුත්තාගේ කිරි සුවඳින් ෂාරුක් – ගෞරී කැදැල්ල සුවඳවත්ය. දෙවැනි ඛාන් පුතු බිහි වුණේ මැයි 27 වැනිදායි. සති 34 දී කි. ග්‍රෑ. 1.5 ක බරක් ඇතිව උපන් පුංචි පුතුට දැන් නම් තබා අවසන්ය. ඔහු අබ්‍රම් ඛාන්ය.

පහළොස් හැවිරිදි ආර්යන්ට සහ දහතුන් හැවිරිදි සුහානාට දැන් පුංචි මල්ලී කෙනකු සිටියි. සාමාන්‍යයෙන් කුලියට ගත් ගර්භාෂයකින් බිහිවන දරුවන්ගේ මවුවරුන්ගේ නම් පෞද්ගලිකය. රහසිගතය. එහෙත් අබ්‍රම්ගේ මවගේ නම නම් දැන් හෙළි වී අවසන්ය. ඇය අන් කිසිවකු නොව ගෞරීගේ නෑනා කෙනකු වන නමිතා චිබර්ය. පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන ආරංචිවලට අනුව නමිතා මේ වන විටත් ලන්ඩනයට ගොස් අවසන්ය. දරුවා ලැබුණු දිනට පසුවදාම නමිතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

අබ්‍රම් ඉපදුණේ මස්රාණි සාත්තු නිවාසයේය. ඔහු නානාවතී රෝහලටත්, බ්‍රීච් කැන්ඩි රෝහලටත් පසුව රැගෙන යන ලදී.

ෂාරුක්ගේ ඉදිරියට තිරගත කිරීමට නියමිත ‘චෙනායි එක්ස්ප්‍රස්’ ගීත තැටිය දොරට වැඩීම වෙනුවෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් පුන පුනා විමසුවේ තුන්වැනි දරුවා පිළිබඳවයි. මාධ්‍යවේදීන්ගෙන් මේ කරදරයට මුහුණ පෑමට සිදුවෙන බව දැන සිටි නිසාදෝ ෂාරුක් මාධ්‍ය සාකච්ඡාවට පැමිණ තිබෙන්නේ නියමිත වේලාවට පැය දෙකකට වඩා ප්‍රමාදවීලාය.

‘ඒක පෞද්ගලික සහ රහසිගත කරුණක්. දුක සතුට මිශ්‍ර මේ අවස්ථාවේ ඔය ගැන විමසන්න එපා!’ ෂාරුක් ඔවුනට තරයේ කියා සිටියේය. දරුවා නියමිත කාලයට පෙර, අඩු බරකින් උපත ලැබීම ෂාරුක්ගේ සිත රිද වූ කාරණයයි.

අබ්‍රම් නියමිත කාලයට පෙර උපත ලැබූ දරුවෙකි. ඒ නිසා ඔහු සෞඛ්‍ය සම්පන්න දරුවකු ලෙස ඇති දැඩි කිරීමේ භාරධූර වගකීම ද ෂාරුක් - ගෞරී යුවළට පැවරී තිබේ. කෙසේ වුවත් පුංචි ඛාන්, දැන් ඛාන් මන්දිරයේ සුවසේ පසුවෙයි.

මේ වසරේ පියවරුන්ගේ දිනයේදී ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය පියා ලෙස ජනතා මනාපය දිනා ගත්තේ ෂාරුක් ඛාන්ය. ඔහුට මෙගා තරුව අමිතාබ් බච්චන්ට ද වඩා වැඩි මනාප ගණනක් හිමි විය. ෂාරුක් 34.83% ක මනාපයක් ද, අමිතාබ් 31.58% ක මනාපයක් ද දිනා ගන්නා ලදී.

ෂාරුක්ගේ කැදැල්ලට අබ්‍රම් එක්වීම නිසා ඔහුගේ ලකුණු ප්‍රතිශතය ලබන වසරේදී තවත් ඉහළ නැංවෙනු ඇත.

‘චෙනායි එක්ස්ප්‍රස්’ ගීත තැටිය දොරට වැඩීමේදී ඔහු සිනමාව ද තමන්ට කුලියට ගත් පවුලක් හා සමාන බව කියා සිටියේය. ඒ එය ඔහුට රෝස මල් ඇතිරූ මාවතක් වී ඇති නිසයි.

ෂාරුක් දැන් කැමැති බොලිවුඩ් පුරවරය අබ්‍රම් ගැන කතා කරනවාට වඩා චෙනායි එක්ස්ප්‍රස් ගැන කතා කරනවාටයි. චෙනායි එක්ස්ප්‍රස් ඔහුගේ වසරේ දැවැන්තම බලාපොරොත්තුවයි. මෙහි ඔහු ජාතික සම්මානලාභී දකුණු ඉන්දීය නිළි ප්‍රියමනී සමඟ ‘වන්, ටූ, ත්‍රී, ෆෝ’ අයිටම් ගීතය සඳහා නර්තනයක යෙදෙති. මේ නර්තනය පුහුණුකර ඇත්තේ ප්‍රභූදේවාගේ වැඩිමල් සොයුරු රාජු සුන්දරම්ය.

අනෙක් අයිටම් ගීත මෙන් නොව මේ ගීතය පවුලේ සියලු දෙනාටම එකට ඉඳ රස විඳිය හැක්කකි.

ෂාරුක් භාරත සිනමාවේ උතුරත් දකුණත් යා කරන තරුවක් වී අවසානය. දකුණු ඉන්දීය තිරයේ රජු රජිනිකාන්ත්ගේ හදවතත් සොරාගෙන අවසන්ය. රා.වන් සිනමාපටයේ ඔහු රජිනිකාන්ත්ව කෙටි රූප රාමුවකට සම්බන්ධ කරගෙන ගෞරවය පුද කළේය. චෙනායි එක්ස්ප්‍රස් සිනමාපටයේ ඔහු රජිනිකාන්ත්ට ගෞරවය පුදකර ඇත්තේ විශේෂ ගීතයකිනි.

චෙනායි එක්ස්ප්‍රස් අගෝස්තු අට වැනිදා තිරගත කිරීමට නියමිතයි. මේ වන විට දින දෙකකදී යූටියුබ් හරහා සිනමාපටයේ පූර්ව දර්ශන මිලියන හතරකට වැඩි ජනකායක් නරඹා තිබේ. එහෙත් එයටත් වැඩි මිලියන ගණනක් ඇස් දල්වාගෙන බලා සිටින්නේ අබ්‍රම් වෙතය. අබ්‍රම්ගේ පැමිණීමට පෙර කවුරුත් පැතුම් පැතුවේ සුහානාගේ රංගන ජීවිතය පිළිබඳවයි. ඇය තාරකාවක කිරීම ෂාරුක්ගේ එක් පැතුමකි. වසර 2000 මැයි 22 උපන් සුහානා දිරුබායි අම්බානි අන්තර් ජාතික පාසලේ ඉගෙනුම ලබන්නීය. ඇය ද පියා මෙන්ම ක්‍රිකට් ලෝලියකි. සෑම අයි පී එල් තරගයකටම ඇය ෂාරුක් සමඟ සහභාගි වූහ. කතා කීමට හා කතා ලිවීමට ද සුහානා උපන් හපනියකි.

ඇය තරග කිහිපයකම ජයග්‍රාහිකාවකි. මේ නිසා ෂාරුක් පියා සිටින්නේ ආඩම්බරයෙනි. දියණියට බැඳි සෙනෙහස නිසා ඔහු දුම්පානය කිරීමේ නරක පුරුද්දට සමුදීමේ දුෂ්කර ක්‍රියාවක ද යෙදෙන්නේය. අබ්‍රම්ගේ උපත තව තවත් සුහානාට පවුලේ වැඩි වටිනාකමක් එක් කරනු ඇත. එහෙත් වැඩිමල් පුතු ආර්යන්ට නම් පිය සෙනෙහස බෙදා ගැනීමට අබ්‍රම් සමඟ තරග කිරීමට සිදුවනු නියතය. 2001 දී කබි කුෂි කබි ගම් සිනමාපටයෙන් ළමා නළුවකු ලෙස රංගනයට එක් වූ ඔහු දැන් පහළොස් හැවිරිදි නව යෞවනයෙකි. ඔහු ලන්ඩනයේ සෙවන්ඕක්ස් පාසලේ ඉගෙනුම ලබන්නේය. සුහානා ද නුදුරු අනාගතයේදී උසස් අධ්‍යාපනය ලැබීමට එම පාසලටම පැමිණීමට නියමිතය.

ආර්යන් හඬ කැවීමට, ටයිකොන්ඩු සටන් කලාවට රුසියෙකි.

අබ්‍රම් සුපිරි පියාට කෙබඳු ආඩම්බරයක් ගෙන ඒවි ද? එහෙත් ඒ සඳහා තවත් කාලයක් බලා සිටීමට සිදුවේ.


රිතික් රොෂාන්ට සැත්කමක්

රසිකයන් කම්පනයට පත් කරමින් අලුතින්ම සැත්කමකට ලක් වූ තිරයේ වීරයා වී සිටින්නේ රිතික් රොෂාන්ය.

මොළයේ ඇති වූ ගෙඩියක් නිසා රිතික් පසුගියදා සැත්කමකට ලක් කෙරුණු අතර දැන් ඔහු සුවය ලබමින් සිටියි.

‘ක්‍රිෂ් 3’, ‘බෑන්ග් බෑන්ග්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියදී ඇති වූ තදබල හිසරදය නිසා වෛද්‍යවරයා රිතික්ව සීටී ස්කෑන් පරීක්ෂණයට යොමුකර තිබේ. ලේ කැටියක් තිබෙන බව හෙළි වී ඇත්තේ එවිටය.