වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීතය භාවනාවකි - ඖෂධයකි

සංගීතය භාවනාවකි - ඖෂධයකි

සංගීතය යනු විශ්ව භාෂාවකි. සංගීත ඛණ්ඩයක් තුළින් කළ නොහැක්කක් නැති තරම්ය. අද වන විට මිනිසාගේ රසඥතාවට අමතරව එය රෝග සුව කිරීම සඳහා ද යොදා ගෙන තිබීම පුදුමච සහගතය. සංගීතය නමැති විශ්ව භාෂාව රෝග සුව කිරීම සඳහා රට පුරා දීප ව්‍යාප්තව භාවිත වන්නට පටන් ගෙන ඇත්තේ අප්‍රසිද්ධියේය. සංගීතය බොහොමයක් රෝග සුව කිරීම සඳහා යොදා ගත හැක. එක්තරා අන්දමක ප්‍රතිකාරයක් බවට ද අද වන විට වෛද්‍යවරුන් ද පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත. රෝග රැසක් සඳහා අද වන විට භාවිත වන මෙම සංගීත ප්‍රතිකාර ක්‍රමය තුළින් පුද්ගලික මට්ටමින් සහනයක් ලැබූ හා සහනයක් ලබමින් සිටින පිරිස ද අති මහත්ය. රෝග රැසකට ප්‍රතිකාර ලෙස භාවිත වන්නා වූ මෙම සංගීත නිර්මාණ එකතුවක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන පුද්ගලයා වනුයේ තරංග බාලසූරියයි.

මෙවැනි කටයුත්තකට ඔබ යොමු වුණේ කොහොමද?

මම බෞද්ධ බැතිමතෙක්. දීර්ඝ කාලයක පටන් ආගමික කටයුතුවලට සමීපව බොහෝ කාර්යයන්වල නිරතව සිටිනවා. සංඝයා වහන්සේලාගේ අනුශාසනා මධ්‍යයේ මා බුදු දහමේ හරය හොඳින් වටහා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙක්. භාවනානුයෝගී කටයුතුවලදී, දහම් සාකච්ඡාවලදී මම සමාජයේ විවිධ පුද්ගලයන් හා කතාබස් කරනු ලැබුවා.

මේ අය බොහොමයක් සමාජයේ විවිධ ප්‍රශ්න අතර හිරවෙලා ඉන්න බවක් මට හැඟුණා. ප්‍රශ්න නිසාම ඒ අය ඒ සඳහා සහනයක් සොයා ගෙන පැමිණ සිටිනවා මා දුටුවා. ප්‍රශ්නවල තිබෙන පීඩාකාරී බව නිසාම ඒ අය ලෙඩ වෙලා තියෙන බවත් මට වැටහුණා. ලෙඩක් හැදුනාම කාට වුණත් පන්සලක් පල්ලියක්, කෝවිලක් මතක් වෙන එක සාමාන්‍ය දෙයක්.

මේවට ඇවිත් පවා ඉල්ලන්නේ තමන් පෙළෙන ප්‍රශ්නයට විසඳුමක්. මේ සියල්ලටම විසඳුම බුදු දහම කියලා මම හොඳ හැටි අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒත් සැම දෙනාම එහෙම නෑ. සමහරු දේව සංකල්ප මත එල්බ සිටිනවා. මේ මත එකහෙළාම බිඳලන්න බෑ. ඒ නිසා මම දේව සංකල්පවල එල්බ සිටින අය වෙනුවෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරන්න දේව ස්ත්‍රෝත්‍ර හා දේව ආකර්ෂණ මන්ත්‍ර හඳුන්වාදීමත් කළා. මම නොසිතුව ලෙස මෙය මිනිස්සු අතරට ගියා. එයට තිබෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වුණා. ඒවා ඇසීම තුළින් ප්‍රශ්න නිරාකරණය වුණ, සිතට සැනසිල්ලක් ලැබුණු බොහෝ පිරිස් මගේ මෙවැනි නිර්මාණ තව තවත් අපේක්ෂා කළා. ඒ අනුව ලැබෙන ඉල්ලීම් අනුව මා විවිධ අංගවලින් මගේ නිර්මාණ එළි දැක්වීමට පටන් ගත්තා.

* කොපමණ නිර්මාණ ප්‍රමාණයක් මේ වන විට ඔබ නිෂ්පාදනය කරල තියෙනවාද?

ආගමික පසුබිම, නිදහස් මානසිකත්වය, අධ්‍යාපනික පසුබිම් තේමා කොට මා මේ වන විට නිර්මාණ හැත්තෑවක් පමණ එළි දක්වා තිබෙනවා.

* මේ සඳහා ඔබට අවශ්‍ය වන තොරතුරු ලබා ගන්නේ කොහොමද?

ආගමික කටයුතු සම්බන්ධ සියලු දේවල් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් උසුලන අයගෙන් ලබා ගත්තා. අපේ දේවල් තුළින් ගන්න හැකි දේ මෙහෙන් ලබා ගත්තා. පිටරටවලින් ගන්න ඕනෑ දේ එහෙන් ලබා ගත්තා. එක් එක් කටයුතුවලට සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය දේ ලබා ගත්තා. ආගමික කටයුතු සම්බන්ධයෙන් දේව ස්ත්‍රෝත්‍ර මා ඉන්දියාවෙන් පවා ගෙන්වා ගත්තා.

* කොපමණ කාලයක පටන් ද ඔබ මේ කටයුත්ත කරගෙන එන්නේ?

මීට වසර අටකට පෙර සිට මම පර්යේෂණ මට්ටමින් මේ දේ කළා. මගේ නිර්මාණ සඳහා ලැබෙන ප්‍රතිචාර වැඩි වෙන්න වැඩි වෙන්න පටන් ගැනීමත් සමඟ මීට වසර දෙකකට පමණ පෙර සිට මේ කාර්යය මහා පරිමාණයෙන් කරන්න පටන් ගත්තා.

* වෛද්‍ය විද්‍යාත්මක පැත්තට නැඹුරු වූ නිර්මාණ මොනවාද?

බොහෝ නිර්මාණ මම කරලා තියෙන්නේ මේ රටේ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට අනුවයි. අද වෙන කොට විශාල පිරිසක් මානසික ආතතියෙන් පීඩා ලබනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, ආතරයිටිස් මේ වගේ රෝග තත්ත්වයන් පාලනය කරන්න සංගීතය උපයෝගී කර ගැනීමත් මම නිර්මාණය කළා. අද වෙන කොට විවිධ වූ මාතෘකා යටතේ නිර්මාණ පහළොවක් තමන්ගේ සිතැඟි පරිදි සංගීත ඛණ්ඩ ලබාගන්න හැකියාව ලැබිලා තියනවා. නිදහස් මානසිකත්වය යටතේ රිලැක්සින් මියුසික්, ස්ලීපින් මියුසික්, දිය ඇලි, කුරුලු නාද, ගැබිනි මවුවරුන් සඳහාම නිදහස් සංගීත, මේ වගේ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. පාඩම් කරන කොට දරුවන්ට අසන්න ස්ටඩි මියුසික් පවා තියෙනවා. මේ හැම දෙයක්ම කළේ මිනිස්සුන්ගේ ඉල්ලීම්වලට. අද වෙන කොට වැඩි වශයෙන් රිලැක්සින් මියුසික් සඳහා ඉල්ලුමක් තියෙනවා.

* සංගීතය ස්වර රටාවක් කොහොමද රෝග සුවයට උදවු වෙන්නේ?

මනුෂ්‍යයාගේ ශරීරයෙන් මනස ප්‍රධානයි. මේ මනස නිරෝගී නම් සියලු ඉන්ද්‍රියනුත් නිරෝගීයි. මනසෙන් තමයි සියලු ඉන්ද්‍රියයන් පාලනය වන්නේ. ඇස, කන, නාසය, දිව ප්‍රධාන වශයෙන් කරන්නේ ශරීරය පිනවීමයි. සංගීත ඛණ්ඩයක් ඇසුණාම ඒ දේ තුළින් මනස පිනවනවා. එයින් ලබා දෙන උත්තේජනය හේතුවෙන් මනසේ පීඩාකාරී බව නැති වෙලා යනවා. පැයක්, පැය දෙකක් වැනි කාලයක් සිත පිනවන ශබ්ද රටාවන් සමඟ ගත කරන කොට සිතට දැනෙන්නේ පුදුම සැහැල්ලු බවක්. ඒ සැහැල්ලුව එක්ක ඇඟ තුළින් උත්තේජනය කරන හෝමෝනවල බලපෑමෙන් බොහෝ රෝගාබාධයන්ට ඉබේම සහනයක් ලැබෙනවා. මානසික ආතතියෙන් පෙළෙන අයකු තමන් පිනවන ශබ්ද රටාවක් ශ්‍රවණය කිරීමේදී එයින් මිදෙන්න පෙළඹෙනවා.

සමහරු මානසික පීඩනය අවම කරගන්න විනෝද ගමන් යනවා. ඒ ගිහිල්ලා ලබන්නේ තමන්ගේ මනසට සුවයක්. මම ඒ ගිහින් ලබන මානසික සුවය ගෙදරට ගෙනත් තියෙනවා. කැමති කෙනෙකුට දිය ඇල්ලක් ළග, දොල පාරක් ළඟ, වනාන්තරයක් ඇතුළේ ගත කරන වටපිටාව සී ඩී තැටියක කවල තියෙනවා. කැමති කෙනෙකුගේ රුචි අරුචිකම් අනුව ඒ දේ ලබා ගන්න පුළුවන්. මේ සී. ඩී. තැටියක් වාදනය වෙන කොට අපිත් නොදැනීම ඒ පරිසරයේ සැරිසරනවා. සියලු ප්‍රශ්න අමතක කරන මේක එක්තරා අන්දමක මායාවක් වුවත් දිගින් දිගට මෙය ශ්‍රවණය කිරීම තුළ තමන්ගේ මානසික ආතතිය දුරු වෙලා යනවා.

ගර්භනී මාතාවන් වෙනුවෙන් මා කර තිබෙන සී ඩී එකට ලැබෙන ප්‍රතිචාරත් එමටයි. මේ අවධියේ මවක් පසුවන මානසික තත්ත්වය කුස තුළ හිඳින දරුවාට දැනෙන්න පටන් ගන්නවා. මවගේ මානසික තත්ත්වය හොඳ නම් නිරෝගීමත් දරු උපතක් ලැබීම ගැටලු සහගත නැහැ. අම්මාට දරුවාට යහපතක් සලසන මේ නිර්මාණය යහපත් සුවතාවයකට හොඳ ඖෂධීය උත්තේජනයක්.

* භාවනාව සඳහාත් ඔබ මෙවැනි දෑ නිර්මාණය කරලා තියනවද?

මේ සඳහා සී. ඩී. දහයක් දැනට නිිර්මාණය කරලා තියනවා. කුණ්ඩලිනී භාවනාව සඳහා පමණක් සී. ඩී. හතරක් මා නිර්මාණය කරලා තියෙනවා. යෝග භාවනා පවා එයට අන්තර්ගතව තියෙනවා.

* කාටුන් කලාව උපයෝගී කරගෙන ඔබ කාව්‍යමය රූප පෙළහරක් පවා නිකුත් කළා නේද?

පුංචි දරුවන් අතරේ ජනප්‍රිය කාටුන් කලාව උපයෝගී කරගෙන මම ලෝවැඩ සඟරාව, සුභාෂිතය, සිරිත්මල්දම, කාව්‍ය සංග්‍රහ කාටුන් රූප පෙළහරක් ලෙස මම නිර්මාණය කළා. එහි අන්තර්ගත කවි, එහි සිංහල තේරුම, අර්ථවත් අයුරින් කාටුන් ඇසුරින් මම නිර්මාණය කළ නිසා මෙය ළමුන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. පොත් කියවීමට මැලිකමක් දක්වන බොහෝ දරුවෝ වැඩිහිටියෝ කාටුන් නිසා මෙය ආශාවෙන් රස විඳීනවා.

* ඉදිරියේදී ඔබේ නිර්මාණ කොයි වගේද?

හැම නිර්මාණයක්ම මම කරන්නේ ජනතාවගේ ඉල්ලීම් අනුව. පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ ඇසුරින් කාටුන් කලාව ආශ්‍රයෙන් රූප පෙළහරක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. සමන් දෙවියෝ, පත්තිනි දෙවියෝ, සූනියන් දෙවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ සඳහා දේව ස්ත්‍රෝත හා දේව ආකර්ෂණ මන්ත්‍ර ඇතුළත් සී. ඩී. පෙළක් නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත සොයමින් තමයි ඉන්නේ. පියාමෝව, වයලීනය, බෙර ඇසුරු කරගෙන එක් එක් උපකරණයන්ගෙන් පමණක් නිකුත්වන ශබ්ද උපයෝගී කරගෙන නාද රටා වෙන වෙනම නිර්මාණය කිරීමේ සැලසුමකුත් මා ළඟ තියෙනව.

* ඔබ මේ කාර්ය කරන්නේ කාගේ උදවු ඇතිවද?

උපදේශනයේදී මට මේ ක්ෂේත්‍රවල දැනුම ලැබූ උගත් භික්ෂූන් වහන්සේලාගේ, උගතුන්ගේ, පූජකතුමන්ලාගේ අනුශාසනා ලැබෙනවා. ඒ හැරෙන්න මගේ බිරිය චතුරිකා කුෂානි මට ලොකු ශක්තියක් වෙමින් මේ සමාජ සත්කාරයට දායක වී තිබෙනවා. මේ දේවල් මම කළත් මා සතු විශාල පිරිත් දේශනා, ධර්ම දේශනා අඩංගු එකතුවෙන් ඕනෑම කෙනකුට ධර්ම දානයක් විධියට සලකා එවැනි අවශ්‍යතා සපුරා දෙනුයේ ද පුදුම සතුටකින්.

65, පන්සල පාර, නාවල, රාජගිරිය තරංග බාලසූරියගේ ලිපිනයයි.


ගාමිණී - කොනරි - බච්චන් එකට එක්වීම නූලෙන් වැළකෙයි

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි, බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා යොදා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ චිත්‍රපටයක් නොවැළැක්විය හැකි හේතූන් නිසා එසේ නොකර වෙනත් නළුවන් තිදෙනකු යොදා රූගත කළ වග වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ ෂෝන් කොනරිගේ දුරකථනය විසන්ධි කොට තිබීමත්, අමිතාබ්ගෙන් එක දිගට රූපගත කිරීම් යොදා ගැනීමට නොහැකිවීමත් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙලොව හැර ගොස් තිබීමත්ය. එහෙත් මේ වෙනුවට වෙනත් නළුවන් තිදෙනෙකු යොදා එය රූ ගැන්වීම අවසන් කිරීමට සමත් වී තිබේ.

ඒ අනුව ෂෝන් වෙනුවට සංජය ලීලාරත්නත්, අමිතාබ් බච්චන් වෙනුවට මොහාන් හෙට්ටිආරච්චිත්, ගාමිණී ෆොන්සේකා වෙනුවට ටෙනිසන් කුරේත් ආදේශ කොට රූගන්වා ඇති මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ඔළුව ජපන් කඳ ජර්මන් යනුවෙනි. දිනේෂ් ප්‍රියසාද් එහි අධ්‍යක්ෂවරයා වෙයි.

සංජය, මොහාන්, ටෙනී සමඟ දිල්හානි අශෝකමාලා, ශේෂද්‍රි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා ආදීන් මෙහි සෙසු චරිත මවනු ලබති.

ෂෝන් කොනරි, අමිතාබ් බච්චන් හා ගාමිණී ෆොන්සේකා යොදා රූ ගැන්වීමට අදහස් කළ වග වාර්තා වන්නේ මේ චිත්‍රපටය සකසන ලද ට්‍රේලර් පටය හේතුවෙනි. මේ ට්‍රේලර් පටය සරසවිය වෙබ් අඩවිය, යූ ටියුබ් ආදියෙන් ළඟදීම දැක ගත හැකි වනු ඇත.