වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ගී ලොව සිල් සුවඳ පැතිරූ අබෞද්ධ ගායකයා

ගී ලොව සිල් සුවඳ පැතිරූ අබෞද්ධ ගායකයා

සජාඩ් හසන්

නව පරපුරේ ගායක ගායිකාවන්ට තිබෙන එක්තරා චෝදනාවකි. ඒ ඔවුන් අතින් මෑතක සිට වැඩිපුරම නිර්මාණය වන්නේ ඒකාකාරී විරහ ගීත යන්නය.

මේ වන විට එය රැල්ලක් බවට ද පත්ව ඇත. ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකට සුළු වෙලාවක් සවන් දුනහොත් මා ඉහත සඳහන් කළ කරුණ සාක්ෂි ඇතුවම ඔප්පු වනු ඇත.

මේ අතර උඩුගං බලා නිර්මාණ චාරිකාවේ යෙදෙන නව පරපුරේ නිර්මාණකරුවන් අතලොස්සක් නැත්තේම නොවේ. සජාඩ් හසන් අයත් වන්නේ ඒ කණ්ඩායමටය.

මට කියන්න නම් එපා, ගයලා වයලා, සිහින හොරා ආදී ජනප්‍රිය ගීත රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහුගේ නවතම ගීතය බෞද්ධ ගීතයකි. ‘සිල් සුවඳයි’ ලෙස තේමාව සකස් කොට ඇති එය මේ වන විට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ට නිකුත් කොට තිබේ. මේ ගීයෙහි තවත් විශේෂත්වයක් ඇත්තේය. ඒ මෙය ගැයූ සජාඩ් බෞද්ධ අයකු නොවීමය.

එවන් වූ සුවිශේෂ කරුණු කිහිපය නිසා ඔහුව අප සංවාදයකට කැඳ වූයෙමු. ‘සිල් සුවඳයි’ ගීයට අමතරව තවත් වගතුග ද මෙසේ ඇසුවෙමු.

සජාඩ් ‘සිල් සුවඳයි’ හි ඉතිහාසය දැනගන්න පුළුවන්ද?

මේ ගීතයට හොඳ ඉතිහාසයක් තියනවා. හරියටම කිව්වොත් එය දශකයකටත් වැඩියි. 2002 දී තමයි සිල් සුවඳයි නිර්මාණය කළේ. එතකොට මං ළමා ගායකයෙක්. වයස අවුරුද 14 ක් විතර ඇති.

මේ ගීතය ලියූ නිලාර් එන්. කාසිම් මහතා මගේ තාත්තාගේ හිතවතෙක්. ඔහු නිලාර්ගෙන් ඉල්ලීමක් කළා මෙවන් වූ ගීතයකට. නිලාර් අපූරු පදමාලාවක් දුන්නා.

ඒ කාලයේදීම මං ගැයුවා. මේ ගීතයට නුවර රත්නදීප සම්මාන උළෙලේදී එවක සම්මානයට පාත්‍ර වුණා. ඒක තමයි එම උළෙලේ පළමුවරට බෞද්ධ නොවන අයකු බෞද්ධ ගීතයක් ගයා දී ඇති සම්මානය.

ඇයි එය රී - මේක් කරන්න හිතුවේ?

මං වත්මනහි පවතින සංගීත රැලි ගැන හොඳ අවධානයෙන් ඉන්න කෙනෙක්. මෑකකාලීනව බිහි වූ විරහ ගීත රැල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මටත් ආයතන කිහිපයකින්ම එවන් වූ ගීයක් දෙකක් ගයන්න ආරාධනා කළා. ඒත් මං ඒවට කැමැති වුණේ නැහැ.

මට වුවමනා වෙනස් දෙයක් කරන්න. ඔහොම හිත හිත ඉන්දැද්දියි මේ ගීතය ගැන සිහියට ආවේ. මට හිතුනා එය ප්‍රතිනිර්මාණය කොට මගේ අලුත්ම නිර්මාණය ලෙස එළිදක්වන්න.

කොහොමද ‘සිල් සුවඳයි’ සඳහා ලැබෙන ප්‍රතිචාර?

මං දැනට ගීතයේ රූප රචනා සහිතව අන්තර් ජාලයට දාලයි තියෙන්නේ. මේ වෙන කොට අති විශාල ප්‍රමාණයක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මගේ ෆේස්බුක් ෆෑන්පේජ් එකෙත් ගීතය තියනවා.

ඕනෑ කෙනෙකුට සජාඩ් හසන් මියුසික් කියන නම ගහලා එතනට යන්න පුළුවන්. රසික රසිකාවන්ගේ ප්‍රතිචාර අති විශාල ප්‍රමාණයක් එතැන තියනවා. ‘සිල් සුවඳයි’ හි ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.

ඔබ බෞද්ධ නොවන අයෙක්. එහෙව් තත්ත්වයක් මත මෙවන් වූ ගීයක් ගැයීම ගැන මොකද හිතෙන්නේ?

මං හැම ආගමකටම ගරු කරනවා. නුවර කටුගස්තොට කියන මගේ ගේ එහා පැත්තේ තියෙන්නේ පන්සලක්. විවිධ අවස්ථාවන්වලට අපේ පවුලේ උදවියට පන්සලෙන් ආරාධනා ලැබෙනවා.

අපි ඒවාට සහභාගී වෙනවා. බෞද්ධ ගීත එහිදීත් මට අසන්නට ලැබිලා තියනවා.

මගෙත් විශේෂ කැමැත්තක් ඒ සඳහා තිබෙනවා. ආයෙත් හිතුණොත් බෞද්ධ ගීතයක් මං කියනවා. දෙපාරක් හිතන්නේ නැහැ. මොකද මෙරට ඇති විශිෂ්ටතම බුදු ගුණ ගීතය බුද්ධං සරණං ගච්ඡාමි ගැයූ මොහිදින් බෙග් මාස්ටර් ද අන්‍ය ආගමික කෙනෙක් වන නිසා.

‘සිල් සුවඳයි’ රිගිංටෝන් සඳහා නෙවෙයි ද නිර්මාණය කළේ?

කොහෙත්ම නැහැ.

එහෙනම් රිගිං ටෝන්වලට දුන්නේ ඇයි?

මගෙන් කම්ෆනි එකකින් ඉල්ලුවා.

ඔබ වැඩිපුරම තාක්ෂණයත් එක්ක ගැටෙන නිර්මාණකරුවෙක් කියලා මං කිව්වොත්?

ඇත්ත. වර්තමානයේදී නිර්මාණකරුවකු ලෙස කටයුතුª කරද්දී තාක්ෂණය හරි වැදගත්. මගේ තොරතුරු නිතරම මගේ වෙබ් පිටුවට සහ ෆේස් බුක් එකට එකතු කරනවා. ඒ වගේම සජාඩ් හසන් කියලා ඇප්ලිකේෂන් පද්ධතියක් මං ස්මාර්ට් ෆෝන් වලට එකතු කළා. ඒ හරහා මගේ සියලුම නිර්මාණ බලන්න අහන්න පුළුවනි.

සජාඩ් මොනවද ඔබේ අලුත් නිර්මාණ?

මූවිං ඔන් කියලා සිංදුවක් මාල දිවයිනත් එක්ක සම්බන්ධ වෙලා රිලීස් කළා. මගේ ‘දෑසේ වෙලෙමින් මා’ ගීතයේ ක්ලැසික් වර්ෂන් එක රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා.

සජාඩ්ගේ සිල් සුවඳයි ගීතයේ පදමාලාව:
 

සිල් සුවඳයි ස්වාමිනේ

මල් ආසනයම

ඒ තරමට සුවඳ නැත් ද

මේ මුළු ලෝකෙම

එක අත්තේ

එක අත්තේ බෝ කොළ මෙන්

රැෙඳන්න පින් මදි වෙලා ද

නැතිනම් පින් දහම්වලට

හිතේ ඉඩක් නැති වෙලා ද

බුදුන් දහම්

බුදුන් දහම් සගුන් බලෙන්

ලෝකෙට මෙත් නොවැඩුවා ද

මල් ආසනවන් හිත් මත

එක මලකුදු නොරැඳුණා ද