වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහ එෆ්. එම්. සිනෙ රූ ගී සමඟ සරසවිය එක්වේ

සිංහ එෆ්. එම්. සිනෙ රූ ගී සමඟ සරසවිය එක්වේ

මේ සතියේ රේඛාව

සිංහල සිනමාවේ තොරතුරු රැගත් සුවිශේෂ වැඩසටහනක් ‘සිනෙ රූ ගී’ නමින් ලබන 13 වැනි දා සිට සෑම සෙනසුරාදාවකම දහවල් 12.30 සිට සවස 4.00 දක්වා සිංහ එෆ්. එම්. නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

සරසවිය පුවත්පත සම්බන්ධව ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන ඔස්සේ සිංහල සිනමාව ආරම්භයේ සිට තිරගත වූ චිත්‍රපට ඇතුළුව ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට පිළිබඳ තොරතුරු අසන්නන්හට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන සෙනසුරාදා එහි ආරම්භක වැඩසටහන ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව චිත්‍රපටය පිළිබඳ සුවිශේෂ තොරතුරු, ගීත ඔබ වෙත ගෙන එන්නට කටයුතු සූදානම් කර ඇත. ‘සිනෙ රූ ගී’ ඉදිරිපත් කිරීම වැඩසටහන් නිෂ්පාදිකා අනුෂා රණසිංහ විසිනි. මේ අනුෂා සමඟ කළ සංවාදයකි.

ඇයි මෙවැනි වැඩසටහනක් ආරම්භ කළේ?

සිංහ එෆ්.එම් කියන්නේ ශ්‍රාවකයන්ට හරවත් දෙයක් දෙන්න ඕන කියන තැනක ඉන්න ගුවන් විදුලියක්. සිනෙ රූ ගී වැඩසටහන ආරම්භ කරන්නෙත් ඒ බලාපොරොත්තුවත් එක්කමයි. අපේ වැඩසටහන් නිර්මාණය වෙද්දී සාමාන්‍යාධිකාරී කුල ශ්‍රී කාරියවසම් මහතාට වුවමනාවක් තිබුණා සිනමාව සම්බන්ධයෙන් වැඩසටහනක් එයට ඇතුළත් කරන්න. සිනෙ රූ ගී වැඩසටහනට අඩිතාලම වැටෙන්නේ ඒ විදිහට.

සිනෙ රූ ගී වැඩසටහන කියන්නේ මොනවගේ එකක්ද?

අපිට මේ වැඩසටහනේ දී වුවමනා වී තිබෙන්නේ ශ්‍රාවකයා අතර සිනමාව පිළිබඳ රසිකත්වය වර්ධනය කරන්න. එහි දී සිනමා ගීත ඉතිහාසය, රංගන ශිල්පීන් පිළිබඳ තොරතුරු, සිනෙ රූ ගී වැඩසටහන තුළින් අපි ඒ අයට ලබා දෙනවා. දැනටමත් සිංහ එෆ්. එම්. ශ්‍රාවකයා අතර මේ සඳහා ලොකු කැමැත්තක් තියෙනවා. ඒ අයගෙන් මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාරය දැක්කම අපේ උත්සාහය සාර්ථක වෙලා කියන එක හිතෙනවා.

මෙම වැඩසටහන කොහොමද අනෙකුත් නාලිකා එක්ක තරග කරන්නේ?

අපි විශ්වාස කරනවා සිනමාව කියන්නේ ලෝකේ දියුණු කර්මාන්තයක්. අපේ සිනමාවත් මේ වෙන කොට ලෝකයත් එක්ක තරග කරන්නට පුළුවන් මට්ටමකට ඇවිත් තියෙනවා. ඇත්තටම මේවන විට අපේ තරගකාරී ගුවන් විදුලි නාලිකා සිනමාව වැනි කලාත්මක පැති අමතක කරලා තියෙනවා. සිනමාව සංගීතය සාහිත්‍ය කියලා කියන්නේ මිනිසුන්ගෙ ජීවිතවලට අවශ්‍ය දේවල්. මෙවැනි අවශ්‍යතා ඇතුලේ සමහරක් අය මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන කොට සිංහ එෆ්. එම්. නාලිකාව ඒ අයට විඳවන්නැතිව විඳින්න කියලා දෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා අපිට අනෙක් අයත් එක්ක තරගයක් නෑ.

සිනෙ රූ ගී වැඩසටහන පවත්වාගෙන යන්න කළමනාකාරීත්වය ඉඩ ලබා දෙයිද?

සිංහ එෆ්. එම්. සාමාන්‍යාධිකාරී කුල ශ්‍රී කාරියවසම් මහතාගේ සිට ඉහළ කළමනාකාරීත්වය හරවත් දේවල් කරන්න අපිට නිදහසක් ලබා දීලා තියෙනවා. මේ වැඩේ ශ්‍රාවකයාට හරවත් කියලා කළමනාකාරීත්වයට දැනෙන්න වැඩකරන එක අපට පැවරිලා තියෙන වගකීමක්. සිනෙ රූ ගී වැඩසටහනේ නිෂ්පාදිකාව හැටියට දවසින් දවස ඒ බැඳීම ඒ දැනීම වැඩි කරන්න මම උත්සාහ ගන්නවා. ඒක තමයි මට තියෙන අභියෝගය.

වැඩසටහනින් ඉදිරිපත් කරන්න ඉලාපොරොත්තුවන අලුත් දේවල්?

මේ වෙනකොට සරසවිය පුවත්පත සිනෙ රූ ගී වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සපයන එක අපට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ අනුව අපේ වැඩසටහනේ අන්තර්ගතය ඉදිරියේදී වෙනසකට ලක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සිනමාව සම්බන්ධයෙන් ශ්‍රාවකයා මෙතෙක් නොඇසූ තොරතුරු, අසා නොමැති ගීත නිර්මාණකරුවන් මුහුණ දුන් අත්දැකීම් මේ වගේ දේවල් සිනෙ රූ ගී වැඩසටහනට එකතු වෙනවා.

අශෝක අතාවුදහෙට්ටි චිත්‍රපට අධ්‍යක්ෂණයට අලුත් නළු නිළියන් ඕනෑ

නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙන්

’සංඛාරා’, ‘කර්ම’, ‘ගාමනී’, ‘සිරිපැරකුම්’ ආදී චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ‘කරුමක්කාරයෝ’, ‘අහසින් පොළවට’ චිත්‍රපටවල සහාය සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කළ අශෝක අතාවුදහෙට්ටි සිය කුළුඳුල් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සුමිත්‍රා රාහුබද්ධ ලියූ තිරපිටපතක් ඔස්සේ නිර්මාණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය හා සෙසු චරිත සඳහා නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට ඉදිරිපත්වීමට අවස්ථාව උදාවේ. ඔබත් වයස අවුරුදු 6 – 8ත් අතර හෝ අවුරුදු 15 – 16ත් අතර හෝ දියණියක නම් හෝ වයස අවුරුදු 18 – 20ත් අතර පුතණුවෙකු, ඊට වඩා වැඩි වයසක සිටින අයට ද මෙම මස 21 වැනිදා ඉරිදා පෙරවරු 9.00 – 5.00 දක්වා නාරාහේන්පිට දුම්රියපොළ අසල පිහිටි පරාක්‍රමබාහු විද්‍යාලයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි විය හැකියි. මෙම චිත්‍රපටය සඳහා රේණුකා බාලසූරිය නිෂ්පාදනයෙන් දායක වේ.