වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




හත්වෙනිදා - හතට ජූලි හතයි ඇරැඹේ

හත්වෙනිදා - හතට ජූලි හතයි ඇරැඹේ

චරිත් අබේසිංහ නිෂ්පාදනයක්
සංජය නිර්මාල් අධ්‍යක්ෂණයක්

බොරු දෙකක් පච එකයි

පච දහයක් ටොම් පච එකයි

ටොම් පච විස්සක් කෙප්ප එකයි

කෙප්ප පණහක් කෙබර එකයි

කෙබර දෙකක් බේගල් එකයි

බේගල් දහයක් බින්න එකයි

බින්න දහයක් ගජබින්න එකයි

ගජබින්න සීයක් මායම් එකයි

මායම් හැට හතරක් ගැහැනු එකයි

ගැහැනු තුනක් ජූලි හතයි

මේ අපූරු චක්කරය තිබුණේ ඇරැයුම් පතකය. එය සරසවියට රැගෙන ආවේද අපූරු පුද්ගලයෙකි. ඒ ජූලියා චිත්‍රපටය නිෂ්පාදනය කළ චරිත් අබේසිංහයි. චරිත්ගේ නවතම සිනමාපටය වෙනුවෙන් එම චක්කරය රැගත් ඇරැයුම් පත සකස් කොට තිබුණා.

ජූලියාගෙන් පසුව ඔහු නිෂ්පාදනය කරන නවතම චිත්‍රපටයට නම තබා ඇත්තේ ජූලි යන අකුරු දෙක ඇතුළත්ව ජූලි හතයි ලෙසිනි. පසුගිය ජූලි හත් වැනිදා සවස හතට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හි පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ඇරැඹූ එය හාස්‍යෝත්පාදක සිනමා සිතුවමකි.

දමිතා අබේරත්න, අනර්කලී ආකර්ශා, පුබුදු චතුරංග, සාරංග දිසාසේකර, ඕෂධී හේවාමද්දුම සමඟ චරිත් අබේසිංහ ජූලි හතයි රස ගන්වන නළු නිළි පිරිවරයි.

මෙය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි. සමාරා, රෝස කැලේ සහ මේ දිනවල විකාශය වන හේඩි ටෙලි සිතුවම ඇතුළු නිර්මාණ ගණනාවකම අධ්‍යක්ෂවරයා වන හෙතෙම හාස්‍යෝත්පාදක සිනමාපටයක් අධ්‍යක්ෂණය කරනුයේ පළමු වතාවටය.

සංජය නිර්මාල් සමඟ හේමන්ත ප්‍රසාද් තිර රචනය කර ඇත. සුමුදු සඳරුවන්ගේ අංග රචනයකි. තුෂාර විධානගමගේ කොණ්ඩා සකස් කරයි. චන්දන වීරසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂණයෙන් නුවන් තේනුවර ද, මාධ්‍ය සම්බන්ධීකරණයෙන් එච්. එම්. සුගත් සිසිර ද, කැමරා අධ්‍යක්ෂණයෙන් උපුල් ප්‍රජාත් ද එක්ව සිටියි.

සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය නිශාන්ත රණසිංහගෙනි. සංස්කරණය, විශේෂ ප්‍රයෝග මෙන්ම විධායක නිෂ්පාදනය ප්‍රවීන් ජයරත්නගෙනි.

මේ ජූලි හතයි සිනමාපටයේ මුහුරත් උළෙලදා සේයාරූ කිහිපයකි.