වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




දහඩිය වැස්ස සමඟ එන සදානි

දහඩිය වැස්ස සමඟ එන

සදානි

විශාරද සදානි රම්මිකාගේ ‘දහඩිය වැස්ස’ නම් ගීත ත්‍රිත්වයක් ඇතුළත් කුලුඳුල් සංගත තැටිය පසුගියදා මතුගම ඇතුලත්මුදලිගම ජයබෝධි විහාරයේදී දොරට වැඩිණ.

කුඩා අවධියේ පටන්ම බොහෝ සේ සංගීතයට ආදරය කළ සදානි රම්මිකා ගායනයෙන් ඉදිරි ගමනක නිරත වීමට සිත් ඇත්තීය. අලුත්ගම ප්‍රදේශයට ගායන අංශයෙන් නව ආලෝකයක් ගෙන පැමිණීමේ අධිෂ්ඨානය සිත් රඳවා ගත් ඈ ‘සරසවිය’ ට සිය සිතැඟි හෙළි කළේ මේ අයුරිනි.

‘මම පළමුවෙන්ම පාසල් ගියේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයටයි. 6 වසරේ පටන්ම මා සංගීතය විෂයයක් විදියට ඉගෙන ගත්තා. ඒ ලෙවල් කරන්න පානදුර බාලිකා විද්‍යාලයට ගියේ ඊට පස්සේ. පාසල් කාලයේදී ගුරුවරුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මගේ සංගීත දිවිය වඩාත් ඔපවත් වුණා. මගේ සංගීත ගුරුවරයා වන්නේ ගයා සම්පත් නාකන්දල ගුරුතුමායි.

‘දහඩිය වැස්ස’ නමින් ඒ එළි දැක්වුණේ මගේ සංගීත දිවියේදී මා බලාපොරොත්තු වූ එක් හීනයක්. ඒ හීනය සැබෑ කර ගන්න මට ගී කිහිපයක් ගායනා කරමින් සංගත තැටියක් ලෙසින් එළිදැක්වීමේ යෝජනාව ගෙනාවේ බටුවන්ගල රාහුල හාමුදුරුවෝයි. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ගීත කිහිපයක් ලියලා දෙන්නත් පොරොන්දු වුණා.

උන්වහන්සේ මට මුණ ගැහුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත මන්තීතුමාගේ ගමින් ගමට යන ‘අම්මාවරුනේ’, ‘අමා දම්සර’ කියන වැඩසටහන්වලදී. ඒ වැඩසටහන්වල විද්වත් මණ්ඩලයේයි උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒ වැඩ සටහනේ මා ගීත කිහිපයක් ගයනවා. මගේ ගීත කිහිපයක් වගේම ‘මල් සුගන්දේ’ ගීතය සඳහා ඉෂාක් බෙග් ගායන ශිල්පියා යුග ගායනයෙන් සහයෝගය දක්වනවා. මේ කටයුතු මගේ ගී ගැයීමේ හැකියාව වර්ධනය කළා.

‘දහඩිය වැස්ස’ සංගත තැටිය සඳහා පද රචනයෙන් බටුවන්ගල හිමි වගේම තිලක් පුෂ්පකුමාරත්, සංගීතයෙන් නවරත්න ගමගේත් මට සහයෝගය ලබා දුන්නා. මේ වෙනකොට ලක්හඬ ගුවන් විදුලි සේවාවේ මේ ගීත ප්‍රචාරය වෙනවා. ඉදිරියේදී හොඳ ගීත කිහිපයක් පටිගත කිරීමේ අදහසක් මා සතුයි. කාලයක් රැෙඳන්න පුළුවන් හොඳ ගීත කිහිපයක් ගායනා කරන්නයි මා කැමැති. ඒ වගේම මේ වන විට මා භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගය සමත්. ඒ ගායනයෙන් හා වාදනයෙන්. ඉදිරි කාලයේදී සංගීත් නිපුන් විභාගය කරන්නට මා අදහස් කරගෙන සිටිනවා. මගේ ගායන දිවියට සැමදා අත හිත දෙන මගේ මෑණියන් ඇතුළු මෙතෙක් අත හිත දුන්න ලොකු කුඩා සැමටම ස්තුතිය පළ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මල් ගවුමක් ඇඳගෙන

මායා රොඩ්රිගු

ගායනයට මෙන්ම පද රචනයටත් සහජ දක්ෂතාවක් දැක් වූ මායා රොඩ්රිගු සිය හැකියාවන් එක්කරමින් ගීත ගායනයට පිවිසුණේ වසර ගණනාවකට පෙරාතුවය. වසර 19 ක් පුරා ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ඇය ගීත ගායනයට ප්‍රවේශ වූයේ ගුවන් විදුලි ළමා මණ්ඩපයෙනි. ‘මල් ගවුමක් ඇඳගෙන’ නමැති ගීතය ගයා හා හාපුරා කියා ගායන ක්ෂේත්‍රයට පිවිසි ඇය ගැයූ ගීත වැඩි ප්‍රමාණයක්ම ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණය.

ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ ද ගී ගායනයට වරම් ලද ඇය ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ගීත 19 කින් යුත් ගීත සංයුක්ත රූප DVD තැටියක් ‘හඬවන්න එපා’ නමින් පසුගියදා එළි දැක්වීය.

ක්ලැරන්ස් විජේවර්ධන, ගුණදාස කපුගේ, ස්ටැන්ලි පීරිස්, නවරත්න ගමගේ, පියසිරි විජේරත්න විසින් සංගීතවත් කර ඇති මෙම ච්.ඍ.ච් තැටියේ යුග ගී ගායනා රෝහණ බෝගොඩ, ලක්ෂ්මන් හේවාවිතාරණ, කිංස්ලි පීරිස්, දයාන් විතරණ සහ සිඩ්නි රොඩ්රිගුගෙනි. පද රචනා සියල්ලම මායා රුද්‍රිගු විසින් රචිත ඒවාය.

මින් පෙර ද ඇය විසින් ඇගේ ගීත ඇතුළත් ‘යොවුන් සිහින’ නමින් කැසට් පටයක් සහ ‘සිත රවටන්න එපා’ නමින් ච්.ඍ.ච් චිත්‍රපටයක් එළි දක්වා ඇති අතර ‘හඬවන්න එපා’ ඇය විසින් එළිදැක් වූ තෙවැනි නිර්මාණයයි.

‘මායා ගී සැඳෑව’ නමින් සංගීත ප්‍රසංගයක් ඉතාලියේ මිලානෝ නුවර පසුගියදා ඇය විසින් පවත්වන ලද අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ මෙම ප්‍රසංගය ඉතා සාර්ථක විය. චන්ද්‍රන් සෝවියස් ප්‍රමුඛ සෙන් සෙන් සිටිව් සංගීත කණ්ඩායම සංගීතවත් කළ එම ප්‍රසංගයේ සුදර්ශන ශ්‍රී රංගායතනයෙන් (ඉතාලිය) නර්තන ඉදිරිපත් කෙරිණි. ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක මායා රොඩ්රිගුගේ සැමියා වන සිඩ්නි රොඩ්රිගුය.

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නයි හිතන් ඉන්නේ

වසන්ත ගීතාරච්චි

‘මගේ ගම මාතර. ගමේ උපන් මට කලා ක්ෂේත්‍රය ගොඩක් දුර වුණත් ඒ වෙත පිය නගන්න ලොකු ආසාවක් තිබුණා. රංගනයට තිබු ඒ ආසාවට මුලින්ම ඉඩ ලැබුණේ පාසල් වේදිකාවෙන්. හිතේ තිබුණ උනන්දුව කැපවීම නිසාම මට මේ දක්වා කලා ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන් වුණා.’

මේ විදියට කලාවට ඇති ළෙංගතුකමින් සිය අදහස් අපට ප්‍රකාශ කළේ නව පරපුරේ රංගන තරුවක්. සංජය විතානගේ ගේ ‘ නිල් අහස වගේ’ ටෙලි නාටයයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු මේ වන විට ‘කළුවර ගෙදර’, ‘දිව්‍යා’, ‘සෙනෙහසට ආදරෙයි’, ‘සුවඳ මට දී’, ‘පියගැට පෙළ’, ‘මනුසත් උයන’, ‘ස්වයංජාත’, ‘ඉසුරු සංග්‍රාමය’ වැනි ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී අවසන්. ඔහු වසන්ත ගීතාරච්චි.

මුලින්ම මේ ගමනේ ආරම්භය ගැන කියමු නේද?

මම අධ්‍යාපනය ලැබුවේ මාතර, තොටපොල මහා විද්‍යාලයෙන්. මුලින්ම රංගන හැකියාවන් පෙන්වන්න අවස්ථාව ලැබුණේ පාසල් වේදිකාවෙන්. පාසලේදී වේදිකා නාට්‍ය නිර්මාණ රැසකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. පාසල් කාලයෙන් පසුව පෞද්ගලික ආයතනයක රැකියාව සමඟ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට ඇතුළත් වුණා. ඒ 2004 වසරේදී. ඒ අතරෙදි මුලින්ම දායක වෙන්න ලැබුණේ සුනිල් චන්ද්‍රසිරිගේ ‘දොන් ජුවන්’ වේදිකා නාට්‍යයට. ඊට පසුව තමයි ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ‘ මායා දේවි’, ‘ජන මිතුරා’, ‘මම තවම පණ පිටින්’, ‘සිහිනවලට පාට දෙන්න’, ‘සුභාවි රඟ මඬලක්’ වැනි වේදිකා නාට්‍යවලට දායක වෙලා තියෙනවා. වේදිකාවේ සජීවි රංගනයට තමයි මම ගොඩක්ම කැමැති.

දැන් ඔබ පූර්ණකාලීන රංගන ශිල්පියෙක්?

ඔව්. කලින් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. රංගනය සමඟ ඇති වූ කාර්යබහුලත්වය නිසාම රැකියාවෙන් ඉවත් වුණා.

අබා චිත්‍රපටයෙන් මම සිනමාවටත් සම්බන්ධ වුණා. ‘ආකාස කුසුම්’, ‘සෙනසුරු මාරුව‘, ‘නිනෝ ලයිව්’, ‘ත්‍රීවිල් ඩයරි’ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුණා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයට අමතරව ගුවන් විදුලි නාලිකා කිහිපයකම හඬකැවීමේ ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල සිරස එෆ්. එම්. නාලිකාවේ විකාශය වෙන ‘ආදරෙයි මං සමනලී’ ගුවන් විදුලි නාට්‍යයේ දුෂ්‍යන්තගේ චරිතයට හඬ කවන්නෙත් මම.

ඔබ දැන් කලා ක්ෂේත්‍රයට පැමිණ කාලයක් ගත වෙලා. ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කලා ක්ෂේත්‍රයේ දිගටම රැෙඳන්න කැමැතියි. නමුත් තරුවක් වෙන්න නොවෙයි. මේ තුළ අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මම මගේ කාලය ඒ වෙනුවෙන් තමයි කැප කරන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයට පැමිණිදා පටන් මේ දක්වා සහාය දුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටමත් මගේ හැකියාවට අවස්ථාව ලබා දුන් හැමෝටමත් ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

ඉදිරිය ගැනත් කෙටි සටහනක් තබමු?

වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. එහි මූලික වැඩ කටයුතු මේ දිනවල කරගෙන යනවා.

වසන්ත ගීතාරච්චි - 0772523420