වර්ෂ 2013 ක්වූ ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




පොසොන් උත්සවය ගැන වැඩියෙන්ම ගී ගැයුවේ මමයි

පොසොන් උත්සවය ගැන වැඩියෙන්ම ගී ගැයුවේ මමයි

නාට්‍ය මඩුවෙන් උපත ලද සිංහල ගීතය කාලීනව ග්‍රැමෆෝනය ගුවන් විදුලිය හා වත්මන කැසට් පටය, සංගත තැටිය තුළින් ශ්‍රාවක හද බැඳ ගත්හ. ඒ සඳහා ශිල්පීය දායකත්වයක් උවමනා විය. වාදකයින්, පද රචකයින්, ගායක ගායිකාවන් ඔවුන් අතරේ ප්‍රධාන තැනක් ගනු ලැබීය. මොවුනගේ සාමුහික එකතුවෙන් බිහි වුණ බොහොමයක් ගීතයන් බැතිබර වූහ. එකී ගීත ඉතිහාසය දෙස විමසා බලද්දී වැඩිම බොදු ගීත සංඛ්‍යාවක් ගායනය කොට තිබෙන එක් ගායිකාවක් ලෙස නිතැතින්ම විවියන් ද සිල්වා බොරලැස්ස හඳුනා ගැනීමට ලැබේ.

* ඔබේ සංගීත දිවිය ආරම්භය පැරැණි වුවත් මතකද?

සේෆ්ටි ටුවර්ස් බස් සමාගම හිමිව සිටි මගේ පියා සංගීතයට ළබැඳි කෙනෙක්. මවත් එබඳුයි. ඒ කාලයේ සුප්‍රකට සංගීතඥයින් වූ එඩී මාස්ටර් හා රූපසිංහ මාස්ටර් (එඩී මාස්ටර් කියන්නේ රංගන ශිල්පී එඩී ජූනියර්ගේ පියා) යටතේ මා ගායනය හැදෑරුවා. එතකොට මගේ වයස අවුරුදු හතක් හෝ අටක් ඇති. ඔය වකවානුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත අධ්‍යක්ෂව සිටියේ අපේ මාමා. ජී. ආර්. එඩ්වඩ් නමින් ප්‍රසිද්ධ ඔහු ගුවන් විදුලි ගායකයෙක්. මේ නිසා ගුවන් විදුලි බිමට පා තබන්න ලැබුණා.

1940 ගුවන් විදුලි සරල ගීත පරීක්ෂණයට මමත් ඉදිරිපත් වුණා. තේරීම් කමිටුවේ කපුකොටුව, ගුණපාල මලලසේකර, බී. එස්. විජේරත්න වැනි වියතුන් සිටියා. පරික්ෂණය පැවැත් වූයේ අසන්නන් ඉදිරියේ. ඒ අනුව ඔවුන්ගේ ද ඡන්දය විමසුවා. මේ පරීක්ණයෙන් මම ප්‍රථම ස්ථානයට තේරුණා. මුලින්ම ගුවන් විුලියට ගැයූ ගීත හැටියට බඹරාගේ ගීතයේ, චන්ද්‍රාදේය ප්‍රිය කාන්ති මතකයි. 1946 රත්න ශංකර් යටතේ පැවති වර්ග කිරීමේ පරීක්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වුණ. සුමාන තුනකට වරක් පැය කාලක සරල ගී වැඩ සටහනක් ලැබුණා. ගෙව්වේ රුපියල් 90 පමණයි.

* ඔබ හා අන් අය ගැයු ගීතවල එදා විශේෂත්වයක් තිබුණාද?

පද රචකයින් බොහෝ විට ගැඹුරු සාහිත්‍යමය වචන යොදා ගීත පබැඳුවා. නමුත් සරල පද වැල් සහිත ගීත ඉතාමත් ඉක්මනින් ජනාප්‍රිය වුණා. ගී තනු හා සංගීතය ඉන්දීය රාග තාල අනුකරණය කළත් දේශීය ගති ලක්ෂණයන්හි පිහිටා තිබුණා. සිංහල නොවන ගායක ගායිකාවන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන් අබිබවා අපේ සිංහල අය ඉස්මතු වුණා. කිසිම අවස්ථාවක ගීත සමඟ ජාතිවාදය ඈඳුණේ නැහැ.

* ඔබේ ජනප්‍රිය ගීත ගැයෙන්නේ තැටියකට ද නැතිනම් ගුවන් විදුලියටද?

ගුවන් විදුලිය කියන්නේ අපේ මහගෙදර. එතැනින් බිහි වුණ ගායක ගායිකාවන් අදටත් විරාජමානයි. මගේ හැම ජනප්‍රිය ගීයක්ම පළමුවෙන්ම ඇසුණේ ගුවන් විදුලියෙන්. ඉන් නංගී නංගී රූපිකා, ආලෝකේ මේ යැයි, ශාන්ත සැපා, බුදු මඟුල ළඟම ඒවි, නවතින්න තිස්ස, මහා සංඝබෝධි, දුර පෙනෙන තැනිතලා, දිලෙන සමනල ගීත විශේෂිතයි.

* ඔබ ගැයූ ගීත අතරේ පොසොන් ගීතත් තිබුණා නේද?

වෙසක් දවස බුදුන්ගේ තෛ‍්‍රමංගල්‍ය සමරන සමස්ත ලෝකවාසී බොදු බැතිමතුන්ට පොදු උත්සවයක්. පොසොන් පොහොය අපේ රටට පමණක් සීමා වෙන බැතිබර දිනයක්. සිංහල ජාතියේ පිබිදීම සිදු වූයේ මහින්දාගමනයෙන් පස්සේ. වෙසක් මංගල්‍යයට ගැළපෙන බොදු ගීත මහත් රාශියක් තිබුණත් පොසොන් උත්සවය මතකයට නංවන ගීත ඇත්තේ ඉතාමත් අල්පයයි. එයින් වැඩිම ගීත ගණනක් ගැයු ගායිකාව මම. මෙම ගීත අතරට සරත් විමලවීර ලියූ දුර පෙනෙන තැනිතලා, නවතින්න තිස්ස, සැරදේ, ආලෝකය මේ යැයි, බුදු මඟුල, කරුණාරත්න අබේසේකර ලියූ මා සංඝබෝධි, ඩී. වීරසේකර ලියූ දිලෙන දිලෙන සමනල වර්ග කරන්න පුළුවන්. නවතින්න තිස්ස පොසොන් දින සිදුවීම ජීවමාන කරන ගීතයක්.

* ඔබ බොදු ගීත හැරුනු විට පේ‍්‍රම ගීත ගායනය කොට නැද්ද?

මගේ හඬ හුඟාක් දුරට ගැළපුණේ බැති වන්දනාවලට කියා සිතනවා. ප්‍රේම ගීත කිහිපයක් ගායනය කළේ ඉන් මිදීමට නොහැකි වූ නිසයි. එම ගීත ගැයුවේ ධර්මදාස වල්පොල සමඟ වීම විශේෂත්වයක්. අපි ගැයූ නිදි යහනෙ, පිපිලා ජලාසේ, ආනන්ද ජීවනේ අදටත් ඉඳහිට මතකයේ රැඳුණු ගීත අතරින් ප්‍රචාරය වෙනවා.

* ඔබ ගුවන් විදුලියෙන් ග්‍රැමෆෝන් තැටි ගායනයට යොමු වන්නේ කුමක් නිසාද?

1940 ශ්‍රී ලංකාවේ ගීත තැටි නිෂ්පාදනය කරන සමාගම් තිබුණේ දෙකයි. ග්‍රැමෆෝන් මලකට සවන් යොමා සිටින සුනඛයෙක් ලාංඡනය කොට ගත් හිස් මාස්ටර් වොයිස් නැතිනම් එච්. එම්. වී එකක්. මෙය කාර්ගිලිස් සමාගම අනුබද්ධ ආයතනයක්. මිලර්ස් සමාගම කොළොම්බියා තැටි නිෂ්පාදනය කළා. මොවුන් තරගකාරි ලෙස ගුවනින් ඇසුණු ජනප්‍රිය ගීත වගේම නව ගායනා වෙළෙඳපොළට නිකුත් කෙරුවා. ඔය තැටි ගීත ගොන්නට මගේ ගීතත් ඇතුළත් වුණා.

* අති පැරැණි ගායිකාවක් හැටියට ඔබට ග්‍රැමෆෝන් ඉතිහාසයෙන් බිඳක් කියන්න පුළුවන්ද?

ලංකා ගුවන් විදුලි සේවය ඇරැඹුණේ 1925. ඊට වසර 19 කට පෙර මෙරටට ග්‍රැමෆෝනය ගෙන් වූ බව කියනවා. අප රටේ ග්‍රැමෆෝන් ගීත යුගය අරඹමින් 1908 ප්‍රථම සිංහල ගීතය ගැයුවේ බී. ජී. පෙරේරා මහත්මිය. ගාර්දියවසම් ළිඳමුලගේ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා නමින් මුලින් හැඳින් වූ ඇය සංගීතඥ බී. ඇස්. පෙරේරාගේ මෑණියන්. මුල් අවධියේ තැටියෙන් ඇසුණේ නූර්ති ගීත. ඊට අමතරව නාට්‍ය, විකට රසාංගත් තැටියට නැගුවා. එච්. එම්. වී තැටියෙන් ශ්‍රවණගත වෙස්සන්තර නාටකයේ ක්‍රිෂ්ණජිනා මම, ජාලියට හඬ දුන්නේ ධර්මදාස වල්පොල. වෙස්සන්තර රජතුමා ජීී. එෆ්. ද සිල්වා. ඔහු මගේ පියා.

* ඔබ මේ වන විට කොපමණ ගීත සංඛ්‍යාවක් ගායනය කොට තිබෙනවාද?

අවිනිශ්චිත මතකයේ හැටියට ගීත දහසකට ආසන්නයි. මෙයින් ජනප්‍රිය ගීත අඩකට වැඩියි. එයිනුත් අතිශය ජනප්‍රිය ගීත සමුච්චයක් ඇතුළත් කැසට් පටයක් මගේ සංගීත දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් නිකුත් කළා. සම්බුදු මංගල්ලේ නමින් සංගත තැටියක් 2008 නිකුත් කළත් එළිදැක්වීමේ උත්සවයක් පවත්වන්න ලැබුණේ නැහැ. එයට හේතුව වුණේ එම උත්සවය යොදා ගත් මැයි 19 වැනි දින තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට මුදා ගත් ප්‍රිතිය සමරමින් ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා පැවැත්වීම. එබැවින් මගේ හරසර උළෙල අවලංගු කොට මමත් ඔවුන් සමඟ සතුට බෙදා ගත්තා.

ඔබේ ජනප්‍රිය ගීත වෙනත් ගායිකාවන් ගායනා කොට තිබෙන බව දන්නවාද?

රසිකයින් ඇසූ පැරැණි ගීත එම ගායකයා හෝ ගායිකාවගේ හඬින් මිස වෙනත් හඬකින් ඇසීමට ප්‍රියමනාප නැහැ. අනාගතයේ තමන් ගැයූ නිසාම නවපරපුර ඒත්තු ගැන්වීමේ යටි අදහසින් ඔය කරන නිගා දෙන වැඩය මට පමණක් නොවෙයි කිහිප දෙනෙකුට සිදු වුණා. ප්‍රබුද්ධ ගායිකාවකුත් කළා. අඩු තරමින් මගේ ගීත ඇගේ හ¼ඩින් පටිගත කරන බව මට දන්වා සිටියෙවත් නැහැ. ඇහැව්වම හිනා වෙලා ලිස්සලා ගියා.

ඔබේ ගීත හඬ චිත්‍රපටයකින් නොඇසෙන්නේ මන්ද?

මම පවුලේ එකම දරුවා. මේ නිසා චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ඉන්දියාවට යැවීමට මගේ මවුපියන් එකඟ වුණේ නැහැ. චිත්‍රපට ගීතය මගෙන් ගිලිහුණේ ඒ හින්දායි. චිත්‍රපට ගිත නැතත් ගැයු ගායනා ඇති මගේ මතකය සදාතනික කරන්න. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා මෑතකදී ගායනය කළ අලුත්ම ගිතය ගැන. මේ පින්බිමේ නම් එහි පද රචනය කළේ අනුරාධපුර රුවන්වැලි සෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි. සංගීතය නවරත්න ගමගේ ගෙන්.

* ඔබේ සංගීත දිවිය ගැන බොහෝ දේ පැවසුවා වගේම පෞද්ගලික තොරතුරු බිඳක් හෙළි කරන්න බැරිද?

මම ඉපදුනේ කොළඹ. උපන් වර්ෂය 1930. මාසය හා දිනය නොවැම්බර් 24 වැනිදා. මරදාන මධ්‍යම මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. විවාහ වුණේ 1953 සැප්තැම්බර් 24 වැනිදා. විවාහයෙන් පසුව නමේ අගට බොරලැස්ස එකතු වුණා. අපිට දරුවන් සය දෙනෙක් ඉන්නවා. මගේ සැමියා පසුගියදා මිය පරලොව ගියා. මම දැන් බාල පුතු කපිල ද සිල්වා බොරලැස්ස හා ඔහුගේ බිරිඳ දරුවන් සමඟ පදිංචිව සිටිනවා. ලිපිනය අංක 92/3, මුවන්හෙල වත්ත, තුන්වෙනි පටුමග, මාලබේ. දුරකථන අංකය 077-6281902. කලා පත්‍රයක් හැටියට සරසවිය අදත් කියවන බව නොවරදවාම ලියන්න.